එල්ටීටීඊය තම පරාජයට බොහෝ කලකට පෙර දෙමළ සමාජය අභ්‍යන්තරයෙන් අවතැන් කළේය..!

ltte knews

යාපනයේ දෙමළ යොවුන් දැරියන් සඳහා වූ වැඩමුළුවකදී, නෙල්සන් මැන්ඩෙලා යනු කවුරුන්දැයි දැනගැනීමට ගුරුවරියකට අවශ්‍ය විය.

අත් කිහිපයක් ඉහළට එසවිණි. මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ නිදහස වෙනුවෙන් සහ වර්ණභේදවාදය අවසන් කිරීම සඳහා සටන් කළේය. පිළිතුර නිවැරදි විය.

හරි, එහෙනම් මහාත්මා ගාන්ධි කියන්නේ කවුද?

නැවතත් අත් කිහිපයක් ඉහළට එසවිණි. බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ඉන්දීය නිදහස් සටනට නායකත්වය දුන්නේ ගාන්ධිය. ඔහු අහිංසාවාදයේ පුරෝගාමියෙකු විය. එය නිවැරදිය.

ඉන්පසු තුන්වන ප්‍රශ්නය යොමු විය: (අප්පාපිල්ලෙයි) අමිර්තලිංගම් යනු කවුද?

පන්ති කාමරය තුළ පැවතියේ නිශ්ශබ්දතාවයකි. කිසිවෙකු එය දන්නා බවක් පෙනෙන්නට නොතිබුණි. මොහොතකට පසු, දැරියන් දෙදෙනෙකු පසුබට වෙමින් තම අත් ඉහළට එසවූහ.

ඉන් එක් දැරියකට කතා කිරීමට අවස්ථාව ලබා දෙන ලදී.

සුළු නිහඬතාවකට පසු, එම සිසුවිය පහත් හඬින් මෙසේ පිළිතුරු දුන්නාය: අමිර්තලිංගම් කියන්නේ දෙමළ අරගලයේ ද්‍රෝහියෙක්.

ගුරුවරිය ඉන්පසු වෙනත් කිසිදු ප්‍රශ්නයක් ඇසුවේ නැත.

මෙම ප්‍රශ්නෝත්තර සැසිය ගැන විස්තර කළ යාපනයේ දෙමළ දේශපාලන ක්‍රියාකාරිකයෙකු පැවසුවේ, “අපේ සමාජයේ තියෙන ඛේදවාචකය මේකයි,” යනුවෙනි. “කොටි සංවිධානයට පින්සිදු වෙන්න, පන්තියේ හිටපු දැරියන් අමිර්තලිංගම් ගැන දැනගෙන හිටියේ ඔහු ද්‍රෝහියෙක් කියන එක විතරයි. මේක ලැජ්ජාවට කරුණක් නේද?”

ඇත්ත වශයෙන්ම, පාසල් සිසුන්ගෙන් මෙම ප්‍රශ්න අසන විට, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට (LTTE) එරෙහිව ශ්‍රී ලංකාවේ පැවති දීර්ඝ කාලීන යුද්ධය එහි ලේ වැකි අවසානය කරා ළඟා වෙමින් තිබුණි. කොටි සංවිධානය ඉක්මනින්ම අවසන් වීමට නියමිතව තිබුණද, ඒ වන විටත් ඔවුන් සක්‍රීයව සිටි බැවින්, වරක් දැවැන්ත දෙමළ නායකයෙකුව සිටි ඔහු පිළිබඳව දැරිය තුළ තිබූ අවබෝධය නිවැරදි කිරීමට ගුරුවරිය කටයුතු කළේ නැත.

කොටි සංවිධානය තමන් සමඟ එකඟ නොවන සෑම කෙනෙකුම “ද්‍රෝහීන්” ලෙස හංවඩු ගැසීමෙන් සහ ඔවුන්ව භෞතිකව විනාශ කර දැමීමෙන් වැළකී සිටියේ නම්, ශ්‍රී ලංකාව තුළ දෙමළ මව්බිමක් නිර්මාණය කිරීම සඳහා ගෙන ගිය සන්නද්ධ අරගලයේ දිශානතිය කුමක් වනු ඇත්දැයි මම නිතර කල්පනා කර ඇත්තෙමි.

