ශ්‍රී ලංකාව යනු පාතාල රාජ්‍යයක් බව අප කීවේ මීට දශකයකට එහා කාලයක සිටය. වර්තමාන ආණ්ඩු මාරුවත් සමඟ අප එදා කී කතා බොහෝමයක් සත්‍ය බවට හෙළිවෙමින් තිබෙයි. සුනාමිය පැමිණ ගියාට පසුව වෙරළ සීමා පිළිබඳ අලුත් නීතියක් ආවේය. ඇත්තටම එම නීතිය ආවේ වෙරළ සංරක්ෂණය අරමුණෙන් නොව සුනාමිය විසින් විනාශ කර ගසාබසා දමා අළු දූවිලි කළ වටිනා ඉඩම් මංකොල්ල කෑමටය. මෙහි ඇති අනෙක් වැදගත් කාරණය නම් සුනාමියෙන් විනාශ නොවුණ වෙරළ කලාපයන් ද මෙම නීතිය භාවිතා කරමින් කොල්ලකෑමය. අද නම් එහෙම නීතියක් තිබෙනවා ද කියා කියන්නටත් අප දන්නේ නැත. ඒ නීතිය එන්න එන්න පුංචි වූ බවක් නම් ආරංචිය. අපගේ කතාව එය නොවෙන නිසා ඒ පිළිබඳව වැඩිය කරුණු කියන්නට මහන්සි නොවෙමු.
පසුගිය දා ජනාධිපතිවරයා විසින් මහජන හමුවක් ආමන්ත්‍රණය කරමින් හරි අපූරු කතාවක් කළේය. අපගේ අවධානය ඒ වෙනුවෙන්ය. වැල්ලවත්ත වෙරළේ ස්ථාන 26ක් පාතාලයට සම්බන්ධ පුද්ගලයන් විසින් අල්ලාගෙන සිටින බවත්, ඒවා ඉවත් කර නොගන්නේ නම් කඩා ඉවත් කරන බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රසිද්ධියේ පැවසීය. ඒ අතරේ ඔහු තවත් වැදගත් තොරතුරක් කීවේය. ඔහු කීවේ හිටපු හමුදාපතිවරයකු ද මෙහි වටිනා ඉඩම් හොරෙන් අල්ලාගෙන සිටින බවය. ඒ අනුව අපට පෙනෙන්නේ පාතාලයන් අතරේ හමුදාපතිවරුන් ද මංකොල්ලයේ සිට ඇති බවය.
බැරකුඩා කතාව
ජනාධිපතිවරයා එම හමුදාපතිවරයාගේ නම නොකීවත් අපට ඔහු කවුදැයි සැක කළ හැකිය. ඔහු වෙන කවුරුත් නොව හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාය. ඔහුට අයත් දෙහිවල වෙරළේ තිබෙන අවන්හල ‘බැරකුඩා’ ය. එම අවන්හලට ගිය ඕනෑම අයකුට එය වෙරළ අල්ලාගෙන ඉදිකර ඇති බව පෙනෙයි. දෙහිවල වාසල පාරේ අංක 41/2 දරණ ස්ථානයේ පිහිටි මෙම ‘බැරකුඩා’ අවන්හල ඊට යාබද 41/3, 41/4 දරණ ඉඩම් කෑලි ද අත්පත් කරගෙන ඇතැයි කියවෙයි. මෙම ඉඩම් බැලූ බැල්මට රේල්ලුවට සහ වෙරළ සංරක්ෂණයට අයත් ඉඩම්ය. එනිසා මෙම ඉඩම් යම් පුද්ගලයකු නීතියට පිටතින් අත්පත් කරගන්නවා නම්, එය බලය සහ ධනය භාවිතා කර සිදුකරන මංකොල්ලයන්ය. දිගින් දිගටම ලංකාව වටේම පිහිටි මෙවැනි වටිනා රජයට අයත් මුහුදු වෙරළ ඉඩම්වලට සිදුවී තිබෙන්නේ මෙයමය. එනිසා මෙම වටිනා ගොඩනැගිලි කඩාබිඳ දමනවාට වඩා නීත්‍යානුකූල විදිහට අත්පත් කරගෙන රාජ්‍ය දේපළ ලෙස ඒවා නිශ්චිත කාලයකට බදු දීම කළ යුතුය.
