ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පසුගිය දා 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය අරබයා පැවති සාකච්ඡාව පිළිබඳව මේ වනවිට බොහෝ දේ ලියැවී තිබෙයි. ජනාධිපතිවරයාට හිතවත් පාර්ශ්වයන්, බොහෝ විට ජනාධිපති මාධ්‍ය ඒකකය, මේ වනවිට මෙම සාකච්ඡාව අලළා සමාජය තුළ 22 වැනි සංශෝධනයට හිතකර මතවාදයක් නිර්මාණය කරන්නට විශාල වෙහෙසක් ගනු පෙනෙයි.
ඒ අතර ඔවුන් විරුද්ධ මතධාරීන් ඉලක්ක කරගනිමින් කුණුහරුප අවලාද චෝදනා දිග හරිමින් සිටියි. ඒ අතරේ තවත් සමහරුන් ජනාධිපතිවරයාගේ කතාව පමණක් හුදෙකලාවට ගෙන විසංයෝජනය කරමින් එය මාර කතාවක් බව කියන්නට උඩ පනියි. පෙරළෙයි. නටයි. ගයයි.
ඇත්තටම ජනාධිපතිවරයාගේ කතාවේ එහෙම උඩ පනින්නට දෙයක් තිබෙයිද? නැත. එම කතාව මැදහත් කියවන්නෙකුට පෙනෙනු ඇත්තේ අසාර්ථක කතාවක් ලෙසටය. එය එතරම් අසාර්ථක කතාවක්ය.
ජනාධිපතිවරයා තමන්ගේ කතාව අරඹමින් මුලින්ම කීවේ කුමක්ද? ඔහු කීවේ සාකච්ඡාවක් යොදාගෙන තිබියදී ඊට පෙර නිවේදනයක් මගින් ස්ථාවරය ප්‍රකාශ කිරීම විවෘත සාකච්ඡාවකට බාධාවක් බවත්, එය හොඳ දෙයක් නොවන බවත්ය. තමන් නම් සාකච්ඡාවට පැමිණියේ යම් විවෘත මනසකින් බවය.
අහෝ! ජනාධිපතිගේ විවෘත මනස.. ඔය කියන ඕපන් මයින්ඩ් එක මේ කරුණට ඕපන් වී තිබුණේ මේ අවුරුද්දේ මුල් මාසවල සිටය. මේ පිළිබඳව මුලින්ම සමාජයට වාර්තා කළේ අනිද්දා පුවත්පත සහ එහි ප්‍රධාන සංස්කාරක කේ.ඩබ්ලිව්. ජනරංජනය.

එම හෙළිදරව්වට අනුව දොරගුළු වසාගෙන හොරාට හොරාට මුලින්ම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන තව අවුරුදු දෙකක් ධුරයේ තබාගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කර තිබුණි. ඉන්පසුව මේ පිළිබඳව හා හෝවක් සමාජයට ආ පසුව ජනාධිපතිවරයා සහ ඔහුගේ අනුගාමිකයන් කළේ තම යෝජනාවේ දිග පළල වෙනස් කරමින් තමන් කරන්න යන වැඩේ සර්ව සාධාරණ බව මොහොතින් මොහොත සමාජයට ඒත්තු ගැන්වීමයි.
ඒ අනුව අගවිනිසුරු විශ්‍රාම වයස අවුරුදු දෙකකින් රබර් කිරීම මුළු ශ්‍රේෂ්ඨාධිකරණයට ද ඉන්පසුව අභියාචනාධිකරණයට ද ඊටත් පසුව පහළ අධිකරණවලට ද අදාළ කරගනිමින් අලුත්ම මතයක් සමාජය මත වගාදිගා කරන්නට විය. මෙම මතවාද පැළ කිරීමේ වැඩේට සමාන්තරව ඒ කාලයේම තැන තැන බන්ධනාගාර තුළ ඇතිවුණු නොසන්සුන්තා විසින් ජනාධිපතිවරයාගේ විවෘත මනසින් පැමිණි මතවාදයට යම් විශ්වසනීයත්වයක්, එය සමාජය මත පැළවෙන ස්වරූපයක් ලැබුණි.
