ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත්රය යනු රෝගීන් සුවපත් කරන පූජනීය සේවාවක් නොව, අසරණ මිනිසුන්ගේ මරණ බිය සහ දෙමාපියන්ගේ නොදැනුවත්කම ප්රාග්ධනය කරගනිමින් මුදල් ගරන සාහසික ව්‍යාපාරික ජාවාරමක් බවට පත්ව ඇති සැටි යළිත් වරක් රට හමුවේ නිරාවරණය වී තිබේ. ඒ, කොළඹ නාරාහේන්පිට පිහිටි කාන්තා සහ ළමා සත්කාර සඳහා ප්රමුඛ යැයි කියාගන්නා Ninewells Hospital (Pvt) Ltd ආයතනය වෙතින් වාර්තා වූ අතිශය නින්දිත Ninewells Hospital ජාවාරම හරහාය.
උපත ලබා දින කිහිපයක් පමණක් ගතවූ කිරිසප්පයන්ගේ බර පවා දෝෂ සහගත හෝ හිතාමතා වෙනස් කරන ලද ඉලෙක්ට්‍රොනික තරාදි මඟින් කිරා බලා, දෙමාපියන් බියවද්දා අනවශ්‍ය රසායනාගාර පරීක්ෂණ, ප්‍රතිකාර සහ ඇඳන් ගාස්තු අය කරමින් ගෙන ගිය මුදල් ගැරීමේ මෙගා කොල්ලය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) හමුවේ අමු අමුවේ හෙළිදරව් කර බිම හෙළීමට එක් නිර්භීත පියෙකු සමත්ව ඇත. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ භානුක මලවිආරච්චි මහතා වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ සාක්ෂි සහිතව ගෙන ගිය අසමසම නීතිමය සටනක ප්‍රතිඵලයක් වශයෙනි.
ග්‍රෑම් 200ක ‘හොර බර’ සහ රසායනාගාර පරීක්ෂණ කොල්ලය
සිද්ධිය සැකෙවින් මෙසේය ; 2024 ජුනි මස උපත ලැබූ දින 7ක් වයසැති සිය බිළිඳු දියණියව සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂාව සඳහා නීතිඥ භානුක මලවිආරච්චි මහතා විසින් Ninewells Hospital වෙත රැගෙන ගොස් තිබේ. එහිදී රාජකාරියේ නියුතු හෙද නිලධාරිනියක විසින් ඉලෙක්ට්‍රොනික තරාදියක් ආධාරයෙන් දරුවාගේ බර කිරා බලා කුඩා කඩදාසි කැබැල්ලක සටහන් කර ඇත්තේ කිලෝග්‍රෑම් 2.480ක් ලෙසයි. එම සටහන දුටු ළමා රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ මහතා, දරුවාගේ බර සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇති බවත් එය බරපතළ තත්ත්වයක් බවත් පවසමින් දෙමාපියන් දැඩි තැතිගැන්මකට ලක් කර තිබේ. අනතුරුව ඊට අදාළව දරුවාගේ රුධිර සාම්පල ලබාගෙන Serum Bilirubin ඇතුළු රසායනාගාර පරීක්ෂණ දෙකක් සිදුකළ යුතු බවට නියම කර ඇත.
එහෙත් මෙකී බර අඩුවීම පිළිබඳව දෙමාපියන්ට ඇතිවූ බලවත් කුතුහලය සහ සැකය මත, ඔවුහු එම අවස්ථාවේදීම දරුවාව කොළඹ Kings Hospital වෙත රැගෙන ගොස් ළමා රෝග විශේෂඥ වෛද්‍ය ආර්. අජන්තන් මහතා ලවා පරීක්ෂා කර තිබේ. එහිදී වෙනම ඉලෙක්ට්‍රොනික තරාදි දෙකක් ආධාරයෙන් දරුවාගේ බර කිරා බැලීමේදී සටහන් වී ඇත්තේ කිලෝග්‍රෑම් 2.675ක නියම බරකි! එනම් Ninewells Hospital හි භාවිත කළ දෝෂ සහගත තරාදිය හේතුවෙන් බිළිඳාගේ බරෙහි ග්‍රෑම් 195ක (ආසන්න වශයෙන් ග්‍රෑම් 200ක) පැහැදිලි “හොර අඩු පාඨාංකයක්” පෙන්වා තිබිණි. අලුත උපන් දින කිහිපයක බිළිඳකුට ග්‍රෑම් 200ක වෙනසක් යනු රෝහල්ගත කිරීම් හෝ අනවශ්‍ය ඖෂධීය මැදිහත්වීම් තීරණය කෙරෙන අතිශය තීරණාත්මක සාධකයකි.
