K News

Trending Now

කථානායක මොකද්ද මේ කරන්නේ? – අදත් පාර්ලිමේන්තුව උණුසුම්

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව සහ චෝදනා 50

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මතු කළ වරප්‍රසාද ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ඉඩ නොදීම හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

මුලදී මෙම වරප්‍රසාද ප්‍රශ්නය භාරදීම සඳහා කථානායකවරයාගේ කාර්යාලයට පැමිණෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දන්වා ඇති අතර, ඒ අනුව ඔහු එම කාර්යාලයට යන විට කථානායකවරයා කාර්යාලයේ සිට නැත. එම තත්ත්වය තුළ වරප්‍රසාද ප්‍රශ්නය කථානායක කාර්යාලයේ නිලධාරියෙකුට භාරදී ඇත.

පසුව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව දැනුම් දී ඇති අතර, ඒ අනුව එම වරප්‍රසාද ප්‍රශ්නය නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිට භාරදී ඇත. එහිදී ද එම වරප්‍රසාද ප්‍රශ්නය මතු කිරීම සඳහා අවස්ථාව ලබාදී නැත. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ මෙම උණුසුම් තත්ත්වය ඇති වූ අතර, නියෝජ්‍ය කථානායකවරයාගේ එම තීන්දුව ද ස්ථාවර නියෝගවලට පටහැනි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළ ද එය ප්‍රතික්ෂේප කර ඇත.

මේ අනුව වර්තමාන කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විශාල දේශපාලන ආරවුලක් බවට පත්වී ඇත.

වර්තමාන කථානායකවරයා අරබයා ඇතිව තිබෙන මේ ආරවුලේ ඉතිහාසය දෙස බලන විට පෙනෙන්නේ මෙහි කේන්ද්‍රය වන්නේ කථානායකවරයාගේ පෞද්ගලික බැඳීමක් බවය. කථානායකවරයාට සමලිංගික හෝ විෂම ලිංගික හෝ ප්‍රේමයක වෙළෙන්නට, පවත්වාගෙන යන්නට කාගෙන්වත් බාධාවක් නැත. නමුත් ඒ ප්‍රේමය රාජ්‍ය යාන්ත්‍රණයට යම් යම් බලපෑම් කරනවා නම් එය විශාල ගැටලුවකි. කථානායකවරයා යනු රටේ දෙවැනි පුරවැසියාය. ඔහු ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියාය. එහෙම නිලධාරියෙකුගේ ලිංගික අභිලාෂයන් රාජ්‍ය යාන්ත්‍රණයට බලපෑම් එල්ල කරයි නම් එය බරපතළ තත්ත්වයකි. මෙහිදී ජනාධිපතිවරයාට සහ අගමැතිතුමියට මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳාගැනීම සඳහා පෙරමුණ ගත හැකිය. අවශ්‍ය නම් පැලවත්තේ ප්‍රධානියා වන ටිල්වින් සිල්වා මහතාට ද පෙරමුණ ගත හැකිය. කුමක් හෝ කර පාර්ලිමේන්තුව අකර්මණ්‍ය නොකර ඉක්මනින් මේ ප්‍රශ්නය විසඳිය යුතුය.

කථානායකවරයාට චෝදනා 50කින් පමණ යුතු විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර එම චෝදනා බරපතළ බව කිවයුතුය. මේ චෝදනාවන් පිළිබඳව මේ වනවිට අධිකරණ ක්‍රියාවලියක් මෙන්ම අල්ලස් කොමිසමේ විමර්ශනයක් ද ආරම්භ වී ඇත. එම තත්ත්වය තුළ හොඳම දේ කථානායකවරයා තාවකාලිකව හෝ කථානායක ධුරයෙන් ඉවත්ව ස්වාධීන විමර්ශනයක් සඳහා මඟ සැලසීමය.

කථානායකවිශ්වාසභංගයේ තිබෙන කරුණු මොනවාද?

