නොබෙල් ත්‍යාගලාභී කොලොම්බියානු මහා ලේඛක ගබ්රියෙල් ගර්සියා මාකේස්ගේ ‘වන් හන්ඩ්‍රඩ් ඉයර්ස් ඔෆ් සොලිටියුඩ්’ නොහොත් ‘හුදෙකලාවේ සියවසක්’ නවකතාව, නෙට්ෆ්ලික්ස් විසින් දිගු මාලා නාටකයකට අනුරූපණය කරන්නට යන බව අසා භීතියටත් සන්ත්රාසයටත් පත් වූ භක්තිමත් මාකේස්ලෝලියෙකු වශයෙන්, එකී සොළොස් එපිසෝඩ දිගු මාලා නාටකයේ පළමු සහ දෙවැනි කොටස් දෙක ම නැරඹීමෙන් ඉක්බිති සිතෙහි පහළ වූ ගිනිකෙළි සංදර්ශනය පිළිබඳ ව යමක් ලියා තැබීමට අවැසි විය.
ස්පාඤ්ඤ භාෂිත ‘Cien años de soledad’ මුල් කෘතිය ප්රකාශනයෙන් එළිදුටුවේ 1967 දී ය. ඉංග්‍රීසි පරිවර්තනයේ දී ‘වන් හන්ඩ්‍රඩ් ඉයර්ස් ඔෆ් සොලිටියුඩ්’ යනුවෙන් නම් ලද මේ නවකතාව කිසි දිනක තිරයකට නැඟිය නො හැකි බැව් ඇදහූයේ එය බයිබලය සේ පරිහරණය කළ ලෝකවාසී මාකේස්ලෝලී පාඨක ප්‍රජාව පමණක් නො වේ. එහි කතුවර මාකේස් ම, සිය නවකතාව සම්මත සිනමාපටයකට නැඟීමට නො හැකි බව පවසා, ඒ වෙනුවෙන් වූ හොලිවුඩ් ආදී ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කොට තිබුණේ, එය චිත්‍රපටයක ධාවන කාලය තුළ කියා නිම කළ නොහැකි කතාවක් බව සේ ම, කතාවට සාධාරණයක් වනු ඇත්තේ එය ස්පාඤ්ඤ බසින් ම තිරයට නැඟුණහොත් සහ කොලොම්බියාවේ ම රූගත කළහොත් පමණක් බව පවසමිනි. ඒ, ඔහු සිය ‘ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලරා’ සහ ‘ක්‍රොනිකල්ස් ඔෆ් අ ඩෙත් ෆෝටෝල්ඩ්’ යන අනෙකුත් නවකතා, තිරයට නැඟීමට අවශ්‍ය අවසරය නොපැකිළ ලබා දී තිබුණු පසුබිමක ය. 1982 දී මාකේස් වෙත නොබෙල් ත්‍යාගය හිමි වීමෙන් අනතුරු ව මේ වෙනුවෙන් ඔහුට ලැබෙන්නට ගත් අවසර ඉල්ලීම් ප්‍රමාණය බෙහෙවින් ඉහළ ගිය ද ඔහු සිය තීරණය වෙනස් කළේ නැත. වසර සියයක්, පරම්පරා හතක් පුරා දිවෙන දීර්ඝ නවකතාවක් වන ‘වන් හන්ඩ්‍රඩ් ඉයර්ස් ඔෆ් සොලිටියුඩ්’ වෙත කුමනාකාර හෝ හානියක් වීමට එරෙහි ව මාකේස් සිය තනි මතයේ දැඩි ව එල්බ සිටියේ ය.

