K News

Trending Now

ලාෆ්ස් ගෑස් අර්බුදය, ලිට්‍රෝවේ සැපයුම් ගැටලු සහ කළු කඩ මාෆියාව – මෙරට ගෑස් හිඟයේ ඇත්ත කතාව

ශ්‍රී ලංකාවේ ලාෆ්ස් සහ ලිට්‍රෝ ගෑස් හිඟය සහ ගෑස් සැපයුම් අර්බුදය

මම ඊයේ (29) මහරගම නගරයේ හෝටල් කිහිපයකට ගියා වර්තමාන ගෑස් අර්බුදය පිළිබඳව කරුණු ටිකක් සොයන්න. බොහෝ ව්‍යාපාරිකයන් අදහස් දක්වන්නවත් කැමති නෑ. ඔවුන්ට ඒ තරමට කේන්තියි මේ තත්ත්වය පිළිබඳව. පොඩි හෝටලයකට වුණත් කිලෝ 12.5ක සිලින්ඩරයක් දවස් එකහමාරකට විතර තමයි සෑහෙන්නේ. ගෑස් හිඟයක් තිබෙන නිසා සහ ලිට්‍රෝ ගෑස් තොග සීමිතව මුදා හරින නිසා කිලෝ 12.5ක එක සිලින්ඩරයකට රුපියල් 2000ක අමතර මුදලක් වැයකරලා තමයි මේ ව්‍යාපාරිකයන්ට ගෑස් ගෙන්වා ගන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කළු කඩය සක්‍රීය වෙලා. ගෑස් සිලින්ඩරයකට අමතරව දෙදාහක් දීලා තව ත්‍රීවිල් හයර් එකත් දෙන්න ඕන කියලා තමයි මේ ව්‍යාපාරිකයෝ කෝපයෙන් කියන්නේ. ඉතින් ඇත්තටම මොකක්ද මේ ගෑස් අර්බුදය කියලා හොයන්න හිතුණා. අන්න ඒ සෙවිල්ලේ ප්‍රතිඵලය තමයි මේ ලිපිය. ඔබත් කියවන්න.

ඇත්තටම මේ එල්පී ගෑස් අර්බුදය රාජ්‍ය කළමනාකරණය සහ නියාමනය පිළිබඳ ගැටලුවක්. ලංකාවේ දෛනික ගෑස් පරිභෝජනය කොයිතරම්ද කියලා පාලකයෝ නොදැන සිටින්නට විදිහක් නෑ. අනෙක් පැත්තෙන් දැන් මාස දෙකකට වැඩි කාලයක ඉඳලා ලාෆ්ස් ගෑස් වෙළෙඳපොළේ නෑ. මේ තත්ත්වයත් එක්ක ලිට්‍රෝ සමාගම දැනගන්නට ඕන තමන්ට අතිරේක බරක් දරන්න වෙන බව. අනෙක් පැත්තෙන් රාජ්‍ය බලධාරීන් දැනගන්නට ඕන ලාෆ්ස් ගෑස් අර්බුදය විසඳන්න ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න. නමුත් ජනතාව මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා පාරට ඇවිත් කෑගහනකම් රජය ඒ පිළිබඳව ගත් පියවරක් නෑ.

ලාෆ්ස් සමාගමේ මූල්‍ය අර්බුදය සහ පාරිභෝගික අධිකාරියේ නීතිමය පියවර

අපි පහුගිය දා ලාෆ්ස් ගෑස් අර්බුදය සහ ධම්මික පෙරේරාගේ මැදිහත්වීම ගැන වගේම, ලංකාවේ පාරිභෝගිකයාගේ අයිතීන් ආරක්ෂා කරන්නට පිහිටුවා තිබෙන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ ප්‍රශ්නයේ දී ධම්මික පෙරේරාගේ ලාෆ්ස් සමාගමට වාසි සහගත විදිහට හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන ලිව්වා.

https://knews.lk/laugfs-gas-shortage-consumer-affairs-authority/ මෙතනින් කියවන්න.