ද්විත්ව නිල නිවාස භාවිතය : කථානායකවරයාට බත්තරමුල්ල, රජමල්වත්ත ප්‍රදේශයේ නිල නිවසක් (ආයතන සංග්‍රහය යටතේ) හිමිව තිබියදීත්, එය භාවිත කරන අතරතුර, කොළඹ 04, ලෝරිස් පටුමගෙහි පිහිටි අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා වෙන් කර ඇති මහල් නිවාස සංකීර්ණයෙන් ද නිල නිවසක් (අංක 8/1) 2025 ජනවාරි සිට නීති විරෝධීව ලබාගෙන භාවිත කිරීම මගින් බලය අනිසි ලෙස යොදාගෙන රජයේ දේපළ අවභාවිත කිරීම (මෙය 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ දූෂණයක් ලෙස ද දැක්වේ).

අනවශ්‍ය කාර්ය මණ්ඩල වියදම් : ද්විත්ව නිල නිවාස භාවිතය අතරතුර, බත්තරමුල්ලේ නිල නිවස නඩත්තුවට 8 දෙනෙකුගෙන් යුත් පෞද්ගලික කාර්ය මණ්ඩලයක් පත් කර, ඔවුන්ගේ මාසික වැටුප් හා දීමනා (රු. 760,000 කට අධික) සහ එම නිවසේ ජල/විදුලි බිල්පත් ඇතුළු නඩත්තු වියදම් පාර්ලිමේන්තු ගිණුමෙන් ගෙවීම හරහා පාර්ලිමේන්තුවට බරපතළ මූල්‍යමය අලාභයක් සිදු කිරීම.

පෞද්ගලික ලේකම්ට නිල නිවසක් ලබා දීම : නිල නිවාස අහිමි අමාත්‍ය/නියෝජ්‍ය අමාත්‍ය/ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා වන කොළඹ 04, ලෝරිස් පටුමග සුඛෝපභෝගී සංකීර්ණයෙන් සිය පෞද්ගලික ලේකම් වමීර ප්‍රියසංඛ ගාල්ලගේ මහතාට ද නිල නිවසක් (අංක 4/3) ලබා දීමට පෞද්ගලිකව මැදිහත් වී රජයට මූල්‍ය පාඩුවක් කරමින් රාජ්‍ය දේපළ අවභාවිතයට ආධාර අනුබල දීම.

දේපළ අනවසරයෙන් පිට කිරීම සහ වසන් කිරීම : බත්තරමුල්ලේ නිල නිවසේ උපලේඛනගත භාණ්ඩ (ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා ආදිය) නිසි අනුමැතියකින් තොරව පිටතට ගෙන්වා ගැනීම. මේ පිළිබඳව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම පරීක්ෂණයක් පවත්වන අතරතුර, අදාළ භාණ්ඩ ලේඛනය අස්ථානගත වී ඇති බව එම නිවසේ සේවකයෙකු (කථානායක පත්කළ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයෙක්) විසින් දැනුම් දීම. මෙය විමර්ශනයකට අදාළ ලේඛන සැඟවීම/විනාශ කිරීම සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනතේ 127 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවට සාධාරණ සැකයක් මතු වීම.

පාර්ලිමේන්තුව සහ මහජනතාව නොමඟ යැවීම : බත්තරමුල්ලේ නිල නිවස කිසිදු රාජකාරි හෝ පෞද්ගලික කටයුත්තකට භාවිත නොකරන බවට කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවට, පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ප්‍රකාශ කර තිබියදීත්, එය තමන් සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම් සඳහා භාවිත කරමින් සියලු පාර්ශ්ව නොමඟ යවා මහජන විශ්වාසය කඩ කිරීම.

සාවද්‍ය පරිහරණය : ලෝරිස් පටුමගේ නිවස භාවිත කරන අතරම, බත්තරමුල්ලේ නිල නිවස පෞද්ගලික භෝජන සංග්‍රහ සහ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගනිමින් සාපරාධී සාවද්‍ය පරිහරණයක සහ විශ්වාසය කඩ කිරීමක නිරත වීම.