එදා මෙදාතුර පිටපත් මිලියන 47ක් අලෙවි වූ, භාෂා 46කට පරිවර්තනය වූ මේ නවකතාව, අත තබා කිලිටි කළ නො හැකි ශුද්ධ වූ වස්තුවක් ව පාඨකයන්ගේ සිත් තුළ අදටත් පවතින්නේ, කොලොම්බියාවේ හදවත වන් මායා ලෝකය අතැඹුලක් කොට ලෝකයට හෙළිදරව් කළ, මායා යථාර්ථවාදයේ මුදුන් මල්කඩ වන් මාස්ටර්පීසය එය ය යන්න බහුතර විශ්වාසය බැවිනි. ලතින් ඇමරිකාවේ ආත්මීය ඉතිහාසය මායාමය කැඩපතක් ඔස්සේ පරාවර්තනය කරන ‘වන් හන්ඩ්‍රඩ් ඉයර්ස් ඔෆ් සොලිටියුඩ්,’ එදිනෙදා මිනිස් යථාර්ථය තුළ ම, ඇදහිය නොහැකි ඉන්ද්‍රජාලය දිය කරයි. ඉන්ද්‍රජාලික සිදුවීම් තාර්කිකකරණය නොකරයි. විය නොහැකියාව විසින් යථාර්ථයේ නීතිරීති කඩ නො කරන ලද කල්හි, විය නොහැකියාවම යථාර්ථය බවට පත් වෙයි. මායා යථාර්ථවාදයේ සාරය එයයි.
මායා යථාර්ථවාදය හැරුණු කොට කොලොම්බියාව සෙසු ලෝකය පුරා සුප්‍රකට-කුප්‍රකට වන්නේ කොකේන් නිසා ය. ලොව කොකේන් නිෂ්පාදනයෙන් දළ වශයෙන් සියයට හැත්තෑවක පමණ අයිතිය ඇත්තේ කොලොම්බියාවට ය. කොකේන් සෑදීමට උපයෝගී කර ගන්නා ‘කොකා’ පත්‍ර සරුසාර ව වැවෙන දුලබ දේශගුණයත්, නාකොටෙරරිස්ම් හෙවත් මත්ත්රස්තවාදයේ ගෝඩ්ෆාදර් යැයි සැලකෙන පැබ්ලෝ එස්කොබාර්ගේ නිජබිම වීමත්, ඔහුගේ ‘මෙඩලින්’ නම් මත් රාජධානිය ඇතුළු ඓතිහාසික ව මත්ද්‍රව්‍ය පාතාලයට අදාළ කාටෙල් රාශියක කෙම්බිම වීමත්, කොලොම්බියාව මත් ලෝකයේ අගනුවර සේ සැලකීමට ප්‍රධාන සාධක ය. පැබ්ලෝ එස්කොබාර් පිළිබඳ ව නිර්මාණය වුණු නෙට්ෆ්ලික්ස් දිගු මාලා නාටකය ‘නාකොස්’ ය. නාකොස් සීරීසයේ පළමු කොටසේ පළමු එපිසෝඩය ආරම්භ වන්නේ කොලොම්බියාවේ උපන් මායා යථාර්ථවාදයට අර්ථකථනයක් සපයමිනි.
“Magical realism is defined as what happens when a highly detailed, realistic setting is invaded by something too strange to believe. There is a reason magical realism was born in Colombia.”
මොරෙනෝ බෝර්හා — මෙල්කියාදෙස් ලෙසත්, ජැනර් අබෙලාර්ඩෝ — ආකාඩියෝ ලෙසත්, ඩියේගෝ වාස්කෙස් — හෝසේ ආකාඩියෝ බුඑන්දියා ලෙසත් One Hundred Years of Solitude කතා මාලාවේ.
ඡායාරූපය: Mauro González / Netflix
‘වන් හන්ඩ්‍රඩ් ඉයර්ස් ඔෆ් සොලිටියුඩ්’ නෙට්ෆ්ලික්ස් අනුරූපණයට විධායක නිෂ්පාදකයන් ලෙස සම්බන්ධ වන්නේ චිත්‍රපට අධ්යක්ෂ රොඩ්රිගෝ ගර්සියා සහ ග්රන්ථ ප්‍රකාශක ගොන්සාලෝ ගර්සියා හෙවත්, මාකේස්ගේ පුතුන් දෙදෙනා ය. මාකේස් මිය යන්නට පෙර ලියමින් සිටි අවසන් නොකරන ලද අවසන් අත්පිටපත, ‘අන්ටිල් ඕගස්ට්,’ 2024 වසරේ දී ප්රකාශනයෙන් එළිදක්වන්නට තීරණය කරන්නේ ද මේ අකීකරු දෙපුතුන් ය. ඒ එම අත්පිටපත විනාශ කරන්නැයි මාකේස් විසින් ඉන් දස වසරකට පෙර 2014 දී, ඔහු මිය යන්නට ප්‍රථම කරන ලදුව තිබූ ඉල්ලීමට එදිරි ව යමිනි.
