මලයාලම් සිනමාවේ දැවැන්තයකු ලෙස සැලකෙන අදූර් ගෝපාලක්‍රිෂ්ණන් අවුරුදු 10කට පසුව අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. එහි නම “පාදයාත්‍රා”. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ මම්මුති.
අලුත් පරම්පරාවේ සිනමා ලෝලීන් බොහෝ දෙනෙක් අදූර් ගෝපාලක්‍රිෂ්ණන් ගැන අසා නොතිබිය හැකියි. මේ වන විට ඔහුට වයස අවුරුදු 85ක්. නවසිය අනූ ගණන්වල සිනමාවට දැඩි ලෙස ඇලුම් කළ අපට ඔහු සිනමාවේ වීරයෙක් වුණා.
මුඛමුඛම්, මතිලුකල්, එලිපතායම් වැනි චිත්‍රපට ඒ කාලයේ මෙරට පැවති සිනමා උළෙලවල ප්‍රදර්ශනය වූ බව මට මතකයි.

ගෝපාලක්‍රිෂ්ණන් සැලකෙන්නේ මලයාලම් සිනමාවේ කලාත්මක ධාරාව තුළ වැදගත් නිර්මාණ රැසක් බිහි කළ සිනමාකරුවකු ලෙසයි. සත්‍යජිත් රායි, ම්රිනාල් සෙන් සහ රිත්වික් ඝටක් වැනි ඉන්දීය අධ්‍යක්ෂවරුන්ගේ කුලකයට අදූර්වත් ඇතුළත් කළ හැකියි. ඔහුද ඔහුටම ආවේණික වූ සිනමා භාෂාවක් භාවිත කළ නිර්මාණකරුවෙකි.
ඔහුගේ “මුඛමුඛම්” චිත්‍රපටයේ තිරනාටකය නවසිය අනූ ගණන්වල සිංහලට පරිවර්තනය වුණා. ඒ සඳහා මගේත් පුංචි සම්බන්ධයක් තිබෙනවා. එම තිරනාටකයේ ඉංග්‍රීසි පරිවර්තනයක් කොළඹ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ පුස්තකාලයේ තිබී මට හමු වුණා. මම එය මගේ හිතවතකු වූ ගාමිණී වේරගමටත් කියවන්න දුන්නා. ඔහු එය කියවා “මුහුණට මුහුණ” නමින් සිංහලට පරිවර්තනය කළා.
ගෝපාලක්‍රිෂ්ණන්ගේ අලුත් චිත්‍රපටය නගරයේ ලාභදායී වෘත්තීය ජීවිතය අත්හැර වනාන්තරවල ජීවත් වන ගෝත්‍රික ජන කණ්ඩායම්වලට සේවය කිරීමට යන වෛද්‍යවරයකුගේ කතාව කියන චිත්‍රපටයක් බවයි වාර්තා වන්නේ.

කාලයකට පසුව ගෝපාලක්‍රිෂ්ණන්ගේ චිත්‍රපටයක් නැරඹීමට ලැබීම කුතුහලයත් නොඉවසිල්ලත් ඇති කරන සිදුවීමක්.
— නිහාල් පීරිස්
උපුටා ගැනීම – ෆේස්බුක්






