ලංකාවේ සිදුවුණු වන අලි ජාවාරම 03 – අලි හොරුන්ට පොදු සමාව

sri lanka illegal elephant racket investigation 3 knews

ලංකාවේ පවත්නා නීතියට පටහැනිව තමන් සන්තක කරගත් අලි පැටවුන් භාරදීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරන බව පසුගිය දිනෙක වනජීවී විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මාධ්‍යයට පැවසීය. අලි හොරුන්ට පොදු සමා කාලයක් ලබා දී ඔවුන් සුරක්ෂිත කරලීම යහපාලනය ගොඩනඟන්නට පත්වූ රජයක වගකීමදැයි අපි ප්‍රශ්න කරමු. දැන් දැනගන්නට තිබෙන පරිදි මෙම පොදු සමා කාලය බලපත්‍රයක් නොමැතිව ළඟ තබාගෙන සිටින අලි පැටවුන් සඳහා පමණලු. එය එසේ වන්නේ නම් අපට යම් තරමකින් හෝ සැනසුම් සුසුම් හෙළිය හැකිය. පසුගිය 2015/02/28 වැනි දින ඇලන් මැතිනියාරාමයට ගොස් උඩුවේ ධම්මාලෝක හිමි සතු අලි පැටියකු ඉහත අමාත්‍යවරයාම අත්අඩංගුවට ගත්තේය. මෙම ක්‍රියාව බැලූ බැල්මට හොඳය. ඒ මන්ද උඩුවේ ධම්මාලෝක හිමි සතු අලි දෙදෙනාම නීතියට පිටින් එවක රාජ්‍ය අනුග්‍රහය යටතේ තමන් සන්තක කරගත් අලි බව අප පුන පුනා එදා කියූ නිසාය.

මේ නිසා උඩුවේ ධම්මාලෝක හිමි සතු අලි පැටවා අත්අඩංගුවට ගෙන පෙන්වන ලද නිර්භීතභාවය සත්‍යයක් බව එහිමියන්ට විරුද්ධව රටේ පවත්නා පොදු දේපළ සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරවීමෙන් පෙන්වන ලෙසද අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නෙමු. නීතියට පටහැනි ලෙස මෙම අලි පැටවුන් සන්තක කර ගැනීම මගින් අදාළ පුද්ගලයන් රටේ පොදු දේපළ පිළිබඳ නීතිය මෙන්ම කූට ලේඛන සකස් කිරීම අරබයා නීතියද ඛණ්ඩනය කර ඇත. එනිසා පොදු සමා කාල පසෙක ලා මෙම පුද්ගලයන්ට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කර වෙනසක් සඳහා කැපවූ ජනතාවගේ බලාපොරොත්තුව මල්ඵල ගැන්විය යුතුය. ඒ සඳහා බලධාරීන්ට උදව්වක් ලෙස පසුගිය කාලයේ විගණන විමසුම් මගින් ඉදිරිපත් කළ පුද්ගල හෙළිදරව් කිරීම් මෙන්ම රටේ ප්‍රධානම අලි හොරු තිදෙනා ලෙස නම් ලද පුද්ගලයන් සම්බන්ධයෙන් හෙළිදරව්වක් මෙලෙස පළකරන්නෙමු. අවශ්‍ය නම් නිසි බලධාරීන්ට මෙම පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර පවත්නා නව රජයේ සුජාතභාවය සුරක්ෂිත කරගත හැකිය.

