පාස්කු පරීක්ෂණය දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශයට විරුද්ධව බවත් තමන්ගේ ආරක්ෂාවටත් වග කියන්නේ ඔවුන් බවත් ප්‍රකාශ කරන ජනාධිපති අනුර කුමාර දිසානායක, තමන් දිගටම පරීක්ෂණය කරන බවත් ඒ තුළ තමන්ට ජීවිත අවදානමක් තිබෙන බව දන්නා බවත් ප්‍රකාශ කරයි.
පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවූ අවස්ථාවේ එසේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, අවදානම දරාගන්නේ නැතිව වෙනසක් කරන්න පුළුවන් කියලා තමන් විශ්වාස කරන්නේ නැති බවත් ඒ නිසා තමන් අවදානම ගන්න සූදානම් බවත් ප්‍රකාශ කළේය.
එහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එම අවදානම හමුවේ තමන්ගේ තනතුර අහිමි වෙනවා නම් එය හොඳින් භාරගෙන පිටත් වෙලා යන්නට තමන් සූදානම් බවය.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවති අතර එහිදී ජනාධිපතිවරයා සිදුකළ සම්පූර්ණ කතාව පහතින්..
‘මම හිතනවා මම ඔබතුමාලාගේ මතුවුණු කරුණු පිළිබඳව අපේ අදහසකුත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපි ප්‍රවේශ වීමට හේතු වුණු කරුණුත් මම සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නම්.
පළමුකොටම ඇත්තටම මම, ඒ කියන්නේ ඔබතුමාලා මම හිතන්නේ අද උදේ නිවේදනයක් ඉදිරිපත් කරලා තිබුණා. එතකොට අපි අද හවස ඒකට සාකච්ඡාවක් යොදාගෙන තිබියදී. ඒ නිවේදනයේ දී ඔබතුමාලාගේ ස්ථාවරත්වය ප්‍රකාශ කරලා තිබුණා. ඒ නිසා ඔබතුමාලා යම් ස්ථාවරයක සිට මෙතැනට පැමිණෙන්නේ.
මම සැලකිය යුතු ප්‍රමාණයකින් පැමිණෙන්න උත්සාහ කළේ විවෘත මනසකින්. විවෘත මනසකින් තමයි මගේ පැමිණීමේ අභිප්‍රාය බවට පත්වුණේ. මම හිතනවා කෙසේ වෙතත් අපේ රටේ සාකච්ඡාවෙන් පස්සේ ඕන දෙයක් කියන්න, විවෘතයි. හැබැයි සාකච්ඡාවක් එකට යොදාගෙන තිබියදී උදේ නිවේදනයකින් සාකච්ඡාවේ අන්තර්ගතය, හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඒක විවෘත සාකච්ඡාවකට බාධාවක් වෙනවා කියන එක තමයි මගේ හැඟීම. ඔබතුමාලාට ඒ අයිතිය, පූර්ණ අයිතිය තියෙන ගමන් මම මේ ඉදිරිපත් කරන්නේ.
ඊළඟට අපේ සභාපතිතුමා කරුණු ඉදිරිපත් කරනකොට කිව්වා එතුමා, මම කෙසේවත් ඔබතුමා පුද්ගලයෙක් ලෙස සලකන්නේ නැහැ, ඔබතුමා නියෝජනය කරන නීතිඥ ප්‍රජාවේ අදහස ලෙස තමයි මා ඒ අදහස භාරගන්නේ, කිසිසේත්ම ඔබතුමාගේ පෞද්ගලික අදහසක් ලෙස පිළිගන්නේ නැහැ.
දෙවනුව ඔබතුමාට කියන්න පුළුවන් මේක නීතිඥවරුන්ගේ සමස්තය කියලා, තව කෙනෙකුට කියන්න පුළුවන් සමස්තය නොවේ, තව කෙනෙකුට කියන්න පුළුවන් බහුතරය, තව කෙනෙකුට කියන්න පුළුවන් සුළුතරය. ඒක විවෘතයි. ඒක අපි හැම කෙනාටම විවාද සම්පන්න කාරණයක්. මේ සමස්තයද, බහුතරයද, සුළුතරයද, ඒක විවාද සම්පන්න කාරණයක්. මම හිතන්නේ ඒක පිළිබඳව අපි හරියටම නිගමනයකට ඇවිත් නැහැ කියලා මම හිතනවා.
