රටපුරා ඇතිව තිබෙන හදිසි විදුලි බිඳවැටීම සවස් කාලය වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවත්, හවස 7 පමණ වනවිට මුළු පද්ධතියම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවත් ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම විශ්වාසය පළ කරයි.
රටපුරා ජල විදුලි බලාගාර මෙන්ම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ද අක්‍රිය වී ඇතැයි පැතිර යන කටකතාවල සත්‍යතාවක් නැතැයි ප්‍රකාශ කරන එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ, පවතින තත්ත්වය හමුවේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය පමණක් නිසි ක්‍රමවේදය අනුව ක්‍රියා විරහිත කර ඇති බවයි.
කොළඹ, ගම්පහ, කළුතර ආදී දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා දැනටමත් විදුලිය නැවත ලබාදී ඇතැයි මේ වනවිට වාර්තා පළ වෙමින් තිබේ. මේ අතර, කොළඹ ජල සැපයුමට ද යම් යම් බාධා ඇතිවිය හැකි බව වාර්තා වෙයි.
දැනට අක්‍රිය තත්ත්වයට පත්කර තිබෙන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නැවත සක්‍රිය කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇතැයි ද වාර්තා වෙයි.
මේ අතර, රටේ සමස්ත විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ රටපුරා ඇණහිට ඇති විදුලි සැපයුම යළි ලබාදීම සඳහා මේ වනවිටත් කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි.
ඒ අනුව, වහල මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති ක්‍රියා විරහිත කර විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට සහාය වන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.