බොහෝදුරට, ලෙනින්ගෙන් පසු බලයට පැමිණි ස්ටාලින් විසින් සිය බලයට සුළු හෝ තර්ජනයක් විය හැකි කිසිවෙකුත් ඉතිරි කර නොගැනීම සඳහා දියත් කළ ඝාතන රැල්ලෙන් පසුව, තමන්ගේම ප්‍රජාවට අයත් මෙතරම් පිරිසක් ඝාතනය කළ හෝ ඝාතනය කිරීමට අණ දුන් වෙනත් කිසිදු ඊනියා විප්ලවවාදී නායකයෙකු හෝ ව්‍යාපාරයක් නොමැති තරම්ය.

මෙහිදී ප්‍රභාකරන් හට ; එය දෙමළ කොටි සංවිධානයේ නිර්මාතෘවරයාට අභියෝග කළ හෝ ඔහුගේ ස්ථානය පැහැර ගැනීමට උත්සාහ කළ අයෙකු පිළිබඳ ගැටලුවක් නොවීය. (ඝාතන එකක් හෝ දෙකක් හැරුණු විට). මෙය අරාජිකත්වයේ දරුණුතම අවස්ථාව විය. ඒ අනුව බොහෝ දෙමළ ජාතිකයන් ඝාතනය කෙරුණේ, ඔවුන් කොටි සංවිධානයේ නීති කඩ කළ නිසා, ඔවුන් ඕනෑවට වඩා ස්වාධීන යැයි සැලකූ නිසා, හෝ ජීවතුන් අතර තැබීම වඩාත් භයානක යැයි සැලකූ නිසාය.

ජීවත් විය හැක්කේ කාටද සහ මිය යා යුත්තේ කවුද යන්න තීරණය කළේ කවුද? ඒ එක් මිනිසෙකි: ඒ කොටි සංවිධානයේ අණදෙන නිලධාරියාය. ඊට එරෙහිව නිෂේධ බලයක් නොතිබුණි.

ශ්‍රී ලංකා රජය විසින් අවසානයේ කොටි සංවිධානය විනාශ කර දැමීමට බොහෝ කලකට පෙර, අතරින් පතර සිදුවූ රහසිගත ඝාතන ලෙස ආරම්භ වූ දෙය ක්‍රමයෙන්, දෙමළ සමාජය සෙමින් ගිලගත් පිළිකාවක් බවට වර්ධනය විය.

කවුරුත් දන්නා පරිදි, මෙම රෝගය විසින් කොටි සංවිධානය ඇතුළත ද සිය ගණනකගේ ජීවිත බිලිගත්තේය.

ltte knews 1
File Photo | Velupillai Prabhakaran

ප්‍රභාකරන්ගේ මුල්ම සමකාලීනයන් සිහිපත් කරන පරිදි, කොටි සංවිධානය ගොඩනැගෙන අවධියේදී මයිකල් සහ පට්කුනන් ඝාතනය කිරීමට කිසිදු තාර්කික හේතුවක් නොතිබුණි. මයිකල්ට අවශ්‍ය වූයේ සන්නද්ධ අරගලයෙන් ඉවත් වීමට පමණි; පට්කුනන්ට හැඟී ගියේ ප්‍රභාකරන් හොඳම නායකයා නොවන බවයි.

මුල් කාලීන දෙමළ සටන්කරුවෙකු වූ මයිකල්ව වනගත ප්‍රදේශයකට රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරන ලදී. ඔහුගේ සිරුර ගිනි තබන ලදී. පට්කුනන්ගේ ඝාතනය වඩාත් නාටකීය විය. ඔහු සමඟ කතා කරමින් සිටියදී, ප්‍රභාකරන් හදිසියේම තුවක්කුවක් ඇද ළඟ සිටම ඔහුට වෙඩි තැබීය.

මේවා හුදකලා සිදුවීම් නොවීය. පිළිකුල් සහගත ලෙස, මෙම ඝාතන කිසි විටෙකත් නතර නොවීය. එකකින් දෙකකින් ආරම්භ වී, සංඛ්‍යාව ඉහළ යාමට පටන් ගත්තේය. කාලයත් සමඟ ඝාතන මනාව සැලසුම් කර පරිපූර්ණව කරන ලදී. ඒ අනුව ඝාතනය කිරීම් බොහෝ දුරට කලාවක් බවට පත්විය. ද්‍රෝහියා යන්නෙහි අර්ථ දැක්වීම ද පුළුල් විය.