තුන්වනුව මගේ ප්‍රවේශය, ප්‍රවේශය තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ. මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අප සතුව තිබෙන බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට පාවිච්චි කරන්න උපයෝගී කරගන්නේ නැහැ.
ඊළඟට උපුල් මහත්මයා කියපු අවදානම… ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕනේ, ඔබටත් යන්න වෙයි. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේවායේ වාඩිවෙන්න බලාගෙන ආපු මිනිහෙක් නෙවෙයි. ඒ වගේම මම, මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. වෙනසක් මම හිතන්නේ නැහැ සිදු වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැමවිටම සිදු වෙන්නේ අවදානමක් දරාගෙන.
හොඳම උදාහරණය කියන්නම්, පාස්කු පරීක්ෂණය. පාස්කු පරීක්ෂණය දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශයට විරුද්ධව. මගේ ආරක්ෂාවටත් වග කියන්නෙත් ඔවුනුයි. හැබැයි මම පරීක්ෂණයේ යනවා. ඒ තුළ ජීවිත අවදානමක් පවතින බව මා දන්නවා. නමුත් අවදානම දරාගන්නේ නැතිව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවදානම ගන්න සූදානම් මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම හමුවේ මගේ තනතුර අහිමි වෙනවා නම්, ඒවා ඉතා හොඳින් භාරගෙන මට පිටත් වෙලා යන්න ලේසියි. ඒකට මම සූදානම්.
ඊළඟට මතුවුණු කරුණු ගත්තාම, වරප්‍රසාද කියන ප්‍රශ්නය, ඔබතුමිය මතු කරපු වරප්‍රසාද කියන ප්‍රශ්නය. වරප්‍රසාදය කියන එකේ සීමාව කොතැනද? කොතැනද වරප්‍රසාදය කියන සීමාව තිබෙන්නේ? තමන් විසින්ම තෝරාගත් කෙනෙක් අනාගතයේ CJ පුටුවේ වාඩිවෙන්න ඕනේ කියලා පෙළගැස්වීම වරප්‍රසාදයක් නොවෙන්නේ කෙසේද? එහෙම කරපු ඉතිහාසයක් තිබුණා. තමන්ම තෝරාගන්නවා කෙනෙක්, එයා කොහොමද මුල් පුටුවට ගේන්නේ? එතකොට ඒවත්, ඒවත් තනි පුද්ගලයෙක් කේන්ද්‍ර කරගත් වරප්‍රසාද. තව කෙනෙකුට අර්ථකථනය කරන්න පුළුවන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ප්‍රමාණය 11 සිට 17 දක්වා වැඩි කරනවා, අභියාචනාධිකරණය 12 සිට 20 දක්වා වැඩි කරනවා. ඒ නිසා තමන්ම තෝරාගත් කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන්වීම සහ අභියාචනාධිකරණයට ගෙන්වීම ඉලක්ක කරගෙන මේක කළාද? ඒ නිසා මා හිතනවා අපි අධිකරණ ක්ෂේත්‍රයේ ඇතිකරන හැම වෙනසක්ම වරප්‍රසාදයක් හෝ තව කෙනෙකුට කරන අනිසි බලපෑමක් ලෙස අර්ථකථනය කළ හැකියි.
එහෙම, එහෙම කිසිවක් නැතිවෙයි කියලා මම විශ්වාස කරනවා. මෑත කාලයේ සිදු වූ වෙනස්කම් ටික බැලුවොත්, නේද, 11 – 17 දක්වා වැඩිකරනකොට එතැන අර්ථකථනය කරන්න පුළුවන්නේ, මේ තමන් තෝරාගත් 6 දෙනෙක් ඉන්නවා ඒ හය දෙනා ගේන්න තමයි මේක හදලා තියෙන්නේ කියලා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළේ කරන ඕනෑම වෙනස්කමක්, ඒක වැටුප් වැඩි කිරීමේ සිට නැත්නම් වාහන බලපත්‍රයක් ලබාදීම දක්වාම වරප්‍රසාද ලෙස අර්ථකථනය කරන්න පුළුවන්.
