K News

Trending Now

ශ්‍රී ලංකා මුහුදේ සිරවූ ඉරාන තෙල් නැව් 20ක් නිසා ඇමරිකානු සම්බාධක වැටෙයිද?

iranian oil tankers sri lanka us sanctions 1 knews
අපගේ මෙම ලිපියට මූලාශ්‍ර වන වෝල් ස්ට්‍රීට් ජර්නලය පසුගිය ඔක්තෝබර් 1දා පළ කළ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාවේ නිරිතදිග වෙරළට ආසන්න ජාත්‍යන්තර මුහුදේ ඉරාන තෙල් නැව් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉන්ධන, ආහාර සහ පිරිසිදු ජලය හිඟවීමේ තත්ත්වයකට පත්ව ඇත. එම වාර්තාවට අනුව මෙසේ ලංකා මුහුදු සීමාවට ආසන්නයේ නැංගුරම් ලාගෙන සිටින ඉරාන තෙල් නැව් නිසා අප රටට විශාල ප්‍රශ්නයක් උද්ගත වෙන්නට පුළුවන් ය. මෙම ලිපියේ අරමුණ ඒ පිළිබඳව සොයා බැලීමයි.

එම ජර්නලය පළ කරනු ලබන වාර්තාවට අනුව මෙය හුදෙක් නැව් සම්බන්ධ ගැටලුවක් පමණක් නොවේ. ඉරානයේ තෙල් අපනයන ජාලය කඩාකප්පල් කිරීමට ඇමරිකාව ගෙන යන දැඩි සම්බාධක මෙහෙයුමේ කොටසක් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආසන්නයට පැමිණ ඇති අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය.

නැව් ශ්‍රී ලංකාව ආසන්නයේ ඇයි?

මෙම නැව් බොහොමයක් ඉරාන තෙල් චීනයට ගෙන යන රහසිගත නාවික වෙළඳ ජාලයක කොටසක් ලෙස ක්‍රියා කර ඇති අතර, ඔවුන් කාලයක් තිස්සේ මේ මඟ යමින් එමින් චීනයට රහසිගතව තෙල් අපනයනය කර ඇත. ඒ අනුව සාමාන්‍යයෙන් සිදුව ඇත්තේ ඉරානයෙන් බොරතෙල් රැගෙන එන නැව් අප රට පසු කර මැලේසියාවට ආසන්න ජාත්‍යන්තර මුහුදට පැමිණීමයි. එහිදී ඉරාන බොර තෙල් වෙනත් නැව්වලට පටවා චීන පිරිපහදු වෙත ගමන් කර ඇත.

මෙසේ චීනයට තෙල් ලබා දුන් පසුව හිස්වන නැව් නැවත ඉරානයට ගොස් තවත් තෙල් රැගෙන පැමිණෙන අතර මෙම ක්‍රියාවලිය නැවත නැවත සිදු කර තිබේ. මෙම ක්‍රමය ඇමරිකානු සම්බාධක මගහැරීමේ “ෂැඩෝ ෆ්ලීට්” (shadow fleet) ජාලයේ කොටසක් වන බව අපගේ මූලාශ්‍රය ප්‍රකාශ කරයි.

iranian oil tankers sri lanka us sanctions 5 knews

එහෙත් දැන් එම චක්‍රය නතර වී තිබේ

ඇමරිකානු සම්බාධක දැඩි වීමත්, හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඇති වූ යුද හා නාවික තත්ත්වයත් සමඟ මෙම නැව්වලට ඉරානයට ආපසු යාම දැන් දුෂ්කර වී ඇත. ඒ සමඟම කලින් මෙම නැව්වලට සේවා සැපයූ ආසියානු වරායන් සහ සමාගම් ද පසුබැසීමට පටන්ගෙන තිබේ. ඉරානයට සම්බන්ධ සම්බාධක පැනවූ නෞකාවකට ඉන්ධන, නඩත්තු සේවා හෝ වෙනත් සැපයුම් ලබාදීමෙන් තමන් ද ඇමරිකානු සම්බාධකවලට හසු විය හැකි බවට මෙම සමාගම් බියට පත්ව ඇත. තර්ජනය කිරීම් ද ඇමරිකාව දෙසින් පැමිණෙයි.

