22 වැනි සංශෝධනය අරඹයා “විනිසුරු මඬුලු තෝරාගැනීම” (Bench Hunting) හෝ “විනිසුරු මඬුලු හැසිරවීම” (Bench Fixing) නොවිය යුතුය යන්න අපගේ ප්‍රාර්ථනයයි!
ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණයේ ගෞරවය හා විශ්වාසනීයත්වය රඳා පවතින්නේ යුක්තිය ඉටුවීම මත පමණක් නොව, යුක්තිය ඉටුවන බව ප්‍රත්‍යක්ෂ ලෙසම සහ නොඅනුමානව මහජනතාවට දැකගත හැකිවීම මතය.
22 වැනි සංශෝධනය පිළිබඳ අධිකරණ විමර්ශනයට අදාළ නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ භූමිකාව ජනතා අධිකරණය තුළ ද විමර්ශනයට ලක්විය යුත්තකි. අවාසනාවකට නීතිය පිළිබඳ සාක්ෂරතාව එයට බාධාවක් වී තිබේ. එසේ ජනතාවගේ විමර්ශනයට ලක් විය යුතු වන්නේ නඩු විභාගය අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන තීන්දුව පමණක් නොවේ. එසේ තීන්දුවක් ලබා දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිහිටුවන විනිශ්චයාසනයේ සංඛ්‍යාත්මක අගය හා ඒ සඳහා නම් කරනු ලබන විනිසුරුවරුන් තෝරා ගන්නා ආකාරයත් ජනතා විමර්ශනයට ලක් විය යුත්තකි.
නීති විද්‍යාව තුළ Hard Cases ලෙස හඳුන්වන 22 වැනි සංශෝධනයට අදාළ නඩුව වැනි සමාජ-දේශපාලනිකව වැදගත්කමක් ගන්නා නඩුවලදී විනිසුරුවරයකුගේ දෘෂ්ටිය ඉතාමත් තීරණාත්මක සාධකයක් බව පිළිගෙන තිබෙන කරුණකි. නීති විද්‍යාව කියන්නේ විනිසුරුවරුන්ගේ විවිධ දෘෂ්ටිවල සංකලනයන් තුළ සාපේක්ෂ වශයෙන් යුක්තියුක්ත තීන්දුවක් බලාපොරොත්තු විය හැකි බවය (Penumbra Theory).
අවාසනාවකට ලාංකික ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසය දෙස බැලූ විට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වූ ඉහතින් දැක්වූ Hard Cases හි තීන්දු බොහෝ විට තීන්දු වී තිබෙන්නේ රාජ්‍යවාදී හෝ රාජ්‍යයට පක්ෂපාතී නඩු තීන්දු ලෙසට බව පෙනෙන්නට තිබේ. 60 දශකයේ තීන්දු වූ කොඩීස්වරන් නඩුව, 70 දශකයේ තීන්දු වූ ජොබ් බෑන්ක් නඩුව සහ එතැන් සිට විමර්ශනයට ලක්වූ 1 සිට 20 දක්වා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ නඩු තීන්දු දෙස බැලූ කල ඒ බව තහවුරු වන්නේය.
එවන් පසුබිමක මෙවර ද අපගේ විමර්ශනයට ලක් විය යුත්තේ, 22 සංශෝධන විභාගය අරභයා අපගේ ශ්‍රේෂ්ඨාධිකරණය කුමන ආකාරයේ සංයුතියකින් යුතු විනිසුරු මඬුල්ලක් නම් කරනු ඇති ද යන්නය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැනටමත් මෝසමක් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ 22 සංශෝධනයට අදාළ නඩු විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් අසුන් ගන්නා පූර්ණ අධිකරණයක් (Full Court) ඉදිරියේ විභාග කරන ලෙසටය.
එසේ ඉල්ලා සිටින්නේ සංශෝධනය හේතුවෙන් කුඩා විනිසුරු මණ්ඩලයක් එම නඩුව විභාග කිරීමේදී ඇතිවිය හැකි පූර්ව දෝෂීත්වයන් හා ලැදියාවන්ගේ පරස්පරතාවන් මඟහරවා ගැනීමටත්, එමඟින් වඩාත් යුක්තියුක්ත තීන්දුවක් මහජනතාවට ලබා ගැනීමට ඉඩ සලසන්නේය යන පදනමිනි. මෙවැනි ඉල්ලීමක් සලකා බැලීමේදී අගවිනිසුරුවරයාගේ අභිමතය තීරණාත්මක වන්නේය.
ඒ සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 හා 133 වගන්තිවල දක්වා තිබේ. විනිසුරු මඬුලු පිහිටුවීම සඳහා අගවිනිසුරුවරයා සතු බලය මහජන භාරයක් වන අතර, එය පහත මූලික ප්‍රතිපත්ති මඟින් පාලනය වන්නේය. එහිදී අගවිනිසුරුවරයා තම අභිමතය භාවිත කිරීමේදී එහි නිරවද්‍යභාවය නිර්ණය කෙරෙන්නේ තමන් සතු විශ්වාසනීය යුතුකම සහ මහජන භාරය කෙතරම් දුරට ඉටු කරන්නේ ද යන්න මතය.