ඔන්න ඊයේ (29) වෙනකොට අපිට වාර්තා වෙනවා, පාරිභෝගිකයන්ට අඛණ්ඩව ගෑස් සැපයීමට අපොහොසත් වීම හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලාෆ්ස් ගෑස් සමාගමට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන්නට කටයුතු කරලා තිබෙනවා කියලා. මේක හොඳ දෙයක්. අපි මේක පෙන්වනකම් නොසිට මේක මාසෙකට, අඩුම තරමේ සති දෙකකට කලින් කළා නම්, මේ අර්බුදය මෙතරම් උඩු දුවන්නේ නෑ.

දැන් අපි මුලින් ලාෆ්ස් ගෑස් අර්බුදය මොකක්ද කියලා සොයලා බලමු. මේ පිළිබඳව හිටපු බලශක්ති ඇමතිවරයෙක් වන පාඨලී චම්පික රණවක පහුගිය දවසක මාධ්‍ය අමතලා වැදගත් තොරතුරු රැසක් හෙළි කළා. අපි මුලින්ම මේ අර්බුදය ගැන ඔහුගේ අදහස කියවලා ඉමු.

“අපට ගෑස් සැපයුම් වර්ග දෙකකින් එනවා. එකක් ලාෆ්ස් ආයතනයෙන්, අනෙක ලිට්‍රෝ ආයතනයෙන්. ලිට්‍රෝ ආයතනයට තමයි ප්‍රධාන සැපයුම තියෙන්නේ. ඉතින් ලාෆ්ස් ආයතනය දේශීය ආයතනයක් හැටියට ගොඩනැගුණු එක ගැන අපි හැමෝම ආඩම්බර වුණා. ලාෆ්ස් ආයතනය හම්බන්තොට ටර්මිනල් එකක් දැම්මා. ටොන් 30,000කට අධික ප්‍රමාණයක් එකේ රඳවාගන්න පුළුවන්. ලංකාවේ සාමාන්‍යයෙන් දෛනික අපේ පරිභෝජනය ටොන් 1200ක් 1300ක්. ඒ වගේම මේක හදද්දි මේකෙන් 20%ක් ලංකාවට දාලා ඉතුරු 80%ක ප්‍රමානය බංග්ලාදේශය වගේ රටවල්වලට ගෙනියනවා කිව්වා. මේ සමාගම ඩුබායිවල ලියාපදිංචි කළා.

මෑතදි අයිතිය මාරුවෙලා අනුර කුමාර දිසානායක මහත්තයාගේ හිතවත්ම ප්‍රබලම ව්‍යාපාරිකයා මේ සමාගම මිලදී ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ සමාගමට ඇමරිකාවෙන් සම්බාධකයක් පනවලා තියෙනවා, ඉරානයෙන් ගෑස් ගත්තයි කියලා. දැන් අනුර කුමාර දිසානායක, ඇමරිකා එක්සත් ජනපදයේ රූකඩයක් හැටියට, මේ යැන්කින්ගේ රූකඩයක් හැටියට ඉන්න කෙනා, මේක පිළිබඳව සාකච්ඡා කරලා, මේ සම්බාධක ඉවත්කර ගැනීමට මොනම ආකාරයකින්වත් ක්‍රියාකරන්නේ නෑ. ඒ නිසා අද මොකද වෙලා තියෙන්නේ? ලංකාවේ ගෑස් වෙළෙඳපොළෙන් 20%කට අධික ප්‍රමාණයක් සපයා ගැනීමට නොහැකිව ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා.

ඊළඟට ලිට්‍රෝ සමාගම, දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ට්‍රම්ප් ජනාධිපති කිව්වා, ‘කාගෙන්වත් ගෑස් ගන්නේ නෑ, අපෙන් ගෑස් ගන්නේ ‘කියලා. ඒ අනුව මේ අය ජියෝ කියන ඇමරිකා එක්සත් ජනපදයේ ගෑස් සමාගමකින් ගෑස් ගත්තා. ටෙන්ඩර් කොන්දේසියක් තිබුණා අපට කුඩා නැව් හතරකින් ගෑස් සපයන්න ඕන කියලා, ඒ සමාගමට තියෙන්නේ නැව් තුනක් පමණයි. ඒ අනුව එම සමාගමට මේ පාරිභෝගික අවශ්‍යතාවය ඉටුකරන්න බෑ. හැබැයි මේ සමාගමේ ටෙන්ඩරය අවලංගු කරලා, මේ සමාගමෙන් ගෑස් නොගෙන ඉන්නත් අපේ ජනාධිපතිතුමාට කොන්දක් නෑ”