ඉතින් මම උපරිම උත්සාහ කළා මේක තනි පුද්ගලයෙක් කේන්ද්‍ර කරගත් වරප්‍රසාදයක් නොවෙන විදිහට කරන්නේ කොහොමද? ඒ නිසා මේක වරප්‍රසාදයක් ලෙස මා සලකන්නේ නැහැ. මේක සලකන්නේ අධිකරණයේ මේ තියෙන තත්ත්වය තව තත්ත්වයකට ගෙන යාම, අධිකරණ පද්ධතියම තියෙන තත්ත්වයේ සිට තව තත්ත්වයකට පරිවර්තනය කිරීමක්. ඒක වරප්‍රසාදයක් ලෙස මා සලකන්නේ නැහැ කෙනෙකුට ඉලක්ක කරලා.
ඊට පස්සේ එනවා, ඇයි එහෙමනම් තව අය ගියා, ඒ අයට කලින් කරන්න තිබුණා නේද? නැහැ, මේක කරන ඕනෑම මොහොතකදී ඊට පෙර දිනෙක කෙනෙකුත් විශ්‍රාම යන්න පුළුවන්. මේක කළාට පසුව තව කෙනෙකුට මේ වාසිය ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක කවදාවත් සිදු වෙන එකකුත් නෙවෙයි. ඒ නිසා මම, මොකද මේක කොයි වෙලාවක හරි කරනවා නම් ඒ වෙනකොට කට්ටියක් විශ්‍රාම ගිහින් තිබෙනවා, ඒ වෙනකොට කට්ටියක් විශ්‍රාම වයසට ආසන්න වෙලා තිබෙනවා. ඒක මේ අධිකරණ පද්ධතියේ ඕනෑම මොහොතක පවතින එකක්. ඒ නිසා ඒක අර අනිසි වරප්‍රසාදයක් ලෙස මා අර්ථකථනය කරන්නේ නැහැ, කණ්ඩායමකට අනිසි බලපෑමක් ලෙස මා අර්ථකථනය කරන්නේ නැහැ.
ඔබතුමාලා නිශ්චිත ලෙස සඳහන් කරපු පුරප්පාඩු පිරවීම පිළිබඳ ප්‍රශ්නය… මා ඒක මේ මාසයක් විතර ඇතුළත මා අවසන් කරනවා. ඒක නිශ්චිත කරුණක් මත, මා ඒක මම ඔබත් එක්ක කියන්නම්, ඉතා පැහැදිලි කරගන්න. අ… පාස්කු නඩුව තියෙනවා. පාස්කු නඩුවේ තියෙනවා චෝදනා 23,000ක් තියෙනවා. සාක්ෂිකරුවෝ 3,000ක් ඉන්නවා.
ඒ ත්‍රිපුද්ගල මහාධිකරණයේ, අද මහාධිකරණවල ඉන්න ඉහළම විනිසුරුවරයා තමයි ඒ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝජනය කරන්නේ. එතකොට ඔහුට තමයි ඊළඟට, ඔබතුමාලා කියන පරිදිම ඔහුට තමයි ඊළඟට අභියාචනාධිකරණයට යාමේ අවස්ථාව තිබෙන්නේ. මා හොයලා බැලුවාම ඒ නඩුව අවසන් අදියරේ තියෙන්නේ.
ඒක සමාජයේ යුක්තිය පිළිබඳව විශාල අපේක්ෂාවකින් පෙළෙන නඩුවක්. ඒක අපි කවුරුත් දන්න එකක් ඒක. ඒ නිසා මගේ අපේක්ෂාවක් තිබුණා, එතුමා… එහෙනම් එතුමා අපි අභියාචනාධිකරණයට පත්කරන්න ඕනේ. ඔබතුමාලා දන්නවා එහෙමනම් ඒ නඩුවට වෙන බලපෑම මොකක්ද කියලා. එතුමා පත් නොකර හිටියොත් එතුමාට වෙන බලපෑම… එතුමා විශේෂ නඩුවක වාඩිවීම එතුමාට අසාධාරණයක් වීමේ කරුණක්ද කියලා මම කල්පනා කළා. අන්න ඒක තමයි බලපෑම.
ඊළඟට ඇයි එහෙනම් අභියාචනාධිකරණයෙන් ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑමක් ඇති නොවෙන්නේ කියලා? මම ඒකත් ගෙනැවිත් බැලුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රමානුකූලව නඩු ප්‍රමාණය අඩුවෙමින් තිබෙනවා. අභියාචනාධිකරණයේ තමයි ගැටලුව මතුවෙලා තියෙන්නේ. ඒ දෙක අතර සංසන්දනය කරලා බැලුවොත්. ඒ නිසා අභියාචනාධිකරණයෙන් කණ්ඩායමක්, අභියාචනාධිකරණය හිස්ව තබාගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනයාම නුසුදුසුයි කියලා මම කල්පනා කළා. ඒ නිසා කිසිදු, මා ඉතා වගකීමෙන් කියන්නේ මම පුද්ගලයෙක් යනතෙක් බලාගෙන, පුද්ගලයෙක් සුදුසුකම් ලබන තෙක් බලාගෙන මේ පුරප්පාඩු තියාගෙන හිටියා නොවෙයි.
මේ පුරප්පාඩු තිබෙන්නේ සමාජයේ විශාල අවධානයට යොමුවුණු පාස්කු නඩුව පිළිබඳ අවසන්… මා දැක්කා අදත් වාර්තා වෙලා තිබුණා ඉතා ඉක්මනින් මේක අවසන් කළ හැකියි කියන වාර්තාව පළවෙලා තිබුණා. එතකොට ඒ සාධාරණත්වය ඉටු කිරීමේ අරමුණ විතරයි මට තිබුණේ. මා හිතනවා ඒක තමයි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව තියෙන හොඳම නිදර්ශනයක් කියලා මම හිතනවා. යුක්තිය පිළිබඳ අපේක්ෂා කරන මිනිසුන්ගේ අපේක්ෂාවට තියෙන හොඳම සාක්ෂියක් කියලා මම හිතනවා. මට ඕනනම් පාස්කු නඩුව කඩා වැටෙන්න ඉඩ දෙන්න තිබුණා. චෝදනා 23,000ක්, සාක්ෂිකරුවෝ 3,000ක්, කවුද ඊළඟට මේ නඩුව අහන්නේ? කවුද ඇවිල්ලා ආයේ අහන්නේ? කවදද යුක්තිය දෙන්නේ මිනිස්සුන්ට? ඒක තමයි ඒක පිළිබඳව තිබුණේ.
නමුත් ඒක විසින් යම් කෙනෙකුට අසාධාරණයක් ඉටුකිරීම වෙනුවෙන් යම් අයට සාධාරණයක් සිදු වෙන බව මා දන්නවා. ඒ නිසා ඒක සාපේක්ෂයි. එයාගේ අසාධාරණය පිළි අරගෙන අනිත් අයට සාධාරණය ඉටු කරලා තිබුණාද? ඒක සාපේක්ෂයිනේ. හැබැයි අභියාචනාධිකරණයේ තමයි ගැටලුව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට වඩා. ඒක මම කල්පනා කළා. ඒ තමයි පත්වීම් පිළිබඳව මගේ තියෙන…
ඔබතුමා අප්‍රේල් මාසේ 9 වැනිදා සාකච්ඡාව ඉල්ලලා තිබුණේ මේ පිළිබඳ සාකච්ඡාවක් නෙවෙයි. එතැන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡාවක් අපිට මතුවෙලා තිබුණේ නැහැ. රයිට් (වෙනත් අයෙකුගේ හඬක්). ඔව්… නැහැ, නැහැ, මෙතුමාගෙන් මට ආවා ඒක. මෙතුමා හමුවුණාට පස්සේ.
