අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
පෙරදැනුන් දීමට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම වෙත පැමිණි නාමල් රාජපක්ෂ එහිදී පැය පහකට වඩා වැඩි ප්‍රකාශයක් ලබාදී ඇතැයි වාර්තා වෙයි. මෙම ප්‍රකාශය ලබාගැණීමෙන් පසුව වාර්තා වෙන ආකාරයට පස්වරු 2.10ට පමණ එම කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
තත්ත්වය එසේ තිබියදී මම මේ උත්සාහයක් ගන්නට සාදන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට මෙසේ එම කොමිසම වෙත පැමිණෙන්නට හේතුව කිම යන්න පැහැදිලි කිරීමටය. ඒ සඳහා අප අදින් වසර 13කට පෙර කාලයට යා යුතුය. ඒකාලයේ රටේ ජනාධිපතිවරයා සේ කටයුතු කළේ අද අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පියා ය.
2013ට යමු
2013දී ශ්‍රීලන්කන් ගුවන් සේවයේ දිගුදුර ගුවන් යානා ඇණිය අලුත් කිරීම සඳහා ආරම්භ වූ කුප්‍රකට එයාර්බස් ගනුදෙනුව මෙම අත්අඩංගුවට පත්වීමේ කතාවේ ඉතිහාස මූලාරම්භයයි.
මෙම අන්දෝලනාත්මක එයාර්බස් ගනුදෙනුව සඳහා පියවරයන් ගැනෙන්නේ 2013 වසරේදී ය. ඒ ශ්‍රීලංකන් ගුවන් සේවය හොඳටම පාඩු ලබා හොම්බෙන් යන අවධියකය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්යක්ෂ මණ්ඩලය විසින් රුපියල් බිලියන 146.1ක මුදලක් වැයකරමින් රෝල්ස් රොයිස් එන්ජින් සහිත නව එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමට අනුමැතිය ලබා දෙන විට ශ්‍රී ලංකන් සමාගමේ මුළු වත්කම රුපියල් බිලියන 89.4ක් බව කියවෙන අතර ඒ අනුව සිද්ධ වෙන්නට ගිය ගනුදෙනුව සමාගමේ මුළු වත්කම මෙන් 1.63 ගුණයක් පමණ විශාලය. මේවා සිනහා උපදවන ගනුදෙනු ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවෙනි ධුර කාලයේ අවසානය සනිටුහන් කළ එම කාලයේ සිදුවිය නොහැකි යැයි කියා දෙයක් නැත. ඕනෑම දෙයක් සිදුවිය හැකිය. මේවා තෙවෙනි ධුර කාලයක් ගැන සිතමින් සිටි සිහින කාලයක සිදුවුණ ගනුදෙනු ය.
ප්‍රංශයේ එයාර්බස් සමාගම සමග ශ්‍රීලංකන් ආයතනය කරන්නට ගිය මෙම ගනුදෙනුවට එයාර්බස් සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 16.84ක අල්ලස් හෝ කොමිස් මුදලක් ලබාදෙන්නට එකඟ වී තිබුණ අතර ඒ අනුව ගනුදෙනුව ස්ථිර කර ගැනීම සඳහා එයින් ඩොලර් මිලියන 2ක මුදලක් සැබැවින්ම ගෙවා ඇත. ඒ අනුව මෙම දූෂණය පිළිබඳව මුලින්ම ප්‍රබල ලෙස නීතිය ක්‍රියාත්මක කළේ බ්‍රිතාන්‍ය බව කිව යුතුය.
ප්‍රංශයේ එයාර්බස් සමාගම, එක්සත් රාජධානිය, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක ගුවන් යානා ගනුදෙනුවලදී අල්ලස් සහ අයුතු ගෙවීම් සිදුකළ බවට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවට අදාළ ගනුදෙනුව පිළිබඳ වැදගත් කරුණු අනාවරණය කළ එක් ආයතනයක් වූයේ එක්සත් රාජධානියේ Serious Fraud Office ය. එම ආයතනය 2020දී මේ පිළිබඳව විමර්ශන කරුණු Southwark Crown Court වෙත ඉදිරිපත් කළ අතර මෙම දූෂිත ගනුදෙනුවේ අලගිය මුලගිය තැන් එළියට ආවේ ඒ හරහාය.