පසුගිය කාලයේ යුක්තිය මෙහෙයුම යටතේ කඩාදැමුණු දෙහිවල සෝල්බීච් අවන්හලේ කතාවට ද මේ කියන ‘බැරකුඩා’ සම්බන්ධ බව ඒ කාලයේ කියවිණි. සෝල් බීච් කඩාදමන්නට හේතුව ලෙස එදා කියවුණේ මෙම ව්‍යාපාරය කුඩු ව්‍යාපාරික සිරාන් බාසික්ගේ බවය. එය සත්‍යයක් බව අද තහවුරු වී ඇත. සිරාන් බාසික් පසුපස පැන්නූ සීඅයිඩීයට මෙම වෙරළ කලාපයේ ඉඩම් මංකොල්ලයන් පිළිබඳ තොරතුරු ලැබී ඇතිවාට සැකයක් නැත.
එය එසේ වුණත් මෙම පාතාල සහ හමුදාපතිගේ අවන්හල් අතර තිබුණු ව්‍යාපාරික තරගය එකල දෙහිවල සෝල්බීච් කඩාදමන්නට එක හේතුවක් විය. ඒ අතරේ කප්පම් ඉල්ලා නොදුන් කතාවක් ද කියවිණි. එකල මෙම හෝටලය මොහොමඩ් අබ්දුල් කාදර් මොහොමඩ් රිෆාර් නැමැති ව්‍යාපාරිකයකුට අයත් බවත් එහි කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස උපකාරක පන්ති ගුරුවරයකු වන සම්පත් අත්තටගේ කටයුතු කරන බවත් කියවිණි. අද ඔවුන් ලංකාවෙත් නැති බව වාර්තා වෙයි. එහෙම බැලුවාම ජනාධිපතිවරයා මේ කියන කතාව සත්‍යයකි. වැල්ලවත්ත දෙහිවල තත්ත්වය මෙය නම් ලංකාවේ අනෙකුත් මුහුදු වෙරළ ඉඩම්වල තත්ත්වය කෙසේද යන්න සොයා බැලිය යුතුය.

රටම එකට අත්අඩංගුවට
මේ අතර රජය ප්‍රකාශ කරන ආකාරයට 2025 ඔක්තෝබර් 30 වැනිදා ආරම්භ කළ ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දින 312ක් තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 269,492ක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව ගණන් හදන්නේ නම් දිනකට මත් වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 864කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
රජය කියන ආකාරයට මෙම කාලය තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 20කට ආසන්නය. හෙරොයින් ටොන් දෙකකට වැඩිය. ‘අයිස්’ හෙවත් මෙතම්ෆෙටමින් ටොන් තුනකට වැඩිය. කුෂ් ටොන් එකකට වැඩිය. ගංජා ටොන් නවයකට වැඩිය. මදනමෝදක ටොන් එකකට වැඩිය. මත්කරල් ලක්ෂ 45කට ආසන්න ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇත. මෙයින් කියවෙන්නේ ද වැල්ලවත්ත වෙරළ තීරයේ යටිබිම් කතාවය. වැල්ලවත්තට, දෙහිවලට අවන්හල් ඉදිවෙන්නටත්, ඒවා පවත්වාගෙන යමින් කළු සල්ලි සුදු කරන්නටත් සල්ලි පොම්ප වෙන්නේ මෙතැනින්ය.
දවසේ වෙඩිල්ල
රජය කියන ආකාරයට 2026 වසරේ සැප්තැම්බර් මුල් සතිය වන විට සංවිධානාත්මක අපරාධ හා පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැකකෙරෙන වෙඩි තැබීම් 34ක් වාර්තා වී ඇති අතර එම වෙඩිවලින් පුද්ගලයන් 17 දෙනකු මියගොස් තවත් 18 දෙනකු තුවාල ලබා ඇත. බොරලැස්ගමුව සහ කොස්ගොඩ සිදුවීම් එහි අලුත්ම ඒවාය. මත්ද්‍රව්‍ය ජාවාරම සමඟ මේ ඝාතනයන් සහ වෙඩි තැබීම් එකිනෙකට සම්බන්ධය. ඒ අනුව මේවා පාතාල රාජ්‍යයේ කෙරුවාව පිළිබඳව හොඳ සලකුණුය.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2024 සංගණනය අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය 21,781,800කි. ඒ අනුව අත්අඩංගුවට ගැනීම් 269,492 යනු මුළු ජනගහනයෙන් සියයට 1.23කට ආසන්න ප්‍රමාණයකි. වයස අවුරුදු 15ට අඩු ජනගහනය ලෙස සඳහන් ලක්ෂ 45 ඉවත් කර ගණනය කළහොත් එය ඉතිරි ජනගහනයෙන් සියයට 1.56කට ආසන්න වෙයි. ඒ අනුව මෙයින් කියවෙන්නේ මත් වැරදි සම්බන්ධයෙන් රටේ ජනගහනයෙන් සියයට 1.23ක් අත්අඩංගුවට ගෙන ඇත යන්නද? එය එසේ නම් ඛේදවාචකයේ තරම සිතාගත හැකිය.