ඒ අනුව කිව යුත්තේ අගවිනිසුරුතුමන්ට ඉහළින් කිසිවකු නොසිටිය ද, තමන්ගේ තීන්දුව මහජන අධිකරණය ඉදිරියේ ඉහත සඳහන් නිර්ණායක මත විනිශ්චයකට තුඩු දෙන බවය. ඒ අනුව බලන කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව යටතේ පූර්ණ විනිසුරු මඬුලු නම් කිරීම හෝ 133 ව්‍යවස්ථාව යටතේ තාවකාලික විනිසුරුවරුන් පත්කිරීම සඳහා වන පරිපාලන අභිමතය සීමාරහිත එකක් නොවන්නේය.
එය සාධාරණව, විනිවිදභාවයෙන් සහ යුක්තිය පසිඳලීමේ පරම අභිලාෂයෙන් පමණක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ. ඒ අනුව 22 වැනි සංශෝධනය විභාග කිරීම අරභයා අසාධාරණ සහ අහේතුක විනිසුරු මඬුලු සැකසීම නීතියට, සදාචාරයට හා මහජන හෘද සාක්ෂියට පටහැනි වන අතර, අදාළ විනිසුරු මඬුලු පත්කිරීම වරණාත්මකව, අහේතුකව හෝ පූර්ව නිගමනයකට එළඹුණු තීන්දුවක් ලබාගැනීමේ අරමුණින් යුතුව භාවිත කරන්නේ නම්, එය මහජන භාරය පිළිබඳ මූලධර්මය සෘජුවම උල්ලංඝනය කිරීමක් මෙන්ම අධිකරණයේ ආයතනික අපක්ෂපාතීත්වයට හානි කිරීමක් ද වන්නේය.
එවැනි දෑ ඉතිහාසය තුළ සිදුවී තිබේ. එවැන්නක් මෙවර පුනරුච්චාරණය වීමේ අවශ්‍යතාවක් නොතිබිය යුතුව තිබේ. මේ වැනි හැසිරීමක අනීතිකභාවය 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 49 වැනි වගන්තිය මඟින් ද දක්වා තිබේ. අධිකරණ සංවිධාන පනතේ 49 වැනි වගන්තිය යටතේ ඇති ව්‍යවස්ථාපිත ආරක්ෂණ මඟින්, කිසියම් විනිසුරුවරයෙකුට පෞද්ගලික උනන්දුවක් හෝ ප්‍රතිවිරෝධතාවක් ඇති නඩු විභාග කිරීම සපුරා තහනම් කර ඇත.
එය එසේ නම් 22 වැනි සංශෝධනය හේතුවෙන් තම විශ්‍රාම වයසේ දිගුවක් ලබා ගන්නා කිසිදු විනිසුරුවරයකුට වරණීය අභිමතයක් යටතේ එම නඩුව විනිශ්චයකට සහභාගී වීමේ හැකියාවක් නොමැත්තේය. එසේ නම් අවශ්‍යතා මූලධර්මය (Doctrine of Necessity) යටතේ මෙම නඩුව විභාග කිරීමට හැර වෙනත් විකල්පයක් නොමැති නිසා, නීතිඥ සංගමය ඉල්ලා සිටින ආකාරයට සිදු කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරන් අසුන් ගෙන මෙම නඩුව විභාග කිරීමයි.
එවිට 22 හරහා විනිසුරුවරයන් කෙරෙහි බලපාන ස්වයංක්‍රීය නුසුදුසුකම (Automatic Disqualification) මඟහැරෙන්නේය. එසේම පෙනෙන්නට ඇති පක්ෂග්‍රාහීත්වය එනම් “සාධාරණ හා දැනුවත් නිරීක්ෂකයාගේ” පරීක්ෂණයට අනුව නඩුවේ සියලු තොරතුරු දන්නා සාධාරණ සාමාන්‍ය පුරවැසියෙකුට එම විනිසුරු මඬුල්ල තුළ පක්ෂග්‍රාහීත්වයක් පැවතීමේ සැබෑ සම්භාවිතාවක් පවතින්නේය යන විශ්වාසය නිෂේධනය වන්නේය. “නඩු ඇසීමේ යුතුකම” (Duty to Sit) සහ පාර්ශ්වික තෝරාගැනීම් මඟහැරෙන්නේය.
අප මෙතෙක් සඳහන් කරන ලද්දේ නීතියේ ඇසින් 22 අරභයා ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කළ යුතු පිළිවෙත පිළිබඳවය. ලබන බදාදා වන විට ශ්‍රේෂ්ඨාධිකරණය කෙතරම් දුරට සාධාරණව, විනිවිදභාවයෙන් සහ යුක්තිය පසිඳලීමේ අරමුණින් මහජන භාරය රකින්නේද නැද්ද යන බව අපට දැක ගත හැකි වනු ඇත.
තීන්දුව අපට ලැබෙන්නේ අධිකරණ සංයුතියේ ගර්භාශය තුළිනි. ඒ නිසාම මෙම කරුණ අරභයා පුරවැසියාගේ අවධානය යොමු වීම වැදගත් වන්නේය.
-නීතිඥ ශිරාල් ලක්තිලක-