ඒ අනුව එම ආයතනය පසුගිය 2020 වසරේදී ලන්ඩනයේ එම අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර එහි ශ්‍රී ලංකාවට අදාළ අල්ලස් ගනුදෙනුව සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ප්‍රියන්කා නයෝමාලී විජේරත්නගේ නමට බ්රූනායි රාජ්‍යයේ ලියාපදිංචි කර තිබූ, සිංගප්පූරුවේ Standard Chartered Bank හි ගිණුම් පවත්වාගෙන ගිය ‘Biz Solutions’ සමාගමට ගෙවීමට එකඟ වූ ඇමරිකානු ඩොලර් මිලියන 16.84ක මුදල පිළිබඳව ද එයින් ඩොලර් මිලියන 2ක මුදලක් එම සමාගමේ සිංගප්පූරු ගිණුමට බැර කිරීම පිළිබඳව ද කරුණු වාර්තා කර ඇත.
වැලිඅමුණ සහ යහපාලනය
බ්‍රිතාන්‍යයන් මෙම ගනුදෙනුව පිළිබඳව කරුණු සොයන්නට ප්‍රථම 2015 වසරේදී බලයට පත්වූ යහපාලන ආණ්ඩුවද මෙම දූෂිත ගනුදෙනුව පිළිබඳව කරුණු සොයන්නට මහංසි විය. එයට හේතුව වන්නට ඇත්තේ යහපාලනය පැමිණි පසුව මෙම දූෂිත ගනුදෙනුව නතර කරන්නට පියවරයන් ගැනීමට සිදුවීමත් ඒ සමඟම විශාල වන්දි මුදලක් ගෙවීමට සිදුවීමත් නිසා ය.
ඒ අනුව ජනාධිපති නීතීඥ ජේ.සී. වැලියමුණගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් මේ පිළිබඳව විමර්ශනය කළ අතර ඔවුන්ද මෙම දැවැන්ත මූල්‍ය අක්රමිකතාවය පිළිබඳව කරුණු සොයාගෙන තිබුණි. ඒ අනුව එවක සීඅයිඩීය ද මේ පිළිබඳව විමර්ශනය කරන්නට විය. ඔවුන්ද කතාවේ අගමුල සහිතව සියල්ලම සොයාගත්තේ ය. එහෙත් වුණ දෙයක් නැත.
මෙම ගිවිසුම් අවලංගු කිරීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 115ක termination payment එකක් මුලින් ඉල්ලා තිබූ බව වාර්තා වන අතර එය පසුව කොන්දේසි සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 98ක් දක්වා අඩුකරගැනීමට සාකච්ඡා කර තිබුණි. එහෙත් මෙම ගනුදෙනු අවලංගු කිරීමෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයට සිදුවූ සමස්ත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 115-116කට ආසන්න බවට ද පසුව ගණනය කිරීම් ඉදිරිපත් වී ඇත. ඒ සමඟම කඩාවැටෙමින් තිබූ ගුවන් සේවය තවත් මූල්‍ය බරකට යටවිය. කරුණු මෙසේ වුණත් යහපාලන කාලයේ මේ දූෂිත ගනුදෙනුවට එරෙහිව තීරණාත්මක පියවරක් ගන්නට ඔවුන් අසමත් විය.