මිතුරෙකු වී පසුව සතුරෙකු බවට පත් වූ උමා මහේෂ්වරන් කොටි සංවිධානයේ අතින් මිය නොයාම හුදු වාසනාවකි. 1982 දී මදුරාසියේදී ප්‍රභාකරන් සහ ඔහුගේ සගයෙකු උමාට වෙඩි තැබූ විට ඔවුන්ගේ ඉලක්කය වැරදී යාම ඔහුගේ වාසනාව විය. තවත් අවස්ථාවක, තමිල්නාඩුවේදීම, කොටි සංවිධානයට උමා ඝාතනය කිරීමට අවශ්‍ය වූ නමුත්, ඔහු ඉලක්ක කිරීමට නියමිතව තිබූ ස්ථානයට ඔහු ළඟා වූයේ නැත.

ටෙලෝ (TELO) නායක ශ්‍රී සභාරත්නම්ට එවැනි වාසනාවක් තිබුණේ නැත. ඔහු අනුකම්පාව අයදිද්දීම, කොටි සංවිධානයේ යාපනයේ අණදෙන නිලධාරී කිට්ටු ඔහුට වෙඩි තබා ඝාතනය කළේය. ටෙලෝ සටන්කාමීන් සිය ගණනක් ද යාපනයේ සහ වෙනත් ස්ථානවල සමූලඝාතනය කෙරුණු අතර, එමඟින් විශාලතම දෙමළ සටන්කාමී කණ්ඩායම්වලින් එකක් මුළුමනින්ම විනාශ කර දමන ලදී.

ඥාතියෙකු විසින් කිට්ටුගෙන් කළ ඉල්ලීමක් හේතුවෙන් අවසන් මොහොතේ මරණයෙන් බේරුණු යාපනයේ ටෙලෝ සාමාජිකයෙකු සමඟ මම සම්මුඛ සාකච්ඡාවක් කළෙමි. නමුත් ඒ වාසනාවන්ත පුද්ගලයා නැගෙනහිර පළාතේ වෙනත් ටෙලෝ සාමාජිකයෙකුව විදුලි කණුවක ගැට ගසා ඔහුගේ හිසට වෙඩි තබනු දැක ඇත – “සර්, හිස් කබල කෑලිවලට විසිවෙලා ගියා!”

ඒ සමයේ චෝ රාමස්වාමිගේ ‘තුග්ලක්’ (Tughlaq) සඟරාවේ අමතක නොවන කාටූනයක් පළ විය. එහි දැක්වුණේ ජාතික ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට දෙමළ සටන්කාමීන්ට එරෙහිව සටන් කිරීමට ආයුධ අවශ්‍ය බව පවසන ආකාරයයි. අවශ්‍ය නැත, ජේ.ආර්. පෙරළා පවසයි, ප්‍රභාකරන් අපේ රාජකාරිය කරමින් ඉන්නවා. ඔහු එය අවසන් කළාම, අපි ක්‍රියාත්මක වෙමු!

ප්ලොට් (PLOT) යාපනයේ නායක මෙන්ඩිස් අල්ලාගෙන, වධහිංසා පමුණුවා, ඔහුගේ ලේ වැකුණු සිරුර ඔහුගේ රන් මාලය ද සමඟ පවුලේ අයට භාර දෙන ලදී. නිල නොවන රාජ්‍යයක් ලෙස ක්‍රියා කරමින්, කොළඹ රජය විසින් වරක් කොටි සංවිධානය තහනම් කළ ආකාරයටම, කොටි සංවිධානය ද ටෙලෝ සහ ප්ලොට් “තහනම්” කළේය.

ඊළඟට ඉලක්ක වූයේ ඊ.පී.ආර්.එල්.එෆ් (EPRLF) සංවිධානයයි. බොහෝ කලකට පසු, චෙන්නායි හිදී මාෆියා විලාසිතාවේ ප්‍රහාරයක් එල්ල කළ කොටි තුවක්කුකරුවන් එම කණ්ඩායමේ මුළු නායකත්වයම පාහේ විනාශ කර දැමූහ. AK-47 ගිනි අවියකට එරෙහිව ඊ.පී.ආර්.එල්.එෆ් නායක කේ. පද්මනාභට තිබූ එකම ආරක්ෂාව වූයේ කොට්ටයක් පමණි.

