නන්දා මාලිනිය සිය ජීවිත හීනයෙන් අවදිව අප අතරින් නික්මිලා වැඩි වෙලාවක් නෑ. මම ඊයේ ඉඳලා කල්පනා කරනවා ඇය ගැන. නන්දා කියන්නේ ප්‍රේමයට. ඇය ප්‍රේමය උතුරපු නොසිඳි ප්‍රේම උල්පතක්.
මම ඊයේ ඉඳලා කල්පනා කරනවා මේ නන්දාමය ප්‍රේමය ගැන. නන්දා කියන්නේ මට මිහිරි හඬක්. ඒක හරියට රත්නපුරේ ඉන්න දවසක උදෑසනක ඇහැරිලා නිදිගැට හරින නිමේෂයක වැයෙන කුරුලු ගීතයක් වගේ.
නන්දා මොන ගීතය කීවත් ඒ ගීතය අස්සේ දුක තැවරිලා තිබුණා. අපි ඒ දුක දිගේ ඇවිදගෙන යනකොට අපිට මඟදී ප්‍රේමය හමුවුණා. ඒක තමයි නන්දාමය ආනන්දය.
කට්ට සෙරෙප්පුව දාගෙන නන්දා සිය ජීවිත හීනය පුරාම ඇවිදලා නේද කියලා මට වෙලාවකට හිතෙනවා. සමනැල් මිනිස්සු අස්සේ කටුසු මිනිස්සු අස්සේ කොටහේනේ නන්දා ; විජයබා මාවතේත් හිටියා. ඒක එක අතකට පුදුමයක්!. ඒ පුදුමයට හේතුවත් නන්දාගේ ආත්මය වසා ගත් ප්‍රේමයම වෙන්න ඇති.
මම අද උදේ කල්පනා කළා, අපි නන්දලාගේ පරපුරේ නොවුණත්, නන්දාගේ සිංදු දශකයකට දෙකකට පස්සේ අහපු පරපුරක් විදිහට ඇයි දෙයියනේ මේ ගෑනිට මෙච්චර ආදරේ කියලා. ඒකට හේතුව අම්මගේ නැළවිලි ගී අහපු අවසන් පරපුර අපි වීම වෙන්න ඇති. ඉතින් නන්දාගේ මොන සිංදුව ඇහුවත් මට ඒක ඇහෙන්නේ මගේ අම්මගේ කටහඬින් ගැයෙන ලස්සන නැළවිලි ගීයක් වගේ. නන්දාගේ සිංදුවලට අපි තවමත් ඇලෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති කියලා මට හිතෙනවා. සංගීතය ගැන එහෙමට දැනුමක් නැතිවුණත් මට එච්. එම්. ජයවර්ධනගේ තනුවලත් මේ ගුණය අහුවෙලා තිබෙනවා. මොකද්දෝ දුකක් ඒ හැම තනුවකම තිබෙනවා නේදෝ කියලා හිතෙනවා.
ලෝකයේ තියෙන උසස්ම සංගීත භාණ්ඩය මිනිස් කටහඬ. ඒක තමයි ඔරිජිනලය. වයලීනය වගේ ඒවා කරන්නේ මේ කටහඬ අනුකරණය කරන එක. මෙහෙම කියන්නේ මම නෙවෙයි අමරදේව මාස්ටර්. ඉතින් සිංහල ගැහැනු කටහඬවල් අස්සේ නන්දා තමයි ඔරිජිනලය. ඒ මට හිතෙන හැටි.
මම නන්දාගේ ආසම සිංදුව සුළං කපොල්ලේ තැනූ කැඳැල්ලේ කියන ගීතය. ඇයිද මන්දා මම පාළුවක් තනිකමක් දැනුණු බොහෝ වෙලාවට මේ සිංදුව අහන්න පුරුදුවෙලා ඉන්නවා.
ඉතින් නන්දා දැන්වත් සුවෙන් නිදන්න..!






