අලි බැලිල්ල කියන්නේ මම ආසම දෙයක්. අපේ ගමේ හිටියා රත්නපුරේටම ප්‍රසිද්ධ අලි මාමෙක්. අලි මුදියන්සේ මාමා කියලා තමයි අපි කිව්වේ. මිනිහගේ ගෙවල් තිබුණේ අපේ ගම කෙළවරේ. මිනිහා ඉතින් අලියා එක්ක ගෙදර ආවාම අලියාව නාවන්න එක්කරගෙන එන්නේ අපේ තොටුපොළට. මොකද පාරේ ඉඳලා ලස්සනට, ආරක්ෂිතව ගඟට බහින්න පුළුවන් ලස්සන තොටුපොළක් ඒක ඒ කාලේ. දැන්නම් එහෙම තොටුපොළක් ඇත්තෙත් නෑ. මම මේ කියන කාලේ අපි ගඟේ නාපු කාලේ. දැන්නම් නෙස්ටමෝල්ට් වතුර නිසා කවුරුත් ගඟට යන්නේ නෑ නාන්න.
ඉතින් මෙහෙම ඇවිත් අලියා හරි ඇතා හරි ගඟේ නිදිකරවලා ඒ පැත්ත මේ පැත්ත පෙරළ පෙරළ අතුල්ලනකොට අපිටත් අවස්ථාවක් දෙනවා පිටේ නැඟලා ලොකු පොල් කොස්සකින් අලියාව අතුල්ලන්න. හොඬෙන් වතුර මල් පිපිලා ඇඟට හැළෙනකොටත් අපි ආශාවෙන් නාන ගමන් අලියා අතුල්ලනවා. මේ අලි මුදියන්සේගේ ගම නිසාම හංගමුව කරවිට පාරේ යන ගොඩක් අලි ඇතුන් අපේ තොටුපොළින් නාලා අලි මුදියන්සේ මාමලාගේ ගෙදර එහෙම ගිහින් තමයි යන්නේ. එක දවසක් වෙරිකාර අලි බාසුන්නැහේ කෙනෙක් එක්ක අලියෙක් අපේ ගේදොරකඩ පහන් කළා තවමත් මතකයි. අලි බාසුන්නැහේ අලියාගේ බඩ යට නිදි. අලියා ඔහේ ඉන්නවා, හොඬේ එහේ මෙහේ යනවා. උදේ බලනකොට පාර අයිනේ හිටගෙන ඕසේට ගෙඩි එල්ලගෙන හිටිය ගස්ලබු ගහේ කණුව විතරයි. මෙහෙම රස මතක ගොඩක් එක්ක තමයි අපේ පුංචි කාලය ගෙවුණේ. ඉතින් මේ මතක නිසාදෝ අලි බැලිල්ල කියන්නේ මට එපා නොවෙන දෙයක්. ඉස්සර ගොඩක් ඇවිදින කාලේ අලි බැලිල්ලටම ගිය ගමන් තියෙනවා. සමහර ගමන් අනතුර නොසලකා පිස්සුවට, මෝඩකමට ගිය ගමන්. ඒත් ඉතින් ඒවා නොසිඳෙන අලි බැලීමේ ආශාවෙන්, අනුරාගයෙන් ආපු දේවල්.
දවසක් මම ඔය බැසිල් නැගෙනහිර සංවර්ධනය කරන කාලේ, කංචි කැලේ අස්සේ වැවක් හාර හාර හිටපු අපි රත්නපුරේ මිතුරන්ගේ වැඩබිමකට ගියා. හවස ඇඳිරි වැටෙනකොට තමයි හිඳිලා ගිය වැවේ වැව් පිට්ටනියේ තිබ්බ වාඩියට අපි ගියේ. අලි වැටක් කියලා එකක් නෑ, වාඩිය වටකරලා එක වයර් එකක් දාලා තිබ්බා. ඊට අමතරව වාඩිය වටේට ඩෝසර් සත්තු ටික වටවෙලා හිටියා. රෑ අඩිය ගහලා උදේ නැඟිටලා බලනකොට වාඩිය වටේට අලි තවානක්. ඒකත් ජීවිතේ කවදාවත් අමතක නොවෙන එකක්.
මේ ගමනේදී මට අන්නන් කියලා මිතුරෙක් හම්බවෙනවා. මිනිහා අලි කැප්ටන් කෙනෙක්. ඉතින් අපි කංචි කැලේ අස්සේ සෑහෙන්න දුර ඇවිදලා ආපහු එනවා අලි බලන්න. කංචිකුඩිච්චි ආරු කැලේ කියන්නේ නැගෙනහිර පැත්තෙන් පහළට බහින අලි යාලට, කුමනට බහින ඉසව්ව. කංචි ඇතුළෙන් ගියාම ලාහුගල දන්නවා ඇතිනේ අලි විමානේ. ඉතින් අන්නන් බොස් එක්ක අලි ළඟටම ගිහින් අලි බලපු අතීතයක්, අලි ගැන කතා අහපු ලස්සන අතීතයක් තිබුණා. අලියා කියන්නේ කොච්චර අපූරු සතෙක්ද කියලා මම හොඳටම ඉගෙනගත්තේ අන්නන්ගෙන්. අලියට ආදරේ කරන්න, අලි බැලිල්ල කියන්නේ වෙනම ලෙවල් එකක රසවින්දන වැඩක් කියලා මට හිතුණේ අන්නන් නිසා.
ඊට පස්සේ මම මැණික් ගරන්න නිකපොත ගියාට පස්සේ නිකපොත ධනපාල මාමා එක්ක මම යනවා හරක්පට්ටි තැන්නට. හරක්පට්ටි තැන්න කියලා කියන්නේ මම බෙරගලින් දියලුමෙන් පහළට බැහැලා, එහෙම නැත්නම් සොරගුණෙන් අක්කර සියයෙන් ඇවිත් කැලේ අස්සේ කිමිදිලා, වන අලි ළඟටම රැයක් දවාලක් නැතිව ගිය තැනක්. මේ ගමන් නිසාම ඔය අලි ළඟටම ගිහින් අලි නරඹන මිනිස්සු ගැන මට හිතාගන්න පුළුවන්. අලියා ළඟට ගිහින් ඌටත් කරදරයක් නැතිව, අපිටත් කරදරයක් නැතිව එන්න පුළුවන්. ඒකට දැනුමක් සහ ගටක් විතරයි අවශ්‍ය.
මේ ගමේදී දවසක් මම අලි නිදාගෙන ඉන්න හැටි බලනවාට වඩා අහන්න මාව එක්කරගෙන ගිය ගමනක් තියෙනවා. ඒ වගේම මම දවසක් හකුරු තවලමක් එක්ක හරක්පට්ටි තැන්නේ ඉඳලා මහා කැලේ මැදින් බලංගොඩ මැදබැද්ද කියන ගමට ආවා. ඒක නම් විස්තර කරන්නේ කොහොමද? මේ ගමනට මම බලහත්කාරයෙන් වගේ ඇලුණේ අලි බලන්න තියෙන ආශාව නිසා.
ඉතින් එහෙම අලි බැලීමේ ආශාව අස්සේ දියවෙලා යනකොට හමුවුණ ලස්සනම දැවැන්තයා තමයි කාවන්තිස්ස කියලා කියන්නේ. අද වෙනකොට ඌත් මරාගෙන. මොකා ආවත් මොකා ගෙනාවත් මේක හදන්න බෑ, ඒක තමයි ඇත්ත. ඒකට ප්‍රධානම හේතුව තමයි අතීතයෙන් ඉගෙනගන්නේ නැතිවීම. මේ දූපතේ වැඩිහරියක් ඉන්නේ අතීතයක් නැති ලොදයෝ. ඉතින් මේ ලොදයෝ එක්ක මේ රට හදනවා කියන්නේ ලේසි නෑ.
මම තරම් අලි ගැන, අලියන්ගේ ආරක්ෂාව ගැන ලියපු එකෙක් නැතිව ඇති. මම තිළිණි ගමගේගේ අලියා ගැන ලිව්වේ ඌ මහේස්ත්‍රාත් පුටුවේ ඉන්නකොට. මට ඒකට ගට දුන්නේ මේ අලි බලන්න බලා ඉන්න මට තියෙන ආශාව. මම තල්මස්සු බලන්න ආසයි, ඒත් ඒක වියදම් යන වැඩක්. වීඩියෝ බලලා තමයි ඒ ආශාව තෘප්ත කරගන්න වෙන්නේ. මේ දෙන්නම අද ලෝකයේ ඉන්න දැවැන්තම දෙන්නා. මේ දෙන්නම අපිට ඉන්නවා, හැබැයි අපිට උන්ගේ වටිනාකමක් පේන්නේ නෑ.
රිලා දූපත් හදන්න රිලා සංගණනයන් කරපු රීගත් ආණ්ඩුවක් තියෙනකොට, හැම ප්‍රශ්නයම කටින් ගහලා විසඳන්න දක්ෂයෝ රොත්තක් ඉන්න ආණ්ඩුවක් තියෙනකොට, අපි මේවා කියෙව්වා කියලා වෙන දෙයක් නෑ. මේක ලිව්වේ දුකට.




