2026 වර්ෂයේ දෙවන කාර්තුව වනවිට ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 4% දක්වා ඉහළ ගොස් ඇති බවත් රැකියා සොයා ගැනීමේදී තරුණ ප්‍රජාව දැඩි අභියෝගයකට මුහුණ දෙමින් සිටින බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවලින් ප්‍රකාශ වෙයි.
මෙය 2025 දෙවන කාර්තුවේ වාර්තා වූ 3.8% ක සහ මෙම වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ 3.7% ක විරැකියා අනුපාතයට වඩා ඉහළ අගයක් වන අතර, මෙම කාර්තුව තුළ රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 340,240 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
මෙම දත්තවලට අනුව, පිරිමි පුද්ගලයන්ගේ විරැකියා අනුපාතය 2.8% ක් වන විට කාන්තාවන්ගේ විරැකියා අනුපාතය 6.1% ක් ලෙස සැලකිය යුතු ඉහළ අගයක් වාර්තා කර ඇත. ඉහළම විරැකියා අනුපාතය වයස අවුරුදු 15 ත් 24 ත් අතර පුද්ගලයින් අතරින් වාර්තා වී තිබීම විශේෂත්වයකි. ඒ අනුව තරුණ ජනගහනය රැකියා සොයා ගැනීමේදී බරපතළ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියි.
2022 ආර්ථික අර්බුදයෙන් පසු ව්‍යාපාරිකයින් අඛණ්ඩව මුහුණ දෙන දුෂ්කරතා තවමත් ජයගන්නට නොහැකි වීම මෙන්ම ඩිට්වා වැනි ස්වාභාවික ව්‍යසන සහ ගෝලීය ආර්ථිකයේ පවතින ආතතීන් මෙම තත්ත්වයට හේතුවිය හැකියැයි අනුමාන කෙරේ. මීට අමතරව රජය බලාපොරොත්තු වූ මට්ටමට විදෙස් ආයෝජනයන් සිදුනොවීම මෙන්ම තිබෙන කර්මාන්ත රැකගන්නට නිසි වැඩපිළිවෙළක් නොවීම මෙම තත්ත්වයට හේතුවී ඇත.
මේ අතර 2026 දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය 50% දක්වා වැඩි වී ඇති අතර, එය 2025 අනුරූප කාර්තුවේදී 49.3% ක් සහ මේ වසරේ පළමු කාර්තුවේදී 49.2% ක් ලෙස වාර්තා වී ඇත.