ඊළඟට මම කියන්නේ, මේක තමයි මූලධර්මය, මම ප්‍රතිපත්තියක් ලෙස ඉන්නේ. එතකොට ඔබතුමාලාගේ පැත්තෙන් මා පිළිගන්නවා, යුක්තිය ඉටුවෙන්න ඕනෑකම තියෙන්නේ නඩුව පවරලා, නඩුව ඉක්මනින් විභාග කිරීමද, නඩුව පැවරීම දක්වා එන ගමනද? ඒකත් වැදගත් ඔබතුමා කියපු පරිදිම. එහෙනම් පළමුකොටම අපේ විමර්ශන ක්‍රියාවලිය ශක්තිමත් වෙන්න ඕනේ. අද අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තිබෙන්නේ කොළඹ එක තැනක විතරයි. ඕන තැනක සිදු වෙන අල්ලස් චෝදනාවක් මෙතැනට අරගෙන එන්න ඕනේ. මා අපේක්ෂා කරනවා අල්ලස් කොමිසමේ ශාඛා, කාර්යාල 24ක් රට පුරා අරින්න. ඒකට නිලධාරීන් 373 දෙනෙක් බඳවා ගන්න දැන් අවසර ලබාදීලා තිබෙනවා.
ඒ වගේම සාමාන්‍ය රාජ්‍ය සේවයේ වැටුප් තලයකට වඩා ඉහළ වැටුප් තලයක එහෙම විමර්ශන නිලධාරීන් පත්කරන්න මම Management Committee එකට, Department එක්ක කතා කරලා අවසර ලබා දුන්නා. හොඳ Salary එකක තියන්න ඕනේ මේ විමර්ශන නිලධාරියා. මොකද අල්ලස් කොමිසමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න ඕනේ විමර්ශන සඳහා. ඒක අපි පිළිගන්නවා.
ඊළඟට පොලිස් දෙපාර්තමේන්තුව. 102,000ක් අපේ කාඩරයේ ඉන්නවා පොලීසියේ. අද පොලීසියේ ඉන්නේ 72,000යි. ඒකෙනුත් 4,000කට ආසන්න ප්‍රමාණයක් ඒ ගොල්ලෝ medical දාලා, අර යුනිෆෝම්, රාජකාරිවල යෙදෙන්නේ නැතිව ඉන්නවා. එතකොට 102,000ක වැඩ කරන්නේ 68,000ක්. මේකෙන් තමයි අපි මේ පරීක්ෂණ, විමර්ශන ගැන කාර්යභාරය ඉටුකරන්න අපේක්ෂා කරන්නේ. ලංකාවේ රාජකාරි වෙලාවේදී වැඩිපුරම මියගිහින් තියෙන්නේ පොලිස් නිලධාරීන්. ගිය අවුරුද්දේ රාජකාරි වෙලාවේදී 1100ක් පොලිස් නිලධාරීන් මියගොස් තිබෙනවා. ඔවුන් පැය 18 – 20 වැඩ කරනවා. ඒ නිසා පොලීසියට අලුතින් 10,000ක් බඳවාගන්න, ඔවුන්ට අවශ්‍ය වෙන ඔවුන්ගේ Uniform එක පවා වෙනස් කරන්න, ඔවුන්ට අවශ්‍ය වෙන තාක්ෂණික උපකරණ ලබාදෙන්න, මේ ක්‍රියා සියල්ල කරමින් තිබෙනවා.
මොකද අපි අවශ්‍ය, විමර්ශනය ශක්තිමත් වෙන්න ඕනේ. වැඩිපුරම කාලය, අපි මා දැකලා තියෙනවා විමර්ශන සඳහා යන කාලය විශාල කාලයක්. මොකද මේ ඇවිල්ලා තියෙන පැමිණිලි ප්‍රමාණය, විමර්ශනය කරන්නේ කොහොමද ඉතින්, විමර්ශන ආයතන ශක්තිමත් කරනවා. ඊළඟට විමර්ශනය සඳහා සහාය දෙන්න සහ නඩු ගෙන යන්න සඳහා නීතිපති දෙපාර්තමේන්තුව.
