‘සුදුළූණු පොඩි කරන්න එපා’ ජනවහරේ තියෙන කතාවක්. ඒක හැදෙන්නේ ඇයි? හැදෙන්න හේතුව තමයි මෙයාව කොනිතිගහපු ගමන් හමන සුවඳ.
සමහරුන්ට සුදුළූණු සුවඳයි. සමහරුන්ට ගඳයි. මටනම් ඉතින් දූරියන් වගේ තමයි සුදුළූණු කියන්නේ සුවඳයි. සුදුළූණුවලට සුදු හුණු ගානවා නෙවෙයි සුදුළූණු පුරාණය මෙසපොතේමියානු අතීතයට දිගයි.
තුතන්කාමන් සොහොනෙන් මේ කියන සුදුළූණා හමුවෙලා තියෙනවා කියලා කියනවා. සුදුළූණු මුලින්ම ඉරානයෙන් හමුවුණ බල්බ ගසක්. වැඩිපුර හැදෙන්නේ ආසියාවේ. එයිනුත් ලෝක සුදුළූණු සුවඳින් සියයට 70ක් විතර හමන්නේ චීනයෙන් කියලා කතාව.
සුදුළූණු කියන්නේ මුලින්ම රසකාරකයක්. ඊළඟට බෙහෙතක්. මම ආස රසකාරක කියන කෑල්ලට. ඉතිං අපි ටිකක් ඒ ගැන කයියක් ගහමු..!
ඉස්සෙල්ලාම මගේ යෝජනාව පොල් සම්බෝල කොටනකොට හරි අඹරනකොට හරි සුදුළූණු අහුරක් දාන්න. හැබැයි මම ආසයි ඊට වඩා කොටලා හෝ අඹරලා මේසෙට ආවට පස්සේ සිහින්වට කපපු සුදුළූණු අහුරකුයි කොළ පාට මිරිස් අහුරකුයි සම්බෝලෙට මාත්තු කරන්න. එතකොට කරස් කරස් එකත් එක්ක සුවඳ සහ රස වෙනස්ව දැනෙනවා.
සමහර වෙලාවට සුදුළූණේ තියෙන ඉතා සිහින් සැර දිව උඩ නටනවා. උගුර කිතිකවනවා. නාස් පුඩු හකුලවනවා. ආ අමතක වුණා මේ අහුරට උම්බලකඩත් එකතු කරගන්න ඒක එතකොට පරිසමාප්තයි.
ඊළඟට බැදුම් බදිනකොට සුදුළූණු අපි මුලින් දානවා චාස් ගාලා තාච්චියට. ඒ ඇයි? බඩගිනි හදන්න. සුදුළූණු සුවඳට පුළුවන් කටට කෙළ උණවන්න. බඩ ගින්න අවුලවන්න. සුදුළූණු රන්වනට බැදෙනකොට බඩ නටන බව අපි දන්නවා.
හැබැයි බැදුම බැදලා ළිපෙන් මුදාගන්න කිට්ටුවෙලා සුදුළූණු බිකක් දෙකක් ඕසෙයක් වීසි කරන්න පුළුවන්නම් ඒක දිවට මාර රහක් ගේනවා. රට ළූණු වුණත් බැදුම ළිපෙන් බෑවට පස්සේ රවුම් රවුම් කපලා මික්ස් කළාම අර මද රස්නයා අපිට අමුතු රසක ක්රංචි ළූණු රවුමක් දෙනවා.
සුදුළූණු කුලයේ ලීක්ස්වල පවා මේ සුවඳ දෙනවා. ඒත් සුදුළූණු තමයි හොඳටම කරන්නේ. ඒකනේ එයා ලෝකේ වටේ හැම මිනිස් අස්සකටම ගොඩ වුණේ.
අපි පන්සලට හීල දෙනකොට සාමාන්‍යයෙන් දෙන මාළුවක් සුදුළූණු මාළුව. එහෙම දෙන ගමන් අපි කියන්නේ හාමුදුරුවන්ගේ තෙල බහින්න තමයි මේ කියලා. ලේ නහරවල මිදුණු කොලෙස්ටරෝල් දියකරලා ලේ බට යාවත්කාලීන කරන්න පුළුවන් ගුණයක් සුදුළූණට තියෙනවා. ඒක ඇත්තක්..!.