භෝජනාගාර පහසුකම් අවභාවිතය : කථානායකවරයාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට ආහාර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ වෙන වෙනම ස්ථාන වෙන් කර ඇති (ගාස්තු ද වෙනස් වේ) පසුබිමක, පෞද්ගලික ලේකම්වරයා සමග කථානායකගේ පෞද්ගලික භෝජනාගාරයේ දිවා ආහාරය ගනිමින් අදාළ ගාස්තුව (අමුත්තෙකු සඳහා වන මුදල) නොගෙවා පාර්ලිමේන්තුවට මූල්‍ය පාඩුවක් කිරීම.

අනවසර වාහන සහ ඉන්ධන භාවිතය : අනුමත නිල වාහන දෙකකට සහ උපරිම ඉන්ධන ලීටර් 900 කට අමතරව, සිය බලතල යොදා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට බලපෑම් කර, පාර්ලිමේන්තුව සතු තවත් වාහන (වෑන් රථයක් ඇතුළුව) පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම සහ ඒවාට අනුමත ඉන්ධන දීමනාවෙන් පරිබාහිරව ඉන්ධන ලබා ගැනීම.

නීතිවිරෝධී මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන යාම : හිටපු කථානායකවරයාට ඔහුගේ ධුර කාලය සඳහා පමණක් ලබා දී තිබූ මාධ්‍ය ඒකකයේ අනුමැතිය අවසන්ව තිබියදී, කිසිදු අනුමැතියකින් තොරව ‘කථානායක මාධ්‍ය ඒකකය’ නමින් ඒකකයක් පවත්වාගෙන යාම. මේ සඳහා පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකයේ උපකරණ අනීතිකව ලබා ගැනීම සහ පාර්ලිමේන්තු වියදමින් රථවාහන හා උපකරණ නඩත්තු කරමින් රජයට පාඩු කිරීම.

අනුමැතිය ලබා ගැනීමට අසද්භාවයෙන් කටයුතු කිරීම : අදාළ නීතිවිරෝධී මාධ්‍ය ඒකකයට අතීතයට බලපාන සේ නීත්‍යනුකූලභාවයක් ලබා ගැනීමට කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව නොමඟ යවමින් සහ අග්‍රාමාත්‍යතුමිය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් වෙත ඉල්ලීම් ඉදිරිපත් කළත් අනුමැතිය නොලැබුණු බව දැන දැනත් අඛණ්ඩව එකී ඒකකය නඩත්තු කිරීම.

අනවසරයෙන් කාරක සභාවලට සහභාගී වීම : පක්ෂ නායකයන් සහභාගී වන “පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව” සහ “පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාව” වැනි රහසිගත රැස්වීම්වලට නිසි අනුමැතියක් හෝ බලයක් නොමැතිව සිය පෞද්ගලික ලේකම්වරයාට සහභාගී වීමට ආධාර අනුබල දෙමින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීම.

තොරතුරු දැනගැනීමේ පනත උල්ලංඝනය කිරීම : සිවිල් සමාජ ක්‍රියාකාරීන් විසින් කථානායකගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය, මාධ්‍ය ඒකකය, වැටුප්, දීමනා සහ නිල රථ පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීම්වලට අදාළ තොරතුරු ලබා නොදෙන ලෙස පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත අවභාවිත කරමින් තොරතුරු නිලධාරීන්ට ලිඛිතව නියෝග කිරීම. මේ හරහා තමන් සිදුකරන මුදල් අවභාවිතය හෙළිවීම වැළැක්වීමට කටයුතු කිරීම දූෂණ විරෝධී පනත යටතේ වරදක් බව චෝදනා කෙරේ.

විමර්ශන නිලධාරීන් පත්කර පාඩු කිරීම : හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරයෙකු පිළිබඳව විමර්ශනය කිරීමට නීතිවිරෝධීව විමර්ශන නිලධාරියෙකු පත් කර, ඔහුට පාර්ලිමේන්තු ගිණුමෙන් රු. 274,975/- ක මුදලක් ගෙවීම සහ ආහාර/ප්‍රවාහන පහසුකම් ලබා දීම හරහා පාර්ලිමේන්තුවට මූල්‍ය පාඩුවක් කිරීම.

