‘We rub elbows with a lot of people every day.’
මේ ‘චුංකිං එක්ස්ප්‍රස්’ චිත්‍රපටයේ ආරම්භක වැකියයි. ‘අංක දෙසිය විසි තුන දරන කඩවසම් පොලිස් නිලධාරියා’ එසේ කියමින් මහමඟ මිනිසුන් හා උරෙනුර ගැටෙමින් අතිජනාකීර්ණ ‘චුංකිං මැන්ෂන්ස්’ මැදින් තල්ලු වෙමින් හැප්පෙමින් විසි වෙමින් හොංකොං නියොන් එළි අතරින් සොරෙකු ලුහුබැඳ කඩා බිඳගෙන වේගයෙන් දුවයි. එසේ දුවන අතර ඔහුගේ ඇඟේ හැප්පෙන එක්තරා ස්ත්‍රියක් කැරකී වැටෙන්නට යද්දී ම තිරය නිශ්චල වී නවතියි.
‘ඒ තමයි අපි ළං වුණ උපරිමය. අපි අතරෙ තිබුණෙ සෙන්ටිමීටර 0.01ක ඉඩක්. ඒත් ඊට පැය පනස් හතකට පස්සෙ මං මේ ගැහැනියත් එක්ක ප්‍රේමයෙන් බැඳුණා.’
වොං කා වායිගේ සිනමා ලෝකයට ඇතුළු වෙමු
භෞතික වස්තූන්ට අධික ව ඇලුණු මිනිස් සාගරයක් සහිත සුවිසල් නගරයක් තුළ දී යමෙකුට භාවමය සබඳකමක් සොයා ගත හැකි වීමේ සම්භාවිතාව කෙබඳු දැයි මම ඔබෙන් අසමි. චුංකිං එක්ස්ප්‍රස් චිත්‍රපටයේ මේ ආරම්භක ජවනිකාවට ජපන් ලේඛක හරුකි මුරකමිගේ රචනා ශෛලිය සමපාත බව දිස් වීමෙන්, මේ දෙක අතර සම්බන්ධයක් ඇත් දැයි සොයන්නට මට සිත් විය. ඒ ඔස්සේ දිගු දුරක් ඇවිද ගිය විට චුංකිං එක්ස්ප්‍රස් වෙත සැබැවින් ම සෘජු ව ආභාසය ලැබී ඇත්තේ මුරකමිගේ කෙටිකතාවකින් බව පුදුම සහගත ලෙස හෙළි වීමෙන් මහත් උත්කර්ෂයක් ඉපදිණ. ‘On Seeing the 100% Perfect Girl One Beautiful April Morning’ නම් එම කෙටිකතාවේ එන්නේ අහම්බෙන් මහමඟ දී පසු වන යුවතියක හා පෙමින් බැඳීමේ සම්භාවිතාව ගැන සිහින දකින තරුණයෙකු ගැන ය.

චුංකිං එක්ස්ප්‍රස් චිත්‍රපටයේ පෙර කී අංක දෙසිය විසි තුන දරන්නා විරහවෙන් ආතුර වූවෙකි. පාළුව මකා ගන්නට, හත් අවුරුද්දකින් හමු ව නැති ඉපැරණි මිතුරන්ට පවා දුරකතන ඇමතුම් ගන්නෙකි. සිය ශෝකයට කල් ඉකුත් වීමේ ටයිමරයක් සවි කරන අංක දෙසිය විසි තුන, මුරකමිගේ නවකතාවක චරිතයක හැසිරීම් ප්‍රකට කරයි. හදිසි අනතුරක් සේ හමු වන, අව් කන්නාඩි සහ උස් අඩි පාවහන් පැලඳ ගත් මේ ආගන්තුක ස්ත්‍රිය කවුදැයි ඔහු දන්නේ නැත. අහම්බයකින් මත්පැන් හලක දී ඇය යළිත් හමු වී, ඇය නිදන දෙස බලාගෙන එදින මුළු රැය ම පහන් කර පැමිණිය ද, ඇය කවුදැයි ඔහු දැන ගන්නේ නැත. චිත්‍රපටය මැදින් කතාව අවසන් වෙද්දී පවා, ඇය බ්ලොන්ඩ් පැහැ බොරු කොණ්ඩයකින් වෙස් වළා ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක බව මේ පොලිස් නිලධාරියා දැන ගන්නේ නැත. ප්‍රේමය, පහළ වන්නට පෙර අනෙකා කාගේ කවුදැයි සොයා විමසා බලා පහළ වන්නේ නැත. අංක දෙසිය විසි තුන, සිය පැරණි පෙම්වතියගෙන් ඇමතුමක් ලැබෙන තෙක් කොතෙක් බලා සිටිය ද, පසු දා උදෑසන ඔහුගේ උපන්දිනයට ලැබෙන එක ම සුබ පැතුම එන්නේ අර අව් කන්නාඩි සහ උස් අඩි පාවහන් පැලඳ ගත් නන්නාඳුනන ස්ත්‍රියගෙනි. දෙදෙනාට ම ජීවිත මහන්සිය නිවා ගැනීමට උර දුන් කුඩා මිත්‍ර සන්ථවය නිම කර අවසානයේ දෙපසකට වෙන් ව යනු විනා, ඔවුන්ට ආලයෙන් මුසපත් වී මැරෙන්නට හදන්නට හේතුවක් නැත.
