ඥානසාර සහ සහරාන් කියන්නේ සොහොයුරන් දෙදෙනෙක්. ඔවුන්ට උපත දුන්න ගර්භාෂය එකයි. යුද්ධය ජයග්‍රහණය කරන්න සිංහලයෝ කරපු ගොඩක් දේවල් තිබ්බා. එල්ටීටීඊය යුද්ධයෙන් පරාජය වුණත්, ඔවුනුත් යුද්ධය ජයග්‍රහණය කරලා ඊළම දිනාගන්න ගොඩක් දේවල් කළා. ඔවුන් අද පරාජිතයෝ නිසා අපිට වැඩි වශයෙන් කතා කරන්න වෙන්නේ සිංහලයන්ගේ පැත්ත ගැන.
ඉතින් සහරාන් සහ ඥානසාර කියලා කියන්නේ යුද්ධයෙන් උපන් දරුවෝ දෙන්නෙක්. ඔවුන් දෙන්නටම කාර්යභාරයක් තිබ්බා. යුද්ධයේ අවසන් අදියරේදී වගේම, යුද්ධය අවසන් වුණ උණුසුමේ නොනගත කාලයේදී ඔවුන් දෙදෙනාම ඒකට හොඳටම කැපවුණා. දෙදෙනාටම පැවරුණ රාජකාරිය තමයි, මිනී මරන්නේ නැතුව අඩු ජීවිත හානියකින් සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග අතරේ යම් ගැටුම් ආතතියක් පවත්වාගෙන යාම. මේවා ලෝකයේ හැම තැනම වුණු දේවල්; දැනුත් වෙන දේවල්. අල්කයිඩා ඉතිහාසය පොඩ්ඩක් බැලුවා නම් මම මේ කියන කතාව තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් වර්තමානයේ හූතිවරුන් ගැන හදාරන්න.
මේ සහෝදරයෝ දෙන්නට පැවරුණු රාජකාරිය මෙයාලගේ ආත්මයත් එක්ක බැඳුණා. එක්කෙනෙක් සිංහල ජාතිය සහ ආගම මත පදනම් වෙනකොට, අනෙක් කෙනා මුස්ලිම් අන්තවාදය, වහබ්වාදයටත් එහා ගිහින් මුස්ලිම් ව්‍යාප්තවාදය, කලිෆාතය, අයි.එස්.අයි.එස් (ISIS) උන්මාදය එක්ක බැඳුණා.
මෙතැනදී ඥානසාර හිමියන්ට බුදුදහමේ තිබෙන සීමාසහිතකම් නිසා, එහි අරටුවක් වගේ තිබෙන අවිහිංසාවාදය නිසා සීමා වෙන්න වුණා. ඒ අනුව ඔහුට තමන්ට පවරපු රාජකාරියෙන් ඔබ්බට, එහෙම විශාල දුරකට යන්න මතවාදී ඉඩක් සිංහල බෞද්ධ සමාජයෙන් ලැබුණේ නෑ. දර්ගා නගරය, දිගන වගේ තැන්වල සීමාව ඉක්මවා ගියත්, සහරාන්ලා වගේ මරාගෙන මැරෙන සීමාවකට යන්න අවශ්‍ය මතවාදයක් හදාගන්න ඥානසාර හිමියන්ට බැරි වුණා. ඒකට හේතුව බෞද්ධ දර්ශනය මිසක් වෙන දෙයක් නෙවෙයි. ඒ අවිහිංසාවාදී දර්ශනය අස්සේ ජාතිමාමකත්වයට යන්න පුළුවන් උපරිම සීමාවට තමයි ඥානසාර හිමියන්ට යන්න පුළුවන් වුණේ. අද ඔහුට උරුම තත්ත්වයටත් හේතුව ඒකම තමයි.
හැබැයි සහරාන්ට එහෙම නෑ. ඉස්ලාම් අන්තවාදය අස්සේ, වහබ්වාදය අස්සේ සහරාන්ට ඊටත් වඩා දුරකට යන්න පුළුවන් වුණා. තමන්ගේ හාම්පුතාගේ මුල් සැලසුම ඉරලා විසි කරලා, මැදපෙරදිගට අලුතින් පායලා තිබ්බ අයි.එස් තරුව දෙසට යන්න ඔවුන්ට ආත්මීය බලපෑමක් තිබ්බා. ඒ සිහිනය වෙනුවෙන් ඔහු දේශකයෙක් වගේ වැඩ කළා. ඒ ලේ පිපාසිත සිහිනය වෙනුවෙන් තමයි ඔවුන් මහනුවර ඇසළ පෙරහැරට මුලින්ම ගහන්න ප්ලෑන් කරන්නේ. නමුත් ඒකට සීසන් එක එනකම් ඉන්න බැරිවෙයි කියලා හිතලා තමයි ටාගට් එක වෙනස් කරන්නේ; ඉක්මන් වෙන්නේ.