අනවශ්‍ය වියදම් මඟින් පාඩු කිරීම : කාර්ය මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මීට පෙර රුපියල් ලක්ෂ 20ක් වැය කර වාර්තාවක් සකස් කර තිබියදීත්, එය ප්‍රතික්ෂේප කරමින් අත්තනෝමතික ලෙස නව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර, ඒ සඳහා පාර්ලිමේන්තු ගිණුමෙන් රු. 3,262,477.42 ක මුදලක් වැය කර පාඩුවක් සිදු කිරීම.

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ පරීක්ෂණ : ඉහත චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව (අංක බීසී/0356/2026 බී – 206 යටතේ) විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම පරීක්ෂණයට පාර්ලිමේන්තු නිලධාරීන් සාක්ෂි ලබා දෙමින් සිටින අතරතුර, කථානායකවරයා සිය ධුරයේ කටයුතු කිරීම එකී විමර්ශනයට බාධාවක් බව.

විමර්ශනයට මැදිහත් වීම : විමර්ශනය පැවැත්වෙද්දී, කථානායකගේ උපදෙස් පරිදි පෞද්ගලික ලේකම්වරයා විසින් එම කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම්ගෙන් වාර්තාවක් කැඳවීම, දූෂණ විරෝධී පනත යටතේ පරීක්ෂණවලට බලපෑම් කිරීමක් බව. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කළ පැමිණිල්ලක් අනුව තවත් විමර්ශනයක් (AC/0695/2026) ආරම්භ කර ඇත.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ අවදානම : පාර්ලිමේන්තුවේ ප්‍රධානියා යටතේ සිටින නිලධාරීන්ට ඔහුට එරෙහිව අපක්ෂපාතීව සාක්ෂි දීමට හැකි ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතුවීම සහ, සාක්ෂි දෙන නිලධාරීන් කථානායක කාර්යාලයට කැඳවා සහ දුරකථනයෙන් බලපෑම් කරන බවට තොරතුරු වාර්තා වීම.

සදාචාරාත්මක අයිතිය අහිමි වීම : තමන් සම්බන්ධ විමර්ශනයකට අදාළ තොරතුරු ලබා දෙන නිලධාරීන්ට සෘජු බලපෑම් සිදුවන බවට කරුණු පවතින විට, කථානායක ධුරය තවදුරටත් දැරීමට කථානායකවරයාට නීත්‍යනුකූල හා සදාචාරාත්මක අයිතියක් නොමැති බව අවධාරණය කෙරේ.

මෙම ප්‍රධාන චෝදනා ඇතුළුව තවත් චෝදනා 27ක් විශ්වාසභංගයේ අන්තර්ගත වන අතර, මෙම චෝදනාවන් පිළිබඳව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ බීබීසී සිංහල වෙබ් අඩවිය වෙත පවසා ඇත්තේ, යෝජනාව විවාදයට ගන්නේ නම් ඊට මුහුණ දීමට කථානායකවරයා සූදානම් බවයි.

ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, යෝජනාවේ ඇති බහුතරයක් චෝදනා (නිල නිවාස, වාහන භාවිතය, මාධ්‍ය භාවිතය, භාණ්ඩ පිළිබඳ චෝදනා ආදිය) හිටපු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී චමින්ද කුලරත්න විසින් ගොනු කරන ලදුව දැනටමත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක අන්තර්ගත කරුණු බවයි. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව, අධිකරණයේ විභාග වන කරුණු විශ්වාසභංග යෝජනාවකට ඇතුළත් කළ නොහැකි බවත්, නඩු තීන්දුව ලැබෙන තුරු බලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම කිසිදු වංචාවක් සිදු කර නොමැති බැවින් මින් බියක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

කතානායක ජගත් වික්_රමරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *