පසුගිය දවසක ජනාධිපතිතුමා පොළොන්නරුවේ ගොවි රැළියක් අමතා විශේෂ කතාවක් කළා. පැයක පමණ කාලයක් කළ එම කතාවේ විනාඩි දෙක තුනක් බීජ වෙනුවෙන් කතා කළා. මේ ඒ කොටසයි;
“ඊළඟට ගොවි ජනතාවට ප්‍රධාන දේ තමයි බීජ. අපි දන්නවා අපිට විශාල බීජ විවිධත්වයක් තිබුණු රටක්. විවිධ වර්ගයේ බීජ තිබුණා. වට්ටක්කා ගත්තොත් ප්‍රභේද ගණනාවක් තිබුණා. වැටකොළු ගත්තොත් ප්‍රභේද ගණනාවක් තිබුණා. බණ්ඩක්කා ගත්තොත් ප්‍රභේද ගණනාවක් තිබුණා. බඩඉරිඟු ගත්තොත් ප්‍රභේද ගණනාවක් තිබුණා. අද ගත්තොත් රජරට ලේඩි බඩඉරිඟු. වට්ටක්කා නම් මැලේසියන් වට්ටක්කා. මේ ඔක්කොම මුළු බීජ ප්‍රභේදම නැති වුණා.
දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරපු පාලකයෝ අපේ රටේ මුළු බීජ වෙළෙඳපොළම, අපේ විවිධත්වය නැතිකරලා, වට්ටක්කා වර්ග කොච්චර තිබුණද, වැටකොළු වර්ග කොච්චර තිබුණද, පතෝල වර්ග කොච්චර තිබුණද, ඔක්කොම නැතිකරලා තියෙන්නේ. අද මොකක්ද කොහෙන්හරි ටින් එකෙන් ගෙන්නලා හිටවන්න වෙලා තියෙනවා. එක වර්ගයයි. එක්කො මීමිනි වට්ටක්කා, එක්කො රජරට ලේඩි, එහෙම නේද? මොකක්ද සිද්ධ වුණේ? නැවත අපි සතුව සංරක්ෂණය කරලා තියෙනවා සමහර ප්‍රභේද. ඒවා නැවතත් අධ්‍යයනය කරලා අපේ බීජ පර්යේෂණායතන ටික දියුණු කරලා,
බීජ පර්යේෂණායතන ටික අපි හදන්න ඕන. බීජ ගොවිපළවල් ටික හදන්න ඕන. බීජ ගොවිපළවල් එක්ක සම්බන්ධ ගොවීන් හදන්න ඕන. වී නිෂ්පාදනය කරන ගොවීන් ඉන්නවා, ඒ ගොවියට අවශ්‍ය බිත්තර වී හදන ගොවියෝ ඉන්නවා. වට්ටක්කා නිෂ්පාදනය කරන ගොවීන් ඉන්නවා, ඒ ගොවීන්ට අවශ්‍ය වට්ටක්කා ඇට නිෂ්පාදනය කරන ගොවීන් ඉන්නවා. මිරිස් නිෂ්පාදනය කරන ගොවීන් ඉන්නවා ඒ අයට අවශ්‍ය මිරිස් ඇට නිෂ්පාදනය කරන ගොවීන් ඉන්නවා. ලූනු, ලොකු ලූනු නිෂ්පාදනය කරන ගොවීන් ඉන්නවා ලොකු ලූනු වලට අවශ්‍ය කරන බීජ නිෂ්පාදනය කරන ගොවීන් ඉන්නවා. දැනුත් තැන තැන ඉන්නවා, නමුත් ප්‍රමාණවත් නෑ.