හිටපු අමාත්‍යවරයාගේ හෙළිදරව්වට අනුව මෙතන ගැටලු දෙකක් තිබෙනවා. එකක් තමයි ලාෆ්ස් ගෑස් සැපයුම ඇමරිකානු සම්බාධක ප්‍රශ්නය නිසා සම්පූර්ණයෙන්ම නතරවීම. මෙතන ආර්ථික විශේෂඥයෝ තවත් සැකයක් මතු කරනවා. අපි ඒ සැකය ගැන කතාවට යන්න කලින් ලාෆ්ස් ගෑස් තත්ත්වය ගැන කෙටියෙන් සොයලා බලමු.

ලාෆ්ස් සමාගම සඳහන් කරන තොරතුරු අනුව මෙරට මාසකට ලාෆ්ස් ගෑස් සිලින්ඩර ලක්ෂ හතරහමාරක් පමණ අලෙවි වෙලා තිබෙනවා. ඉතින් මේ වෙනකොට මාසයකට සිලින්ඩර ලක්ෂ හතරහමාරක් අලෙවි කරපු ගෑස් සමාගමකට අද වෙළෙඳපොළට සැපයීමට එකදු ගෑස් සිලින්ඩරයක්වත් නෑ.

මේක සාමාන්‍ය ව්‍යාපාරික ප්‍රමාදයක් විදිහට අපිට බැහැර කරන්නට බෑ. මොකද ඕනෑම රටක ගෑස් ඉල්ලුම කියන්නේ යම් නිශ්චිත අගයක්. ඒක ඉහළ පහළ යන්නේ කුඩා ප්‍රමාණයකින්. එතකොට සමාගම දැනගන්නට ඕන තමන්ගේ ඉල්ලුමට අඛණ්ඩ සැපයුමක් ලබාදෙන්න. මොකද ගෑස් කියලා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. දැන් අපිට අර මුලින් කීව දෙවැනි කරුණට යන්න පුළුවන්.

ජියෝ ගෑස් ගනුදෙනුව සහ විදේශීය බලපෑම් පිළිබඳ අර්බුදය

ලාෆ්ස් ගෑස් අර්බුදය මෙහෙම තියෙනකොට, හම්බන්තොට වරායේ පිහිටි ලාෆ්ස් සමාගමට අනුබද්ධ LAUGFS Terminals Limited සමාගමේ කොටස් හිමිකාරිත්වය වෙනත් පාර්ශ්වයකට පැවරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. අපි මෙන්න මේක ගැන අපගේ අවධානය යොමු කරන්න ඕන. ලාෆ්ස් ගෑස් සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යොමු කළ දැනුම්දීමකට අනුව එම පර්යන්ත සමාගමේ සම්පූර්ණ හෝ කොටස් හිමිකාරිත්වයෙන් කොටසක් විකිණීමේ හැකියාව ඔවුන් සොයා බලමින් සිටිනවා. ලාෆ්ස් ගෑස් සමූහයේ 2024/25 වාර්ෂික වාර්තාව දිහා බැලුවොත් ඒ වාර්තාවට අනුව හම්බන්තොට සහ මාබිම පිහිටි පර්යන්තවල ඒකාබද්ධ ගබඩා හා පිරවුම් ධාරිතාව මෙට්‍රික් ටොන් 33,150ක්.

