K News

Trending Now

සිරසට කෝටි 10.4ක් දුන් ‘අරුම පුදුම’ කැබිනට් තීන්දුව..!

සිරස මාධ්‍ය ජාලයට රුපියල් කෝටි 10.4ක් ලබාදීමේ කැබිනට් තීරණය

ජනාධිපතිවරයා පසුගිය කාලයේ දිගින් දිගටම කියාසිටියේ දැන් අපිට තිබෙන්නේ ඩොලර් ප්‍රශ්නයක් බවය. ඩොලර් තිබේ නම් අනෙක් ඒවා හරි බව එයින් ඇඟවේ. රටට ඩොලර් නිකන් පාවී එන්නේ නැත. ඒකට අපනයන ආර්ථිකය දියුණු වෙන්න ඕනෑය. අනෙක් පැත්තෙන් විදේශ ශ්‍රමිකයන් රටට එවන විදේශ විනිමය වැඩිවෙන්නට ඕනෑය. අනෙක් පැත්තෙන් ආනයන අඩුවී ඩොලර් පිටතට ගලාගෙන යාම සීමා වන්නට අවශ්‍යය. එමෙන්ම සංචාරක කර්මාන්තය දියුණු කිරීම හරහා සහ ප්‍රවර්ධනය හරහා අපිට ඩොලර් ආදායම වැඩිකරගත හැකිය. ඒ සඳහා හැම අයවැයකින්ම නිශ්චිත මුදලක් වෙන් වෙයි. එසේ වෙන්වුණ මුදල් කන්දක් සිරස මාධ්‍ය ආයතනයට බෙදාදී ඇතැයි වාර්තා වෙයි. හාල් කිලෝ එකට, හාල් මැස්සාට ආදී වශයෙන් බදු කන්දකට ජනතාව යටකර ජනීජනයාගෙන් සූරාගන්නා මහජන බදු මුදල් මෙසේ සේදුම්කාරක නඩත්තුව සහ ප්‍රවර්ධනය සඳහා යොදාගැනීම පිළිකුල දනවයි.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ජනතාවගේ බදු මුදලින් අරමුදල් වෙන් කරන්නේ, විදේශීය සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමේ පරම අරමුණෙනි. එහෙත්, නව රජය යටතේ දූෂණයෙන් සහ නාස්තියෙන් තොර “පද්ධතිමය වෙනසක්” අපේක්ෂා කළ ජනතාවට, තිරය පිටුපස සිදුවුණ මහා පරිමාණ දූෂණයක් පිළිබඳව කරුණු වාර්තා වී ඇත.

මොකක්ද මේ සිද්ධිය?

ආසියානු විකාශන සංගමයේ 63 වන මහා සමුළුවට මුවාවෙමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදලින් රුපියල් දසකෝටි හතළිස්හය ලක්ෂයකට අධික (රු. 104,603,876.00) අතිවිශාල මුදලක් ජනප්‍රිය දේශීය මාධ්‍ය ජාලයක් වන MTV චැනල් (පුද්ගලික) සමාගමට නැතිනම් අපි කවුරුත් හඳුනන ‘සිරස’ වෙත අනුග්‍රාහක මුදල් ලෙස ලබා දීම මෙම මතභේදාත්මක සිද්ධියයි. මෙසේ අතිවිශාල මුදලක් එම ආයතනය වෙත ලබාදී ඇත්තේ කැබිනට් තීරණයක් අනුව යමින්ය.

මෙම මුදල සරල අනුග්‍රාහකත්වයක් නොවන බව කිවයුතුය. මෙය රාජ්‍ය මූල්‍ය රෙගුලාසි, ප්‍රසම්පාදන නීති සහ ජාත්‍යන්තර ප්‍රවර්ධන අරමුණු අමු අමුවේ උල්ලංඝනය කරමින් සිදුකළ බරපතළ දූෂණයක් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් බව නිල ලේඛන මගින් තහවුරු වේ.