හොඳට උම්බලකඩ දාලා හොඳට කිරි දාලා හොඳට රතුළූණු දාලා හදන, හොඳටම සුදුළූණු දාලා හදන මේ මාළුව කන්න අපි දෙපාරක් හිතන්නේ නෑ. මේවා කෑවාම පහුවදා වැසිකිළියත් සුවඳවත් වීම වෙන කතාවක් ඒත් මම නම් මේ මාළුවට මාර ආසයි. කිරිකජු මාළුව ළඟින්ම යන මාළුවක් මේක. සමහරු මේ මාළුව දෙක මික්ස් කරලා එක මාළුවක් උයනවා. එතකොට ඉතිං කජු චුට්ටකින් සේප් වෙන්න පුළුවන්.
ඊළඟට සුදුළූණු කැඳ කියන්නෙත් පිස්සුවක්. බීලා නැති කෙනෙක් නැතුව ඇති. ඒත් මම නම් ආස හාතාවාරිය, ඉරමුසු, ගොනිකා වගේ කැඳ වර්ග හදන්න මේ අඩුමකුඩුම කොටනකොට ඒකට සුදුළූණු ටිකක් දාන්න. ඊටපස්සේ ඉතිං ඒක පෙරෙනවා කැඳ එකට. කැඳ එක හැඳිගානකොටම බඩගින්නක් එනවා යකෙක් වුණත් කන්න ඇහැක් වෙන.
සුදුළූණු ගෙඩි සුද්ද කරන්නේ නැතුව ගැඹුරේ බැදලා දැන් බයිටට ගන්න එක සිල්ලර වෙලා. ලුණු ටිකක් ඉහලා ඒක උඩට දෙහි චුට්ටක් මිරිකුවානම් තවත් රහයි. ඒ වගේම සුදුළූණු අලු පල්ලේ දාලා ගන්නකෝ බලන්න. අම්මෝ රස. අපේ අම්මා ඉස්සර හදනවා පොල් කෑලි උදුරලා පුච්චලා කළුපාර ලුණු මිරිසක් ඒකට සුදුළූණු දැම්මාම ඒක මරු. රස ගුලාවක්.
මෙහෙම මෙහෙම වැඩ මේවා අතීතයෙන් ආපු දේවල්. ඒවා පැත්තක තිබුණාවේ කියලා සුදුළූණුවලින් සෙල්ලම් ගොඩක් දාන්න පුළුවන්. ඔබ මූද පේන මානෙක ඉන්නවානම් බිලී එහෙම බානවානම් බලයා එහෙම දඟලනකොට ගන්න ඇහැක් නම් මේක හොඳට කියවන්න.
සුදුළූණු හොඳට ජූසි කරලා ඒක දෙහි ජූස් දාලා ඒකට ගම්මුරිස් දාලා ඊළඟට නයි කොච්චි ජූස් කරලා ඒකත් මික්ස් කරලා පදමට ලුණු වීසි කරලා ද්‍රාවණයක් හදාගන්න. ඊටපස්සේ ඒකට දාන්න අලුත් මාළු රතු රෝස සෝස කෑලි. එහෙම දාලා ටිකක් වෙලා තියලා අමුවෙන් කාලා බලන්න. ජපන් යන්න ඕනේ නෑ මේවා කන්න. හිත විතරයි ඕනේ. මේවා තමයි අපි සුදුළූණුවලින් කරන වෙනස් වැඩ.
බාබකිව් කරනකොට සුදුළූණු ජූස් කරලා මස්වල තවරාගන්න අමතක කරන්න එපා. මස් පිච්චෙනකොට එන සුවඳ වගේම මස් ඇතුළත් මාර රසයක් දෙන්නේ එහෙම කළාම. සුදුළූණා කියන්නේ ඒ වගේ පිස්සෙක්ට. ඌ කොහේ හරි ගෑවුණොත් හැමිණුණොත් ඉතිං වෙන ටේස්ට් එකක්.