ජීවතුන් අතර නැති ලේඛකයෙකුගේ අවසන් ඉල්ලීම ඉටු කිරීම සහ ගෞරවය රැකීම පිළිබඳ ව ඉනික්බිති ව මතු වූ ආන්දෝලනයට පිළිතුරු දෙමින් මාකේස්ගේ පුතුන් දෙදෙනා සිය තීරණය යුක්තියුක්ත කළේ, සිය පියා එම අත්පිටපත විනාශ කරන්නැයි ඉල්ලා සිටියේ ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු ව සිටියදී හෙයින්, අවසන් නොකරන ලද එම අවසන් නවකතාව පාඨකයන් වෙනුවෙන් මුදාහැරීම වඩාත් යෝග්‍ය යැයි තමන් අදහස් කළ බව පවසමිනි.
මේ දෙපුතුන් ‘වන් හන්ඩ්‍රඩ් ඉයර්ස් ඔෆ් සොලිටියුඩ්’ තිරයට නැඟීමේ අයිතිය නෙට්ෆ්ලික්ස් වෙත ලබා දෙන්නේ සිය පියාගේ කොන්දේසි සියල්ල ද ඉදිරිපත් කරමිනි. ඒ අනුව සීරීසය ස්පාඤ්ඤ භාෂාවෙන් නිර්මාණය වන අතර කොලොම්බියාවේ ම රූගත කෙරෙන්නේ කොලොම්බියානු ජාතික රංගන ශිල්පීන් පිරිසකගේ දායකත්වයෙනි. ‘මේ මහා නවකතාව ප්‍රථම වරට තිරයට නැඟීමේ කටයුත්ත අප වෙත පැවරීම අපට සුවිශාල ගෞරවයක්’ යැයි ෆ්රැන්සිස්කෝ රාමෝස්, නෙට්ෆ්ලික්ස් හි ස්පාඤ්ඤ භාෂිත ශ්‍රව්‍යදෘශ්‍ය ප්‍රධානියා පවසන්නේ ය.

ඡායාරූපය: Juan Cristóbal Cobo / Netflix
යුතෝපියානු සමාජවාදය පිළිබඳ සාකච්ඡාවල යෙදීම සහ තහනම් ග්රන්ථ පරිශීලනය කිරීම යන ‘රාජ්‍ය විරෝධී’ ක්‍රියාකාරකම්වල නිරත වීමේ වරදට, පළමු වැනි නිකොලස් නම් රුසියානු සාර්වරයා විසින් සිරගත කෙරුණු ෆ්යොදෝර් දොස්තයෙව්ස්කි ඇතුළු ලිබරල් බුද්ධිමතුන්ගෙන් සැදුම් ලත් ‘පෙට්රාශෙෆ්ස්කි කවය’ නම් කණ්ඩායමට වර්ෂ 1849 දී මරණ දණ්ඩනය ලබා දීමට තීරණය කෙරෙයි. පිරිස ඒ සඳහා රුසියාවේ සේන්ට් පීටර්ස්බර්ග් චතුරශ්‍රයට රැගෙන යන ලද අතර, වෙඩි තැබීමට ඔන්න මෙන්න තිබියදී අවසාන මොහොතේ සාර්වරයා සිය අසීමිත කුරිරු බලය සංකේතවත් කරමින් සියලු දෙනාට අභය දානය ලබා දෙන්නේ, එය ව්‍යාජ මරණ දණ්ඩන රංගනයක් බව ඒත්තු ගන්වමිනි. මරණය වැළඳ ගැනීමට සූදානම් ව සිටි පිරිස මරණ දඬුවමින් නිදහස් වෙද්දී, දඬුවම බරපතළ වැඩ සහිත සිර දඬුවමකට සීමා කරන ලද බවට අවසාන තත්පරයේ දී නිවේදනය කරද්දී, ඔවුන් බැඳ දමා තිබූ ලණු පොටවල් ලිහද්දී, කණ්ඩායමේ සිටි එක් සිරකරුවෙකු වූ ග්රිගෝර්යෙව් උමතුභාවයට පත් වෙයි. ඔහු ජීවිතාන්තය දක්වා ම ඒ උමතුවෙන් මිදෙන්නේ නැත.
