K News

Trending Now

කිංස්බරි හෝටලයේ සීසීටීවී දර්ශන ජනාධිපති මාධ්‍ය ඒකකයට ගියේ කොහොමද?

කිංස්බරි හෝටලයේ CCTV දර්ශන සහ පෞද්ගලික දත්ත ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න

‘කස්සප හිමි මුහුණ වහගෙන කිංස්බරි හෝටලයේ උපවාසයක්ද’ යනුවෙන් සිරස්තලයක් යොදාගනිමින්, බලංගොඩ කස්සප හිමියන් කොළඹ කිංස්බරි හෝටලයට යන එන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන තම ෆේස්බුක් අඩවියට මුදාහරිනු ලබන ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂවරයෙක් යැයි සඳහන් සිසිර සෙන්පති නැමැත්තාගේ එම ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයක් හටගෙන ඇත.

එහිදී මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් මධ්‍යස්ථ මතධාරීන් සහ පුද්ගලයන් විමසන්නේ, හෝටල් බලධාරීන් විසින් මෙසේ පුද්ගලිකත්වය කෙලෙසන ආකාරයට මෙවැනි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත නිකුත් කිරීම සඳහා තවත් පාර්ශ්වයක් අතට පත් කරන්නේ කෙසේද යන්නයි.

‘පෞද්ගලිකත්වය යනු දයාවක් නොවේ. එය අයිතියකි’ යන්න ප්‍රකාශ කරමින් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මේ පිළිබඳව සිය මුහුණුපොත හරහා මෙලෙස අදහස් දක්වා ඇත.

‘පෞද්ගලික ස්ථානයකට ඇතුළු වන විට, එහි හිමිකරුවන් අපගේ පෞද්ගලිකත්වයට ගරු කරනු ඇතැයි අපට සාධාරණ අපේක්ෂාවක් හා බලාපොරොත්තුවක් තියෙනවා. විශේෂයෙන් හෝටලයක් වගේ ස්ථානයකට අපි යන්නේ ඒ විශ්වාසය මත ය.

පුද්ගලික දත්ත රඳවා ගන්නා ආයතන ඒවා ආරක්ෂා කිරීමට නීතියෙන් බැඳී සිටිනවා. 2022 අංක 9 දරන පුද්ගලික දත්ත ආරක්ෂණ පනත මඟින් දත්ත පාලකයන්ට එම වගකීම පවරලා තියෙනවා. සීසීටීවී දර්ශනත් ඒ ගණයට අයත් පෞද්ගලික දත්ත. ඒ දත්ත රැස් කරන්නේ ආරක්ෂාව සඳහා; රජයේ බලපෑමට නැමී ඕනෑම අයෙකුට භාර දෙන්න නෙමෙයි.

මේකට තියෙන්නේ එක් වැදගත් ව්‍යතිරේකයක් විතරයි. අපරාධයක් සම්බන්ධ නීත්‍යානුකූල විමර්ශනයක දී, නීතිය නියම කළ ක්‍රමවේදයට අනුව, නිසි බලධාරීන්ට තොරතුරු ලබා දීම තමයි ඒ.

එම කොන්දේසි දෙකම නොමැතිව ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටින අයෙකුට දර්ශන භාර දීම පෞද්ගලිකත්වයට කරන බරපතළ අතික්‍රමණයකි. එය නීතියේ ආරක්ෂාව උල්ලංඝනය කරමින් රාජ්‍ය බලයේ බලපෑමට යටවීමකි.

මේක මේ වීඩියෝ පටයේ සිටින අය ගැන පමණක් වූ ප්‍රශ්නයක් නෙමෙයි. එම හෝටලයට යන එන අපි හැමෝගෙම ප්‍රශ්නයක්. අද එක් පුද්ගලයෙකුගේ දත්ත දේශපාලන වාසි සඳහා භාවිත කරනවා නම්, හෙට ඒ අපගේ තොරතුරු වෙන්න පුළුවන්. ආණ්ඩුව එක්ක තරහ ඕනෑම කෙනෙක්ට මේක කරන්න පුළුවන් කියන්නේ බරපතළ ගැටලුවක්.

පාරිභෝගිකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට බැඳී සිටිය යුතු ව්‍යාපාරයක්, දේශපාලන වාසි සඳහා එම අයිතීන් කඩ කරන්නේ නම්, එවැනි ව්‍යාපාරවලින් අප ඈත් වෙන්න ඕනෑ.’

Leave a Comment

Your email address will not be published. Required fields are marked *