අලි 22 වාර්තාව

පසුගිය 2013 වර්ෂයේ ඔක්තෝබර් 17 වැනි දින ටී.එම්./එල්/වජී/ඒබී/2013/වි.වි. 02 යටතේ විගණකාධිපති දෙපාර්තමේන්තුව අලි පැටවුන් 22ක් සම්බන්ධව කළ විමසුමක ප්‍රතිඵල අධ්‍යක්ෂ ජනරාල්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ලිපිනයට යොමුකර ඇත. එහි සඳහන් වන්නේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ හා 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 23(1) වගන්තියට අනුව අලියකු හෝ ඇතකු බලපත්‍රයක් රහිතව ලබාගැනීම නීති විරෝධී වුවද උඩවලව, හබරණ ආදී ප්‍රදේශවලින් අල්ලාගත් අලි පැටවුන් 22ක් නීති විරෝධී ලෙස විවිධ ව්‍යාපාරිකයන් භාරයේ දේවාලවල සහ විහාරස්ථානවල තබාගෙන සිටින බවය. වාර්තාව කියනුයේ තොරතුරුවලට අනුව නීති විරෝධී ලෙස බලපත්‍රයක් රහිතව මෙම වන අලින් ළඟ තබාගැනීමට විරුද්ධව වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව තම ආයතනය නිරීක්ෂණය කරන බවය. එමෙන්ම ඉහත පනත් ප්‍රකාර නීතිය කඩා අලි පැටවුන් ළඟ තබා ගැනීමට ඉඩදී ඇති බව නිරීක්ෂණය කරන බවය. මේ නිසා පනතේ අරමුණු ඉටු වී නොමැති බවය.

එමෙන්ම ඉහත පනත්වලට අනුකූලව අධ්‍යක්ෂ ජනරාල්වරයා ජාතික රක්ෂිත භූමියක් තුළ හෝ අභය භූමියක් තුළදී සැපයිය යුතු පහසුකම් සහ සේවා හා කළමනාකරණය ඔහු විසින් කර නොමැති බව නිරීක්ෂණය කරන බවය. මේ ආදී තවත් බොහෝ නිරීක්ෂණ වාර්තාව සතුය. එම නිරීක්ෂණයන් නොකියා කියනුයේ අලි වංචාවට අධ්‍යක්ෂ ජනරාල්වරයා වගකිවයුතු බවය. මෙම වාර්තාව විගණකාධිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන්නේ 2013 වර්ෂයේ ඔක්තෝබරයේදීය. මේ වනවිට අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අලි වංචාවට ඍජුව සම්බන්ධ බව ඇස් පනාපිට ඔප්පු වී තිබියදී ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද?

මුල්ම නිරීක්ෂණයට අදාළ අලි පැටවුන් 22

සිඟිති – නිරාජ් රොෂාන් පතිරණ, කණ්ඩුල – තිස්සමහාරාම විහාරය, සංජු – නිරාජ් රොෂාන් පතිරණ, ගංගා – ගංගාරාම විහාරය, භාණු – ශෂේන්ද්‍ර රාජපක්ෂ, සුද්දි – නිරාජ් රොෂාන් පතිරණ, සුජීවා – සුනෙත් වීරසේකර, චූටි මැණිකේ – තාරක අමරතුංග, දෙව්මි – පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ සිට පිළියන්දල වාසනා බේකරියට විකුණා ඇත. සන්දක – සජින් වාස් ගුණවර්ධන, සමාධි – නිරාජ් රොෂාන් පතිරණ (පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමය), සීදේවි – වරුණ කන්නංගර, පංචාලි – කමල් කිත්සිරි, සංඛ – නිරාජ් රොෂාන් පතිරණ, සකුරා – තිළිණ සලෝචන ගමගේ, දෙව්රංග – පන්නිපිටිය දෙව්රම් වෙහෙර, සුදු මහතා සතු අලි පැටවා නමක් යොදා නැත. (බියගම මෙල්වා දඟර වානේ කර්මාන්තශාලා හිමිකරු), ධම්මසිරි කරුණාරත්න සතු අලි පැටවාට නමක් නැත (අලි ඇතුන් හීලෑ කිරීමේ සංගමයේ ලේකම්), මොහාන් පානබොක්කේ සතු අලියාට නමක් නැත. වස්තු – සුනෙත් වීරසේකර, පාරමී – දැරණියගල සමන් දේවාලයේ භාරකරු, ප්‍රදීප් මීයනපලාව සතු අලියා – නමක් නැත.