‘වන් හන්ඩ්‍රඩ් ඉයර්ස් ඔෆ් සොලිටියුඩ්’ නවකතාව ඇරඹෙන්නේ, කර්නල් අවුරේලියානෝ බුඑන්දියා මරණ දණ්ඩනය වැළඳ ගැනීමට සූදානම් ව, සොල්දාදුවන්ගේ වෙඩි උණ්ඩ ඉලක්කයට ලක් ව සිටින ඓතිහාසික මොහොතේ දී ය. වසර ගණනාවකට පෙර සිය පියා වූ හෝසේ ආකේඩියෝ බුඑන්දියා, තමන්ව ‘අයිස්’ දැක ගැනීමට රැගෙන ගිය ඒ ඈත අතීතයට අයත් පස්වරුව, ඔහුට එම නිශ්චිත තත්පරයේ දී සිහි වෙයි.
“Many years later, as he faced the firing squad, Colonel Aureliano Buendía was to remember that distant afternoon when his father took him to discover ice.”
කර්නල් අවුරේලියානෝ බුඑන්දියා යනු මේ නවකතාවේ දීර්ඝතම හෙවණැල්ල යැයි කිව හැකි ය. සිය පියා විසින් බින්දුවේ සිට ගොඩනඟන ලද ‘මැකොන්ඩෝව’ නම් භූමියේ උපදින පළමු දරුවා ඔහුයි. උර්සුලා ඉගුවරන්ගේ කුස තුළ සිටියදී පවා නිශ්ශබ්ද කලලයක් වූ ඔහු උපදින්නේ විවෘත වූ දෑස් ඇතිව ය. අනාගත වක්තෘවරයෙකු සේ ඇතැම් දේ පූර්වයෙන් දිවැසින් දකින්නට ඔහුට හැකි ය. අවි ගත් ලිබරල් අරගල දෙතිසක් සංවිධානය කර ඒ දෙතිස ම පරාජයට පත් වුව ද, මැකොන්ඩෝ ඉතිහාසය තුළ කර්නල් අවුරේලියානෝ බුඑන්දියා යන නාමය පුරාවෘතයක් බවට පත් වෙයි.
මාර්කෝ ඇන්ටෝනියෝ ගොන්සාලෙස් — One Hundred Years of Solitude කතා මාලාවේ හෝසේ ආකාඩියෝ බුඑන්දියා (José Arcadio Buendía) ලෙස.
ඡායාරූපය: Mauro González / Netflix
කෙසේ වෙතත්, නවකතාවේ ආරම්භය සනිටුහන් කරන, කර්නල් අවුරේලියානෝ බුඑන්දියා මරණ දණ්ඩනයට ලක් වන්නට නියමිත වූ ඒ අවසන් මොහොතේ, ඔහු හාස්කමකින් මෙන් මරණයෙන් මුදා ගනු ලැබෙන බවත්, ඔහු සැබෑ ලෙස ම මිය යන්නේ තවත් වසර ගණනාවකට පසු, ගැඹුරු දීර්ඝ හුදෙකලාවකින් උමතුභාවයට ආසන්නව බවත්, සිය නවකතාව අරඹන පළමු වාක්‍යයෙන් මාකේස් හෙළි කරන්නේ නැත. අතීතය, වර්තමානය සහ අනාගතය යන කාලත්රය ම එකට ගැට ගසා, සඟවන ලද ඉතිහාසයක් ඔස්සේ පාඨකයා කතාවට ඇද බැඳ තබන විජ්ජාවක් සහිත ඒ පළමු වාක්‍යය, ලොව නවකතාවක ලියැවුණු විශිෂ්ටතම ආරම්භක වැකියක් ලෙස සැලකෙයි.
