රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සුගීෂ්වර බණ්ඩාර හට ඇප නොදුන්නා යැයි කියා ඔහුගේ නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහේස්ත්රාත්වරයාට තර්ජනය කොට ඇති බවත්, ඒ අනුව ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත්, ඊට අදාළව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් යොමු කර ඇති බවත් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීම පාදක කරගනිමින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව මෙන්ම අධිකරණයට අපහාස කිරීම පිළිබඳව පවතින නීතිය පිළිබඳවත් නැවත සංවාදයක් ආරම්භ වී ඇත. ඇත්තටම මෙතැන සිදුව තිබෙන්නේ කුමක්දැයි අපි සොයා බලමු.
සිදුවීම කුමක්ද?
ඉහත නම සඳහන් සැකකරුට ඇප ලබාගැනීම සඳහා 2026.08.12 දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් එම්. එල්. නුවන් කොස්ගොල ඉදිරියේ නීතිඥ සංජය රාජකරුණා විසින් ඇප ඉල්ලීමක් සිදු කර ඇති අතර, එය ප්‍රතික්ෂේප වී ඇත. පසුව 2026.08.25 දින ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් එම සැකකරුට ඇප ලබා දෙන ලෙස යළිත් ඉල්ලීමක් කර ඇත. එම ඇප ඉල්ලීමට අදාළ නියෝගය 2026.09.09 දින විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරන ලද අතර, එහිදී මේ කියන සිදුවීම වී ඇති බවට ප්‍රකාශ වෙයි.
ඒ අනුව 2026.09.09 දින පස්වරු 1.30 ට පමණ එම නියෝගය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින් විවෘත අධිකරණයේදී නීතිඥවරයෙකුට නොගැළපෙන ආකාරයෙන් හැසිරෙමින් ප්‍රකාශයක් කර ඇති බවත්, එහිදී ඔහු විසින් “දැන් ඔබතුමා කොහොමත් ඇප දෙන්නේ නැහැ කියලා අපි දන්නවා…….” යනුවෙන් ප්‍රකාශ කර ඇති බවත්, එහිදී එම මහේස්ත්‍රාත්වරයා විසින් මෙය වාර්තාගත කිරීමට අවශ්‍යදැයි විමසූ විට, “ඔබතුමාට ඕන නම් රෙකෝඩ් කරන්න, මට ප්‍රශ්නයක් නැහැ” යනුවෙන් පවසා ඇති බවත්, මෙම සිදුවීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥවරුන්, පොලිස් නිලධාරීන් සහ මහජනතාව විශාල පිරිසක් ඉදිරියේ සිදුවී ඇති බවත් සඳහන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් වී ඇත.
2026 සැප්තැම්බර් 11 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනගේ අත්සනින් යුතුව මෙම පැමිණිල්ල සකස් කර ඇති අතර, එමගින් ප්‍රකාශ කර ඇත්තේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් 2024 අංක 08 දරන පනතේ 11(i) වගන්තිය ප්‍රකාරව සුදුසු පියවර ගැනීම සඳහා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමු කරන බවය.
මෙම හැසිරීම බරපතළ වෘත්තීය විෂමාචාරයක් බවත්, 2024 අංක 08 දරන අධිකරණයකට, විනිශ්චයාධිකරණයකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ අධිකරණයට අපහාස කිරීමක් බවත්, මෙම පැමිණිල්ලේ කරුණු දක්වා ඇති අතර මෙම හැසිරීම මගින් අදාළ පනතේ 03(1)(අ)(ආ), 03(2)(අ), 03(2)(ඇ)(i)(ii)(iii) සහ 03(2)(ඈ)(i)(ii)(iii) යන වගන්ති ප්‍රකාරව අධිකරණ බලය අවමානයට ලක් කිරීම සහ යුක්තිය පසිඳලීමට බාධා කිරීමක් සිදු කර ඇති බව පෙන්වා දී ඇත.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී විසින් 2026.09.17 දින ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න වෙත නිරීක්ෂණ කැඳවීමේ ලිපියක් යොමු කර ඇති අතර, අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මාසයක් ඇතුළත දිවුරුම් පෙත්සමක් මගින් කරුණු දක්වන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.