ඉහත තොරතුරුවලට අදාළව අලින් නීති විරෝධීව ළඟ තබාගෙන සිටීමට විරුද්ධව හිමිකරුවන් ගැන වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව තම ආයතනය නිරීක්ෂණය කරන බව ඉහත විගණන විමසුම කරුණු දක්වයි. එමෙන්ම මෙම වාර්තාවේ අන්තර්ගත කරුණු සහ නිරීක්ෂණ පිළිබඳව පැහැදිලි කිරීම් දින 14ක් ඇතුළත ලබාදෙන ලෙසද විගණනය ඉල්ලා සිට ඇත.

ඊට පිළිතුරු 2013.12.31 වැනි දින එච්.ඩී. රත්නායක අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් විගණනය වෙත යොමුකරන අතර එය ඒ-4 කඩදාසි දෙකක පමණ කෙටි ලියවිල්ලකි. එම පිළිතුරටද නැවත පිළිතුරක් යවන විගණනය (ටී.එම්./එල්/වජී/ඒබී/2013/වි.වි.02 (අ)) කියා සිටින්නේ 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා පනතේ VI කොටසේ 2 (අ) වගන්තියට අනුව උක්ත කරුණ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු වනුයේ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා බවය. ඒ අනුව ක්‍රියාකරනවා වෙනුවට අලින් ලියාපදිංචි කිරීමේ ලේඛන පරීක්ෂා කරමින් පවතින්නේ යැයි පිළිතුරු සැපයීම විගණනයට පිළිගත නොහැකි බවය. එමෙන්ම අදාළ පිළිතුරු ප්‍රමාණවත් නොවන බැවින් නැවත පිළිතුරු සපයන ලෙසද ඉල්ලා ඇත.

මෙලෙස අලි පැටවුන් 22කට අදාළ නිරීක්ෂණ පිළිබඳ විගණන විමසුම අරබයා විගණනය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතර නිරන්තර ලිපි හුවමාරුවක් සිදුවන අතර එහිදී 2014/06/20 වැනි දින යවන ලද විගණන පිළිතුරට ප්‍රති පිළිතුරක් සපයන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා අලි පැටියාගේ නම, භාරකරුගේ නම, නිරීක්ෂණ සහ ගන්නා ක්‍රියාමාර්ග ලෙස බැලූ බැල්මට සවිස්තර යැයි සිතන වාර්තාවක් සපයා ඇත. එහිදී නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන්ට අයත් අලින් 5 දෙනා ගැන මෙන්ම ශෂේන්ද්‍ර රාජපක්ෂ, සජින් වාස් ගුණවර්ධන, පන්නිපිටිය දෙව්රම් වෙහෙරට අයත් අලි පැටවුන් පිළිබඳව සහ තවත් අලි පැටවුන් පිළිබඳව නිරීක්ෂණයක් සිදුකර ඇත. මෙම නිරීක්ෂණය බැලූ විට ඕනෑම මිනිසකුට වැටහෙන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ අලි හොරුන් ආරක්ෂා කිරීමට මෙමගින් පිඹුරුපත් සකස් කර ඇති බවය. එය මනාවට පැහැදිලි වන නිදසුනක් මෙසේය.

මෙම වාර්තාවට අනුව සජින් වාස් ගුණවර්ධන සතුව අලි පැටියකු නැත. (ඔහුගේ නිරීක්ෂණය) එහෙත් පසුගියදා ආණ්ඩු මාරුව සමග අධ්‍යක්ෂවරයාගේ නියමයෙන් සජින් වාස් ගුණවර්ධන සතු අලි පැටියා පරීක්ෂා කරනු ලබයි. එදා නැති අලියකු අද සිටින්නේ කෙලෙසකදැයි බලධාරීන් මෙම නිලධාරියාගෙන් ප්‍රශ්න කළ යුතුය.