යහපාලනය අවසානයේ බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටම මේ සම්බන්ධව යම් යම් ක්‍රියාමාර්ග ගන්නට සිදුවීම දෛවයේ සරදමක් බදු විය. මෙම අල්ලස් සිදුවීම පිළිබඳව සියලු තොරතුරු බ්‍රිතාන්‍යයේ අධිකරණයට වාර්තා වීම සහ එයාර්බස් සමාගමේ මේ කෙළිය පිළිබඳව ගෝලිය වශයෙන් විශාල සංවාදයක් ආරම්භ වීම මෙම තත්ත්වයට හේතුව විය. ඒ අනුව ගෝලීයව එයාර්බස් සමාගමට විරුද්ධව නැඟි මේ දූෂණ චෝදනා ක්‍රියාන්විතය නිසා ලංකා රාජ්‍යයට තවදුරටත් දෑස් වසාගෙන සිටීමට නොහැකි විය. මේ වකවානුවේදී විවිධ රටවල කොන්ත්‍රාත්තු ලබාගැනීමේදී සිදුකළ බවට පිළිගත් දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් එයාර්බස් සමාගම ප්‍රංශ, බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු බලධාරීන් සමඟ ඇතිකරගත් ගිවිසුම් යටතේ යුරෝ බිලියන 3.6කට ආසන්න වාර්තාගත මුදලක් ගෙවීමට එකඟ විය. ඒ අනුව ලංකා රාජ්‍යයට කුමක් හෝ කරන්නට පීඩනයක් ආවේය.
ඒ අනුව යට ගැසීමේ අලුත් උපාය මාර්ගයක් ලෙස කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ සීඅයිඩීය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ 2020දීය. එහෙත් එතනින් එහාටත් සිද්ධවුණ දෙයක් නැත. සිද්ධ වෙන්නට විදිහක් ද නැත. චෝදනා ලාභීන් සියල්ලෝම එවක ආණ්ඩුවේය. අත්අඩංගුවට ගැනීම මෙන්ම ඇප ලැබීමද නාට්‍යයේ ජවනිකාවන් ය.
ගෝඨාභයේ කාලයේදී කපිල යුවල අත්අඩංගුවට
2013දී ගන්නට ගිය ගුවන් යානාවලට අදාළ ගිවිසුම් වලට අනුව A330 ගුවන් යානා හයක්, A350 ගුවන් යානා හතරක් මිලදී ගැනීම සහ තවත් A350 ගුවන් යානා හතරක් බදු පදනම මත ලබා ගැනීමට බලධාරීන් තීරණය කර තිබුණ අතර ඒ තීරණය කිරීම් ක්‍රියාවලිය ද විකාර සහගතය. බැලූ බැල්මටම පෙනෙන්නේ පාඩු පිට පාඩු ලබමින් තිබුණ ගුවන් සමාගම කබලෙන් ළිපට දමා විශාල කොමිස් මුදලක් ලබා ගැනීම වෙනුවෙන්ම මෙය සැලසුම් කර ඇති බවය.
මෙම කුප්‍රකට ගනුදෙනුව අරඹයා අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වීම පවත්වා තිබුණේ එවක කතානායක නිල නිවසේය. එයට එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, එවක අධ්යක්ෂ මණ්ඩලය නියෝජනය කළ කතානායක චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ, කපිල චන්ද්‍රසේන, ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න, ලක්ෂ්මි සංගක්කාර සහ එවක මූල්‍ය ප්‍රධානී යසන්ත දිසානායක සහභාගී වී සිට ඇත.

පසුව පැවැති ජනාධිපති කොමිෂන් සභා විමර්ශනයේදී අනාවරණය වූ තවත් වැදගත් කරුණක් වූයේ 2013 අගෝස්තු 12 දින කපිල චන්ද්‍රසේන යවා තිබූ ඊමේල් පණිවුඩයක, “shareholder” විසින් Airbus සමාගම සහ ගුවන් යානා වර්ගය තෝරාගැනීමට උපදෙස් ලබාදී තිබූ බව සඳහන් වී තිබීමය. එසේම මෙම ගනුදෙනුවේදී සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි අනුගමනය කළේද යන්න පිළිබඳව ද බරපතළ ප්‍රශ්න මතුවිය.
කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අධ්යක්ෂ මණ්ඩලයට සහ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් වන්නේ 2011 අවුරුද්දේ ය. ශ්‍රී ලංකන් සහ එයාර්බස් අතර මෙම ගනුදෙනුව සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අවධියේ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ඉහතින් නම සඳහන් තම සමාගම අටවාගන්නේ 2012 ඔක්තෝබර් 5දා ය. SFO ලේඛනවල මෙම සමාගම සැබෑ ව්‍යාපාරික හැකියාවක් නොමැති මැදිහත්කාර හෙවත් “straw company” ආකාරයේ සමාගමක් ලෙස විස්තර කර තිබේ.
මෙම සමාගම සාදනවිට ඇයට ගුවන් හෝ අභ්‍යවකාශ ක්ෂේත්රය පිළිබඳ කිසිදු විශේෂඥ දැනුමක් තිබී නැත. එහෙත් 2013 මාර්තු මාසය වනවිට එයාර්බස් සමාගම මෙම සමාගම හරහා ව්‍යාපාරික උපදේශකවරියක ලෙස ඇයව සම්බන්ධ කරගෙන ඇත. ඒ අනුව ශ්‍රීලංකන් ආයතනයෙන් පළමු එයාර්බස් ඇණවුම් ලැබෙන්නේ ඇගේ සමාගම බඳවාගෙන මාස තුනකට පසුවය. පිටිය හදාගෙන තිබෙන්නේම මැච් එක ගැසීම සඳහා ය.
ඒ අනුව කපිල චන්ද්‍රසේනට සම්බන්ධ පෞද්ගලික Gmail ගිණුමක් හරහා ඩොලර් මිලියන 2කට අදාළ ඉන්වොයිස් සම්බන්ධ සන්නිවේදනය 2013 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල සිදුවී ඇත. පසුව එය අනුමත කරන එම සමාගම 2013 දෙසැම්බර් 27දා ඩොලර් මිලියන 2කට සමාන මුදල යුරෝවලින් ගෙවා ඇත.

මොකද්ද මේ එක්සත් රාජධානියේ විමර්ශනය
දැන් අපි මදකට එක්සත් රාජධානියේ කතාවට යමු. එක්සත් රාජධානිය ප්‍රංශයේ එයාර්බස් සමාගමට මෙම චෝදනාව එල්ලකරන විට එහි නීතිමය මූලය වූයේ එක්සත් රාජධානියේ Bribery Act 2010, Section 7ය. ව්‍යාපාරික ආයතනයක්, අල්ලස් වැළැක්වීමට අසමත් වීම යටතේ එක්සත් රාජධානිය විසින් එයාර්බස් සමාගමට මෙසේ චෝදනා ගොනුකරනු ලැබීය.
එක්සත් රාජධානියේ Serious Fraud Office ලේඛනය අනුව, ශ්‍රීලන්කන් හි ජ්‍යෙෂ්ඨ විධායකයකුගේ බිරිඳ 2012 ඔක්තෝබර් 5 දින බ්රූනායිහි සමාගමක් පිහිටුවා තිබුණි. ඇය එහි එකම කොටස් හිමිකරු සහ අධ්‍යක්ෂවරිය වූ අතර ගුවන් යානා අලෙවිය පිළිබඳ අත්දැකීමක් හෝ සේවක මණ්ඩලයක් නොතිබූ බව SFO ද සඳහන් කරයි. එයාර්බස් අභ්‍යන්තර compliance නිලධාරීන් සැක මතු කළද, 2013 මාර්තු 22 දින එම සමාගමේ පත්කිරීම අනුමත වී, මාර්තු 29 දින consultancy agreement එක අත්සන් කර ඇත.
SFO තොරතුරු අනුව A330 ගුවන් යානා 6ක් මිලදී ගැනීම, A350 ගුවන් යානා 4ක් මිලදී ගැනීම සහ තවත් A350 යානා 4ක් බදු පදනම මත ගැනීම මෙම ගනුදෙනුවයි. මේ අනුව මෙම ගනුදෙනුවේ මැදිහත්කරුට A330 එකක් ලබාදීමකට ඇ.ඩො. මිලියන එකක් ද, මිලදී ගන්නා A350 එකකට ඇ.ඩො. මිලියන 1.16ක් ද බදු ගන්නා A350 එකකට ඇ.ඩො. 300,000 බැගින් ගෙවීමට ව්‍යුහයක් තිබී ඇත. 2015දී තරඟකාරී ගුවන් යානා නොගැනීම මත තවත් ඇ.ඩො. මිලියන 5ක market share payment එකක්ද යෝජනා වී තිබී ඇත.