ඒ වන විටත්, කොටි සංවිධානය විසින් වරක් ප්‍රභාකරන් ඇතුළු සටන්කාමීන්ගේ වීරයාව සිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අමිර්තලිංගම්ව සහ ඔහුගේ සගයෙකු වූ වී. යෝගේෂ්වරන්ව ඝාතනය කර තිබුණි. අමිර්තලිංගම්ගේ දේශපාලන ප්‍රතිරූපය පිරිහී තිබුණද, ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි ඇගේ අවසන් මොහොත දක්වාම ඔහුට ඉහළ ගෞරවයක් දැක්වූ බව කොටි සංවිධානයට අමතක විය.

TULF නායකයින් දෙදෙනාගේ ඝාතන සිදු කරන ලද්දේ කොටි සංවිධානය ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සමඟ ඊනියා සාම සාකච්ඡාවල නිරත වෙමින් සිටියදීය.

ශ්‍රී ලංකාවේ දකුණේ විවිධ ස්ථානවලින් ප්‍රභාකරන්ට විරුද්ධ වූ දෙමළ ජාතිකයන් විශාල පිරිසක් “අත්අඩංගුවට ගැනීමට” කොටි සංවිධානයට අසීමිත බලයක් ලැබුණේ ද මේ කාලයේදීය. කොළඹ රජය ඒ දෙස ඇස් පියාගෙන සිටියදී, අත් බැඳ සහ කකුල් ආසනවලට දම්වැල්වලින් බැඳ, කළු කණ්ණාඩි සහිත බස් රථවලින් මෙම මිනිසුන්ව කොටි කඳවුරු වෙත රැගෙන යන ලදී. ඔවුන්ගෙන් බහුතරයක් ඉන්පසු කිසි දිනෙක දක්නට නොලැබිණි.

කොටි සංවිධානය විසින් රටේ උතුරේ විශාල බන්ධනාගාර විවෘත කරන ලද්දේ 1980 ගණන්වල අග භාගයේ සහ 1990 ගණන්වල මුල් භාගයේදීය. එහි උච්චතම අවස්ථාවේදී, විවිධ චෝදනා මත රඳවා සිටි සියලුම වයස් කාණ්ඩවල දෙමළ ජාතිකයන් දහස් ගණනක් මෙම බන්ධනාගාරවල – සැබවින්ම වධකාගාරවල – රඳවා තබා සිටියහ. සමහරුන් වධහිංසා නිසා උමතු තත්ත්වයට පත් විය.

කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද ප්‍රමුඛ පෙළේ දෙමළ ජාතිකයන් අතර යාපනේ විශ්වවිද්‍යාලයේ රජනි තිරාණගම, උගතෙකු සහ නීතීඥයෙකු වූ නීලන් තිරුචෙල්වම්, සහ දෙමළ ක්‍රියාකාරිකයෙකු සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි ලෝගනාදන් කේතීෂ්වරන් ද වූහ. තවත් සාමාන්‍ය වැසියන් රැසක් ද දෙමළ ප්‍රදේශවලදී ඝාතනය කෙරිණි. බොහෝ දෙමළ ජාතිකයන් කොටි සංවිධානයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකාවෙන් පලා ගියහ.

ltte knews srilanka
File Photo | Velupillai Prabhakaran with Anton Balasingham

දෙමළ කොටි නායකයා පිළිබඳ පොතක් ලිවීමට නිර්භීත වීම හේතුවෙන් පැරිසියේදී තුවක්කුකරුවෙකු විසින් ප්‍රභාකරන්ගේ හිටපු සගයෙකුට වෙඩි තබා ඝාතනය කරන ලදී. ප්‍රවීණ දෙමළ මාධ්‍යවේදී ඩී.බී.එස්. ජෙයරාජ්ට ටොරොන්ටෝහිදී මැරයන් විසින් පහර දෙන ලදී. තවත් දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් කිහිප දෙනෙක් ද මෙහි ගොදුරු බවට පත් වූහ. ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ බලපෑම මත මුදා හරිනු ලැබීමට පෙර, ලන්ඩන් නුවර ප්‍රධාන දෙමළ නායකයෙක් දින 62 ක් පුරා භූගත සිරමැදිරියක රඳවා තබා ගැනීමට කොටි සංවිධානය කටයුතු කළේය.

