නීතියේ පාලනය පවත්වාගෙන යාම සඳහා සහ එය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇති පොලිසියම නීතියේ සීමා ඉක්මවා කටයුතු කරන්නේ නම්, අහිංසක පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කවුද යන්න මේ දිනවල බොහෝමයක් දෙනා සාකච්ඡා කරන මාතෘකාවක්. එය තවත් වැඩිවර්ධනය කරන පනත් දෙකක් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වෙලා. ඒ තමයි ත්‍රස්තවාදය වැළැක්වීමට සහ මර්දනයට ඇවිත් තිබෙන නව පනත සහ සංවිධානාත්මක අපරාධ මර්දනය වෙනුවෙන් ගෙන එන පනත. මේ පනත් දෙකම මිනිසුන්ගේ නිදහසට සහ මූලික මිනිස් අයිතීන්වලට පටහැනි කියන එක තමයි මේ වන විට බහුතරයේ මතය වෙලා තිබෙන්නේ.
මෙවැනි තත්ත්වයක් තුළ ගම්පහ මහේස්ත්රාත්වරයාගේ නියෝගයක් නිසා මේ සංවාදය තවත් පළල් සංවාදයක් බවට හැරිලා. මෙන්න මේ තත්ත්වය තුළ මත්ද්‍රව්‍ය මර්දනයේ නාමයෙන් සැකකරුවන්ට එරෙහිව අවිධිමත් ලෙස නඩු පැවරීම, අධිකරණ නියෝග නොසලකා හැරීම සහ පොලිස් නිලධාරීන්ගේ කාර්යසාධනය නඩු සංඛ්‍යාවෙන් මැනීමේ ක්‍රමවේදය පිළිබඳව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මතු වී ඇති ප්‍රශ්න, ලංකාවේ නීතියේ ආධිපත්‍යය පිළිබඳ බරපතළ සංවාදයකට මඟ පාදලා තිබෙනවා.
මොකක්ද මේ සිද්ධිය?
2026 ඔක්තෝබර් 21 වැනිදා වාර්තා වූ මෙම සිදුවීමේදී, ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සලකා බැලීම සඳහා අදාළ ලිපිගොනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඊට පසුබිම් වී ඇත්තේ එක් පුද්ගලයකුට එරෙහිව පවරන ලද මත්ද්‍රව්‍ය නඩු දෙකක් පමණක් නොවේ. එම සිදුවීම හරහා පොලිස් ක්‍රියාකලාපය, අධිකරණ නියෝගවලට ගරු කිරීම සහ සාමාන්‍ය පුරවැසියාගේ නීතිමය ආරක්ෂාව පිළිබඳ ගැටලු රැසක් මතු වී තිබෙනවා. මොකක්ද මේ සිදුවීම කියා අපි සොයා බලමු. මෙම සිදුවීමේ කේන්ද්‍රයේ සිටින්නේ ගම්පහ, දේවලපොළ, මාකන්දන ප්‍රදේශයේ පදිංචි චාමර චතුරංග මාරසිංහ නමැති පුද්ගලයා.
2026 මැයි 6 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගම්පහ අස්ගිරිය මංසන්ධියේදී අයිස් මිලිග්‍රෑම් 130ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 500ක් ළඟ තබාගත් බවට ඔහුට එරෙහිව ගම්පහ දූෂණ මර්දන අංශය නඩු පවරා තිබූ අතර එම සිදුවීමට අදාළව අංක 1743 සහ 1744 යටතේ නඩු දෙකක් ගොනු කර තිබූ අතර, එකම පුද්ගලයකුට එරෙහිව එකම දිනයක නඩු දෙකක් පවරා තිබීමම විශේෂයක්. එය මහේස්ත්රාත්වරයාගේ අවධානයට ලක්ව තිබුණා.
පළමු නඩුවේදී චෝදනාවට වරද පිළිගත් මාරසිංහට දඩයක් නියම කරන්නට අධිකරණය කටයුතු කළ අතර ඉන් සුළු වේලාවකට පසු දෙවැනි නඩුව ද කැඳවා තිබුණු අතර එහිදී පොලිසිය විසින් චෝදනා ගොනු කිරීමේදී වරදක් සිදුව ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන්වරයකු පිළිගෙන තිබුණා. එහිදී එම නිලධාරියා අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ වැටලීමේදී තවත් පුද්ගලයන් 16 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවත්, මාරසිංහට එරෙහිව චෝදනා වැරදි ලෙස ගොනු කර ඇති බවත් ය. එහිදී පොලිසිය එක් නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා, අනෙක් නඩුව පවත්වාගෙන යෑමට උත්සාහ කර තිබුණා.