ඒ නිසා මෙවැනි සමාගමක හිමිකාරිත්වය වෙනස් කිරීම හුදෙක් සමාගමක කොටස් ගනුදෙනුවක් විතරක්ම වෙන්න ඇති කියලා අපිට සිතන්න බෑ. ලාෆ්ස් සමාගමට නෞකා ගෙන්වා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයිද කියන එක පිටුපස ඇත්තේ බරපතළ මූල්‍ය අර්බුදයක් කියලා මේ අනුව අපිට පේන්න ඕන. ඔවුන් කොළඹ කොටස් වෙළෙඳපොළට යොමු කළ ලිපිය මෙහිදී තීරණාත්මක සාක්ෂියක් සපයනවා. ආසියාවේ විශාලතම ගෑස් ගබඩා සංකීර්ණයක් ලෙස හුවා දැක්වූ මේ කියන පර්යන්තයේ හිමිකාරිත්වය විකිණීමට හෝ නව ආයෝජකයන් සෙවීමට ඔවුන්ට සිදුව ඇත්තේ, ණය බර සහ ද්‍රවශීලතා අර්බුදය හමුවේ සමාගමේ මෙහෙයුම් කටයුතු අඩාල වී ඇති නිසා කියන එක තමයි පෙනෙන්නේ. අඛණ්ඩව ණයවර ලිපි නිකුත් කිරීමේ සහ ඩොලර් සපයා ගැනීමේ දුෂ්කරතාවන්ට සමාගම මුහුණ දී සිටින බව මෙයින් පේනවා. ඉතින් ඇමරිකානු සම්බාධක ප්‍රශ්නයකුත් මේ උඩට ඇවිත් තිබෙනවා නම් තත්ත්වය බරපතළයි. මේ තත්ත්වය උඩ 25%ක් විතර වෙන සමස්ත ලාෆ්ස් පාරිභෝගිකයන්ට දෙවියන්ගේම පිහිටයි. අන්න ඒ නිසයි අපි රජයට කියන්නේ වහාම මේ ප්‍රශ්නයට බරපතළ විදිහට මැදිහත් වෙන්න කියලා.

දැන් අපිට ලිට්‍රෝ වෙත යන්න පුළුවන්. ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේ සඳහන් කරුණු අනුව ශ්‍රී ලංකාවේ LPG පරිභෝජනය දිනකට මෙට්‍රික් ටොන් 1,000ක් විතර වෙනවා. අවුරුදු තුනක් ගතවෙලා 2026 වෙනකොට මේ ප්‍රමාණය තවත් වැඩිවෙලා ඇති. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් කියන්නේ ලංකාවේ දෛනික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1200ත් 1300ත් අතර කියලා. මේ විගණන වාර්තාවට අනුව මාසික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 25,000ත් 30,000ත් අතර ප්‍රමාණයක්.

එම වාර්තාව කියන විදිහට රාජ්‍ය සමාගමක් වුණ ලිට්‍රෝ ගෑස් සමාගමේ 2023 වාර්ෂික වාර්තාව අනුව රටේ වාර්ෂික LPG අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 330,000ක්. එම අවශ්‍යතාවෙන් සියයට 82ක් ගෘහස්ථ පරිභෝජනය වෙනුවෙන් තමයි වෙන් වෙන්නේ. සියයට 6ක් වාණිජ අවශ්‍යතා වෙනුවෙන් වෙන් වෙනවා, සියයට 12ක් තොග සහ කාර්මික අවශ්‍යතා සඳහා යොදාගන්නවා කියලා තමයි විගණන වාර්තාව කියන්නේ.

ඉතින් මේ සමස්ත අවශ්‍යතාවයෙන් අපි සියයට 95ක්ම ආනයනයෙන් තමයි සපයා ගන්නේ. බොරතෙල් පිරිපහදුව හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට එන ප්‍රමාණය සියයට 5ටත් අඩුයි.

දැන් ඔබට පැහැදිලි වෙන්න ඕන ගෑස් සැපයුම අඛණ්ඩව නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා ආනයන කොන්ත්‍රාත්, නෞකා පැමිණීම, වරාය පහසුකම්, ගබඩා ධාරිතාව සහ බෙදාහැරීමේ ජාලය කියන මේ සියල්ල නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඒකට රාජ්‍ය මැදිහත්වීම සහ නියාමනය තිතට තියෙන්න ඕන. අද නැතිවෙලා තියෙන්නේ අන්න ඒ මැදිහත්වීම.

මෙවැනි තත්ත්වයක් යටතේ එක් ආනයනකරුවකු හෝ බෙදාහරින්නකු මුහුණ දෙන ගැටලුවක් වුණත්, ඔවුන් එක් අයෙකු සිදුකරන අත්තනෝමතික ක්‍රියාවක් වුණත් සමස්ත වෙළෙඳපොළටම විශාල බලපෑම් කරනවා. මේ වෙලා තිබෙන්නේ ඒක. දැන් අපි බලමු මොකක්ද මෙතන තිබෙන අනෙක් ප්‍රශ්නය කියලා.