ඒ නිසා විශාල ප්‍රමාණයක් පිටරටවලින් ගේනවා. ඒ නිසා හොඳ බීජ සැලැස්මක් හදනවා. අපේ බීජ පර්යේෂණායතන ඔක්කොම දියුණු කරනවා. බීජ ගොවිපළවල් ඔක්කොම දියුණු කරනවා. පර්යේෂණ කරන්න, මම කියන්නේ නෑ එකපාර අලුත් ප්‍රභේදයක් හොයාගන්න පුළුවන් කියලා. දැන් අද පර්යේෂණායතනයක් හදලා ඊළඟ කන්නයට අලුත් වැටකොළු වර්ගයක් හදන්න පුළුවන්ද? බෑ පර්යේෂණ කරන්න ඕන. අද පර්යේෂණ වලට සල්ලි දාලා ඊළඟ අවුරුද්දට වට්ටක්කා ප්‍රභේදයක් දෙන්න පුළුවන්ද? බෑ කල් යනවා. කන්න හතරක් පහක් යනවා. හැබැයි අපි පර්යේෂණායතන ටික දියුණු කරගන්න, කෘෂි පර්යේෂණායතන ටික දියුණු කරගන්න පටන් අරන් තියෙන්නේ. බීජ ගොවිපළවල් ටික සංරක්ෂණය කරලා ගොඩනඟනවා. ඒ ගොවිපළවල් එක්ක ගොවිජනතාව එකතු කරනවා. එතකොට අපිට හොඳ ඉඩම තියෙනවා, වතුර තියෙනවා, අපිටම ආවේණික වූ ඉතාම සාරවත් අස්වැන්නක් එන බීජ ප්‍රභේද නිෂ්පාදනය කරනවා අපේම බීජ ගොවිපළවල්වල. දැන් සල්ලි වෙන් කරලා තියෙන්නේ”.
මේ කතාව බැලූ බැල්මට පාක්ෂිකයන් පිනවන්න පුළුවන් කතාවක් වුණාට, මේ කතාවේ විද්‍යාත්මක පැත්ත, තාක්ෂණික කාරණා, ඇත්ත ඉතිහාසය සහ ප්‍රායෝගික යථාර්ථය ගැන සටහනක් තියන්න ඕන කියලා මම හිතනවා.
අපේ රට බිම් ප්‍රමාණයට සාපේක්ෂව හොඳ බීජ විවිධත්වයක් තිබුණු රටක් බව ඇත්ත. ඒත් ඒ ප්රභේදවල අස්වැන්න වැඩිවුණු ජනගහනයට සාපේක්ෂව ප්‍රමාණවත් වුණේ නෑ. ඒක වී ප්‍රභේදවලටත් අදාළයි. 1940 දශකයේ මිලියන 4 ක් වුණු අපේ රටේ ජනගහනය 2000 වෙද්දී මිලියන 22ක් වුණා. නිශ්චිතවම අපේ ආහාර නිෂ්පාදනයේ ඉහළ ප්‍රගතියක් අත්කරගත යුතු වුණා. අපි මුලින්ම වගා වපසරිය වැඩිකරලා ඒ ඉලක්කය සපුරාගන්න උත්සාහ කළා. ඒ වෙනුවෙන් තමයි ගොවි ජනපද ඇතිකළේ. ජලාශ, වැව් ප්‍රතිසංස්කරණය කළේ.
ඊටපස්සේ අපි ශාක අභිජනන වැඩසටහන ආරම්භ කළා. H4 කියලා වී ප්‍රභේදයක් 1950 දශකයේ අපි නිර්මාණය කරගත්තේ අපේම වී ප්‍රභේදයක් වුණු 'මුරුංගාකායන්' කියන දේශීය වී ප්‍රභේදයෙන්. ඊටපස්සේ වරණීය අභිජනනයෙන් (Selective Breeding) අපි එළවළු ප්රභේදත් හැදුවා. අදටත් අපේ රටේ හොඳම පතෝල ප්‍රභේදය TA 2. ලේන ඉරි වම්බටු තාම රසයි, අස්වැන්නත් හොඳයි. හරිත බණ්ඩක්කා, MI 5 තාම වගාවේ තියෙනවා. ඒ නිසා අපේ ප්‍රභේද නැතිවෙලා ගිහින්ය කියන කාරණය සත්‍යයෙන් තොරයි. ගොවියෝ අතර යම්කිසි දේශීය ප්‍රභේදයක් ජනප්‍රිය නම්, දිගින් දිගටම වගා කරන්න පෙළඹෙනවා නම් ඒක තමයි ඒ ප්‍රභේදය සංරක්ෂණය වෙන හොඳම විදිහ.