ඒ අනුව 2013 ජුනි 19 දින Paris Air Show හිදී ශ්‍රීලන්කන් විසින් A330 යානා 6ක් ඇණවුම් කළ අතර ඒවා පසුව ලබා දී තිබේ. ජුනි 28 දින දෙවන ගිවිසුමකින් A350 යානා 4ක් ඇණවුම් කළ නමුත් SFO ලේඛනය සකස් වනවිට ඒවා ලබාදී නොතිබුණි.
ඒ අනුව එයාර්බස් සමාගම විසින් මැදිහත්කරුගේ සමාගමට පොරොන්දු වූ මුළු ගෙවීම් ප්‍රමාණය ඇ.ඩො. මිලියන 16.84ක් විය. 2013 අගෝස්තු 26 දින පළමු ඇ.ඩො. මිලියනයේ ඉන්වොයිසිය ඉදිරිපත් වී ඇති අතර SFOට අනුව SLA Executive 1 සහ Airbus සේවකයන් මේ ගැන පෞද්ගලික Gmail ගිණුමක් හරහා සන්නිවේදනය කර ඇත. ලංකාවේ විමර්ශනවලදී සොයාගන්නේ මෙම පුද්ගලික ජීමේලය කපිල චන්ද්‍රසේනගේ බවය. මේ අනුව 2013 නොවැම්බර් 13 දින වෙනස් කළ ඉන්වොයිසියක් සහ දෙසැම්බර් 2 දින තවත් ඇ.ඩො. මිලියනයක ඉන්වොයිසියක් මේ ගිණුම හරහා ලැබී ඇත. ඒ අනුව 2013 දෙසැම්බර් 27 දින ඇ.ඩො. මිලියන 2කට සමාන යුරෝ 1,454,651.24 ගෙවා ඇත. මේ එක්සත් රාජධානියේ SFO සොයාගත් තොරතුරුය.
දැන් අපිට නැවතත් ශ්‍රී ලංකාවේ විමර්ශනය වෙත පැමිණිය හැකිය.

කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ප්‍රියන්කා නයෝමාලී විජේරත්න
කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සමාගමේ ගිණුමට පැමිණි මෙම කොමිස් මුදලෙන් කොටසක් වාරික හතරකින් ඕස්ට්‍රේලියානු බැංකුවක කපිල චන්ද්‍රසේන සතු තවත් ගිණුමකට මාරු කර ඇති බවට ශ්‍රී ලංකාවේ විමර්ශනවලදී කරුණු ඉදිරිපත් වී ඇත. එමෙන්ම එම මුදල් ගලායාමෙන් ඇමරිකානු ඩොලර් 160,000ක මුදලක් ශමීන්ද්‍ර රාජපක්ෂට සම්බන්ධ ගිණුමකට බැරවී ඇති බවටද ශ්‍රී ලංකාවේ විමර්ශන සහ අධිකරණයට ඉදිරිපත් වූ කරුණුවලදී වාර්තා වී ඇත. එය එක්සත් රාජධානියේ SFO විසින් තහවුරු කළ කරුණක් ලෙස නොව ශ්‍රී ලංකාවේ විමර්ශනවලදී ඉදිරිපත් වූ චෝදනාවක් ලෙස සැලකිය යුතුය. සීඅයිඩීය මෙම ගනුදෙනුව පිළිබඳව විමර්ශනයන් 2016 වසරේ සිට කරගෙන ආවත් සිංගප්පූරුවෙන් මෙම බැංකු ගිණුම් තොරතුරු ලැබී ඇත්තේ 2019 නොවැම්බර් මාසයේදීය, ඒ වනවිට යන යකා කොරහත් බිඳගෙන ගොස් යහපාලනය අවසන් වී ඇත. අවසානයේ 2020 පෙබරවාරි 06 අත්ඩංගුවට පත්වෙන චන්ද්‍රසේන යුවල 2020 පෙබරවාරි 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්නට අධිකරණය නියෝග කරයි.