මේ සුළු අදහස් දැක්වීම අධිකරණයට කළ අපහාසයක් ද නැද්ද යන්න කියන්නට අප දන්නේ නැත. එහෙත් දැන් සිදුවෙන දේවල්වලින් පෙනෙන්නේ 2024 ගෙන ආ මෙම නීතිය නැවතත් සංශෝධනය කිරීමට කාලය හරි කියාය. මෙම සිදුවීම් දාමය මෙසේ සිදුවන විට නීතිඥ ශිරාල් ලක්තිලක තම මුහුණුපොතේ මේ සිදුවීම පිළිබඳව නීතිමය කරුණු දැක්වීමක් සිදු කර ඇත. මෙම කරුණු විශ්ලේෂණය සඳහා අප හට නීතිමය දැනුමක් නොමැති නිසා ඔහුගේ ප්‍රකාශය පහතින් මෙසේ උපුටා දක්වමු.
මෛත්‍රී ගුණරත්න වරදක් කරලාද? – ශිරාල් ලක්තිලක
තම සේවාදායකයා වන සුගීෂ්වර බණ්ඩාරට ඇප නොදුන්නා යැයි කියා ඔහුගේ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහේස්ත්රාත්වරයාට තර්ජනය කොට ඇති බැවින් ඔහුට එරෙහිව වෘත්තීමය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමට අදාළව සහ එම ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් යටතේ සලකා බැලීමට හේතුවන කරුණක් බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගරු විනිසුරුතුමන් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්රාර්වරයාට ලිඛිතව දන්වා යවා ඇති බවට මාධ්‍ය මගින් වාර්තා කොට තිබේ.
මෛත්‍රී ගුණරත්නට එරෙහිව එල්ලවන මෙම චෝදනා දෙකෙන් එකක් සලකා බැලීමේ අභිමතය පවතින්නේ ගරු අගවිනිසුරුතුමන් වෙතය. අනෙක් චෝදනාව සලකා බැලිය යුතු වන්නේ අභියාචනාධිකරණය විසින්ය.
එම චෝදනා මත මෛත්‍රීගේ නීතිඥභාවය අහෝසි කිරීමට ද, අපහාසය ඔප්පු වුවහොත් සිරදඬුවම් විඳීමට ද සිදුවනු ඇත. එසේ සිදුවුවහොත් නීතිඥභාවය අහිමිවන පළමු ජනාධිපති නීතිඥවරයා බවට ඉතිහාසගත වනු ඇත. එසේම අධිකරණය ඉදිරියේ තම වෘත්තීමය කටයුත්තක් සිදුකරමින් කළ කරුණු දැක්වීමක් අරභයා අධිකරණයට අපහාස කිරීමකට චෝදනා ලබන පළමුවන නීතිඥවරයා මෙන්ම ජනාධිපති නීතිඥයා බවට ද ඉතිහාසගත වනු ඇත.
සමාජය දන්නා පරිදි මෛත්‍රී ගුණරත්න මෑතකදී සමාජ කතිකාවට එක්වන්නේ නිර්භයව මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 අස්ථානගත වීම හා 22 ට එරෙහිව තම අදහස් දැක්වීම හේතුවෙනි. මෛත්‍රී අතීතයේදී මෙන්ම වර්තමානයේදී ද අසාධාරණයට එරෙහිව තරාතිරම නොබලා මර්දනයට, පීඩනයට හා අවනීතියට එරෙහිව තම හෘද සාක්ෂියට අනුව කටයුතු කරන සටන්කරුවෙකි. මෛත්‍රීගේ හෘද සාක්ෂියට දැන් අභියෝග කරමින් සිටී.
වරෙක ස්ටැලින්ගේ වධකයා වූ ලැව්රෙන්ටි බෙරියා කියා තිබුණේ, “ඔබ නම් කරන්න, අප වරද කියන්නම්” ලෙසටය. අපගේ අධිකරණ පද්ධතිය ශ්‍රේෂ්ඨ අතීතයකට උරුමකම් කියන, ‘යුක්තිය’ යන්න අකුරටම අර්ථ දක්වන ඉතිහාසයකට උරුමකම් කියන්නකි. මෛත්‍රී ගුණරත්න සිදු කොට ඇත්තේ තම සේවාදායකයා වෙනුවෙන් සිය වෘත්තිමය සේවා සැපයීමකි.
1988 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කොට ඇති නීතිඥවරුන්ගේ චර්යාව සහ ආචාර ධර්මයන්ට අනුව, නීතියේ සීමාවන් තුළ හිඳිමින් නීතිඥවරයකු තම සේවාදායකයා නොබියව නියෝජනය කළ යුතු බව රීති මඟින් තහවුරු කොට තිබේ. මුරණ්ඩු ලෙස අධිකරණ අධිකාරිය නොතකා හැරීමක්, කඩාකප්පල්කාරී හෝ අපහාසාත්මක හැසිරීමක් නොමැති තාක් කල්, ප්‍රබල ලෙස තර්ක කිරීම, නීතිමය අයිතිවාසිකම් තහවුරු කිරීම, විරෝධතා දැක්වීම හෝ ඇප ඉල්ලා දැඩිව කරුණු දැක්වීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස නීතිඥ ආචාර ධර්ම නොසැලකයි.