දෙවන පරීක්ෂාව

විගණකාධිපති දෙපාර්තමේන්තුව අංක ටීඑම්/එල්/වජී/2013/වි.වි.02 යටතේ 2014 වර්ෂයේ ඔක්තෝබර් මස නැවත විගණන විමසුමක් උක්ත කරුණු සම්බන්ධව පළ කරන අතර එහිදී නියැදියක් ලෙස 334, 331, 358, 359 යන ලිපිගොනු පරීක්ෂාවට ලක්කර ඇත. එයින් නොනැවතී ලිපිගොනු නඩත්තු කළ නිලධාරීන් ඒ ඒ ලිපිගොනු තුළ තිබෙන ලියවිලි ලබාදුන් පුද්ගලයන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත. විමසුමට පසු මෙම අලි පැටවුන් නීති විරෝධීව ළඟ තබාගෙන සිටිනවුන් මෙන්ම එම අලි පැටවුන්ට අයත් ලිපිගොනු තුළ තිබෙන ලේඛන කූට ලේඛන බවටද විගණනය තම නිගමනය පළකර ඇත. මේවා කවුරුන් කළත් බරපතළ වැරදිය. අදාළ ලිපිගොනු හා සබැඳෙන අලින්ගේ අයිතිකරුවන් කවුරුන්ද? කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ (334), අජිත් ගාල්ලගේ (331), අජිත් ගාල්ලගේ (350), හසන්ති චම්පිකා සමරසේකර (359) යන අයවලුන් වන අතර මෙම පුද්ගලයන් අතර සිටින හසන්ති සහ අජිත් ගාල්ලගේ සැමියා සහ බිරිඳ බවටද වාර්තා වෙයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුව දෙවන පරීක්ෂාවට අදාළව පළ කළ ඉහත විගණන විමසුමේදී හිමිකරුවන් සහ ඔවුන් තමන්ගේ බලපත්‍රය ලබා ගැනීමට භාවිත කළ කූට ලේඛන සවිස්තරව දක්වා ඇත. මෙම ලිපිගොනු හතර අතරින් කොටුව මහේස්ත්‍රාත්වරයාට අයත් ලිපිගොනුව සහ ගනුදෙනුව සම්බන්ධව අපි පසුගිය කාලයේ සවිස්තරව කතා කළෙමු. එහෙත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරලීමට එවක රජය අපොහොසත් විය. වත්මන් රජයද තවමත් මෙම පුද්ගලයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනු දකින්නට බැරිය. අලි හොරකමකට අදාළව උසාවියේ නඩුවක චූදිතයකු වන අලි රොෂාන් සහ තිළිණ ගමගේ එක වේදිකාවක සිටින ඡායාරූපයක්ද අපි පළ කළෙමු. එහෙත් එවක අධිකරණ සේවා කොමිෂන් සභාවද තමන්ගේ නිලධාරියා පිළිබඳව කරුණු සොයන තැනකට ගියේ නැත. පසුගිය පාලන කාලයේදී සිදුවූ එවැනි සිදුවීම් නැවත නැවතත් සිද්ධ වෙනවා නම් ගොඩනැඟූ වෙනසේ අර්ථය කුමක්දැයි ජනතාව හඬ නගනු ඇත.

තුන්වන පරීක්ෂාව

දෙවන පරීක්ෂාවට අදාළ විගණකාධිපති දෙපාර්තමේන්තුව පළකළ විගණන විමසුමට වනජීවී පාර්ශ්වයෙන් පිළිතුරු ලැබුණු අතර එම පිළිතුරු පිළිගන්නට විගණකාධිපති දෙපාර්තමේන්තුව සූදානම් නැත. පිළිතුරු පරිශීලනය කළ අපටද පෙනෙනුයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අලි හොරුන් ආරක්ෂා කිරීමට ලොකු වුවමනාවක් තිබෙන බවය. එම වුවමනාව එන්නේ කොතැනින්දැයි අපි නොදනිමු. එහෙත් පරිසර සංවිධාන පවසන්නේ මේ සියලුම අලි හොරකම් පිටුපස අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම එවක වනජීවී අමාත්‍යාංශයේ ලේකම් උදේනි වික්‍රමසිංහද සිටින බවය. එම චෝදනා විභාග කිරීම රජය සතු වගකීමකි.

