හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර හට අදත් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ අධිකරණය, ඔහු ලබන ජූලි 08 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර ඇත.
අද (01) විභාගයට ගත් මෙම නඩුකරයේදී මහේස්ත්‍රාත්වරයා දන්වා ඇත්තේ, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ගොනු කළ ඇප ඉල්ලීම පිළිබඳ සිය තීරණය ද එදිනට ප්‍රකාශයට පත් කරන බවයි.
2026 ජූනි 12 දා ලැබුණු පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ මධ්‍යම දූෂණ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්, විමර්ශනවලින් අනතුරුව සුගීශ්වර බණ්ඩාර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහුට එම කාර්යාංශය එල්ල කරනු ලබන චෝදනාව වන්නේ, පසුගිය 2022 වසරේ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරන කාලයේම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කරමින් එකවර ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකටම වැටුප් ලබාගෙන ඇති බවයි.
එම කාලයේදීම රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වන අතර, ඒ පිළිබඳව ද එම කාර්යාංශය විසින් විමර්ශන සිදු කරන බව අධිකරණයට වාර්තා කර ඇත.