එහෙත් එම ඉල්ලීම පිළිනොගනිමින් මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබුණේ අදාළ පුද්ගලයාට එරෙහිව නඩු පැවරීම නිස්සාර හා පීඩාකාරී ආකාරයෙන් සිදු කර ඇති බවයි. ඒ අනුව ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට මාරසිංහට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබුණා.
එමෙන්ම, අහිංසක පුරවැසියන්ට එරෙහිව පදනම් විරහිත නඩු පැවරීමෙන් වැළකී සිටින ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් ලැබෙන පරිදි රට පුරා ක්‍රියාත්මක වන චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග නිකුත් කළා. ඇත්තටම මේක වැදගත් නඩු තීන්දුවක්. පොලිසිය අත්තනෝමතික ආකාරයට කටයුතු කරමින් පුද්ගලයන්ගෙන් පළිගැනීම වැනි අරමුණු සඳහා මත්ද්‍රව්‍ය නීතිය නමා තමන්ට අවශ්‍ය ආකාරයට පරිහරණය කිරීම පිළිබඳව රට තුළ තිබෙන බරපතළ සංවාදයට මේ නඩු තීන්දුව හොඳ නිමිත්තක් වුණා.
නමුත් අප මෙහිදී අවධානයට ගත යුතු ප්‍රධාන කරුණ වන්නේ වන්දි ගෙවීමෙන් පමණක් සිදුව ඇති හානිය නිවැරදි කළ හැකිද යන්නයි. අසාධාරණ ලෙස නඩුවකට පැටලෙන පුද්ගලයකුට නීතිඥ ගාස්තු, කාලය, රැකියාව අහිමි වීමේ අවදානම, සමාජ අපකීර්තිය සහ මානසික පීඩනය වැනි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවන තත්ත්වයක් තුළ අප මෙය බරපතළව සලකා බැලිය යුතුයි. මෙවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළම වගවීමේ ක්‍රමවේදයක් පැවතීම අත්‍යවශ්‍යයි. එයත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර තිබුණු බව පෙනෙනවා.
පොලිස්පතිවරයා මහේස්ත්‍රාත් නියෝගය ක්‍රියාත්මක නොකළේ ඇයි?
මෙම නඩු තීන්දුව හරහා මහේස්ත්රාත්වරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයාට ලබා දී තිබූ කාලය තුළ අදාළ චක්‍රලේඛය නිකුත් නොකරන්නට පොලිස්පතිවරයා කටයුතු කිරීමත් සමඟ ඒ පිළිබඳව මහේස්ත්රාත්වරයාගේ අවධානය යොමුව තිබුණු අතර මෙහිදී අප අවධාරණය කළ යුතු කරුණ වන්නේ, අධිකරණය ඉල්ලා තිබුණේ බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට පමණක් අදාළ වන උපදෙස් මාලාවක් නොව රටේ සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි, අහිංසක පුරවැසියන්ට එරෙහිව පදනම් විරහිත නඩු පැවරීමෙන් වැළකීම සඳහා පොලිස්පතිවරයා විසින් නිකුත් කළ යුතු ජාතික මට්ටමේ චක්‍රලේඛයක් බවය.
එහෙත් පසුගිය ඔක්තෝබර් 21 දා නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිස් නීති කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ 2026 ඔක්තෝබර් 19 දා බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවකි. එය අදාළ වී තිබුණේ ගම්පහ, කැලණිය සහ මීගමුව පොලිස් කොට්ඨාසවලට පමණි. එම ලේඛනය පරීක්ෂා කළ මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ, “මේක මාව අන්දවන්න කරන දෙයක්” යනුවෙනි.
අධිකරණය නියෝග කර තිබුණේ පොලිස්පතිවරයාටය. එහෙත් ඉදිරිපත් කර තිබුණේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් ප්‍රදේශ කිහිපයකට පමණක් නිකුත් කළ උපදෙස් මාලාවකි. එම වෙනස මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැඩිව ප්‍රශ්න කළ අතර රට පුරා සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස නියෝග කර තිබියදී, පළාත් කිහිපයකට පමණක් සීමා වූ උපදෙස් මාලාවක් ඉදිරිපත් කිරීමෙන් අධිකරණ නියෝගය ඉටු වූයේ කෙසේද යන්න මෙහි මූලික ප්රශ්නයයි.