ලේඛන කතා කරයි : කැබිනට් පත්‍රිකාවේ සැඟවුණු කතාව

2026 සැප්තැම්බර් 17 දිනැතිව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් T/2026/14 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනු ලබන අතර ඉන් දින 11කට පසු, එනම් 2026 සැප්තැම්බර් 28 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය (කැබිනට් පත්‍රිකා අංක CP 26/1947/807/035 යටතේ) මීට අනුමැතිය ලබා දී ඇත. බැලූ බැල්මට මෙය තවත් එක් කැබිනට් තීරණයක් පමණක් වුවද, ගැටලුව ඇත්තේ මෙම මුදල සපයා ගත් ආකාරය සහ ඊට අදාළව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව (Board Paper) සකසා ඇති ආකාරය තුළය.

රටේ සංචාරක කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා අයවැයෙන් රුපියල් මිලියන 350ක මුදලක් වෙන් කර තිබුණේ “Promotion of Destination through Channels Coinciding with International activities through TV Advertising (International)” යන ශීර්ෂය යටතේය. මෙම මුදල් වැය කළ යුත්තේ CNN, BBC, Al Jazeera වැනි ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගත් මාධ්‍ය ජාල හරහා ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමටය.

නමුත් කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවේ 15.1 වගන්තිය මගින් කර ඇත්තේ අරුම පුදුම මූල්‍ය මැජික් එකකි. ඔවුන් ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රචාරණයට වෙන් කළ මුදලින් රුපියල් 104,603,876.00ක මුදලක් කපා හැර, එය “Local Media budget 2026 Local Media FAMS/Media Gatherings” (දේශීය මාධ්‍ය/මාධ්‍ය හමුවීම්) නැමැති වෙනත් අයවැය ශීර්ෂයක් වෙත අභ්‍යන්තර මුදල් මාරුකිරීමක් (Budget Transfer) ලෙස යොමු කර ඇත. ජාත්‍යන්තර ප්‍රචාරණයට ඇති අරමුදලක්, දේශීය පුද්ගලික රූපවාහිනී සමාගමක මඟුල් ගෙයක් වෙනුවෙන් මෙලෙස හරවා යැවීමෙන් අදහස් වන්නේ කුමක්ද? සංචාරකයන් ගෙන්වා ගැනීමේ ජාතික අරමුණ පසෙකලා, දේශීය සමාගමක් පෝෂණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කර ඇති බව නොවේද?

මෙහි ඛේදවාචකය වන්නේ, මෙම තීරණය සඳහා සහකාර අධ්‍යක්ෂවරුන්ගේ සිට සභාපතිවරයා දක්වා ඉහළ පෙළේ නිලධාරීන් (සුරේෂ්නි එල්ලේපොල, තාරේන්ද්‍රි රණවීර, අංජුල ප්‍රේමතිලක, ඩී.එම්.එස්.ඒ. නිරෝෂණ සහ බුද්ධික හේවාවසම්) සිය නිර්දේශ සහ අනුමැතිය ලබා දී තිබීමයි.

බිල ගෙවන්නේ ජනතාවද? කෝටි 10.4ක වියදම් ලැයිස්තුවේ විහිළුව

මේ සා විශාල අනුග්‍රාහකත්වයක් ලබා දීමේදී ඉදිරිපත් කර ඇති ඇස්තමේන්තුව දෙස බැලීමේදී, රාජ්‍ය මුදල් කෙතරම් සෙල්ලමකට ගෙන ඇත්දැයි පැහැදිලි වේ.

* දින 5ක සමුළුවේ හෝටල් ආහාර පාන සහ ශාලා ගාස්තු : රුපියල් මිලියන 46.5යි.
* එක් දින විනෝද චාරිකාවක් (බෙන්තොට සහ ගාල්ල) : රුපියල් මිලියන 12.6යි.
* ප්‍රසංග හා නිෂ්පාදන වියදම් : රුපියල් මිලියන 24.6යි.

මෙහි වඩාත්ම පිළිකුල්සහගත කරුණ වන්නේ, මෙම බිලට එකතු වී ඇති 18%ක එකතු කළ අගය මත බද්ද (VAT) සහ 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) පවා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදලින්ම ගෙවීමට කටයුතු කර තිබීමයි. එනම්, බදු ගෙවන ජනතාවගේ මුදලින්, පුද්ගලික ආයතනයක් රජයට ගෙවිය යුතු බදු මුදල ද පියවා ඇත ! අහෝ සිරසට මෙතරම් සැලකිල්ලක් කිම?

රාජ්‍ය ප්‍රසම්පාදනය ‘N/A’ (අදාළ නොවේ) වූයේ කෙසේද?