දිගු කාලීනව ශ්‍රී ලංකා රජය තවත් දැඩි කිරීමට පමණක් හේතු වූ ක්‍රියාවන් හරහා (බොහෝ මිලිටරි පසුබෑම් මධ්‍යයේ වුවද), රන්ජන් විජේරත්න, ප්‍රේමදාස, ඇතුලත්මුදලි, ලක්ෂ්මන් කදිර්ගාමර්, ගාමිණී දිසානායක සහ චන්ද්‍රිකා කුමාරතුංග (කෙසේ වෙතත් ඇය එක් ඇසක් අහිමි වෙමින් දිවි බේරා ගත්තාය) ඇතුළු රජයේ නායකයින් කිහිප දෙනෙකුම ඝාතනය කිරීමට ප්‍රභාකරන් අණ කළේය.

හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඉලක්ක කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය කවුරුත් හොඳින් දන්නා කරුණකි. මෙය කොටි සංවිධානය දැඩි ලෙස පසුතැවිල්ලට පත් වූ එක් ඝාතනයක් විය. ඒ මිනිස් ජීවිත කෙරෙහි වූ යම්කිසි ගෞරවයක් නිසා නොව, කොටි සංවිධානය හමුදාමය වශයෙන් පරාජය වන තුරුම ඉන්දියාව විසින් දියත් කරන ලද දැඩි මර්දනය හේතුවෙනි.

කොටි සංවිධානය විසින් විනාශ කර දමන ලද සියලුම “ද්‍රෝහීන්” සහ “දෙමළ විරෝධීන්” ලැයිස්තුගත කරන්නේ නම්, වචන දහස් ගණනක් ලිවීමට සිදුවනු ඇත. ප්‍රභූන් මෙන්ම එතරම් ප්‍රසිද්ධ නොවන අය ද ඇතුළුව, කොළඹ මෙන්ම ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර පුරා ගණන් කළ නොහැකි තරම් දෙමළ ජාතිකයන් පිරිසක් මරා දමන ලදී.

මෙම සියලුම බිහිසුණු ඝාතන විසින්, කොටි සංවිධානයට පාලනය කළ හැකි සහ කිසිදු විරුද්ධ මතයකට ඉඩක් නොතිබූ ස්ටාලින්වාදී රාජ්‍යයක් නිර්මාණය කරන ලදී. කොටි සංවිධානයේ ඒකාධිපති මතවාදය සහ අභ්‍යන්තර ත්‍රස්තවාදය විසින්, වරක් සජීවීව පැවති දෙමළ සමාජයේ නිදහස් චින්තනය යටපත් කර දමන ලදී. උතුරු කොරියාවේ මෙන්, කොටි සංවිධානයට සෑම තැනකම ඇස් සහ කන් ඇතැයි බොහෝ දෙනෙකුට හැඟී ගිය බැවින්, සාමාන්‍ය දෙමළ ජාතිකයන් කොටි පාලන ප්‍රදේශයෙන් පිටතදී පවා තම හැඟීම් ප්‍රකාශ කිරීමේදී දැඩි ලෙස ප්‍රවේශම් වූහ.

කොටි සංවිධානය ඇතුළත ද “ද්‍රෝහීන්” සිටියහ. වරක් කොටි සංවිධානයේ දෙවැන්නා ලෙස නම් කර සිටි මහත්තයා, ඉන්දීය ඔත්තුකරුවෙක් බවට චෝදනා කරමින් තවත් සටන්කරුවන් සිය ගණනක් ද සමඟ වධ දී මරා දමන ලදී. කොටි සංවිධානයේ ඉහළම නායකයෙකු වූ කරුණා, ඔහු කැරලි ගැසීමෙන් පසු දියත් වූ දැවැන්ත මිනිස් දඩයමකින් දිවි බේරා ගත් අතර අවසානයේ ප්‍රභාකරන්ට වඩා වැඩි කාලයක් ජීවත් විය. නමුත් තරුණ කාන්තාවන් ද ඇතුළුව කරුණාට හිතවත් යැයි සැලකූ කොටි සාමාජිකයින් සිය ගණනක් සමූලඝාතනය කරන ලදී. යටත් වුවහොත් සමාව දෙන බවට පොරොන්දු වීමෙන් පසු යටත්වූ නායකයින් කිහිප දෙනෙකුට වධ දී පුළුස්සා මරා දමන ලදී.