ජපන් ආධාරයක් විදිහට අපිට පැලෑටි ජාන සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානය (PGRC) 80 දශකයේදී ලැබෙනවා. අද වෙද්දී අපේ රටේ ශාක ප්‍රභේද 15,000කට අධික ප්‍රමාණයක් එහි සංරක්ෂණය වෙනවා. කාලෙන් කාලයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපළ හා කොන්ත්‍රාත් ගොවීන් අතරේ ඒවා ගුණනය වෙලා නැවත බීජ බැංකුවට එනවා. ඒක දැන් අවුරුදු 40ක් තිස්සේ ක්‍රියාත්මක වෙන වැඩසටහනක්. අලුතින් ප්‍රභේද හැදෙන්නේ, දෙමුහුම් හැදෙන්නේ ගන්නෝරුවේ පැලෑටි ජාන සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානය ඇතුළේ සංරක්ෂණය වුණු බීජ සහ රෝපණ ද්‍රව්‍ය තුළින් බව මෙතැනදී විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ නිසා NPP ආණ්ඩුවෙන් ඒ වෙනුවෙන් අලුතින්ම වැඩසටහනක් ආරම්භ කළා වගේ කතාවක් කීම ඉතාම සාහසිකයි. කැතයි.

අපේ බීජ ගැන රොමෑන්තික (Romantic) කතාවක් ජනාධිපතිතුමා කළාට Science පැත්ත ඊට වඩා වෙනස්. දේශපාලනයේදී එහෙම කතා කරන එක සාමාන්‍ය දෙයක් වුණත්, ඒ සංස්කෘතිය මේ ආණ්ඩුවෙන්වත් වෙනස් වෙයිද කියන බලාපොරොත්තුව ජනතාවට තියෙනවා. දෙමුහුම්කරණය, අභිජනනය, ජාන තාක්ෂණය කියන්නේ තවදුරටත් කෘෂිකර්මාන්තයේ කුණුහරුප හෝ මහා විශාල අපරාධ නෙමෙයි. අපේ රටේ තියෙන දැවැන්ත ආහාර නිෂ්පාදන අවශ්‍යතාවය සපුරාගන්න නම් අපි ඒ වෙනුවෙන් වැඩ කරන්නම ඕන. එහෙම නැතුව ‘හේන් වට්ටක්කා හරි ශෝක්’ කියන ගැලරිය පිනවන රොමෑන්තික කතා වලටනම් අපි තාමත් හුරේ දාන්නේ, අතුරලියේ රතන හිමි සහ අනුර දිසානායක අතර මහ ලොකු වෙනසක් ඇත්තේ නෑ.
රජයකට මේක තනියම කරන්න බෑ. ඕනෑම රටක බීජ වෙළෙඳපොළ දුවන්නේ පෞද්ගලික අංශයෙන්. අභිජනන තාක්ෂණය, ජාන තාක්ෂණය ඇතුළු හැමදේම කරන්නේ පෞද්ගලික අංශය විසින්. ඒ රටවල රජයන් ඒ වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබාදෙනවා. අනුග්‍රහය දෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ රටවල විශ්වවිද්‍යාල වල පර්යේෂණ අංශ ඒකාබද්ධ වෙලා තමයි අලුත් ප්‍රභේද, තාක්ෂණය ලෝකයට එන්නේ. එතකොට ඒ කෙරෙන දේ සාර්ථකත්වය ඉතාම වැඩියි. ඇමෙරිකාවේ ගත්තොත් අයෝවා විශ්වවිද්‍යාලය (Iowa), කැලිෆෝනියා ඩේවිස් (UC Davis), කොලරාඩෝ, කෝනෙල් (Cornell) විශ්වවිද්‍යාල මේ වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරනවා. නෙදර්ලන්තයේ වැගනින්ගන් (Wageningen) විශ්වවිද්‍යාලය කියන්නේ යුරෝපයේ මේ පන්නයේ පර්යේෂණ සඳහා මුදුන්මල්කඩ වගේ තැනක්. හැබැයි අපේ?