මහේස්ත්රාත්වරයාගේ විවේචනය එතැනින් නතර වූයේ නැත. අධිකරණ නියෝගයකට පවා පොලිසිය මෙලෙස ප්‍රතිචාර දක්වන්නේ නම්, සාමාන්‍ය ජනතාවගේ පැමිණිලි සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කරන්නේ කෙසේදැයි ඔහු මෙහිදී ප්‍රශ්න කළේය. ඒ අර්ථයෙන් මහේස්ත්රාත්වරයාගේ මේ හැසිරීමට අප ජනතාව ලෙස ආචාර කළ යුතුය.
මාස පහකට ආසන්න කාලයක් ලබා දී තිබියදීත් නියෝගය නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ඔහු පොලිසිය දැඩි දෝෂදර්ශනයට ලක් කළ අතර අවසානයේදී පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සලකා බැලීම සඳහා අදාළ ලිපිගොනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට පියවර ගත්තේය.
දැන් වැඩේ තිබෙන්නේ අභියාචනාධිකරණය තුළය. පසුගිය කාලයේ අධිකරණයට අපහාස කිරීම පිළිබඳව සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර එම සිදුවීම් පිළිබඳ අධිකරණ ක්‍රියාවලීන් ආරම්භ වී තිබෙන පසුබිමේ පොලිස්පතිවරයාට විරුද්ධව අපහාස නඩුවක් වැටෙයිද? දැන් අපිට තිබෙන්නේ බලා සිටින්නටය.
අධිකරණයට අපහාස කිරීම යනු කුමක්ද?
මෙම සිදුවීමේ නීතිමය වැදගත්කම තේරුම් ගැනීම සඳහා අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නීතිය සැලකිල්ලට ගත යුතුය. ශ්‍රී ලංකාවේ 2024 අංක 8 දරන Contempt of a Court, Tribunal or Institution Act පනත මඟින් අධිකරණවල අධිකාරිය සහ ගෞරවය ආරක්ෂා කිරීම, අධිකරණ නියෝගවලට අනුකූල වීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධා වැළැක්වීම සඳහා නීතිමය රාමුවක් සපයා තිබෙන අතර එම පනතේ 3 වැනි වගන්තිය යටතේ, අධිකරණ නියෝගයක් හිතාමතාම නොපිළිපැදීම ඇතුළු නිශ්චිත ක්‍රියා අධිකරණයට අපහාස කිරීමක් විය හැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව ද ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ බලය ලබා දෙයි. එහෙත් මෙහිදී වැදගත් නීතිමය වෙනසක් තිබේ. ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනුව අභියාචනාධිකරණය වෙත යොමු කිරීමෙන් අදහස් වන්නේ පොලිස්පතිවරයාට එරෙහි නඩු විභාගයක් අවසන් වී ඔහු වරදකරු කර ඇති බව නොවේ. එය අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගනු ලැබූ පියවරකි. අවසාන නීතිමය තීරණය ගැනීම අදාළ අධිකරණ ක්‍රියාවලියට අයත් කාර්යයකි.
එබැවින් මෙම සිදුවීමේ වැදගත්කම ඇත්තේ පොලිස්පතිවරයා වරදකරු වී ඇතැයි පූර්ව නිගමනය කිරීම තුළ නොව, අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රටේ ඉහළම පොලිස් නිලධාරියාට පවා නීතිය ඉදිරියේ වගවීමට සිදුවිය හැකි බව පෙන්වා දීම තුළය. ඒ අනුව දැන් අපිට තිබෙන්නේ නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වන්නේද යන්න බලාගෙන සිටීමටය.
නඩු සංඛ්‍යාව වැඩි කිරීම පොලිසියේ කාර්යක්ෂමතාවද?
මෙම නඩුවේදී මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න ඉදිරිපත් කළ තවත් බරපතළ විවේචනයක් වූයේ පොලිස් නිලධාරීන්ගේ කාර්යසාධනය මැනීම සඳහා නඩු සංඛ්‍යාව වැඩි කිරීමේ ඉලක්ක භාවිත කිරීමයි. වාර්තාවට අනුව, එක් මාසයකදී පවරන නඩු සංඛ්‍යාවට වඩා වැඩි නඩු සංඛ්‍යාවක් ඊළඟ මාසයේදී පවරන ලෙස පහළ නිලධාරීන්ට ඉහළ නිලධාරීන් විසින් උපදෙස් දෙන ක්‍රමවේදය මෙහිදී මහේස්ත්රාත්වරයාගේ බරපතළ විවේචනයට ලක් විය.