සුදුළූණු බත් කාලා නැත්තං දවසක හදාගෙන කන්න. සම්බා රයිස් එකක් ගහලා ඒක ඉදුනට පස්සේ, තෙලට සුදුළූණු ඕසෙට දාලා බිත්තරයක් කඩලා දාලා ඒකට කොළ මිරිස් අහුරක් දාලා අර බත් එක දාලා බදින ගමන් පුච්චලා වගේ ගන්න. අරගෙන බලන්න රස කොහොමද කියලා. කරපිංචයි සේරයි ටිකක් උඩින් වීසි කරන්න. ලස්සන කරගන්න ලොකු ළූණු රවුම් එක්ක. හැබැයි ඉතිං සුදුළූණු ලොකුවට කපාගන්න ඕනේ.
දවසක තනි කුකුළෙක් ගෙදරට ගෙනාවොත් බඩ අස්සේ තියෙන මඟුල් අයින් කරලා ඒකට සුදුළූණු ලොකුළූණු ගම්මිරිස් තක්කාලි කරපිංචා යහමින් දාලා බඩ මහලා අවන් කරන්න නැත්තං බාබකිව් කරලා බලන්න රස කොහොමද කියලා..
බල මාළු ගෙදරට ගෙනාවොත් මාළු කූරියා සෝදලා ඊටපස්සේ චූටි කෑලිවලට කපලා ඒ කෑලි ජෑම් බෝතල්වලට දාලා ඊට උඩින් සුදුළූණු අහුරක් දාලා ඊට උඩින් ගම්මිරිස් ඇට කුරුඳු පොතු ලුණු ටිකක් ඉඟුරු කෑල්ලක් ගොරකා අත්තක් දාලා හොඳට සීල් වෙන්න බෝතලේ කට වහලා ඒක වතුර එකක ගිල්ලවලා ඒ වතුර එක නටවලා ගන්නකෝ බලන්න. මතක තියාගන්න මාළු කෑලිවලට වතුර දාන්නේ නෑ. මාළු කෑලි සෝදන්නෙත් නෑ..
මේ සුදුළූණා මීපැණි එක්ක සෙට් වෙන්න හරි ආසයි. ඒක ඊටපස්සේ වෙන රසක් හදනවා. මම මේ කියන්න හදන්නේ කොලෙස්ටරෝල් නැතිකරගන්න මීපැණිවල පොඟවපු පදම් කරපු සුදුළූණා ගැන නම් නෙවෙයි.
සුදුළූණු ලස්සනට රන්වන් පාට රේඛා එන විදිහට කළු දාර හිටින විදිහට බැදගත්තට පස්සේ උඩින් ලුණුකුඩු ටිකක් ඉහලා ඊට උඩින් මීපැණි චුට්ටක් ඉහලා රෝස්මරි කොළ එක්ක කාලා බලන්න. ඔය රෝස්මරි දැන් ලංකාවෙ ගෙවල් මිදුල්වල ලස්සනටත් වවනවා. මම ඔය උඩින් කියපු මාළු එක හදනකොටත් ඒක දාගන්න මරු.
තව සුදුළූණු ඇලුමිනියම් කොළේ ඔතලා යාන්තම් අවන් කරලා අරගෙන ඒක මික්ස් කරන්න කැරට්, බීට්, කන්කුන්, සැල්දිරි, වගේ කොළ ජාති එක්ක. සල්ලි තියෙනවානම් ඔලිව් ගෙඩි ටිකකුත් රවුම් කපලා දාගන්න. තව මීකිරි චුට්ටක් උඩින් ලස්සනට ඉහගන්න. එහෙම කරලා සලාදයක් වගේ කාලා බලන්න. ආ අමතක වුණා පොඩි චෙරි තක්කාලි ගෙඩි ටිකකුත් දාගත්තානම් චරස් චරස් ගාලා රස තමයි..!
මෙහෙම ඉතිං සුදුළූණුවලින් කරන්න පුළුවන් වැඩ එමටයි. ඒවා වැඩි කාලයක් යන්න කලියෙන් යූටියුබ් එකක් හදලා කියන්නයි ඉන්නේ බලමු. මේක මේ නිකං උදේ පාන්දර සුදුළූණු චුට්ටක් පොඩි කළා විතරයි..!
-කේ. සංජීව-