“තරාදි ලෙඩේ අපි කලින්ම දන්නවා” – දුරකථන හඬපටයකින් හෙළිවූ රෝහලේ නිරුවත
Ninewells Hospital පාලනාධිකාරියේ නිරුවත රට හමුවේ සනාථ වූයේ පැමිණිලිකාර නීතිඥවරයා විසින් පාරිභෝගික අධිකාරියේ පරීක්ෂණය හමුවේ වාදනය කර ඉදිරිපත් කරන ලද විශේෂඥ වෛද්‍ය බුද්ධිම ජයසිංහ මහතා සමඟ පැවති දුරකථන සංවාදයේ නිල හඬපටයත් සමඟය. එම සාකච්ඡාවේදී වෛද්‍යවරයා විසින්ම පිළිගෙන ඇත්තේ එකී රෝහලේ තරාදිවල මෙවැනි බර පාඨාංක දෝෂ මීට පෙරද අවස්ථා ගණනාවකදී වාර්තා වී තිබූ බවත්, ඒ පිළිබඳව තමන් රෝහල් පාලනාධිකාරිය දැනුවත් කර තිබූ බවත්ය.
“නෑ, ඔයා කියන එක මම පිළිගන්නවා.. ස්කේල් ප්‍රශ්න නම් තියෙනවයි කියල කියල තියෙනවා… මං කියලා තියෙනවා.. මම ආයෙ ඉන්ෆෝම් කරන්නම් හොස්පිටල් එකට…”
විශේෂඥ වෛද්‍යවරුන් පවා රෝහලේ තරාදි දෝෂ සහිත බව හොඳාකාරවම දැන සිටියදීත්, සක්‍රීය රෝගී පරීක්ෂණ කාමර තුළ එවැනි අක්රමික උපකරණ දිගින් දිගටම පවත්වාගෙන යමින් බිළිඳු දරුවන්ගේ දෙමාපියන් මරණ බියට පත්කර මුදල් ගැරීමට ඉඩහැරියේ කාගේ වුවමනාවටද යන්න බරපතළ ප්‍රශ්නාර්ථයකි. 1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා පනත යටතේ රෝහලේ ඇති මිනුම් උපකරණ නිසි පරිදි ලියාපදිංචි කර ප්‍රමිතිගත කර ඇති බවට කිසිදු ලේඛනයක් හෝ සාක්ෂියක් ඉදිරිපත් කිරීමට විභාගය පුරා Ninewells රෝහලට නොහැකි විය.
ලක්ෂ ගණන් බිල් දැමූ Ninewells Hospital ජාවාරම
මෙම පරීක්ෂණයේදී Ninewells Hospital හි තවත් නිර්ලජ්ජිත සේවා කඩවීම් දෙකක් සාක්ෂි සහිතව තහවුරු විය.
ගැබිනි මව සාමාන්‍ය ලොබියේ රස්තියාදු කිරීම : සිසේරියන් සැත්කමකට භාජනය වීමට කල්තියා සියලු දැනුම්දීම් කර පැමිණි ගැබිනි මවක, සැත්කමට පෙර රාත්‍රී 8.30 සිට 10.45 දක්වා පැය දෙකකට අධික කාලයක් සාමාන්‍ය බාහිර රෝගීන් ගැවසෙන ඇතුළත් කරගැනීමේ කවුන්ටරය අසල අපහසු ප්ලාස්ටික් පුටුවක වාඩි කරවා තැබීම.
අපිරිසිදු වැසිකිළි සහ කුණු කාමර : රුපියල් ලක්ෂ ගණනක බිල්පතක් අය කරමින් ලබාදුන් කාමර අංක 716 හි බිත්ති අවපැහැ ගැන්වී තිබීම, වැසිකිළිය සහ නාන කාමරය අපිරිසිදුව පැවතීම මෙන්ම අලුත උපන් දරුවකු සිටින කාමරයක් පිරිසිදු කරන ලෙස පස් වතාවකට වඩා මතක් කරන තුරු රෝහල් සේවකයන් නොපැමිණීම.
විභාගයේදී Ninewells රෝහල ලිඛිතව ප්‍රකාශ කර තිබුණේ පැමිණිලිකරු තෝරාගත් පැකේජය “Express Admission” පහසුකම සහිත එකක් නොවන බැවින් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි! දරු ප්‍රසූතියක් වෙනුවෙන් වේදනාවෙන් පැමිණෙන ගැබිනි මවකට මූලික මානුෂීය සැලකිල්ලක් දැක්වීම පවා මිල අධික පැකේජ මත තීරණය කරන පෞද්ගලික සෞඛ්‍ය වෙළෙන්දන්ගේ සාහසික ප්‍රතිපත්තිය මෙයින් මනාව පැහැදිලි වේ.