හෝසේ ආකේඩියෝ බුඑන්දියා විසින් ගොඩනඟන ලද මැකොන්ඩෝව, ආගමෙන්, පක්ෂ දේශපාලනයෙන් හෝ ව්‍යාපාරික දැවැන්තයන්ගෙන් වියුක්ත ඉතිහාසයක් හිමි අදූෂිත භූමියක් වුව ද, ඔහුගේ දරුමුනුබුරන්ගේ පරම්පරා වැඩිවියට පැමිණෙද්දී, ‘නිල’ පාලකයන්ගේ පැමිණීමත්, පල්ලියේ ආගමනයත්, ප්‍රවාහන පහසුකම් පිණිස දුම්රිය මාර්ගයක් ස්ථාපනය වීමත්, ඒ හා සමග ඇමරිකානු කෙසෙල් සමාගමක සම්ප්රාප්තියත් සිදු වීමෙන් කනපිට පෙරළෙයි. බුඑන්දියාවරුන් විසින් ම ගොඩ නඟන ලද යුතෝපියානු පුරවරය, බුඑන්දියාවරුන් විසින් ම පරිහානියට පත් කරනු ලැබීමේ නොවැළැක්විය හැකි ‘යථාර්ථය’ මෙහි දී සම්මුඛ වෙයි.
මැකොන්ඩෝ පොළොවේ සාරය වන් සරුසාර කෙසෙල් වගාවේ නිරත ගොවියන් සහ කම්කරුවන් පීඩාවට පත් කරමින් ඔවුන්ගේ රීරිමාංස සූරා කන, සාධාරණ ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කිරීමේ වරදට ඔවුන් සමූල ඝාතනය කරන කෙසෙල් සමාගම විසින් විනාශයට පමුණුවමින් පවතින මැකොන්ඩෝව, කර්නල් අවුරේලියානෝ බුඑන්දියා මිය යන කාලය වන විට, වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘බනානා රිපබ්ලික්’ එකක් වී හමාර ය. මේ කෙසෙල් අරගලය ලෙස මාකේස් ප්‍රතිනිර්මාණය කරන්නේ, 1928 දෙසැම්බරයේ දී ගොවියන් කම්කරුවන් සමූල ඝාතනය කරමින් කොලොම්බියාවේ සිදු වූ, ‘බනානා මැසකර්’ නමින් හැඳින්වෙන සත්‍ය සිදුවීමයි. මහ පොළොවේ සිදු වන, මඟ හළ නොහැකි අනිවාර්ය කෲර ‘යථාර්ථය’ දිරවා ගන්නට සිදු වීම, නොදන්නා ‘මායාව’ දිරවා ගැනීම තරම් පහසු නැත.

නවකතාවක් තිරයට නැඟුණු මොන යම් ම හෝ අවස්ථාවක එය ‘පොතට වඩා චිත්‍රපටය/සීරීසය හොඳ’ වීමේ සම්භාවිතාව අතිශය අඩු ය. පොතක් කියැවීමෙන් පාඨකයා මවා ගන්නා ලෝකය, පුද්ගලබද්ධ, එකිනෙකාගෙන් වෙනස්, අසමසම කාල්පනික විශ්වයකි. වෙනත් කෙනෙකු විසින් මෙහෙයවන ලදුව ප්‍රේක්ෂකයාට පෙන්වනු ලබන, තිරයක දිගහැරෙන, කලින් සකස් කරන ලද රූප දෙස බලා හිඳීමෙන් එවන් පරිකල්පනයක් ඇවිළෙන්නේ නැත. ප්රේක්ෂකභාවයට වඩා පාඨකභාවයට සමීප අයෙකුගේ ලෝකය තුළ සැම විට ම, පොතක් පදනම් කොට ගෙන නිර්මාණය වන චිත්‍රපටය හෝ මාලා නාටකය, ද්විතීයික එකකි. එකිනෙකින් වියුක්ත ව මෙම ලිඛිත සහ දෘශ්‍ය මාධ්‍ය නිර්මාණ විනිශ්චය කරන්නට උත්සාහ කළ හැකි වුව ද, ‘වන් හන්ඩ්‍රඩ් ඉයර්ස් ඔෆ් සොලිටියුඩ්’ වැනි නවකතාවක් විෂයේ දී එය අසීරු කාරියක් වන්නේ, සියවස් භාගයක් තිස්සේ නොවෙනස් ව ‘කියැවෙන’ මහා ආඛ්‍යානයක්, තිරයක් මත ප්‍රතිනිර්මාණය කිරීම සාමාන්‍ය