මොරොක්කෝවේ සිට පැමිණි දහස් ගණනක් වූ සංක්‍රමණිකයන් ස්පාඤ්ඤයට අයත් ‘සෙවුටා’ (Ceuta) ප්‍රදේශයේ දේශසීමා බිඳ දමමින් බලහත්කාරයෙන් ඇතුළුවීම හේතුවෙන් දේශසීමාවේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්ත්වයත් සමඟ ස්පාඤ්ඤ මොරොක්කෝ දේශසීමාව සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති බවත් ව්‍යාකූල තත්ත්වය අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකුවත් මියගොස් ඇති බවත් වාර්තා වෙයි.

තත්ත්වය පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායට සහාය වීමටත්, යළි ආරක්ෂාව තහවුරු කිරීමටත් ස්පාඤ්ඤ රජය විසින් සිය සන්නද්ධ හමුදාවන් සෙවුටා දේශසීමාව වෙත යොමුකර ඇති අතර පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චෙස් සහ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සෙවුටා ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතය.
බොහෝ සංක්‍රමණිකයන් පිහිනීමෙන් හෝ තාරජාල් වෙරළ තීරයේ බාධක මඟහරිමින් ස්පාඤ්ඤ ප්‍රදේශයට ඇතුළු වී ඇති අතර ඔවුන්ගෙන් බහුතරය මොරොක්කෝ ජාතික තරුණයින් බවත් එම පිරිස් අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද සිටින බවත් වාර්තා වෙයි.

පසුගිය දින කිහිපය තුළ 1,500 කට අධික පිරිසක් මෙම ප්‍රදේශයට ඇතුළු වී ඇති බැවින් සෙවුටා හි සංක්‍රමණික කඳවුරු මේ වනවිටත් උපරිම ධාරිතාව ඉක්මවා ගොස් පිරී ඉතිරී ඇතැයි වාර්තා වෙන අතර ස්පාඤ්ඤ බලධාරීන් පවසන්නේ මෙම අර්බුදය පාලනය කිරීම සඳහා මොරොක්කෝ රජයේ පොලිසිය ද ඔවුන් සමග සමීපව කටයුතු කරමින් සිටින බවයි.
මෙම තත්ත්වය 2021 මැයි මාසයේදී සංක්‍රමණිකයන් 8,000කට වැඩි පිරිසක් දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ සෙවුටා වෙත ඇතුළු වීමෙන් ඇතිවූ දේශසීමා අර්බුදයට සමාන බව ප්‍රකාශ වෙයි.