ඔහු පෙන්වා දුන්නේ එවැනි ක්‍රමවේදයකින් සැබෑ අපරාධ මර්දන කාර්යක්ෂමතාව මැනිය නොහැකි බවයි. නඩු සංඛ්‍යාව වැඩි වීම පමණක් පොලිසියේ කාර්යසාධනයේ වර්ධනයක් ලෙස සැලකිය නොහැකිය. එය සමහර අවස්ථාවලදී අදාළ ප්‍රදේශයේ අපරාධ වැළැක්වීමේ සහ විමර්ශනයේ ගැටලු ද පෙන්නුම් කළ හැකිය. මෙහිදී මහේස්ත්‍රාත්වරයා සිනහවෙන් පෙන්වා දුන්නේ මේ ආකාරයට දිගින් දිගටම නඩු සංඛ්‍යාව වැඩි කිරීමට නියෝග කළහොත්, තවත් වසර පහක් ගත වන විට නඩු පැවරීම සඳහා රටේ ජනගහනය පවා ප්‍රමාණවත් නොවන තත්ත්වයක් උදා විය හැකි බවයි.
මෙහි මතු වන මූලික ප්රශ්නය වන්නේ පොලිසිය සාර්ථක වන්නේ අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම් වැඩි කිරීමෙන්ද, නැතහොත් අපරාධ වැළැක්වීම, නිවැරදි සාක්ෂි මත විමර්ශන සිදු කිරීම සහ සැබෑ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමෙන්ද යන්නයි. නඩු සංඛ්‍යාව ඉලක්කයක් බවට පත් වූ විට, සාධාරණ විමර්ශනය වෙනුවට සංඛ්‍යාලේඛන පුරවා ගැනීමේ පීඩනයක් ඇති වීමේ අවදානමක් තිබේ.
රස පරීක්ෂක වාර්තා මතු කරන තවත් ප්‍රශ්නයක්
මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවකදී අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය සැබැවින්ම නීතියෙන් තහනම් මත්ද්රව්යයක්ද යන්න තහවුරු කිරීම සඳහා විද්‍යාත්මක පරීක්ෂණ සහ රජයේ රස පරීක්ෂක වාර්තා වැදගත් වේ. ගම්පහ මහේස්ත්‍රාත්වරයා මෙහිදී පෙන්වා දී තිබුණේ ඇතැම් නඩුවලදී පොලිසිය සඳහන් කරන මත්ද්‍රව්‍ය ප්‍රමාණයට වඩා ඉතා අඩු ප්‍රමාණයක් රස පරීක්ෂක වාර්තාවලින් අනාවරණය වන බවත්, ඇතැම් අවස්ථාවල ඉදිරිපත් කළ නඩු භාණ්ඩවල කිසිදු මත්ද්‍රව්‍යයක් අනාවරණය නොවන බවත්ය.
මෙය හුදෙක් තාක්ෂණික ගැටලුවක් පමණක් නොවන අතර සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේ සිට නඩුව විභාග කිරීම දක්වා ඔහුගේ නිදහසට සහ ජීවිතයට බලපෑම් ඇති විය හැකි කතාවක් මෙහි තිබෙයි. එනිසා අප පුරවැසියන් ලෙස මේ පිළිබඳව බරපතළ ලෙස කල්පනා කළ යුතුය. මත්ද්‍රව්‍ය කියා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ පුද්ගලයෙක් මාස දෙක තුනකට පසුව කිසිදු මත්ද්‍රව්‍ය චෝදනාවක් නැතිව නොදොස් කොට නිදහස් වන්නේ නම් ඔහුට රිමාන්ඩ් කාලයේදී විඳින්නට සිදුවූ ගැහැටවලට වගකියන්නේ කවුද? එම පුද්ගලයාගේ පවුලේ සමීපතමයන්ට එම කාලයේදී විඳින්නට සිදුවෙන ගැහැටවලට වගකියන්නේ කවුද?
මේ ආකාරයට බලනවිට ගම්පහ මහේස්ත්රාත්වරයාගේ තීන්දුව සහ ඔහු අධිකරණයේදී දැක්වූ අදහස් බෙහෙවින් වැදගත්ය.
-කේ. සංජීව-