‘කලබල නගරයක දී සෙන්ටිමීටර 0.01ක ඉඩ අංශුවක් බෙදා ගැනීමෙන් පවා හැඟීම් ඉපදිය හැකි ය.’
චුංකිං එක්ස්ප්‍රස් රචනා කර අධ්‍යක්ෂණය කළ වොං කා වායි නම් ඉන්ද්‍රජාලික කතාකරුවා සම්මුඛ සාකච්ඡාවක දී එසේ කියයි. හදිසි ගිනි පුපුරකට, ක්ෂණික විදුලි කෙටීමකට, තරු විසි වීමකට, අහඹු ස්පර්ශයකට, ඇස් ඇස් හැප්පෙන නිමේශයකට, කෙතරම් දුරක් යා හැකි ද?
පෙර කී ලෙස ම මේ කතාව චිත්‍රපටය මැදින් අවසන් වෙයි. ඊට යා වෙන්නේ ඊට නො දෙවෙනි ව විරහවෙන් ආතුර ‘අංක හයසිය හැට තුන දරන කඩවසම් පොලිස් නිලධාරියා’ගේ කතාව ය. වොං කා වායි මෙහි දී අනුයන්නේ ‘Non-linear narrative’ හෙවත් අරේඛීය ආඛ්‍යානයක් සහිත චිත්‍රපට කලාවකි. මුල් කතාවත් දෙවැනි කතාවත් අතර රේඛීය සම්බන්ධයක් නැත. ගුවන් සේවිකාවක හා පෙමින් වෙළී සිටි දෙවැනි කතාවේ පොලිස් නිලධාරියා හෙවත් අංක හයසිය හැට තුන, අංක දෙසිය විසි තුන තරම් සාමාජීය සත්ත්වයෙකු නො වේ. තමා තුළට ම නැමුණු හිතක් ඇති අංක හයසිය හැට තුන දරන්නා කතා කරන්නේ මිනිසුන් සමග නො ව සිය නිවසේ ඇති සබන් කැට, තුවා කෑලි, පුළුන් සතුන් ආදී සකලවිධ අජීවී වස්තු සමග ය. කොහොමටත් වොං කා වායිගේ චිත්‍රපටවල චරිත, නිරන්තර ව ස්වයං පසුබිම් කථනවල යෙදෙති. වොං කා වායි පවසන පරිදි මිනිසුන් අනුන් සමග කතා කරනවාට වඩා තමන් සමග ම කතා කරන්නට හුරු වී සිටින මේ සමයේ, චරිත විසින් සිය මනෝභාව ගැන සිදු කෙරෙන ස්වයං පසුබිම් කථනය, චිත්‍රපටයක ඉතා වැදගත් අංගයකි. මේ ස්වයං පසුබිම් කථන, අන්‍යයන් සමග හැසිරෙන අතර ම ඔවුනොවුන් තනි තනි ව අත්විඳින ‘සාමූහික තනිකම’ පිළිබඳ හැඟවුම්කාරකයකි. මෙසේ දෙයාකාරයක පෞරුෂ සහිත තරුණයන් දෙදෙනෙකු සිය විරහ වේදනා දෙයාකාරයකට හසුරුවා ගන්නා අයුරු, එක ම චිත්‍රපටයක් තුළ බලා හිඳීම ආස්වාදනීය ය.