එම චෝදනා සොයා බලා මේ රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන තැනකට වර්තමාන රජය යා යුතුය. විගණකාධිපති දෙපාර්තමේන්තුව මෙම දෙවන පරීක්ෂාවෙන් පසුව කළ පළමු විගණන විමසුම නිසා රට තුළ අලි සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් සිදුවුණු අතර එනිසාම විගණන විමසුම කළ අඹන්වෙල මහතාටද තම ස්ථානය හැරදා වෙනත් ස්ථානයකට යන්නට විය. මෙම පුටු මාරුවත් සමඟ විගණන විමසුම් ක්‍රියාවලිය ඉදිරියට සිදු නොවේ යැයි සිතුණු අතර එම අදහස වෙනස් කරමින් දෙවන විමසුම් වාර්තාවක්ද එළිදැක්වුණි. මෙම ලියවිල්ල 2014 ඔක්තෝබර් 17 වැනි දින වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකර ඇති අතර එහි අංකය ටීඑම්/එල්/වජී/2013/විවි 03 වෙයි. මෙම විමර්ශනයට අදාළව 345, 346, 347, 348, 227, 333, 228, 226 (350) සහ ලිපිගොනු 10ක් පරීක්ෂාවට ලක්කර ඇත.

මෙම විමර්ශනයට අදාළව 345 – කිත්සිරි කහටපිටිය, 347 – භාරත දේශප්‍රිය, 348 – සඳමාලි විජේමාන්න, 227 – දීප්ති කුමාර, 333 – සමරප්පුලි නන්දදාස, 228 – කමල් කිත්සිරි, 226 – සඳමාලි විජේමාන්න, 346 – එස්.සී හපුආරච්චි, 350 – එස්. නන්දදාස (ශ්‍රී විපශ්‍යාරාමය) යන පුද්ගලයන්ගේ අලි පැටවුන්ට අයත් ලිපිගොනු පරීක්ෂාවට ලක්කර තිබූ අතර එහිදී පෙර පරිදිම විගණකාධිපති දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කරන්නේ මෙම අලි පැටවුන් නීතියට පටහැනිව කැලෙන් අල්ලාගෙන සිටින අලි පැටවුන් බවය. එමෙන්ම මෙම ලිපිගොනුවල අන්තර්ගත ලේඛන බොහෝ ප්‍රමාණයක් කූට ලේඛන බවය.

විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙම වාර්තා ගැඹුරින් පරිශීලනය කරන ඕනෑම පුද්ගලයකුට මෙම අලි ජාවාරම පිටුපස තිබූ යාන්ත්‍රණය හඳුනාගැනීම අපහසු නැත. එම තත්ත්වය තුළ එම යාන්ත්‍රණය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට තේරුම් නොයන්නේ ඔහු මෙම යාන්ත්‍රණයේ දැති රෝදයක් නිසාද? සාධාරණ ප්‍රශ්නයකි. එනිසා මෙම අලි ජාවාරම පිටුපස වනජීවී අධ්‍යක්ෂවරයාගේ මෙන්ම හිටපු අමාත්‍යාංශ ලේකම්වරයාගේ යාන්ත්‍රණයද ඉදිරි සතියේදී හෙළි කරන්නට අපි බලාපොරොත්තු වෙමු. අලි රොෂාන් වැනි පුද්ගලයන් අලි ජාවාරම පිළිබඳ නඩුවලට උසාවියට ඉදිරිපත් කිරීමේදී වනජීවී අධ්‍යක්ෂ කාර්යාලය එම ක්‍රියාවලියට මැදිහත් වූ පිළිවෙත ඉදිරියේදී අපි හෙළි කරන්නෙමු. එම තොරතුරු අතර පන්නිපිටිය දෙව්රම් වෙහෙරෙන් අත්අඩංගුවට ගෙන ඇත් අතුරු සෙවණට භාර කළ පසු මියගිය අලියා පිළිබඳ කතාව මෙන්ම මහ රාත්‍රියේ ඇත් අතුරු සෙවණට පැන එවක ඇමැතිවරයා කළ මෙහෙයුමේ අභ්‍යන්තරයද හෙළි කරන්නට සූදානම්ය. එමෙන්ම මෙම අලි ජාවාරමට ආරම්භය දුන් අලි පොතේ අතුරුදන්වීම පිළිබඳ තතු විත්තිද එවක එම පොත භාරව ක්‍රියාකළ නිලධාරිනියගේ ක්‍රියාකලාපයද විගණන විමසුමට අදාළ වූ බොහෝ ලිපි ලේඛන නඩත්තු කළ නිලධාරිනිය ගැන තොරතුරු ද වාර්තා කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

නව රජයට යමක්

මහා පරිමාණයෙන් මුදල් සංසරණය කරමින් රජයේ අණ පනත් නොතකා හරිමින් සිදුවූ මෙම අලි කතාවේ ඇතුළත රාජපක්ෂවරුන් සහ ඔහුගේ ළඟම හිතවතුන් සිටින බව සියයට සියයක් විශ්වාසය. අනෙක් පසෙකින් දැනට මාධ්‍යයට නිරාවරණය වී තිබෙන මෙම තොරතුරුවලට අදාළ නොවන ඊට පරිබාහිර වශයෙන් කිසිදු ලේඛනයක් නොමැතිව අලි පැටවුන් ළඟ තබාගෙන සිටින පුද්ගලයන් මෙන්ම එවැනි අලි පැටවුන්ද බොහෝ ඇති බව අපගේ විශ්වාසයයි. එනිසා රජය මෙම අවස්ථාවේදී පොදු සමා කාලය පසෙකලා මෙම පුද්ගලයන් සහ අලි අත්අඩංගුවට ගෙන පොදු දේපළ පනත යටතේ නඩු පැවරිය යුතුය. අලි මරා සඟවාවියැයි කියමින් පරීක්ෂණ පසෙකලා ඉවත්වීම යහපාලනය ගැන කතා කරන රජයකට තරම් නැත. අනෙක් පසෙකින් වනජීවී දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් කියනුයේ තමන්ට මෙම අලි පැටවුන් සොයාගැනීමේ හැකියාව තිබියදී මෙවැනි පියවරකට රජය පැමිණීම ප්‍රශ්නකාරී බවය. එමෙන්ම මෙම ජාවාරම පිටුපස සිටින මහ මොළ මේ හරහා නිදහස් කරලීමේ උත්සාහයක් පවතින බවටද අදහසක් අද සමාජයේ රෝපණය වෙමින් තිබේ. එනිසා පොදු සමා කාලය පසෙකලා රජය වහාම මෙම ගනුදෙනු පිටුපස සිටින රාජ්‍ය නිලධාරීන් මෙන්ම අනෙක් දූෂිතයන්ද චීවරධාරීන්ද අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. ඔවුන්ට දඬුවම් කර කතාව සහ ක්‍රියාව අතර පරතරය බිංදුවක් කළ යුතුය. එවිට අපට ජනතාවක් ලෙස යහපාලනය ගැන සතුටු විය හැකිය.

-කේ. සංජීව- (2015/02/01 රාවය)

ලංකාවේ සිදුවුණ වන අලි ජාවාරම 01 – https://knews.lk/sri-lanka-illegal-elephant-racket-investigation-01-knews/

ලංකාවේ සිදුවුණ වන අලි ජාවාරම 02 – https://knews.lk/sri-lanka-illegal-elephant-racket-investigation-2-knews/

මෙම වෙබ් අඩවිය පත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍යමය සහාය මතය. ඔබට අපහට යම් මූල්‍යමය සහායක් ලබාදෙන්නට සිතෙනවා නම් එයට පහත සබැඳිය හරහා පිවිසෙන්න.

buymeacoffee.com/knews.lk

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...