ඇමරිකානු ඕෆැක් (OFAC) මාර්ගෝපදේශවලින් ද ඉරාන නෞකාවලට බංකරින් (bunkering), නඩත්තු, සැපයුම් සහ ඩොකින් (docking) වැනි සේවා සැපයීම ඇතැම් තත්ත්වයන් යටතේ සම්බාධක පැනවීමේ අවදානමක් ඇති කළ හැකි බව පැහැදිලි කර තිබෙන නිසා තත්ත්වය තවත් දරුණු ය.

ශ්‍රී ලංකාව මෙහිදී මැදිහත් වන්නේ කොහොමද?

අපගේ මූලාශ්‍ර වාර්තාවේ වඩාත්ම වැදගත් හෙළිදරව්ව සිදුවන්නේ මෙම කරුණට අදාළවය. ඔවුන්ට අනුව 2026 අගෝස්තු මාසයේදී කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ ආසන්නයේ ඉරාන නැව් 19ක් නිරීක්ෂණය කරමින් සිටින බවයි. එම නැව්වලට සේවා සැපයීමෙන් වළකින ලෙස දේශීය වරාය සේවා සපයන්නන්ට දැනුම් දෙන ලෙස ද ඇමරිකාව ශ්‍රී ලංකාවට පවසා ඇති බව සහ ශ්‍රී ලංකා රජයේ ලේඛන තමන් දැක ඇති බව ප්‍රකාශ කරමින් අපගේ මූලාශ්‍රය මෙම සිදුවීම වාර්තා කරයි.

එවැනි සේවා සැපයීමෙන් ඇමරිකානු සෙකන්ඩරි සැන්ක්ෂන්ස් (secondary sanctions) අවදානමක් ඇති විය හැකි බවට ද අනතුරු ඇඟවීමක් කර තිබූ බව වාර්තාව පවසයි. මෙය සරල රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමකට වඩා වැදගත් ය. මන්ද ශ්‍රී ලංකාවේ පෞද්ගලික නැව් සේවා සමාගම්වල ව්‍යාපාරික තීරණයකට ඇමරිකානු සම්බාධක අවදානම සෘජුවම බලපාන තත්ත්වයක් මෙහිදී නිර්මාණය වී ඇති බැවිනි.

iranian oil tankers sri lanka us sanctions 2 knews

කොළඹ වරායට පැමිණි ඉරාන නැව් දෙක

මෙම නව තත්ත්වය යටතේ කොළඹ වරායට ඉරාන නැව් දෙකක් පැමිණීමත් සමඟ තත්ත්වයේ බරපතළකම අපට තවත් වැඩියෙන් පෙනෙයි. මෙම සිදුවීම සිදුවන්නේ සැප්තැම්බර් මාසයේ මුලදීය. එම අවස්ථාවේදී ඉරාන ධජය සහිත බහාලුම් නැව් දෙකක් කොළඹ වරාය සීමාවට පැමිණි අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉරාන ධජය සහිත නැව්වලට සේවා සැපයීම “ඇමරිකානු සම්බාධක අවදානම” හේතුවෙන් සුදුසු නොවන බව සඳහන් කළ ලිපියක් නිකුත් කර තිබූ බව අපගේ මූලාශ්‍රය වාර්තා කරයි.