ලෝකේ කිසිම රටක රජයන් විසින් වාණිජ පරමාර්ථයෙන් පවත්වා ගෙන යන බීජ ගොවිපළවල් නෑ. කොටින්ම ඒ රටවල කෘෂිකර්ම දෙපාර්තමේන්තු අලුත් ප්‍රභේද හදන්නෙත් නෑ. පසුගිය අවුරුදු 10ට ගොවීන් අතර ජනප්‍රිය වුණු ඉහළ වාණිජ වටිනාකමක් සහිත දෙමුහුමකට තියෙන්නේ MICH 1 මිරිස් විතරයි. තව තියෙනවා නම් දැනුවත් කරන්න.
අලුත් ප්‍රභේදයක් කන්නයකින් දෙකකින් හදන්න බැරි බව ඇත්ත. ඒකට ලොකු කාලයක්, විනයක් ඕන. හැබැයි වැදගත් වෙන්නේ අපි හදන්න උත්සාහ ගන්න ප්‍රභේදයේ ස්වභාවය ඊළඟ අවුරුදු 10 තුළ රටේ ආහාර සුරක්ෂිතභාවයේ පරමාර්ථ එක්ක කොයිතරම් දුරට පෑහෙනවද, පෝෂණය හා දේශගුණය එක්ක කොහොම හැසිරෙයිද වගේ කාරණා මිසක්, හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් කීයද කියන සරල තැන නෙමෙයි. ඒ නිසා වැදගත් වෙන්නේ පර්යේෂණ වල දිශානතිය මොකක්ද කියන එක තහවුරු කරගෙන, ඒ ගැන අදහසක් සියලු අදාළ පාර්ශ්ව වෙත සන්නිවේදනය කිරීම සහ පහසුකම් සැලසීමයි. ආණ්ඩුව ඒ වෙනුවෙන් යමක් කරනවා නම්, ඒ ගැන මල් මිටක් දෙනවා. (හැබැයි එහෙම එකක් බැලූ බැල්මට පේන්න නෑ).
දැන් අවුරුදු දෙකක් ගියා. ඒක ලොකු කාලයක්. දැන් ආණ්ඩුව විපක්ෂයේ දේශපාලනයෙන් මිදිලා, විවේචකයාගේ භූමිකාවෙන් අයින් වෙලා වැඩ කරන්න පටන් ගන්න ඕන. ඇත්ත කියන්න ඕන. දන්නේ නැත්නම් දන්න අයගෙන් සහය අරන් වැඩ කරන්න ඕන. රජය, පෞද්ගලික අංශය, විශ්වවිද්‍යාල විතරක් නෙමෙයි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පාවිච්චි කරලා විදෙස් රටවලින් අවශ්‍ය ජාන සම්පත් සහ තාක්ෂණය අරගෙන එන්න උත්සාහ ගන්න ඕන. බීජ කියන්නේ සාර්ථක කෘෂිකර්මාන්තයක මූලික අඩිතාලම. අපේ අතීතකාමී රොමෑන්තික පම්පෝරි වලින් දැන් වැඩක් වෙන්නේ නෑ. හිටපු ආණ්ඩු වලට දොස් කියලා වැඩකුත් නෑ.
– සංජන රවිඳු සිල්වා –