ලිට්‍රෝවේ කළමනාකරණ දුර්වලතා සහ හිස ඔසවන ගෑස් කළු කඩ

දැන් අපි ලිට්‍රෝ ගෑස් ගැන කතා කරමු. අපේ ගෑස් අවශ්‍යතාවයෙන් 70%ක් විතර සපයන්නේ රජය සතු මේ සමාගම.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මේ වෙනකොට ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ, ඇමරිකා එක්සත් ජනපදයෙන් සිය නිෂ්පාදන සපයාගන්නා, ස්විට්සර්ලන්තය පදනම් කරගත් ‘ජියෝ ගෑස් ට්‍රේඩින්’ සමාගමට. මම මුලින්ම හිටපු බලශක්ති අමාත්‍යවරයා උපුටා දක්වමින් මේ සමාගම ගැන ඔබට යමක් කීවා. හිටපු අමාත්‍යවරයා කියන විදිහට නම් ටෙන්ඩරයේ තිබුණු සුදුසුකම් සියල්ල සපයන්නට මේ සමාගමට නොහැකි වෙලා තියෙද්දි, ඇමරිකාවේ බලපෑමට තමයි මේ සමාගමට මේ ගෑස් ටෙන්ඩරය පිරිනමලා තියෙන්නේ.

ජියෝ ගෑස් ට්‍රේඩින් සමාගමට මෙට්‍රික් ටොන් 380,000ක් (20%ක අඩුවීමක් හෝ වැඩිවීමක් සහිතව) සැපයීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා කියලා, ඒ කාලේ දත්ත පරිශීලනය කළාම අපිට පේනවා.

ජියෝ ගෑස් ට්‍රේඩින් සමාගම සිය සැපයුම්වලින් වැඩි ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයෙන් ලබා ගන්නවා කියලා තමයි ලිට්‍රෝ සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඔහු එක් වෙලාවක මේ ගැන සඳහන් කරමින් කියලා තිබෙනවා මෙහෙම – “මෙය අප පළමු වරට වැඩ කරන නව සමාගමක්”.

2026 ජනවාරි මාසයේ ඉඳලා මාස 12ක කාලයක් වෙනුවෙන් ජියෝ ගෑස් සමාගම අපිට ගෑස් දෙන්න පොරොන්දු වෙලා තිබෙන්නේ. නමුත් වර්තමාන තත්ත්වයත් එක්ක මේ සැපයුම අඩාල වෙලා ප්‍රමාද වෙලා තිබෙනවා. අන්න එතන තමයි රජයේ නියාමන කාර්යභාරය ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ.

දැන් අපිට යන්න පුළුවන් ලිට්‍රෝ සමාගම මේ වර්තමාන තත්ත්වය ගැන කියන්නේ කුමක්ද කියන එක සොයලා බලන්න.

ලාෆ්ස් ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම අඩාල වුණාට පස්සේ ඔවුන්ට අමතර බරක් පැටවෙනවා. නමුත් රාජ්‍ය සමාගමක් විදිහට ඔවුන්ට ඒකෙන් මිදිලා පැනලා යන්න බෑ. නමුත් ඔවුන් අලුත් ගෑස් සිලින්ඩර නිකුත් කරන්නේ නෑ. එතකොට එතනත් පාරිභෝගිකයාට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා. ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් විතරක් තිබුණු මනුස්සයෙක් ලිට්‍රෝ එකට මාරුවෙනවා නම් ඔහුට කළු කඩයේ සරණ විතරයි දැන් උරුම වෙලා තියෙන්නේ. ඒ අනුව කළු කඩයේ හිස් ගෑස් සිලින්ඩර හිතූ හිතූ ගණන්වලට අලෙවි වෙමින් තිබෙනවා. සමහර කළුකඩකරුවන් කිලෝ 5හේ පුංචි ගෑස් සිලින්ඩරයක් ගෑස් සහිතව අලවි කරන්නේ රුපියල් විසි දහසකට වඩා වැඩි මිලකට. ගෑස් අනිවර්‍යය වුණ නාගරිකයාට දෙපාරක් හිතන්න බෑ. මේ මිල ගෙවලා ලාෆ් එකෙන් ලිට්‍රෝ එකට මාරුවෙනවා හැර වෙන විකල්පයක් ඔහුට නෑ