ඇත්තටම නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් තියෙනවා. දක්ෂ අත්දැකීම් සහිත නීති නිලධාරීන් දාලා යනවා. අපි දැනට 50ක් බඳවා ගන්න අවසර ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ උසස්වීම් ක්‍රියාවලියේ තියෙනවා දෝෂයක්. ඒක පිළිබඳ අපි අගමැතිතුමා සාකච්ඡා පටන් අරන් තිබෙනවා මේ උසස්වීම් ක්‍රියාවලිය වෙනස් කරන්න. ඒ වගේම ඔවුන්ට යම් දීමනාවන්, විශේෂයෙන්ම කෝපරේට් අර සමාගම් නඩු කළාම ඔවුන්ට දීමනාවක් ලැබෙනවා. ඒ දීමනාව වැඩි කරන්න ඕනේ කියලා මම තීරණයක ඉන්නවා. ඔවුන් ඉතාමත් හොඳ යහපත් වැටුප් තලයක තියන්නේ නැතිව හොඳ නීති නිලධාරියෙක් අපිට නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් හදාගන්න පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒකටත් අවධානය යොමු කරලා තියෙන්නේ. එතකොට පූර්ව, අධිකරණයට එන්න පෙර පූර්ව වැඩ කටයුතු ටික සූදානම් කරනවා.
ඊළඟට අධිකරණයට මොකක්ද මුහුණ දුන්නේ? අධිකරණයේදී මම විශ්වාස කරනවා මේ ව්‍යවස්ථා සංශෝධනය ප්‍රමාදයි කියලා. මේ ව්‍යවස්ථා සංශෝධනය සිදු වෙන්න සිදුවුණේ 20 වැනි සංශෝධනයට සමාන්තරව කියලා මම හිතනවා. 20 වැනි සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ප්‍රමාණය 11 සිට 17 දක්වා වැඩි කරනකොට, අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ප්‍රමාණය 12 සිට 20 දක්වා වැඩි කරනකොට, අපි නිකන් තාර්කික නිකන් උපකල්පනයක් කළොත්,
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 6 දෙනාම අපි අභියාචනාධිකරණයෙන් පත්වුණා කියලා උපකල්පනය කළොත්, අභියාචනාධිකරණයේ හිස්තැන් 6ක් ඇතිවෙනවා. අලුතින් ඇතිවුණු 8ක් තියෙනවා 12 සිට 20 නිසා. ඒ කියන්නේ 14ක්. එතකොට අභියාචනාධිකරණයේ හිටියේ 12යි. හැබැයි අභියාචනාධිකරණයේ 12 වගේ ඊටත් වඩා වැඩි ගුණයක්, 14 දෙනෙක් මා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත්වෙනවා කියන එක නිකන් පැත්තකින් තැබුවොත් උපකල්පනය කළොත්, 14 දෙනෙක්ම අභියාචනාධිකරණයට පත්වෙනවා. එතකොට 12ක් තිබුණු අභියාචනාධිකරණයේ 12 දෙනයි හිටියේ, 12 දෙනාගෙන් 6 දෙනෙක් ගියොත් ශ්‍රේෂ්ඨාධිකරණයට, එතැන ඉතුරු වෙන්නේ 6 දෙනයි. 20 දෙනා බවට පත්වෙන්න 14 දෙනෙක්ම අලුතින් පත්වෙන්න ඕනේ. මම හිතනවා ඒ වෙලාවේදී මේ සංශෝධනය විය යුතුයි එකක් කියලා. ඒ වෙලාවේ තමයි අත්දැකීම් සහිත කණ්ඩායම රඳවාගෙන මේ වැඩිකිරීම කරන්න තිබුණේ කියලා හිතනවා. නමුත් ඒක සිදු වුණේ නැහැ. ඒක පසු වුණා.
ඒ නිසා අධිකරණ පද්ධතියේ යම් අත්දැකීම් සහිත, ඔබතුමා කියන ඒක හරි 65 ද, 60 ද සමහර අය නඩු තීන්දු ලියන්නේ ඔක්කොම මම පිළිගන්නවා. හැබැයි ලියන කෙනා තෝරලා විතරක් මේක දෙන්න බැහැනේ. ඒක තමයි අනිසි වරප්‍රසාදය, අනිසි මැදිහත්වීම. නඩු තීන්දුවක් නිසි පරිදි ලියන කෙනා තෝරලා ලබාදෙනවා නම්, ඒක තෝරන්නේ කවුද? ඒ තෝරන කෙනා මත ඒක රඳා පවතිනවද නැද්ද? ඒ නිසා මම කල්පනා කරන්නේ නැහැ මේක කෙලින්ම ඔබතුමාලාට මම පක්ෂපාතී. මොකක් හරි ඇගයීම් ක්‍රමයක් බලලා ඒ ඇගයීම් ක්‍රමය අනුව මේක දෙන්න පුළුවන් නම් වඩාත් යෝග්‍යයි කියලා මම හිතනවා. හැබැයි ඒ ඇගයීම් ක්‍රමය කිසිසේත්ම ස්වාධීනත්වය ආරක්ෂා වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා තමයි කල්පනා කළේ මුළු පද්ධතියේම ඇතිකරන වෙනසකින් තමයි මේ තත්ත්වය ඇති කරන්න ඕනේ කියලා.