සංසිද්ධියක් නොවන හෙයිනි. මා ද ඇතුළු පාඨක ප්‍රජාවගේ කල්පනාවට අනුව, නවකතාවක් තිරයට නැඟීමේ දී පැන නඟින ප්‍රධාන ගැටලුව විය යුත්තේ, මුල් කෘතියට කෙතරම් අවම හානියක් කරමින් එය තිරයට අනුවර්තනය කළ හැකි ද යන්න ය. ‘වන් හන්ඩ්‍රඩ් ඉයර්ස් ඔෆ් සොලිටියුඩ්’ නෙට්ෆ්ලික්ස් අනුවර්තනය, එහි මුල් නවකතාවට අත තබා ඇත්තේ එය මොන යම් ම හෝ අතකින් කිලිටි නොකරන්නට අතිශයින් ප්‍රවේශම් වෙමින් බව පෙනෙයි. සීරීසය ඇරඹෙන්නේ නවකතාවේ පළමු වාක්‍යයෙන් වන අතර, සීරීසය අවසන් වන්නේ නවකතාවේ අවසන් වාක්‍යයෙනි. බොහෝ දෙබස්, ආඛ්‍යාන කොටස්, මාකේස්ගේ භාෂාව, අදහස් සහ ශෛලිය එලෙස ම පවත්වා ගන්නට උත්සුක වෙමින් ඉතා සූක්ෂ්ම ව උපුටා ගෙන ඇත.
පෙර කී සියල්ල එලෙස ම තිබියදී, ‘The book is better than the movie’ – ‘චිත්‍රපටයට වඩා පොත හොඳ ය’ යන සර්වකාලීන සත්‍යය මේ මාලා නාටකයටත් මහා පොදු සාධකයක් බව නොකියා බැරි ය. කෙසේ නමුත්, නවකතාවට කැළලක් නොකරන්නට උපරිම ව පරීක්ෂාකාරී වෙමින් නිර්මාණය කළ චිත්‍රපටයක් හෝ මාලා නාටකයක් යනු, ලේඛකයෙකු වෙත සිදු කරන ගෞරව පූර්වක ශීර්ෂ ප්‍රණාමයකි. ලේඛකයාගේ පාඨක ප්‍රජාව වෙත දක්වන සමාචාරයකි.
හිතුවක්කාරී ලේඛකයෙකුට සිය නිර්මාණයක් වෙනත් මාධ්‍යයකට අනුවර්තනය කිරීමට ඉඩ නොදී සිටීමට ඇති කර්තෘ අයිතියත්, පිතෘත්ව අයිතියත්, කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. එසේ ම, එම ලේඛකයාගේ හිතුවක්කාරී දරුවන්ට සිය නැසී ගිය පියාගේ නිර්මාණයක් වෙනුවෙන් තීරණ ගැනීමට ඇති ප්රවේණි අයිතිය ද, කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. නවකතාව මුල් වරට ප්රකාශනයට පත් වී අඩ සියවසක් ගත වූ තැන එළිදුටු ‘වන් හන්ඩ්‍රඩ් ඉයර්ස් ඔෆ් සොලිටියුඩ්’ නෙට්ෆ්ලික්ස් සීරීසය නරඹන්නට මාකේස් ජීවතුන් අතර සිටියේ නම්, ඔහු ඒ ගැන කුමනාකාර අදහසක් දරනු ඇති දැයි අප කිසිවෙකුට අනුමාන කළ නොහැකි ය. එහෙත්, මේ නවකතාව නෙට්ෆ්ලික්ස් විසින් දිගු මාලා නාටකයකට අනුරූපණය කරන්නට යන බව ඇසූ සැණින් භීතියටත් සන්ත්රාසයටත් පත් වූ භක්තිමත් මාකේස්ලෝලීන් බහුතරය, එය නැරඹීමෙන් පසුව මාකේස්ගේ දෙපුතුන්ගේ අකීකරුකම වෙත කෘතඥ පූර්වක වන බව ද කිසි සේත් අමතක කළ නොහැකි ය.
-චතුපමා අබේවික්‍රම-
මෙම වෙබ් අඩවිය පත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍යමය සහාය මතය. ඔබට අපහට යම් මූල්‍යමය සහායක් ලබාදෙන්නට සිතෙනවා නම් එයට පහත සබැඳිය හරහා පිවිසෙන්න.