රජයේ මුදල් සතයක් හෝ වැය කිරීමේදී ඊට අදාළ ප්‍රසම්පාදන (Procurement) ක්‍රියාවලියක් අනුගමනය කිරීම අනිවාර්ය වේ. තරගකාරී මිල ගණන් කැඳවීම, විනිවිදභාවය සහ පිරිවැයට සරිලන ප්‍රතිලාභයක් (Value for Money) රජයට ලැබෙනවාද යන්න එහිදී තහවුරු කළ අනිවාර්ය කොන්දේසීන්ය. මේවා පිළිබඳව වර්තමානයේ නිරන්තරව කරුණු වාර්තා වෙයි. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මේ දිනවල සිදුකරමින් සිටින විපක්ෂයට බර පැටවෙන විමර්ශනයන් හරහාය. දැන් ඉතින් ආණ්ඩුව දෙසට එල්ලවෙන මේ චෝදනා පිළිබඳවත් රංග දිසානායක ප්‍රමුඛ එම කොමිසමට විමර්ශන කළ හැකිය. එසේ විමර්ශනයන් සිදුකර නීතිය කාටත් එක සමාන බව පෙන්විය හැකිය.

නැවත අප මෙම ගනුදෙනුව වෙත ගියහොත්, රුපියල් කෝටි 10කට අධික මෙම ගනුදෙනුවට අදාළ නිල ලේඛනවල “Details of the procurement decisions obtained or going to be obtained” (ලබා ගත් හෝ ලබා ගැනීමට යන ප්‍රසම්පාදන තීරණ පිළිබඳ විස්තර) යන කොටසේ සඳහන් වන්නේ අකුරු තුනක් පමණි. ඒ “N/A” (Not Applicable – අදාළ නොවේ) යන්නයි. මේ මඟින් රාජ්‍ය මූල්‍ය රෙගුලාසි මුළුමනින්ම උල්ලංඝනය කරමින්, කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් හෝ ප්‍රමිතියකින් තොරව පුද්ගලික ආයතනයකට ජනතා මුදල් සෘජුවම බැර කිරීමට කටයුතු කර ඇති බව මොනවට ඔප්පු වේ.

ජනාධිපතිවරයාගේ කොන්දේසිය සහ නිලධාරීන්ගේ හදිසිය

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 සැප්තැම්බර් 28 දින මෙයට අදාළ නිරීක්ෂණ සටහන තබා ඇත. එහිදී ඔහු ප්‍රතිපත්තිමය එකඟතාව පළ කරමින් දැඩි කොන්දේසියක් පනවා තිබී ඇත. “වියදම සාධාරණීකරණය වන පරිදි අපේක්ෂිත ප්‍රතිලාභ මැනිය හැකි ගිවිසුමක් (MoU) ඇති කළ යුතු බවත්, වියදම් කාර්යාංශයේ අනුමත ප්‍රතිපාදන තුළින් පමණක් දැරිය යුතු බවත්’ එහි දක්වා ඇත.

නමුත් ජනාධිපතිවරයාගේ කොන්දේසිය ගැන තැකීමක් නොකළ නිලධාරීන් ගෙවීම් කාලසටහන සකසා ඇත්තේ පුදුමාකාර හදිසියකිනි.

* පළමු ගෙවීම (60%): රුපියල් 62,762,326.00ක් 2026 සැප්තැම්බර් 30ට පෙර. (එනම් කැබිනට් අනුමැතිය ලැබී දින දෙකක් ඇතුළත අත්තිකාරම් ලෙස!).
* අවසන් ගෙවීම (40%): රුපියල් 41,841,550.00ක් 2026 නොවැම්බර් 15ට පෙර.

ප්‍රතිලාභ මැනිය හැකි ගිවිසුමක් සකස් කිරීමටත් පෙර, සමුළුව පවත්වා නිමවීමටත් පෙර, සමස්ත මුදලින් 60%ක් දින දෙකක් ඇතුළත නිදහස් කිරීමට තරම් සංචාරක කාර්යාංශය ක්‍රියාත්මක වූයේ කාගේ වුවමනාවටද?

මුහුණු පමණක් වෙනස් වුණාද?