නීතිඥයකු යනු විනිසුරුවරයකු ඉදිරියේ දණින් වැටී කන්නලව් කරන්නකු නොව, පුරවැසියකු වන තම සේවාදායකයා වෙනුවෙන් නිර්භයව හා නොපැකිළව වෘත්තිමය ලෙස අදහස් ඉදිරිපත් කිරීම සඳහා වෘත්තීය අයිතියක් පවතින පුද්ගලයෙකි. එම නිසා අධිකරණයට අපහාස කිරීමේ මුවාවෙන් නීතිඥ වෘත්තීය අයිතිවාසිකම් උදුරා ගැනීමට යමෙකු තැත් කරන්නේ නම්, ඒ තුළින් සනිටුහන් වන්නේ නීතියේ ආධිපත්‍යයේ මළගමයි. ජාත්‍යන්තරව ද නීතිඥයකු සතු මෙම අයිතිය උදුරා ගත නොහැකි බවට ලබා දී ඇති තීන්දු ගණනාවකි. පුරවැසි දැනුම වෙනුවෙන් එම තීන්දු මෙසේ උපුටා දක්වමි.
එංගලන්තයේ නඩු තීන්දුවක් වන රොන්ඩෙල් එදිරිව වර්ස්ලි [1969] 1 AC 191 නඩුවේදී රීඩ් සාමිවරයා කියා ඇත්තේ; දණ්ඩනීය ප්‍රතිවිපාකවලට බිය නොවී, තම සේවාදායකයා වෙනුවෙන් නීතිය යටතේ ඉදිරිපත් කළ හැකි සෑම නීත්‍යනුකූල තර්කයක්ම නොබියව, ස්ථිරව හා විශ්වාසවන්තව ඉදිරිපත් කිරීමට සහ සෑම විරෝධතාවක්ම මතු කිරීමට නීතිඥවරයකු බැඳී සිටින බවට නීතිය ඉඩ දී ඇති බවයි.
ඉසුවෝරා එදිරිව රජු [1953] AC 327 නඩුවේදී ප්‍රිවි කවුන්සිලය තීරණය කොට ඇත්තේ; දැඩි අවධාරණයකින් යුතුව ඉදිරිපත් කළ ද, ප්‍රබල, තියුණු හෝ අප්‍රසන්න නීතිමය තර්කයක් අධිකරණයට අපහාස කිරීමක් ලෙස නීතිය හමුවේ කිසිසේත්ම අර්ථකථනය කළ නොහැකිය. අධිකරණ අධිකාරිය හිතාමතා අවහිර කිරීමක් හෝ සිතාමතා නොතකා හැරීමක් සිදු නොවන්නේ නම්, හුදු අශික්ෂිත බවක්, කාර්ය පටිපාටික මතභේදයක් හෝ දැඩි නොපසුබට උත්සාහයක් අධිකරණයට අපහාස කිරීමේ සීමාවට නොවැටෙන බවය.
ලලිත් මෝහන් දාස් එදිරිව ඔරිස්සා හි ඇඩ්වකේට් ජනරාල් (AIR 1957 SC 250) සහ සී. රවිචන්ද්‍රන් අයියර් එදිරිව විනිසුරු ඒ. එම්. භට්ටාචාර්ජී (1995) 5 SCC 457 යන නඩුවලදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කොට තිබුණේ; අධිකරණ නිලයක් දැරීමේදී විවේචන සහ ප්‍රබල තර්ක ඉවසා දරාගැනීමේ පුළුල් මනසක් තිබිය යුතු අතර, දැඩි නීතිමය කරුණු දැක්වීම් සම්බන්ධයෙන් අධිසංවේදී වීම නීතිඥ වෘත්තියේ ස්වාධීනත්වය හෑල්ලු වීමට හේතුවක් වන බවය.
අපට කියන්නට තිබෙන්නේ ඔය කියන චෝදනාවක් මෛත්‍රී ගුණරත්නට එරෙහිව ගෙන ඒමට නම්, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටින පරිදි අධිකරණය සතු තම පුළුල් මනස විකෘති විය යුතු බවය. එම නිසා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් තීන්දු තීරණ ගන්නා ආකාරය පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින්නෙමු.
මේ සම්බන්ධයෙන් සමස්ත නීතිඥ ප්‍රජාවම සිය අවධානය යොමු විය යුතු බරපතළ සිද්ධියක් බව පමණක් කියා සිටිමි.




