පසුගිය 27දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ, විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳ ව්‍යවස්ථා සංශෝධන පත්‍රිකාවට අදාළ ව්‍යවස්ථා කෙටුම්පත ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙනු ඇති බවත් ඉන්පසුව එම කෙටුම්පත ඉක්මන් ක්‍රියාවලියක් තුළින් එලබෙන ඔක්තෝම්බර් මාසය වනවිට සම්මත කරගැනීම සඳහා කටයුතු කරනු ඇති බවත් ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් ප්‍රකාශ වෙයි.
ඒ අනුව ඉදිරි සති දෙකක කාලය තුළ මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනු ඇති බව ප්‍රකාශ වෙන අතර එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67 දක්වා ද අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 දක්වා ද දීර්ඝ කෙරෙනු ඇත.
මීට සමගාමීව අනෙකුත් පහළ අධිකරණවල විනිසුරු විශ්‍රාම යෑමේ වයස් සීමාවන්ද සංශෝධනය කරන්නට පියවර ගන්නා බව ප්‍රකාශ වෙන අතර අභියාචනාධිකරණය ප්‍රමුඛව අනෙකුත් අධිකරණවල විනිසුරු ධාරිතාවය වැඩි කරන්නට ද නියමිතය.
නීතිඥ සංගම් සහ විනිසුරු සංගම් ප්‍රමුඛ නීති ප්‍රජාව මෙම ව්‍යවස්ථා සංශෝධනයට දැඩිව සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන පසුබිමක ඒ කිසිදු විරුද්ධත්වයක් නොසලකා මෙම සංශෝධනය ස්ථිරවම ගෙන ඒමට ආණ්ඩුව සූදානම් බව වාර්තා වෙයි.