පසුගිය රජයන් සමයේ සිදුවූ මහා පරිමාණ වංචා, දූෂණ සහ සහචරයන්ට වරදාන ලබාදීම් (Cronyism) දැඩි ලෙස විවේචනය කරමින්, යහපත් රාජ්‍ය මූල්‍ය විනයක් ස්ථාපිත කරන බවට පොරොන්දු වී බලයට පැමිණි වත්මන් රජය යටතේ මෙවැනි දෙයක් සිදුවීම බරපතළ ඛේදවාචකයකි. දේශීය මාධ්‍ය ජාලයකට අයත් සමුළුවක් වෙනුවෙන්, සංචාරක අරමුදලින් මෙලෙස කෝටි ගණනින් මුදල් පොම්ප කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක.

මෙය හුදෙක් මුදල් නාස්තියක් පමණක් නොව, බලය සහ මාධ්‍ය අතර පවතින අශුද්ධ සන්ධානයක ප්‍රතිඵලයක් දැයි සැක මතු කරයි. ජාත්‍යන්තර ප්‍රවර්ධනයට වෙන් කළ මුදල් කොල්ලකෑමට ඉඩ දුන්නේ කවුද? අදාළ නොවේ (N/A) යැයි කියමින් ප්‍රසම්පාදන නීති කුණු කූඩයට දැමීමට රාජ්‍ය නිලධාරීන්ට බලය දුන්නේ කවුද?

මෙම රුපියල් කෝටි 10.4ක ගනුදෙනුව සම්බන්ධයෙන් වහාම ස්වාධීන විගණනයක් සිදු කළ යුතුව ඇති අතර, ඉදිරි ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බලධාරීන් පියවර ගත යුතුය. එසේ නොමැති වුවහොත්, “දූෂණය පිටුදැකීම” යනු හුදෙක් මැතිවරණ වේදිකාවට පමණක් සීමා වූ තවත් එක් හිස් සටන් පාඨයක් බව ජනතාව තේරුම් ගනු ඇත.

මෙම සමුළුවට උදව් කරන්නට රජයට අවශ්‍ය වූවේ නම් එය ජාතික නාලිකාව හරහා කරන්නට තිබුණි. නමුත් ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය හෝ රජය එය එසේ කළේ නැත. සිරසට මඟුල් කන්නට අවස්ථාව ලබාදී ඇත. සිරස මඟුල් ගෙදර සංවිධානය කර සම්මාන ද ලබාගෙන තම සන්නාමය ප්‍රවර්ධනය කරගෙන ඇත. රටේ සන්නාමය විදේශයේ ප්‍රවර්ධනයට වෙන් කළ ජනතා බදු මුදල් විනාශ වී ඇත. පසුගිය දා අස්වැසුම කපාහරින ලද බවත් මීට පසුව එය ලබාදෙන්නේ අත්‍යවශ්‍යම ටික දෙනාට පමණක් බව කියා පෝයක් ගෙවෙන්නටත් මත්තෙන් රජය සල්ලි කන්දක් පුද්ගලික සමාගමට වීසිකර ඇත.

සිරස හෝ මහරාජා ආයතනය මාධ්‍ය කරන්නේ බිස්නස් එකක් විදිහටය. ඔවුන්ට එම බිස්නස් එකෙන් අහේනියක් හෝ පාඩුවක් නැත. රජය ජනතා බදු මුදල් එම බිස්නස් එක ප්‍රවර්ධනය කරගැනීමට මෙසේ වීසි කරන්නේ ඇයි? එයට හේතුව සිරසා නමාමි කියමින් සිරස ආයතනය ආණ්ඩුව ආරක්ෂා කරන්නට සහ ආණ්ඩුව වෙනුවෙන් ජනතාවගේ මොළ සෝදන්නට කරන දෛනික මෙහෙය නිසා වන්නට පුළුවන්ය. ඒ අර්ථයෙන් මෙය අල්ලස් ලබාදීමක් ලෙසත් අර්ථකථනය කරන්නට පුළුවන්ය. එනිසා දැන් අපිට බලාගෙන සිටින්නට තිබෙන්නේ රංග දිසානායක දෙසය…!

-කේ. සංජීව-

1 thought on “සිරසට කෝටි 10.4ක් දුන් ‘අරුම පුදුම’ කැබිනට් තීන්දුව..!”

  1. Pingback: සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පොදු දේපළක් නොවේද?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *