ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්‍රංශ සංචාරය අවලංගු කළේ කණ්ඩායමේ එක් පුද්ගලයෙක් හට ප්‍රංශයට යාමට වීසා නොලැබුණ නිසා බවට පැතිරයන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රශ්න කරන්නේ, නියෝජිත පිරිසේ එක් අයෙක්ට වීසා ලබා නොදීම නිසා මෙම සංචාරය අවලංගු කලා යන්න මෙවැනි වැදගත් නිල සංචාරයක් අවලංගු කිරීමට ප්‍රමාණවත් හේතුවක් යන්න යි.
ඔහු එහිදී මෙසේ පැවසීය – ‘ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අවලංගු කර ඇති බව අපටත් අසන්නට ලැබුණා. නියෝජිත පිරිසේ එක් සාමාජිකයෙකුට වීසා ලබා නොදීම මෙය අවලංගු කිරීමට තරම් හේතුවක්ද?’
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා සිය ප්‍රංශ සංචාරය අතරතුර යුරෝපීය නායකයින් කිහිප දෙනෙකු සමඟ ජීඑස්පී ප්ලස් සහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව සිටි බැවින් සහ ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමටද සූදානමින් සිටි බැවින්, මෙම සංචාරය අවලංගු කිරීම ප්‍රශ්න සහගත බවයි.
මේ අතර රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලීන්ද ජයතිස්ස පැතිර යන මෙම කතාව පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ, සමාජ මාධ්‍යවල හුවමාරු වන අදහස් සැමවිටම විශ්වාසදායක නොවන බවත්, එවැනි සටහන් විශ්වාස කළ යුත්තේ ඒවා නිර්මාණය කරන්නේ සහ බෙදාහරින්නේ කවුරුන්ද යන්න සැලකිල්ලට ගනිමින් බවත් ය. ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල එකඟතාවයෙන් පසුව දෙපාර්ශ්වයටම පහසු කාල වකවානුවක් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවය.