ඉතිං මේ අතර කාලයේ, විශේෂයෙන් ආණ්ඩුව දොරවල් වහගෙන ව්‍යවස්ථා සංශෝධන හදන කාලයේත් එයට නීතිඥ ප්‍රජාව මෙන්ම විනිසුරු සංගම්ද විරුද්ධ විය. එනිසා ජනාධිපතිවරයා මේ සාකච්ඡාවට එනවිට විවෘත මනසකින් ඒවියැයි බලාපොරොත්තු වන්නේ නම් එහි අවුල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නොව ජනාධිපතිවරයාගේය. අනෙක ව්‍යවස්ථා කෙටුම්පතක් ප්‍රකාශයට පත්කර එය පාර්ලිමේන්තුවටත් දමන්නට දින වකවානු තීරණය කර සාකච්ඡාවට පැමිණි ජනාධිපතිවරයා තමන් පැමිණියේ විවෘත මනසකින් යැයි ප්‍රකාශ කරන්නේ කෙසේද යන්න මටනම් නොතේරේ.
අනෙක් පැත්තෙන් නීතිඥ සංගමය වැනි වෘත්තීය ආයතනයක් විධායකය සමඟ සාකච්ඡාවකට යාමට පෙර සිය නිල ස්ථාවරය ප්‍රසිද්ධ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රියාවක්ය. එයින් එම සංගමය අදහස් කරන්නට ඇත්තේ, දොරටු වසාගෙන රහසිගත එකඟතාවලට එළඹීම වළක්වා, සමස්ත සාමාජිකත්වයේ අදහස නියෝජනය කිරීම විය හැකිය. පූර්ව ස්ථාවරයක් නොමැතිව මෙවැනි සාකච්ඡාවකට යාම නීතිඥ සංගමය වැනි සංගමයකට තරම්ද? එයයි ඊළඟ ගැටලුව.
මෙනිසා ජනාධිපතිවරයාගේ ප්‍රවේශයම වැරදිය.
අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා තවත් මරිමෝඩ කතාවක් කියනු පෙනුණි. මෙය ගැලරියේ විසිල් නංවන්න නම් අපූරු කතාවක්ය. ඔහු එහිදී කීවේ ඉදිරිපත් වන විරෝධය සමස්ත නීතිඥ ප්‍රජාවේම අදහස නොවිය හැකි බවත්, එය බහුතරයද සුළුතරයද යන්න විවාදාපන්න බවත්ය.
මේවාට සිනාසිය යුත්තේ කොහෙන්දැයි මටනම් වැටහෙන්නේ නැත. නීතිඥ සංගමය වැනි ආයතන ක්‍රියාත්මක වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය මතය. ඒ අනුව නිලවරණයකින් පත් වූ කමිටුවක් ගන්නා තීරණ, ආයතනයේ නිල තීරණ ලෙස සැලකේ. විරෝධයක් එල්ල වන සෑම විටම “මේක සමස්තයේ අදහස නෙවෙයි” යැයි පැවසීම, යම් දෙයක් අරබයා විවේචනයක් නැඟුණු විට එම විවේචන අවතක්සේරු කිරීමට යොදාගන්නා සම්භාව්‍ය උපක්‍රමයකි.
මෙහිදී ජනාධිපතිවරයා තවත් තැනක ප්‍රකාශ කළේ, තමා කිසිසේත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් බලය පාවිච්චි නොකරන බවයි. යමක් හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව සිදු කිරීම පමණක් ප්‍රමාණවත් නොවෙන බව අපි ජනාධිපතිවරයාට මතක් කර දිය යුතුය. එය ප්‍රමාණවත් වන්නට නම් ව්‍යවස්ථාදායකයේ ජීවගුණයට සහ නීතියේ ආධිපත්‍යයට එකඟ විය යුතුය. එය එසේ නොවෙන තාක්, යම් පක්ෂයකට පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයක් ඇති විට ව්‍යවස්ථාව වෙනස් කර අධිකරණයට බලපෑම් කළ හැකිය. මේ සිදුවන්නට යන්නේත් එය බව මෙම ලියුම්කරුගේ හැඟීමයි. මෙහිදී ජනාධිපතිවරයා සිතාබැලිය යුත්තේ, බලතල බෙදීමේ න්‍යාය සහ අධිකරණයේ ස්වාධීනත්වය උල්ලංඝනය වන්නේ නම්, එය හුදෙක් නීත්‍යානුකූල ව්‍යවස්ථානුකූල වුවද ප්‍රජාතන්ත්‍රවාදී හෝ සදාචාරාත්මක නොවෙන බවය.
මේ ලියුම්කරුට පෙනෙන ආකාරයට ජනාධිපතිවරයාගේ පිස්සුම අදහස වන්නේ, තනතුර අහිමි වීමේ අවදානමක් තිබුණද වෙනසක් කිරීම වෙනුවෙන් තමා අවදානම් ගන්නා බවත්, එය පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අතගැසීම වැනි අවදානමක් බවත් යැයි කියමින් කියූ කරුණුය. පාස්කු ප්‍රහාරයට අදාළව යුක්තිය ඉටුවිය යුතුය. වැරදිකරුවන්ට දඬුවම් හිමිවිය යුතුය. එහි කතා දෙකක් නැත. නමුත් මෙහිදී ජනාධිපතිවරයා කියන කාරණය පිළිගත නොහැකිය.
මෙහිදී අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස හෝ සංයුතිය දේශපාලනිකව වෙනස් කිරීම යුක්තිය පසිඳලීමක් නොව, ස්වාධීන ආයතනයකට ඇඟිලි ගැසීමකි. අධිකරණයේ ස්වාධීනත්වය අනතුරේ හෙළන දේශපාලන අවදානමක් ගැනීම වීරත්වයක් නොව, ආයතනික පද්ධතිය අර්බුදයකට ලක් කිරීමකි. එය රාජ්‍යයම අනතුරේ හෙළන අවදානමක් ගැනීමක්ය. එවැනි අවදානමක් ගැනීමක් මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකුට තරම් නොවෙන බව කිවයුතුය.
මෙවැනි මරිමෝඩ අදහස් පොකුරක් එකට අමුණා කලතා සුසංයෝග කර ගුලියක් මෙන් පිළිගන්වමින් ජනාධිපති මාධ්‍ය මඩ බලකාය හරහා එය ජනගත කරමින් තමන්ගේ විවෘත මනසේ දිග පළල ජනතාවට පෙනෙන්නට සැලැස්වීම ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය පහළ යෑමට හේතුවක් විය හැකිය. එනිසා මේ පිළිබඳව නැවතත් සිතා බැලීම නුවණට හුරුය.
මේ කතාවේ තවත් තැනක ජනාධිපතිවරයා තමන්ගේ සුපුරුදු විපක්ෂ ආටෝප සාටෝප බසින් කියන්නේ, සංශෝධනය තනි පුද්ගලයෙක් ඉලක්ක කරගත් වරප්‍රසාදයක් නොවන බවත්, එය පද්ධතිමය වෙනසක් බවත්ය. ජනාධිපතිවරයාගේ මෙම කතාවට අපිට මෙසේ උත්තර දිය හැකිය. කැමතිනම් ඉවසිලිවන්තව අසා සිටින්න.. වයස හෝ සංයුතිය වැඩි කිරීමේ ප්‍රතිලාභය ක්ෂණිකව ලැබෙන්නේ මේ මොහොතේ එම පුටුවල සිටින විනිසුරුවරුන්ටය. විධායකය විසින් තම සේවා කාලය දිගු කර දුන් විට, විනිසුරුවරයෙකුට විධායකය කෙරෙහි යම් කෘතවේදීත්වයක් ඇතිවෙයි. එහෙම දෙයක් ඇති නොවෙන්නට නම් විනිසුරන් රහත්වී සිටිය යුතුය. අපිට එහෙම විනිසුරන් නැති නිසා සිටිනා විනිසුරන් මෙය භාරගනු ඇත්තේ වරප්‍රසාදයක් ලෙසටය. ඒ අනුව මෙය අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් බව ඕනෑම මෝඩයෙකුට පෙනී යා යුතුය.
ජනාධිපතිවරයා කියන ආකාරයට ඇත්තටම මෙය සැබෑම පද්ධතිමය වෙනසක් නම්, එහි අපක්ෂපාතීත්වය ඔප්පු කිරීම සඳහා මෙම නීතිය බලාත්මක කළ යුත්තේ වර්තමානයේ සිටින අයට අදාළ නොවන පරිදිය. අනාගතයේ පත්වන අයට පමණක් බලපාන ලෙස මෙම සංශෝධනය ගෙන එන්නේ නම් ඔන්න අපිට ජනාධිපතිවරයා අලංකාර කර කියන මේ කතාව අපිට පිළිගන්නට පුළුවන්ය.
ජනාධිපතිවරයා තවත් තැනක මෙසේ කියයි – අභියාචනාධිකරණයේ පුරප්පාඩු නොපුරවා සිටියේ අදාළ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයා පාස්කු නඩුව අසන බැවින් සහ ඔහු ඉවත් වුවහොත් එම නඩුව කඩා වැටෙන බැවින්. හෙට යම් හෙයකින් ජනාධිපතිවරයා මියැදුණහොත් මේ රට කඩා වැටෙයි කියා යම් කෙනෙකු කියයි ද, මෙම ප්‍රකාශයත් ඒ වගේ එකක්ය. විනිසුරුවරුන් මාරුවූ නඩු මෙතෙක් ලංකා ඉතිහාසයේ තිබී නැද්ද? එක් විනිසුරෙක් විශ්‍රාම ගිය පමණට හෝ අසනීප වුණු පමණට හෝ මියැදුණු පමණට අධිකරණයක් කඩා වැටෙන්න විදිහක් නැත. එයට නියමිත යාන්ත්‍රණයක් පවතී.

අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා තමන්ගේ මේ අත්තනෝමතික ව්‍යවස්ථා සංශෝධනය සාධාරණ බව පෙන්වීමට මේ ගෙන එන මෝඩ තර්කවලින් කියවෙන්නේ අධිකරණය ස්වාධීන නැති බවය. අධිකරණයන් තුළින් එන නඩු තීන්දු ඒවා දෙන විනිසුරුවන් මත රඳාපවතින බව ජනාධිපතිවරයා නොකියා කියයි. විනිසුරුවරයෙක් තීන්දුවක් දෙන්නේ තමන් හමුවට එන තොරතුරු සාධාරණව විමසා බලාය. ඒ සඳහා අධිකරණය මත කාලාන්තරයක් තිස්සේ ගොඩනැගුණු ක්‍රමවේදයක් ඇත. විද්‍යාවක් ඇත. කොටින්ම අධිකරණයට මනසක් කියා දෙයක් ඇත. එනිසා පාස්කු නඩුව අහන විනිසුරුතුමා අභියාචනාධිකරණයට උසස් කළ පමණින් එම නඩුව අහක යනු ඇතැයි කීම විකාරයක්ය. එය එක්තරා ආකාරයට අධිකරණ පද්ධතිය හෑල්ලුවට ලක් කිරීමක්ය.
මෙහිදී ජනාධිපතිවරයා කියන්නේ නඩු ප්‍රමාදය වැළැක්වීමට අල්ලස් කොමිසම, පොලීසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කරන බවයි. අන්න නියම වැඩ. අපි ඒවාට එකෙන්ම කැමතිය. එහෙත් ජනාධිපතිවරයා මේවා කියන්නේ අයිසින් ලෙසින්ය. එනිසා මෙය මූලික ගැටලුවෙන් අපගේ මනස වෙන අතකට හැරවීමට ජනාධිපතිවරයා යොදන උපක්‍රමයක්ය. නඩු ප්‍රමාදය වළක්වන්නට ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට දෙයක් නැත.
රටේ වෘත්තිකයන් රඳවා ගැනීමට වෛද්‍යවරුන්ගේ වයස 63 දක්වා වැඩි කළා සේම, විනිසුරුවරුන්ගේ වයසද වැඩි කළ යුතු බව ජනාධිපති මෙහිදී පවසයි. එයට නම් පොඩි උත්තරයක් දෙනවා මිසක් ඊට එහාට ගොස් තේරුමක් නැත. වෛද්‍යවරයෙකුගේ විශ්‍රාම වයස වැඩි කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් නැත. එහෙත් විධායකය විනිසුරුවරුන්ගේ වයස වැඩි කර ඔවුන්ට “වරප්‍රසාදයක්” ලබාදීම මගින් අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසිය හැකිය.
අධිකරණය මීට පෙරත් සියයට සියයක් “සුවඳවත්” නැති බවත්, ඒ නිසා මෙම සංශෝධනයෙන් පමණක් මිනිසුන්ගේ විශ්වාසය කඩා නොවැටෙන බවත් මෙහිදී ජනාධිපති කීවේය. අධිකරණය දැනටමත් සම්පූර්ණයෙන් පිරිසිදු නැහැ, ඒ නිසා මේ කරන දේ නිසා ලොකු හානියක් වෙන්නේ නැහැ යැයි තමන්ගේ සංශෝධනය බලාත්මක කරගන්නට ජනාධිපතිවරයා විසින් මේ ආකාරයෙන් තර්ක කිරීම ඛේදවාචකයක්ය.
අතීතයේ දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවී ඇත්නම් ජනාධිපතිවරයා අද කළ යුත්තේ එම පූර්වාදර්ශයන් මඟහැර කටයුතු කිරීමය. අධිකරණයේ විශ්වාසය පළුදු වී ඇත්නම් එය නැවත ගොඩනැගිය යුත්තේ ස්වාධීනත්වය තහවුරු කිරීමෙන් මිස දේශපාලනික සටකපට ගේම් වෙනුවෙන් ව්‍යවස්ථාව තමන්ගේ නම යටතේ ද තමන්ගේ ධුර කාලය යටතේද සංශෝධන කිරීම තුළින් නොවෙන බව කිව යුතුය.