මෙවැනි අන්ත කෲරත්වයක් සහ සාහසික ඝාතනයන් කිසිදු ඊනියා විමුක්ති ව්‍යාපාරයකින් අසා නොතිබුණි. පලස්තීන කණ්ඩායම්වලට ඔවුන්ගේම වූ ප්‍රශ්න තිබුණද, කොටි සංවිධානයට සාපේක්ෂව මෙම කාරණයේදී ඔවුහු ළදරුවෝ වූහ. ඉන්දියාවේ වරක් බලවත්ව සිටි නක්සලයිට්වරු (Naxalites) කන්ඩායම් දුසිම් ගණනකට බෙදී ගියහ; මෙම කණ්ඩායම් බොහොමයක් එකිනෙකා මරා ගැනීමට නොව එක්සත් වීමට උත්සාහ කළහ.

ශ්‍රී ලංකාව තුළ කොටි සංවිධානය විසින් ඝාතනය කරන ලද දෙමළ ජාතිකයන් සංඛ්‍යාව දහස් ගණනක් විය හැකිය. බිය ඇති කිරීම සහ කොටි සංවිධානය කෙරෙහි වෛරයක් ජනිත කිරීම හැරෙන්නට මෙම ඝාතනවලින් යම් අරමුණක් ඉටු වූයේද? එයින් ප්‍රභාකරන්ව දෙමළ ඊළාම් රාජ්‍යයට කෙතරම් දුරට සමීප කළේද? එය කොළඹ රජය බලාපොරොත්තු සුන් වී අත්හැර දැමීමට සැලැස්වූවාද? ඔව්, එය කොටි සංවිධානයේ ඝාතන යන්ත්‍රය පිළිබඳ යම් බියමුසු ගෞරවයක් ඇති කළේය; ස්ටාලින් දුරස්ථ මෙක්සිකෝවේදී ට්‍රොට්ස්කිව සොයා ගත්තාක් මෙන්, සැබෑ හෝ එසේ යැයි සැලකෙන සතුරෙකු වෙත ලෝකයේ ඕනෑම තැනකදී ළඟා වීමට ප්‍රභාකරන්ට හැකි විය.

බොහෝදුරට නොසලකා හරින ලද තවත් පැතිකඩක් අප විසින් විමසා බැලිය යුතුය. එය ඇතුළතින්ම දෙමළ සමාජය හිස් කළ ආකාරය සලකා බලන විට, කොටි සංවිධානය කෙසේ හෝ ස්වාධීන දෙමළ ඊළාම් රාජ්‍යයක් දිනා ගත්තේ නම් කුමක් සිදුවනු ඇත්ද? එවැනි රාජ්‍යයක් අද පවතින උතුරු කොරියාවට වඩා වෙනස් වනු ඇත්ද?

කොටි සංවිධානයට ප්‍රතිචාර වශයෙන් හෝ ස්වාධීනව, වෙනත් දෙමළ සටන්කාමී කණ්ඩායම් විසින් සිදු කරන ලද කිසිදු මිනීමරු ක්‍රියාවක් සාධාරණීකරණය කිරීමට මෙම විවරණය නිදහසට කරුණක් නොවේ. නමුත් ශ්‍රී ලංකාවේ දෙමළ සමාජය තුළ, දෙමළ කොටි සංවිධානය තරම් තමන්ගේම සෙසු දෙමළ ජාතිකයන් මෙතරම් විශාල පිරිසක්, සමහර විට ම්ලේච්ඡත්වයෙන් යුතුව, ඝාතනය කළේ නැත.