මේ සියලු කතා 2016 වගේ වෙනකොටත් ඉන්දියාවේ බුද්ධි අංශයන් දන්නවා. මොකද ඉන්දියාවේ Q කියන බුද්ධි ඒකකය ඒ වෙනකොටත් අබුහින්ද් කියලා තොරතුරු දෙන්නෙක් සහරාන්ලගේ කණ්ඩායමට ඇතුළු කරලා තිබ්බේ. ඔවුන් නිරන්තරව ඒ බුද්ධි තොරතුරු ලංකාවේ ආරක්ෂක අංශ වෙත සපයමින් තිබුණා. නමුත් හමුදා බුද්ධි අංශ සහරාන්ගේ පියවරු කවුද කියලා දැනගෙන හිටපු නිසා සහ සහරාන්ලා හැදුවේ මොකටද කියලා දැනගෙන හිටිය නිසා ඒ ගැන වගේ වගක් නැතුව හිටියා වෙන්න පුළුවන්.
අවසානයේ සහරාන් තමන්ට කන්න දුන්න අත අතහැරලා තමන්ගේ ආත්මය කතා කරන දෙසට සටන මෙහෙයෙව්වා. ඉතින් මේ සටන සිංහල සමාජයට නොපෙනුණේ සහරාන්ට ඥානසාර කියලා සොහොයුරෙක් සිටිය නිසා.
මාවනැල්ලේ බුදු පිළිම කඩන කාලේ මම රාවයේ එඩිටෝරියල් එකේ වැඩ කළේ. ගොඩක් අය කිව්වේ මේක ඥානසාරලාගේ වැඩක් කියලා. සිංහල මුස්ලිම් සමගිය නැති කරලා මුස්ලිම්වරුන්ට ගස්සන්න තමයි මේක කළේ කියලා ගොඩාක් අය කිව්වා. මෙතැනදී වාමාංශිකයෝ තමයි මේ මතවාදය බොහෝ දුරට උස්සගෙන දිව්වේ. ඉතින් පොදු සිංහල සමාජයට මුස්ලිම් සමාජය යටින් පිළිකාවක් වගේ පැතිරුණු වහබ්වාදය පෙනුණේ නෑ. ඒ වෙනුවට පෙනුණේ ඥානසාර. සෞදිය ප්රමුඛව මැදපෙරදිග රටවල් විශාල වශයෙන් සල්ලි පොම්ප කරමින් සිටියා. ඒ සල්ලිත් එහෙට මෙහෙට සංසරණය වුණා. සහරාන්ලා යටින් හොඳටම සක්‍රීයව වැඩ කළා. ඒ අස්සේ මැදපෙරදිගින් පිපුණු අලුත් කලිෆාතයෙන් මුස්ලිම් ලෝකය කැළඹිලා හිටියේ. මේ මැදපෙරදිග නව තත්ත්වය සහරාන්ලට අවශ්‍ය එනර්ජි එක දුන්නා.
අවසානයේ විශාල ජනසංහාරයක් මතින් ගිහින් මේ දෙසොහොයුරන්ගේ ගමන නිමා වුණා. රට හොළවන්නවත් බැරි අගාධ ප්‍රශ්නයක අපි හිර වුණා. මට නම් පේන්නේ නෑ මේ පාස්කු මර උගුලෙන් අපිට ගැළවෙන්න පුළුවන් ද කියලා. ඒක හරියට කොඩිවිනයක් වැළලුවා වගේ.
රාජ්‍ය සේවකයෝ දෙන්නෙක් එල්ලුම් ගස් ගිහින්. අවසානයේ ඥානසාර හිමියන්ට සිවුරත් තාවකාලිකව අහිමි වෙලා. සහරාන්ගේ අනුගාමිකයෝ සහරාන් අභිනය පාමින්ම දීර්ඝකාලීන සිරදඬුවමට හිත හදාගෙන, තමන් තමන්ගේ ආගම වෙනුවෙන් කැප වුණා කියන අදහසින් ඉන්නවා.
එළියේ නැගෙනහිර බොහෝ දෙනෙක් මේ අභිනය පාන්නන්ගේ මඟ යන්න, ඔවුන්ට ආදරේ කරන්න පටන් අරගෙන. නැවතත් වෙනදාවට වඩා වැඩි උනන්දුවකින් මිනිස්සු අන්තවාදය දෙසට තල්ලු වෙමින් තිබෙනවා. ඉස්සර රටඉඳි ගස් හිටවනකොට නොපෙනුණා වගේ දැනුත් ඒක පේන්නේ නෑ. උතුරේත් එහෙමයි, දකුණේත් එහෙමයි.
අනික් පැත්තෙන් වැදගත්ම දේ, ඥානසාර හිමියන්ට පනින්න බැරි වුණ වැට පනින්නට අවශ්‍ය ශක්තිය දකුණේ සිංහල බෞද්ධ අන්තවාදීන්ට මේ ආණ්ඩුව සහ ආණ්ඩුව වටේ එකතු වෙලා ඉන්න වාමාංශිකයෝ විසින් ලබා දෙමින් ඉන්නවා. ඒක සමහර වෙලාවට තවත් විශාල විනාශයකින් කෙළවර වෙන්න පුළුවන් කියන එක විතරයි දැනට කියන්න පුළුවන්. සමහර වෙලාවට චීන සමාජවාදයකට හීන දකින වර්තමාන පාලකයන්ගේ අලුත් සැලැස්ම මෙය විය හැකියි.
මේ සියල්ල දිහා බැලුවාම මට අද ඥානසාර හිමියන් ගැන තියෙන්නේ අනුකම්පාවක්. ඥානසාර හිමියන් කියන්නෙත් එක්තරා දුරකට වින්දිතයෙක්..!
-කේ. සංජීව –




