ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව වෙත ගෙනවිත් තිබෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන විසින් තම සභාපතීත්වයෙන් යුතු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.
ඒ අනුව හෙට (සැප්තැම්බර් 01) දිනයේදී මෙම පෙත්සම් කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින නියම කර ඇති අතර, එම පෙත්සම් විභාගය සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේනට අමතරව අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් පත් කර ඇත.
මෙම පෙත්සම අගවිනිසුරු හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් සියලු විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්වයන් විශාල ප්‍රමාණයක් සිය පෙත්සම් මඟින් ඉල්ලීම් කර තිබුණි.