දැන් අපිට වර්තමානයට නැවත පැමිණිය හැකිය. අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදෙන කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කරන්නේ තම බිරිඳගේ සමාගමේ ගිණුම හරහා තමන්ගේ ගිණුමට පැමිණි ඩොලර් මිලියන 2ක මුදලින් රුපියල් මිලියන 60ක මුදලක් 2015 සිට අවස්ථා 3කදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබාදුන් බවය. මෙම ප්‍රකාශය අල්ලස් කොමිසම විසින් 2026 මාර්තු 19දා අධිකරණයට වාර්තා කර තිබුණි.
එහෙත් පසුව කපිල චන්ද්රසේනම දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ තම බිරිඳ සම්බන්ධයෙන් තමන්ගෙන් ලබාගත් ඇතැම් ප්‍රකාශ බලහත්කාරය සහ බියගැන්වීම මත ලබාගත් බවය. එබැවින් රුපියල් මිලියන 60 පිළිබඳ කරුණ අල්ලස් කොමිසම අධිකරණයට වාර්තා කළ චෝදනාවක් වන අතර කපිල චන්ද්‍රසේන පසුව එය ප්‍රතික්ෂේප කරමින් දිවුරුම් ප්‍රකාශයක් ලබාදී තිබීමද මෙහිදී සඳහන් කළ යුතුය.
මේ අතර කපිල චන්ද්‍රසේනගේ නීතිඥයන් ප්‍රකාශ කරන ආකාරයට ඔහු අවසානයේ රජයේ සාක්ෂිකරුවෙක් වන්නට කැමතිවී සිට ඇත. ඒ අතර ඔහු කොල්ලුපිටියේ අරවින්ද ද සිල්වාගේ නිවසේ සිට හමුවන්නේ මිය ගිය පුද්ගලයෙක් ලෙසය. ඔහුගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවූ අතර එය එයාර්බස් විමර්ශනය නිසා සිදුවූ මරණයක් බවට නිල වශයෙන් තහවුරු වී නොමැති බවද සඳහන් කළ යුතුය. එහෙත් ඔහුට ඇප ලැබීම සහ එහිදී අල්ලස් කොමිසම ක්‍රියාකළ ආකාරය පිළිබඳව බරපතළ ප්‍රශ්න ඇත.
මෙම ගනුදෙනුවට අදාළ කරුණු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ මේ වනවිට දිගහැරෙමින් ඇති අතර ගනුදෙනුවට අදාළ සිද්ධියේ පළමු සැකකරු දැන් මියගොසින් ය. ඔහුගේ බිරිඳ දෙවන සැකකරු වන අතර ඇය ලංකාවේ නැත. මෙහි තෙවන සැකකරු ශමීන්ද්‍ර රාජපක්ෂ ද දැන් ලංකාවේ නැත.
2026 අප්‍රේල් 2දා ප්‍රියන්කා නයෝමාලී විජේරත්න සහ ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර ඇත. එහෙත් තවමත් ඔවුන් අත්අඩංගුවට ගෙන නැත. මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න පසුගිය මැයි 12දා දහවල් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ ප්‍රකාශයක් ලබාදී පිටව ගියේ ය. එදිනම උදේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද ආධාරකරුවන් විශාල පිරිසක් සමඟ එම කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදී පිටව ගියේ ය.