මෙම නැව් පැමිණීමෙන් පසුව තවත් වැදගත් දෙයක් සිදුව ඇති බව අපගේ මූලාශ්‍රය පෙන්වා දෙයි. එම මූලාශ්‍රයට අනුව සැප්තැම්බර් මැදදී ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා නිලධාරීන් 40කට වැඩි පිරිසක් සඳහා දින තුනක පුහුණු වැඩසටහනක් පවත්වා ඇත. එහිදී ඉරානයට සම්බන්ධ සම්බාධක පැනවූ නැව්වලට නොදැනුවත්ව හෝ දැනුවත්ව සේවා සැපයීමේදී ඇතිවිය හැකි ඇමරිකානු දඬුවම් පිළිබඳව පැහැදිලි කර තිබේ.

iranian oil tankers sri lanka us sanctions 4 knews

ප්‍රශ්නය

මෙහි වඩාත් සංවේදී පැත්ත වන්නේ නැව්වල ඇති මානුෂීය තත්ත්වයයි. අපගේ මූලාශ්‍රයට අනුව, ඇතැම් නැව්වල ආහාර, ඉන්ධන සහ පිරිසිදු ජලය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතී. ඒ අනුව ඉරාන නැව්වල නියෝජිතයන් ශ්‍රී ලංකාවේ සමාගම්වලින් ආහාර සහ ඉන්ධන ලබාගැනීමට උත්සාහ කර ඇති අතර ඇමරිකානු සම්බාධක අවදානම නිසා එවැනි සේවා සැපයීම සඳහා අවසර ලබාගැනීම දුෂ්කර වී ඇති බව ශ්‍රී ලංකා නාවික ක්ෂේත්‍රයේ සමාගම් කිහිපයක් අපගේ මූලාශ්‍රය වෙත පවසා තිබේ.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ ද නැව්වල ආහාර, ඉන්ධන සහ ජලය අවසන් වීමේ අවදානමක් ඇති බව පිළිගෙන ඇති අතර, එහෙත් හදිසි සැපයුම් අවශ්‍ය වූ අවස්ථාවක පවා පෞද්ගලික සමාගම් ඇමරිකානු සම්බාධක අවදානම ගැන බියෙන් එම සේවාව ලබාදීමට මැලි විය හැකි බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබේද?

මෙය ඉතා ප්‍රවේශමෙන් විමසිය යුතු කරුණකි. නැව් ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු සීමාවෙන් පිටත සිටී නම්, ශ්‍රී ලංකාවේ නීතිමය බලය පිළිබඳ ප්‍රශ්නය වෙනස් වේ. ඩේලි මිරර් (Daily Mirror) ද වාර්තා කරන්නේ ශ්‍රී ලංකා බලධාරීන් මෙම නැව් නිරීක්ෂණය කරමින් සිටිය ද ඒවා ජාත්‍යන්තර මුහුදේ සිටීම නිසා ශ්‍රී ලංකාවට ඇති සෘජු බලය සීමිත බවයි. එනිසා ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාවට තම භූමිය තුළ හෝ තම සමාගම් හරහා ඉරාන නැව්වලට සේවා සැපයීමේදී ඇමරිකානු සම්බාධක සලකා බැලීමට සිදුවන්නේ කුමන මට්ටමකට ද යන්නයි. මෙය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය, වරාය ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර නාවික නීතිය සහ ඇමරිකානු සෙකන්ඩරි සැන්ක්ෂන්ස් (secondary sanctions) එකිනෙක හමුවන සහ ගැටෙන ස්ථානයකි.

iranian oil tankers sri lanka us sanctions 3 knews

ඇමරිකාව මෙතරම් දැඩි වන්නේ ඇයි?

ඇමරිකානු ට්‍රෙෂරි ඩිපාර්ට්මන්ට් (Treasury Department) පසුගිය මාසවල ඉරානයේ “ෂැඩෝ ෆ්ලීට්” (shadow fleet) ඉලක්ක කරමින් නෞකා, හිමිකරුවන්, කළමනාකරුවන් සහ තෙල් වෙළඳ ජාලවලට අඛණ්ඩව සම්බාධක පනවා තිබේ. ඔවුන් එය තවදුරටත් දැඩි කරමින් සිටින්නේ ඉරාන ආර්ථිකයේ අවසන් නවාතැනත් විනාශ කිරීමේ මෙහෙයුමේ කොටසක් විදිහට ය.

