මීගමුව බන්ධනාගාරයෙහි ඇති වූ නොසන්සුන් තත්වය හමුවේ හදිසි ආරක්ෂක සහ පරිපාලන පියවරක් ලෙස එහි සිටි කාන්තා රැඳවියන් 166 දෙනාම වහාම ක්‍රියාත්මක වන පරිදි වාරියපොළ, බෝගම්බර, අඟුණකොළපැලැස්ස සහ කුරුවිට බන්ධනාගාර වෙත මාරු කර යැවීමට කටයුතු කර ඇත.
මීට අමතරව, බන්ධනාගාරයේ සිටින තවත් රැඳවියන් 600කට වැඩි පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට ද කටයුතු සූදානම් වෙමින් පවතී.
එමෙන්ම, ගැටුමේ දී මියගිය බන්ධනාගාර නිලධාරීන් අටදෙනා වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි උසස්වීම් සහ වන්දි ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා සඳහන් කළේ දේපළවලට සිදු වූ හානිය පිළිබඳව විමර්ශනය කිරීමට මෙන්ම ගැටුම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් විශේෂ කමිටු දෙකක් පත් කර ඇති බවයි.
අනෙකුත් බන්ධනාගාරවලට මාරු කර යැවූ රැඳවියන්ට බන්ධනාගාර ආරක්ෂකයින්ගෙන් පළිගැනීම් එල්ල වන බවට ලැබෙන වාර්තා කනස්සල්ලට කරුණක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශක රවීනා ෂම්දාසානි මහත්මිය ප්‍රකාශ කර ඇත.
මියගිය සහ තුවාල ලැබූවන්ගේ පවුල්වලට සත්‍යය දැනගැනීමට සහ සාධාරණය ඉටුවනු දැකීමට අයිතියක් ඇති බව පෙන්වා දුන් ඇය, රජය පොරොන්දු වූ විමර්ශන කඩිනම්, ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුක්ත විය යුතු බව අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින අධික තදබදය, නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රිමාන්ඩ් භාරයේ තැබීම සහ මත්ද්‍රව්‍යවලට වැරදිකරුවන් වූවන් බන්ධනාගාරගත කිරීම වෙනුවට සෞඛ්‍ය කේන්ද්‍රීය ප්‍රවේශයන් වෙත යොමු කිරීමේ අවශ්‍යතාව වැනි ව්‍යුහාත්මක ගැටලු විසඳීම සඳහා මෙම සිදුවීම පූර්වාදර්ශයක් ලෙස ගත යුතු බව ද ප්‍රකාශකවරිය පැවසුවාය.
මීගමුව බන්ධනාගාරයට සහ මාරු කර යැවූ රැඳවියන්ට වධහිංසා පැමිණවූ බවට චෝදනා එල්ල වන අනෙකුත් සියලුම රැඳවුම් මධ්‍යස්ථාන වෙත බාධාවකින් තොරව ඇතුළු වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට අවසර දෙන ලෙස ද එක්සත් ජාතීන්ගේ සංවිධානය, බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.