මොකද්ද මේකට නාමල්ට තියෙන සම්බන්ධය
දැන් අපිට නාමල් රාජපක්ෂ වෙත යන්නට පුළුවන් ය. කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ BIZ Solutions නම් සමාගමට ලැබුණ කොමිස් මුදලින් කොටස් කිහිපයක් එක එක බැංකු ගිණුම් හරහා ගොස් ඇති බව මම කලින් ලියුවා ඔබට මතක ඇති. එසේ ගිය ගිණුම් අතර Sabre Vision Holdings නම් සමාගමේ සිංගප්පූරු OCBC බැංකුවේ ගිණුමකට ඇ.ඩො. 800,000ක් ගොස් ඇත. එම මුදල 2013 නොවැම්බර් 19 සහ දෙසැම්බර් 22 දිනවල ඇ.ඩො. 400,000 බැගින් වූ ගෙවීම් දෙකකින් ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. පසුගිය 2020දීත් අධිකරණට මෙම කරුණු වාර්තා වුණ අතර නාමල් රාජපක්ෂගේ නම ගැටගැසෙන්නේ මෙන්න මෙතනදීය. මෙම සමාගමේ beneficial owner ලෙස විමර්ශනවලදී නිමල් හේමසිරි පෙරේරා හඳුනාගෙන ඇති අතර අපි ඔහුව හොඳින් දැනගන්නේ ව්‍යාපාරික නිමල් පෙරේරා කියූ විටය.
අල්ලස් කොමිසම දැන් නඟන ප්‍රධාන චෝදනාව වන්නේ Biz Solutions ගිණුමට එයාර්බස් වෙතින් ලැබුණු යුරෝ 1,454,651.24ක මුදලෙන් ඇමරිකානු ඩොලර් 800,000ක් Sabre Vision Holdings හි OCBC සිංගප්පූරු ගිණුමට මාරුවී ඇති අතර, එයට සම්බන්ධ මුදල් ගලායාමකින් රුපියල් මිලියන 100ක මුදලක් 2014 සහ 2015 වර්ෂවල අවස්ථා කිහිපයකදී නාමල් රාජපක්ෂ වෙත අල්ලස් ලෙස ලබාදී ඇති බවය. මෙම චෝදනාව තහවුරු කිරීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකුගෙන් ලබාගත් ප්‍රකාශයක්, ප්‍රංශයේ Airbus නිලධාරීන්ගෙන් ලබාගත් තොරතුරු සහ විද්‍යුත් හා ලේඛනගත සාක්ෂි ඇතුළු කරුණු තමන් සතුව ඇති බව අල්ලස් කොමිසම ප්‍රකාශ කර ඇත.
මේ පිළිබඳව නාමල් රාජපක්ෂ කියන්නේ කුමක්ද? මීට දින කිහිපයකට ඉහත දී ඔහු උදය ගම්මන්පිළ හිටපු අමාත්‍යවරයා සමඟ යූටියුබ් සංවාදයකට එකතුවෙමින් මේ පිළිබඳව කරුණු අනාවරණය කරයි.
ඔහු එම සංවාදයට එකතු වෙමින් කියා සිටින්නේ මෙම චෝදනාව අමූලික බොරුවක් බවත් එය දේශපාලනිකව ඉලක්ක කරගත්ත එකක් බවත් ය. එයට හේතු වශයෙන් ඔහු උපුටා දක්වන්නේ එකවක කපිල චන්ද්‍රසේන අධිකරණයට ලබාදුන් ආන්දෝලනාත්මක දිවුරුම් ප්‍රකාශයයි. ඉන්පසුව ඔහු ප්‍රකාශ කරන්නේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයන් තම ධනය උපයාගත් ආකාරය ප්‍රකාශ කරන්නට නොහැකි අවස්ථාවලදී තමාගේ සහ තම පවුල්වල අයගේ නම් ප්‍රකාශ කිරීම දැන් අලුත් තත්ත්වයක් බවට පත්වී ඇති බවයි. ගවර් විදියේ තමයි ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන ගිය නිවස නිමල් පෙරේරාගේ බවත් එය තමන් කුලියට ගත් එකක් බවත් ප්‍රකාශ කරන නාමල් රාජපක්ෂ මෙහිදී ආන්දෝලනයට තුඩු දෙන කතාවක් ලෙස කියන්නෙ මෙම නිවස නිමල් පෙරේරා විසින් විකුණා ඇති බවත් ඒ සඳහා බ්‍රෝකර්වරයා සේ කටයුතු කර ඇත්තේ වර්තමාන රජයේ අමාත්‍යවරයෙක් වන වසන්ත සමරසිංහ බවත් ය. නිමල් පෙරේරා මෙම නිවස ලබාගත්තේ තමන් වෙනුවෙන් බවත් කියවෙන බවත් එහෙත් නිවස විකුණු පසුව තමන්ට කිසිදු මුදලක් ලැබී නැති බවත් ප්‍රකාශ කරයි. නිවස තමන්ගේ නම් තමන්ට මුදල් ලැබිය යුතු බවත් නිවස ඔහුගේ නොවේනම් එය රාජසන්ත විය යුතු බවත් ප්‍රකාශ කරන නාමල් රාජපක්ෂ එහෙම දෙයක් මේ වෙනකම් සිදුව නැතැයි ප්‍රකාශ කරයි.