නියොන් එළිය, ආදරය සහ තනිකම
මේ අතර අංක හයසිය හැට තුන හැම දා ම සිය ‘ඩියුටි’ අවසන් ව කළු කෝපි උගුරක් හෝ ‘චෙෆ්ස් සැලඩ්’ එකක් පිණිස ඒ ආසන්නයේ ඇති ‘මිඩ්නයිට් එක්ස්ප්‍රස්’ වෙත යයි. එම බොජුන්හලේ සේවය කරන, ‘ෆේයි’ නම් කොට කොණ්ඩකාරියක් ඔහු දෙස බැලුම් හෙළන්නට වෙයි. කෙසේ වුව ද එදෙස වුවමනාවෙන් ඇහැක් ඇර බැලීමට තරම් ඔහුට ඒ ගැන ‘එක්සයිට්මන්ට් එකක්’ නැත. වොං කා වායිගේ චිත්‍රපටවල, ප්‍රේමය දිනා ගැනීම වෙනුවෙන් අරගල නො කර ජීවිත කාලය ම වුව ද බලා සිටිය හැකි, ඉවසිලිවන්ත මන්දගාමී පෙම්වත්තු සුලබ ය. ඔවුහු ප්‍රේමයට සිය අතැඟිලි අතරින් ගිලිහී වැගිරෙන්නට ඉඩ දෙති. එහෙත් බලාපොරොත්තු අත්හැර නො ගනිති. තනිකමෙන් සහ වේදනාවෙන් පීඩා විඳිති. වොං කා වායිගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස සැලකෙන අතිශය හැඟුම්බර ‘ඉන් ද මූඩ් ෆො ලව්’ සිනමා කාව්‍යයේ ප්‍රේමවන්තයා තුළ ද මේ ගතිගුණ වේ. ඒ හැඟුම්බර ප්‍රේමවන්තයා ද අංක හයසිය හැට තුන වන මේ ප්‍රේමවන්තයා ද එක ම රංගන ශිල්පියෙකි. වොං කා වායිගේ චිත්‍රපට බොහොමයක දැකිය හැකි, කතා කරන ඇස් ඇති එකී ප්‍රේමවන්ත මුහුණ, ටෝනි ලියන්ග්, ‘ඉන් ද මූඩ් ෆො ලව්’ වෙනුවෙන් 2000 වසරේ කෑන්ස් සිනමා උලෙළේ විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ ය.
ඉවසිලිවන්ත අලස පෙම්වතුන් ගැන මතක් කළ විට නිරායාසයෙන් සිහි වන, සිත තදින් පෑරූ ලාංකේය සිනමාපටයක් මෙතැනට කැඳවන්නට මට සිත් වෙයි. ඒ චින්තන ධර්මදාස සහ උදය ධර්මවර්ධන මීට පසළොස් වසරකට පමණ ඉහත දී මුදා හළ, මුඛ්‍යධාරාවේ කලා ලෝකයෙන් ඔබ්බේ ස්ථානගත වූ ‘How I Wonder What You Are’ නම් අපිළිවෙළ චිත්‍රපටයයි. ‘How I Wonder What You Are’ වෙත වොං කා වායි සිනමාවේ අඥාත සෙවණැල්ලක් වැටී ඇති සෙයක් මට දැනේ. එය සවිඥානක ව සිදු වූවක් ද නැද්දැයි නො දනිමි. එහි ප්‍රධාන චරිතය වූ ‘ඩී’, ප්‍රේමය තමා වෙතට අහසින් කඩා වැටුණු පසුව වත් ඒ වෙනුවෙන් කිසිවක් කරන්නේ නැත. ප්‍රේමය පිළිබඳ හැඟවුම්කාරකයක් වත් ඩීගෙන් ‘කැතී’ට සොයා ගත නො හැකි ය. සිය සහකරුවා සමග නෝක්කාඩුවක පැටලී ඩී සොයා එන කැතී, ඩී හා වාසය කරද්දී දැනෙන ‘මුකුත් සිද්ධ නො වෙන ගතිය’ යැයි හඳුන්වන්නේ මේ හැඟීම විය යුතු ය. අපේක්ෂාව යථාවක් කර ගැනීම පසුපස හඹා යනු වෙනුවට, බලාපොරොත්තුවේ එල්ලී සිහින දැක දැක සිටීමේ ඩීගේ මේ ස්වභාවය රසිකයාට ‘ඇන්ක්සයටි’ හදවන සුලු ය. කැතී ආපසු යන තුරු කිසිවක් ම නො කොට ඔහේ සිහින දැක දැක සිටින ඩීට, ඇය යන්නට ගිය පසු හිත හදා ගන්නට ද නිදහසට කරුණක් තිබේ.
‘මේ ඉවසීම, මේ කැපවීම, ඔබෙන් තවත් කාලයක් රටට අවශ්‍යයි.’ මහින්ද රාජපක්ෂ රූපවාහිනියෙන් ගුගුරයි.
‘මට තව ඉන්න පුළුවන්, කැතී ආයෙමත් ඒවි..’ ඩී තමාට ම කියා ගනියි.
තවත් කොටසක් හෙට
-චතුපමා අබේවික්‍රම-
මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍ය අනුග්‍රහය මතය. මෙය කියවන ඔබට අපට යම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වන්නට අවැසි බව හැඟෙන්නේ නම් පහත සබැඳියෙන් ඒ සඳහා පිවිස අපහට උදව් කළ හැකිය.
This website is sustained by the financial support of our readers. If you feel that the work we do is worth supporting, you can make a financial contribution through the link below. Your support will help us continue our work.
buymeacoffee.com/knews.lk







