වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත්වූ පසුව රට තුළ පැවති ඖෂධ හිඟය බරපතළ තත්ත්වයට පත්විය. ඒ සඳහා ආණ්ඩුවට තවමත් නිසි පිළිතුරක් සොයාගත නොහැකිව ඇත. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කටමැත දොඩන්නට දක්ෂයෙක් වුණත් සෞඛ්‍ය පරිපාලනයේදී කුඩා මිනිසෙක් බව එන්න එන්නම පෙන්වමින් සිටියි. පසුගිය රජයන් කාලයේ ඇරඹි සංවර්ධන වැඩසටහන් නව නාමපුවරු යටතේ කරගෙන යනවාට අමතරව සෞඛ්‍ය සේවයේ උන්නතිය වෙනුවෙන් කරන දෙයක් පෙනෙන්නට නැත.
බොහෝ රෝහල්වල දැඩි ඖෂධ හිඟයක් පවතින්නේ අවුරුද්දක් වැනි කාලයකටත් වැඩි කාලයක සිටය. නමුත් ආණ්ඩුවට සහ බලධාරීන්ට තවමත් ඊට පිළිතුරු නැත. බොහෝ රෝහල්වල කැඩුණු රෝහල් උපකරණ නැවත භාවිතයට ගන්නට පුළුවන් ආකාරයට සකස් කිරීමේ විශාල ප්‍රමාදයන් පවතී. ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා අංශයේ විකිරණ ප්‍රතිකාර ලබන අසරණ රෝගීන් වෙනත් රෝහල්වලට මාරු කර යවමින් සිටියි. දැඩි ශාරීරික මෙන්ම මානසික වේදනාවක සිටින පිළිකා රෝගීන්ට එය විශාල අපහසුවකි. එහෙත් ආණ්ඩුවට මේ කිසිවකට පිළිතුරු නැත.
අනෙක් පැත්තෙන් ඉන්දීය ඖෂධ සංග්‍රහය පිළිගෙන කටයුතු කරගෙන යාම නිසා බාල බෙහෙත්වලින් රෝගී ජනතාව තවත් අසරණභාවයට හෙළා ඇත. මේවා කීවාට ආණ්ඩුව කිසි දෙයක් ගණනකට ගන්නා බවක් ද පෙනෙන්නට නැත. පිළිකා රෝගීන්ට ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ රජයේ රෝහල් තුළ මෙන්ම පුද්ගලික අංශයේ ෆාමසි තුළද නැතැයි කියමින් අපි මේ උද්ඝෝෂණය කරන්නේ විශාල කාලයක සිටය. නමුත් ඒ කිසිවක් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ගණන් ගන්නා බවක් පෙනෙන්නට නැත. මෙම තත්ත්වය තුළ රෝගීන්ගේ රෝගී ජීවිත මෙන්ම රෝගීන්ගේ සමීපතයින්ගේ මානසික නිදහස ද අවුලෙන් අවුලට ගොස් ඇත.
මෙම තත්ත්වය තුළ නිදහස් සෞඛ්‍ය සේවයක් තවදුරටත් නොපවතී යන්න අවධාරණය කළ යුතුය. බොහෝ ග්‍රාමීය දුප්පත් ජනතාව වෙසෙන ප්‍රදේශවල රෝහල් තුළ තුවාලවලට දමන ගෝස් කෑලිත් පිටින් ගෙනයන්නට සිදුව ඇත. ජනතා ආණ්ඩු වැඩ කරන්නේ මෙසේදැයි ඇසිය යුතුය.
මෙම තත්ත්වය තුළ මහරගම අපේක්ෂා රෝහලේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය කිහිපයක් පරිත්‍යාග කරන ලෙස රෝහල් බලධාරීන් ඉල්ලීමක් කර ඇත. එයින් වර්තමාන සෞඛ්‍යයට උරුම කරුමය පෙන්වයි.
Tigecycline 50mg එන්නත්, Methotrexate 500mg එන්නත්, Fluorouracil 1g එන්නත්, Methotrexate 2.5mg පෙති, Voriconazole 200mg පෙති සහ chlorambucil 2mg කැප්සියුල් පරිත්‍යාග කරන්නැයි රෝහල් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම ඖෂධවලට අමතරව වැඩිහිටි රෝගීන් සඳහා භාවිත කරන Colostomy Bags සහ Plates ද ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය ලෙස අවශ්‍යව පවතින බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මේවා අමාත්‍ය නලින්ද ජයතිස්ස දන්නේ නැද්ද? අපට අසන්නට තිබෙන ප්රශ්නය එයයි.
මෙම ඖෂධ සහ ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේදී මුල් ඉන්වොයිස් සමග අදාළ පරිත්‍යාග ලබාදෙන ලෙසත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමත ඖෂධ පමණක් තමන් භාරගනු ලබන බවත් රෝහල් බලධාරීහු ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඖෂධ සහ අනෙකුත් පරිත්‍යාග භාරගැනීම සතියේ දිනවල පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වාත්, සෙනසුරාදා පෙ.ව. 8.00 සිට දහවල් 12.00 දක්වාත් සිදු කරනු ලැබේ. මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු සඳහා 0777468503, 0112850252 සහ 0112897377 (Extension 1629) යන දුරකථන අංක අමතන ලෙසත් මහරගම අපේක්ෂා රෝහල් බලධාරීහු පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටිති.
දැන් අපිට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් අසන්නට සිදුවන්නේ භාණ්ඩාගාරය උතුරන්නට සල්ලි තිබේ නම් ඩොලර් සංචිත අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තිබෙන්නේ නම් මේ ඖෂධ වහාම ආනයනය නොකරන්නේ මන්ද යන්නයි. ටෙන්ඩර් දාන්න ඕනෑ, නිසි ක්‍රමවේද තිබෙනවා ඒවා නිසා පරක්කු වෙනවා වැනි කතා දැන් කියලා වැඩක් නැත. අවුරුද්දක් එක හමාරක් දැන් ප්‍රමාදයි. එනිසා වැඩබැරිනම් ඉල්ලා අස්වී පුළුවන් කෙනෙක්ට දෙන එක යුතුකමකි. රටක සෞඛ්‍ය යනු එම රටේ ජීවය බව අමතක කළ යුතු නැත. එනිසා ජනාධිපතිවරයාට වැඩබැරි දාසලා තියාගෙන සෞඛ්‍ය විනාශ කරනවාද යන්න සිතා බැලිය යුතුය.