අවසානයේ කුප්‍රකට එයාර්බස් ගනුදෙනුවට අදාළ කාලරේඛාවක් මෙසේ සෑදිය හැකිය.
2012-10-05 : බ්රූනායි මැදිහත්කාර සමාගම පිහිටුවීම
2013-03-29 : Airbus සමඟ උපදේශන ගිවිසුම
2013-06-19 : A330 යානා 6ක් ඇණවුම් කිරීම
2013-06-28 : A350 යානා 4ක් ඇණවුම් කිරීම
2013-12-27 : ඇ.ඩො.මි 2ක් හෙවත් යුරෝ මිලියන 1.454ක් පමණ ගෙවීම
2015 : වැලියමුණ විමර්ශනයෙන් අක්‍රමිකතා පිළිබඳ කරුණු මතු වීම
2016 : A350 බදු ගිවිසුම් අවසන් කිරීමේ ක්‍රියාවලිය
2020-01-31 : SFO Statement of Facts සහ Airbus DPA
2020-02-06 : කපිල සහ බිරිඳ CID අත්අඩංගුවට
2020-03-04 : දෙදෙනාට ඇප
2024-12-09 : එක්සත් ජනපදයෙන් කපිලට දූෂණ designation
2026-02-02 : ශමීන්ද්‍ර තුන්වන සැකකරු; අත්අඩංගුවට ගැනීමට නියෝග
2026-03-12 : කපිල අල්ලස් කොමිසම විසින් නැවත අත්අඩංගුවට
2026-03-19 : රු.60m හා රු.20m පිළිබඳ ප්‍රකාශ අධිකරණයට
2026-04-02 : ප්‍රියන්කා සහ ශමීන්ද්‍රට විවෘත වරෙන්තු
2026-05-05 : කපිලට ඇප
2026-05-07 : ඇප කොන්දේසි ගැටලුවෙන් නැවත අත්අඩංගුවට වරෙන්තුව
2026-05-08 : කපිල මියගොස් සිටියදී හමුවීම
2026-05-12 : මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත ප්‍රකාශයක් ලබාදීම
2026-09-04 : නාමල් රාජපක්ෂ ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට
2026-09-04 : නාමල් රාජපක්ෂ සැප්තැම්බර් 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම
කේ. සංජීව | 2026-09-04
ඡායාරූප ලබාගත්තේ අන්තර්ජාලයෙන් බව සලකන්න
නාමල් රාජපක්ෂ සම්බන්ධ යැයි කියන ක්‍රිෂ් ගනුදෙනුව පිළිබඳව මෙතනින් කියවන්න -1- https://knews.lk/krrish-deal-namal-rajapaksa-fcid-investigation-knews/
2- https://knews.lk/krrish-corruption-scandal-part-02-financial-fraud-colombo/
මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍ය අනුග්‍රහය මතය. මෙය කියවන ඔබට අපට යම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වන්නට අවැසි බව හැඟෙන්නේ නම් පහත සබැඳියෙන් ඒ සඳහා පිවිස අපහට උදව් කළ හැකිය.
This website is sustained by the financial support of our readers. If you feel that the work we do is worth supporting, you can make a financial contribution through the link below. Your support will help us continue our work.
buymeacoffee.com/knews.lk