2026 පෙබරවාරි මාසයේදී පමණක් ඉරාන පෙට්‍රෝලියම් (petroleum) වෙළඳාමට සම්බන්ධ පුද්ගලයන්, සමාගම් සහ නෞකා 30කට වැඩි සංඛ්‍යාවක් සම්බාධකවලට ලක් කළ බව ඇමරිකානු ට්‍රෙෂරි ඩිපාර්ට්මන්ට් නිවේදනය කර තිබේ. පසුගිය ජූලි මාසයේදී ද ඉරාන ෂැඩෝ ෆ්ලීට් හා සම්බන්ධ තවත් නෞකා සහ නාවික රක්ෂණ ජාල ඉලක්ක කර සම්බාධක පනවා තිබේ. මෙයින් පෙනෙන්නේ අපේ රට ආසන්නයට අපේ සීමාවට ඇවිත් තිබෙන මෙම ප්‍රශ්නය හුදකලා සිදුවීමක් නොව, ඉරානයේ තෙල් ආදායම් ජාලය කඩාකප්පල් කිරීමේ විශාල ඇමරිකානු උපායමාර්ගයේ එක් ප්‍රතිඵලයක් බවයි.

අපගේ මූලාශ්‍රය සමඟ අදහස් දක්වමින් කේප්ලර් (Kpler) හි කෲඩ්-ඔයිල් ඇනලිස්ට් (crude-oil analyst) හොමායුන් ෆලක්ෂාහි (Homayoun Falakshahi) පවසා ඇත්තේ දැනට ගනුදෙනු වෙමින් පවතින අවසන් ඉරාන තෙල් තොග ද අවසන් වීමෙන් පසු වසර අවසානය වන විට ඉරානයේ තෙල් ආදායම බිංදුවට ආසන්න විය හැකි බවට තමන් අපේක්ෂා කරන බවයි. මෙය විශ්ලේෂකයකුගේ ඇස්තමේන්තුවක් මිස තහවුරු වූ ප්‍රතිඵලයක් නොවේ. නමුත් තත්ත්වය සහ ඇමරිකානු උත්සාහය මෙයයි.

ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති ප්‍රධාන ප්‍රශ්න

මෙම සිදුවීමෙන් ශ්‍රී ලංකාව ඉදිරියේ අවම වශයෙන් ප්‍රශ්න පහක් මතුවේ. ඇමරිකානු සෙකන්ඩරි සැන්ක්ෂන්ස්වලින් ශ්‍රී ලංකාවේ වරාය සහ නාවික සේවා සමාගම් ආරක්ෂා කරන්නේ කෙසේද?, ජාත්‍යන්තර මුහුදේ ආහාර හා ජලය නොමැතිව සිටින නෞකා කාර්ය මණ්ඩලයකට මානුෂීය ආධාර ලබාදීම සම්බාධකවලින් වෙනස් ලෙස සලකන්නේ කෙසේද?, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉරාන ධජය සහිත නැව්වලට සේවා සැපයීම “සුදුසු නොවන” බව තීරණය කළේ කුමන නීතිමය පදනමක් මතද?, ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා නිලධාරීන් 40කට වැඩි පිරිසකට ලබා දුන් පුහුණුවේදී ඉදිරිපත් කළ නිශ්චිත සම්බාධක අවදානම් තත්ත්වයන් සහ කරුණු මොනවාද?, ශ්‍රී ලංකාව ඇමරිකානු සම්බාධක නීතියට අනුකූලව කටයුතු කරන අතරම තම ස්වාධීන විදේශ ප්‍රතිපත්තිය සහ නාවික ස්වෛරීභාවය පවත්වා ගන්නේ කෙසේද? යන්න එම ප්‍රශ්නයන් ය.

මූලාශ්‍රය – ද වෝල් ස්ට්‍රීට් ජර්නල් (The Wall Street Journal)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *