සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා රජය ඉදිරිපත් කර ඇති නව පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට සහ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට නොගැළපෙන බව පවසමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එය ඉවත් කර සැලකිය යුතු සංශෝධන සහිතව නැවත සකස් කරන ලෙස රජයට නිර්දේශ කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකට පිටපතක් යොමු කරමින් එම කොමිසම තම නිරීක්ෂණ ඇතුළත් ලිපියක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත යොමු කරමින් මෙම කරුණ අවධාරණය කර ඇත.
ඔක්තෝබර් 6දා ගැසට් කළ පනත් කෙටුම්පත ඔක්තෝබර් 20දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, මෙම පනත ගැන සිය නිරීක්ෂණ දක්වන එම කොමිසම සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාව ප්‍රතික්ෂේප කර නැත. එහෙත් අපරාධ මැඩලීමේ නාමයෙන් පුරවැසියන්ගේ නිදහස, සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය සහ අධිකරණයේ ස්වාධීනත්වය අවදානමට ලක් නොකළ යුතු බව අවධාරණය කර ඇත.
එම කොමිසම පනත් කෙටුම්පතේ 4(2) වගන්තිය පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කරමින්, සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකත්වය තීරණය කිරීමේදී අදාළ පුද්ගලයාගේ ඇඳුම් විලාසිතා, අත් සංඥා, භාවිත කරන භාෂාව, පච්ච සටහන්, එවැනි කණ්ඩායම්වල සාමාජිකයන් සමඟ පවත්වන ඇසුර සහ ඔවුන් ගැවසෙන ස්ථාන වැනි කරුණු සලකා බැලිය හැකි බවට එහි සඳහන් කරුණු ගැන සිය අවධානය යොමු කර ඇත.
පනත් කෙටුම්පතේ වඩාත් සංවේදී විධිවිධානයක් වන්නේ සැකකරුවන් රඳවා තැබීමේ බලයයි. අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාට රඳවා තැබීමේ නියෝග නිකුත් කළ හැකි අතර, ඒවා දිගු කිරීමෙන් උපරිම වසරක කාලයක් දක්වා පොලිස් භාරයේ රඳවා තැබීමට ඉඩ සැලසෙන බව CPA පෙන්වා දෙයි. සාමාන්‍ය ක්‍රියාපටිපාටියට වඩා වෙනස් මෙම ක්‍රමය තුළ විධායක නිලධාරියකුගේ නියෝගය සහ අධිකරණ අධීක්ෂණය අතර පවතින සම්බන්ධතාව ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත.
තවද, ඇතැම් අවස්ථාවලදී ඇප ලබාදීමේ බලය මහාධිකරණයට පමණක් සීමා කිරීම, රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධ මහේස්ත්රාත්වරයාගේ සාමාන්‍ය අභිමතය සීමා කිරීම සහ දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලයන් නැවත පොලිස් භාරයට ගෙන හුදකලාව රඳවා තැබීමට ඉඩ සැලසීම පිළිබඳවද මෙහිදී විවේචන එල්ල වී ඇත.
මෙම පනත් කෙටුම්පතේ තවත් බරපතළ කරුණක් වන්නේ සහකාර පොලිස් අධිකාරී තනතුරේ හෝ ඊට ඉහළ තනතුරක නිලධාරීන් හමුවේ කළ පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ සැලසීමයි. මේ අනුව සාක්ෂි ආඥාපනත යටතේ පවතින ඇතැම් ආරක්ෂණ ක්‍රමවේදයන් මේ හරහා දුර්වල වන බව CPA පෙන්වා දෙයි.
බලහත්කාරයෙන් ලබාගත් පාපොච්චාරණ, වධහිංසා හෝ අයුතු බලපෑම් මගින් සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම වැළැක්වීම අපරාධ යුක්තියේ අත්‍යවශ්‍ය කොටසකි. එවැනි ප්‍රකාශ සාක්ෂි ලෙස යොදාගැනීමට ඉඩ සැලසීමෙන් සිදුවිය හැකි අයුතු බලපෑම් පිළිබඳව මානව හිමිකම් සංවිධාන අවධානය යොමු කරන්නේ ඒ නිසාය.
මානව හිමිකම් කොමිසම පමණක් නොව CPA ද මෙම පනත් කෙටුම්පත වත්මන් ස්වරූපයෙන් ඉවත් කර, මහජන අදහස් සහ විශේෂඥ උපදෙස් ලබාගෙන නැවත සකස් කළ යුතු බව අවධාරණය කර තිබේ.