පාරිභෝගික පනත යටතේ Ninewells ආයතනය වරදකරු වූ නීතිමය පදනම
නීතිඥ භානුක මලවිආරච්චි මහතා විසින් සියලු ලිඛිත දේශන ගොනු කරමින් මෙම අරගලය මෙහෙයවනු ලැබුවේ නීතිමය වශයෙන් අතිශය ශක්තිමත් පදනමක පිහිටාය.
සෞඛ්‍ය සේවාව පනතට යටත් වීම : 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 75 වන වගන්තියේ අර්ථ නිරූපණය අනුව “සෞඛ්‍ය සේවා” යනු පාරිභෝගික පනත යටතට සෘජුවම ගැනෙන සේවාවකි.
ව්‍යංජිත ප්රතිඥාභාරය (Implied Warranty) උල්ලංඝනය කිරීම : එකී පනතේ 32(1)(අ) සහ (ආ) වගන්ති ප්‍රකාරව, සේවාවක් සැපයීමේදී “නිසි සැලකිල්ල සහ නිපුණතාව” තිබිය යුතු අතර, ඒ සඳහා සපයන ද්‍රව්‍ය හෝ උපකරණ එකී කාර්යයට “සාධාරණව සුදුසු” විය යුතුය. දෝෂ සහිත තරාදි භාවිතය, ප්‍රසූතියට ආ මවක් නොසලකා හැරීම සහ අපිරිසිදු කාමර ලබා දීම මඟින් Ninewells Hospital ආයතනය පාරිභෝගිකයා කෙරෙහි පැවති එකී ව්‍යංජිත ප්රතිඥාභාරය නීත්‍යානුකූලව කඩ කර ඇත.
පාරිභෝගික අධිකාරියේ ඓතිහාසික තීන්දුව සහ වන්දිය
ඉදිරිපත් වූ සියලු ලිඛිත, වාචික සහ හඬපට සාක්ෂි සලකා බැලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා විසින් CAA/L&E/INQ/032/2024 දරන නියෝගය යටතේ Ninewells Hospital (Pvt) Ltd ආයතනය වරදකරු කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.
එම නියෝගය ප්‍රකාරව රෝහල විසින් පැමිණිලිකාර නීතිඥවරයා වෙත ගෙවිය යුතු මුළු වන්දි මුදල රුපියල් 45,900කි. එකී වන්දි මුදල ගණනය කර ඇත්තේ දෝෂ සහගත වෛද්‍ය මතය මත පදනම්ව ළමා රෝග විශේෂඥවරයාට අදාළව අය කරන ලද රුපියල් 30,000ක මුදල, අනවශ්‍ය ලෙස නිර්දේශ කළ Serum Bilirubin රසායනාගාර පරීක්ෂණය වෙනුවෙන් දැරූ රුපියල් 2,590ක වියදම, Kings Hospital වෙතින් නිවැරදි බර පරීක්ෂා කරගැනීම සඳහා දැරීමට සිදුවූ අමතර වෛද්‍ය ගාස්තුව වන රුපියල් 4,300 (එකතුව රුපියල් 36,890) සහ රෝහලට ඇතුළත් කරගැනීමේ ප්‍රමාදය මෙන්ම අපිරිසිදු සේවාවන්ට අදාළව procedures යටතේ අය කර තිබූ රුපියල් 9,010ක මුදලද ඇතුළත් කරමිනි.
මෙම නියෝගය දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට රෝහල් පාලනාධිකාරිය අපොහොසත් වුවහොත්, පනතේ 32(7) වගන්තිය ප්‍රකාරව බලයලත් මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පවරා අධිකරණය මඟින් පනවන දඩයක ආකාරයෙන් එකී මුදල අය කරදීමට පියවර ගන්නා බවටද අධිකාරිය Ninewells රෝහලට දැඩිව දන්වා ඇත.
තමන් ලද මෙම ඓතිහාසික ජයග්‍රහණයේ වන්දි මුදල පිළිකා රෝහලකට හෝ අඩු පහසුකම් සහිත ග්‍රාමීය රෝහලකට පරිත්‍යාග කිරීමට නීතිඥ භානුක මලවිආරච්චි මහතා තීරණය කර තිබේ. පෞද්ගලික රෝහල්වල සුපිරි හෝටල් බඳු බිත්ති සහ වෙළඳ ප්‍රචාරණ පිටුපස සැඟවුණු සෞඛ්‍ය ජාවාරම්වලට එරෙහිව අසරණ නොවී, තමන්ගේ පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට නීතිඥ භානුක පෑ මෙම නීතිමය ආදර්ශය මෙරට සමස්ත ජනතාවටම ප්‍රබල පූර්වාදර්ශයකි.
උපුටා ගැනීම – හරි දේශය