එක් සතුරෙකුගෙන් – එනම් සිංහල රාජ්‍යයෙන් – ආරම්භ වූ සන්නද්ධ අරගලය, පරාජය වන විට මුළු ලෝකයම පාහේ ඊට එරෙහි පැත්තට හැරවී තිබුණි. එනම් අවසන සියල්ලම වාගේ සතුරන් වී තිබුණි. මාඕ විශ්වාස කළේ අනෙක් සියල්ලන්ම මිතුරන් කර ගනිමින් ප්‍රධාන සතුරා හුදෙකලා කළ යුතු බවයි; ප්‍රභාකරන්ට එය “එක්කෝ මගේ විදිහ, නැත්නම් වෙන මුකුත් නෑ” විය.

“අප ඇසිය යුතු පළමු ප්‍රශ්නය නම් ද්‍රෝහියෙක් ද නැද්ද යන්න තීරණය කිරීමට ප්‍රභාකරන්ට සහ කොටි සංවිධානයට බලය දුන්නේ කවුද යන්නයි,” මේ වන විට බටහිර රටක ජීවත් වන, මඩකලපුවේ හිටපු දෙමළ සටන්කාමියෙකු වන රත්න රාජදුරෙයි අසයි.

1980 ගණන්වල මැද භාගයේදී, ඔහු සහ ඔහුගේ සගයන්, සාපේක්ෂව අඩු ආයුධ ප්‍රමානයකින් සන්නද්ධව සිටි අවධියේ, උතුරේ සියලු සංවිධාන එකතුව ශ්‍රී ලංකා රජයට එරෙහිව සටන් කළ යුතු අවස්ථාවක, කොටි සංවිධානයෙන් සැඟවී සිටීමට හෝ ඉඳහිට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ගත කළ දිගු කාල පරිච්ඡේදයන් රාජදුරෙයි වේදනාවෙන් යුතුව සිහිපත් කරයි.

ltte knews end prabha
Photo Credit: Reuters

ඔහුට අනුව, 1990 මුල් භාගය වන තෙක් මඩකලපුවේ පමණක් වසර හතරක් පමණක් ඇතුළත, කොටි නොවන කණ්ඩායම්වලට අයත් දෙමළ සටන්කාමීන් 600 කට ආසන්න ප්‍රමාණයක් අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ඝාතනයට ලක්ව ඇත.

රාජදුරෙයි පවසන්නේ එක්තරා අවස්ථාවක කොටි සංවිධානය විසින් ඊ.පී.ආර්.එල්.එෆ් ක්‍රියාකාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කර, ඔහුගේ සිරුරේ ඇඳුම් ඉවත් කර, මණ්ඩූර් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ඇදගෙන ගොස්, ඔහුගේ අවසන් කටයුතු වලදී පවා ඔහුට ඇඳුම් නොඇන්දවිය යුතු යැයි අණ කළ බවයි.

“මෙය කම්පනයට පත් කරවන සහ අභව්‍ය සිදුවීමක් වුණා,” රාජදුරෙයි පැවසීය. “එය අපේ ආගමට විරුද්ධයි. කෙසේ හෝ කොටි සංවිධානයේ අණ නොසලකා හැරීමට ගම්වාසීන් ධෛර්යයක් ගොඩනඟා ගත්තා. මේ එකම එක වතාවට කොටි සංවිධානය පස්සට ගියා. කොහොම වුණත්, ඒ වෙනකොට ඔවුන් මඩකලපුවේ ප්‍රබලම බලවේගය වෙලා හිටියේ නැහැ. ඒත් ඒ නිරුවත්, ලේ වැකුණු සිරුර මට කවදාවත් අමතක කරන්න බැහැ.”

මඩකලපුවේ සිදු වූ දේ නොදැනම, ප්‍රභාකරන්ව ඝාතනය කිරීමෙන් පසු ශ්‍රී ලංකා හමුදාව ද ඔහුට සැලකුවේ එලෙසමය. ඔවුහු ඔහුගේ සටන් ඇඳුම් ගලවා, අපිරිසිදු යට ඇඳුම්වලින් පමණක් ඔහුව තැබීය. කොටි සංවිධානයේ අතින් දුක් වින්ද අයට, මෙය කර්මයේ ආපසු හැරී පැමිණීමක් බදුවිය.

– M.R. Narayan Swamy –
උපුටා ගැනීම – Jaffna Monitor වෙබ් අඩවියෙන් ය.

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...