ලිට්‍රෝ කියන විදිහට එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 3,000ක තොගයක් රැගත් FRANCOIS නෞකාව පහුගිය 27 දවසේ ලංකාවට ඇවිත් තිබෙනවා. මීට අමතරව තවත් එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 3,900ක තොගයක් රැගත් නැවක් ඔක්තෝබර් 31 වැනිදා වරායට පැමිණෙන්න නියමිතයි කියලා තමයි සමාගම කියන්නේ. ඒ අනුව දිනකට සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන් වෙයි කියලා ඔවුන් විශ්වාස කරනවා.

ලිට්‍රෝ සමාගම කියන විදිහට ඔවුන් සාමාන්‍යයෙන් දෛනිකව ගෑස් මෙට්‍රික් ටොන් 1150ක් විතර මීට කලින් වෙළෙඳපොළට දාලා තිබෙනවා. ලාෆ්ස් සමාගමේ ඇතිව තිබෙන තත්ත්වය නිසා මේ වෙනකොට ලිට්‍රෝ ගෑස් ඉල්ලුම මෙට්‍රික් ටොන් 1650 ක් දක්වා මෙට්‍රික් ටොන් 500කින් ඉහළ ගිහින් තිබෙනවා.

මේ ගෑස් තදබදයට හේතුව ඒක කියලා ලිට්‍රෝ සමාගම කීවට, මාස දෙකක ඉඳලා මේ ගැන හිතලා සැලසුම් සහගතව වැඩ කළා නම් ලිට්‍රෝ කියන රාජ්‍ය සමාගමට ලංකාවේ ගෑස් වෙළෙඳපොළ පූර්ණ වශයෙන් ග්‍රහණයට අරගෙන ව්‍යාපාරිකවත් සාර්ථක වෙන්න තිබුණා.

වර්තමාන රජය රාජ්‍ය සමාගම් ලාභ ලබන ආයතන බවට පත් කරන්නට වෙහෙසෙන පසුබිමක ඇයි ලිට්‍රෝ මේක නොකළේ? මටනම් හිතෙන්නේ මෙතන ලාෆ්ස් වැටුණු නිසා මේක වුණා කියන එකට වඩා විශාල ප්‍රශ්නයක් තිබෙනවා කියන එකයි.

මම කැමතියි ඒක මේ විදිහට සාරාංශගත කරන්න. ලාෆ්ස් වැටුණු නිසා ගෑස් හිඟයක් ආවා ඒක හරි. ඒ එක්කම විදෙස් සංචිත පිළිබඳවත් බරපතළ ප්‍රශ්නයක් මේ වෙනකොට උද්ගතව තිබෙනවා. අනෙක් පැත්තෙන් ලිට්‍රෝ ගෑස් සැපයුම්කාර සමාගමේ ධාරිතාව පිළිබඳ ප්‍රශ්නයත් මෙතන තිබෙනවා. ඒ නිසා මේ සියලු ප්‍රශ්නවල එකතුවක් තමයි වර්තමාන ගෑස් හිඟය අස්සේ තිබෙන්නේ.

රජය කියනවා නම් ඩොලර් ප්‍රශ්නයක් නෑ කියලා, ඔවුන් හදිසි මිලදී ගැනීම් කරලා හෝ මේ ගෑස් හිඟය නැතිකරන්න කටයුතු කරන්න ඕන.

අනෙක් පැත්තෙන් ලිට්‍රෝ ගෑස් සමාගම අලුත් නිල් සිලින්ඩර ජනතාවට දෙන්න ඕන. එහෙම නැත්නම් ලාෆ්ස් ප්‍රශ්නය විසඳෙනකම් තාවකාලිකව හෝ කහ පාට ගෑස් සිලින්ඩර සඳහා නිල් පාට ගෑස් සිලින්ඩර ලබාගැනීමේ අයිතිය පාරිභෝගිකයාට දෙන්න ඕන. මේ කිසිදෙයක් කරන්නේ නෑ කියන්නේ කළු කඩකාරයෝ ශක්තිමත් කරනවා කියන එකයි.

-කේ. සංජීව-

Leave a Comment

Your email address will not be published. Required fields are marked *