2024 වසරේදීත් මෙරට මත්ද්‍රව්‍ය සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 228,450ක් වාර්තා වී තිබිණි. ඒ අතර හෙරොයින් සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 75,097ක් වූ අතර ගංජා සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 75,602ක් සහ ‘අයිස්’ සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 68,132ක් වාර්තා වී තිබිණි. 2025 වසරේදී එම සමස්ත සංඛ්‍යාව 262,321 දක්වා ඉහළ ගොස් ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ වාර්තා පෙන්වයි. සංඛ්‍යා දත්ත පිරික්සීමේදී මෙම අත්අඩංගුවට ගැනීම් වැඩි වීම අලුත් සිදුවීමක් නොවේ. නමුත් අත්අඩංගුවට ගැනීම් දිගින් දිගටම වැඩි වන අතර මත්ද්‍රව්‍ය වෙළෙඳපොළත් ඊට සමානව ක්‍රියාත්මක නම්, එයින් අර්ථවත් වන්නේ පොලිසිය කිසිවක් නොකරන බව නොවේ. එයින් පෙනෙන්නේ අත්අඩංගුවට ගැනීම පමණක් මෙම මත් වෙළෙඳපොළ බිඳ දැමීමට ප්‍රමාණවත් නොවන බවය.
මත් ජාලය
මත්ද්‍රව්‍ය ජාලයක් පිරමීඩයකට සමානය. එහි පහළම කොටසේ භාවිත කරන්නන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, කුඩා පැකට් අලෙවි කරන්නන් සහ ප්‍රවාහනයට යොදාගන්නා තරුණයන් සිටිති. ඔවුන් පහසුවෙන් හඳුනාගත හැකිය. පහසුවෙන් අත්අඩංගුවට ගත හැකිය. ඔවුන් සතුව තිබෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණය සාමාන්‍යයෙන් සුළුය.
ඉහළ තට්ටුවේ සිටින්නේ මුදල් යොදවන්නන්, ජාත්‍යන්තර සැපයුම්කරුවන්, මුහුදු මාර්ග සංවිධානය කරන්නන්, ආරක්ෂිත ගබඩා පවත්වාගෙන යන්නන්, ගිනිඅවි සපයන්නන්, මුදල් සෝදන්නන් සහ ඔවුන්ට ආරක්ෂාව සපයන රාජ්‍ය හෝ දේශපාලන සම්බන්ධතා ඇති පුද්ගලයන්ය.
අත්අඩංගුවට ගැනීම් ලක්ෂ ගණනක් තිබුණ ද ඉහළ තට්ටුවේ පුද්ගලයන්ට අයත් බැංකු ගිණුම්, සමාගම්, හෝටල්, ඉඩම්, බෝට්ටු, වාහන සහ වෙනත් දේපළ කොපමණ ප්‍රමාණයක් රාජසන්තක කළේද යන්න පිළිබඳ ඒ තරමටම විස්තරාත්මක පොදු වාර්තාවක් අපට නැත. ඉඳහිට ජනාධිපතිවරයා කියන ආකාරයේ තොරතුරු ලැබෙයි. එහෙත් ටික කාලයක් යන විට ඒවාට ද වුණු දෙයක් නැත. ඒ නිසා මෙම ඉහළ මාලය බිඳ නොදමා මත් උවදුර විනාශ කරන්නට බැරිය. එය එසේ නොකරන තාක් අපට බන්ධනාගාර පුරවමින් ඒවායේ ගැටුම් ඇතිවීමට හේතු සපයන්නට පුළුවන.
ඒ අර්ථයෙන් අප මුලිනුත් සඳහන් කළ ආකාරයට වැල්ලවත්ත වෙරළේ ස්ථාන 26ක් පාතාලයට සම්බන්ධ පිරිස් විසින් අල්ලාගෙන සිටින බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය වැදගත්ය. පාතාලය යනු අඳුරු මංතීරුවල සැඟවී සිටින තුවක්කුකරුවන් කිහිපදෙනකු පමණක් නොවේ. ඔවුන්ට අධික ධනයක්, බලයක්, මිලමුදල් ඇත. කුඩු සල්ලි පැටව් ගසන්නේ මෙවැනි ස්ථාන හරහාය. එනිසා මෙවැනි ස්ථාන මුදාගැනීම මුලින්ම කළ යුතුය. කුඩු ආර්ථිකය සුණු කරන්නට නම් කළු සල්ලි සුදු කරන මෙවැනි යෝධ මැෂින් විනාශ කළ යුතුය.
-කේ. සංජීව-






