මෑතකදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය විසින් ආරම්භ කරන ලද ‘හේවුඩ් කලා කෞතුකාගාරය’ හරහා රාජ්‍ය මුදල් අවභාවිතා කර ඇතැයිද, ඊට විරුද්ධව තමන් ඇතුළු දෘශ්‍ය කලා සමාජ ක්‍රියාකාරිකයින් නීති මගින් කටයුතු කරන්නට සූදානම් බවද ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන සුජිත් රත්නායක මහතා ප්‍රකාශ කරයි.
පසුගිය 18 වැනිදා කොළඹ එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කළේ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨයේ වත්මන් පීඨාධිපති සත්සර ඉළඟසිංහ මහතාගේ පෞද්ගලික වුවමනාවකට හෝ උසස්වීමක් ලබාගැනීමේ අරමුණින්, කිසිදු විධිමත් පර්යේෂණයකින් තොරව ඉතා කෙටි කාලයක් තුළ මෙම කෞතුකාගාරය ස්ථාපිත කර ඇති බවයි.

මෙම කෞතුකාගාරය සඳහා කලාකෘති තෝරාගෙන ඇත්තේ විනිවිදභාවයකින් යුතු විනිශ්චය මණ්ඩලයකින් හෝ නිල ලිපි මාර්ගයෙන් නොව, පීඨාධිපතිවරයා දුරකථනයෙන් කතා කර තමන්ට හිතවත් අයගෙන් බවත්, ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාවට විශාල දායකත්වයක් දුන් පුරෝගාමී කලාකරුවන් රැසක් මේ හේතුවෙන් මඟහැරී ඇති බවත් සුජිත් රත්නායක මහතා පෙන්වා දෙයි. එමෙන්ම මෙම කෞතුකාගාරය වෙනුවෙන් එළිදැක්වූ මිල අධික ග්‍රන්ථයේ අඩංගු තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවටද හෙතෙම චෝදනා කරයි.
අදාළ විශ්වවිද්‍යාලය සිංහල මාධ්‍ය විශ්වවිද්‍යාලයක් වුවද, මෙම කෞතුකාගාර ග්‍රන්ථය මුද්‍රණය කර ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බව පෙන්වා දෙන ඒ මහතා, මෙය රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බවද ප්‍රකාශ කළේය.
මහජන මුදලින් නඩත්තු වන විශ්වවිද්‍යාලයක් තුළ සිදුවන මෙම අත්තනෝමතික ක්‍රියාවලියට සහ සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නා බව සුජිත් රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.