එතකොට ඇයි එහෙනම් නඩු ඉක්මන් වෙනවද කියන ප්‍රශ්නය. ඒකනේ තියෙන්නේ. ඊළඟ අභියාචනාධිකරණ… මා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වැඩි කරන්නේ නැහැ. හැබැයි අභියාචනාධිකරණ විනිසුරුවරුන් ගණන වැඩි කරනවා. දැනටමත් ව්‍යවස්ථාවේ මා ජේ.එස්.සී එකත් එක්ක ඇමතිතුමාට කතා කරන්න කියලා තියෙනවා, දැනටමත් ව්‍යවස්ථාවේ අවස්ථාවක් තිබෙනවා අභියාචනාධිකරණ පළාත් මට්ටමින් සිට් (sit) කරන්න පුළුවන්. නැත්නම් අභියාචනාධිකරණ බලය බෙදෙන්නේ නැහැ, අභියාචනාධිකරණ කේන්ද්‍රීය වශයෙන් තිබිලා අවුරුදු කීපයකට සිට් කරන්න පුළුවන් පළාත් මට්ටමෙන්. ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් ටික අපි හදලා දෙන්න ඕනේ. එතකොට ඒකට අවශ්‍ය වෙන මම 4 දෙනෙක් වැඩි කිරීමකට ඇතුළත් කරලා තියෙනවා. ඒ 4 දෙනා වැඩි කරන්නේ අර අභියාචනාධිකරණයක් කොහේ හරි සිට් කරන්න තීරණය කළොත් ඒකට අවශ්‍ය වෙන විනිසුරුවරුන් ප්‍රමාණය සපයලා දෙන්න. එතකොට ඒක අපේ අපේක්ෂාව.
ඊළඟට විශාල නඩු ප්‍රමාණයක් ගොඩගැහිලා තියෙනවා හයිකෝට් (High Court) වල. මම හිතන්නේ අපි දිස්ත්‍රික්ක 10ක් ප්‍රධාන වශයෙන් (11ක් වගේ ජේ.එස්.සී එකෙන් ඉල්ලුවා), ඔව්, ඒවායේ තියෙනවා තැන් 11ක් වගේ ඒවායේ තියෙනවා විශාල උසාවි 11ක් අලුතින් හදන්න ඕනේ. මහාධිකරණ, දැනට කුරුණෑගල වගේ තැන්වල ආසන්න වශයෙන් අපි අලුත් උසාවි 11ක් හදන්න අපි තීරණය කරලා තිබෙනවා. ඒ අලුත් උසාවි 11 හදාගන්න නම්, මොකක්ද අපිට වෙනවා? එතැනටත් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාවත් වැඩි වෙන්න ඕනේ. ඒ නිසා දැන් තියෙන 110, 120 දක්වා වැඩි කරන්න අපි තීරණයක් අරන් තිබෙනවා, මොකද අලුතින් මහාධිකරණ හදන්න ඕනේ.
මොකද මහාධිකරණ විනිසුරුවරුන් පූල් (pool) එක වගේ නෙවෙයි, දැන් අභියාචනාධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණ ගත්තොත් පූල් එකක්, සංචිතයක් ඉන්නේ, හැබැයි මහාධිකරණ විනිසුරුවරයෙකුට සීට් එකක් (seat), පුටුවක් තියෙන්න ඕනෙනේ. නැත්නම් ඔහු මහාධිකරණ විනිසුරුවරයෙක් වෙන්නේ නැහැනේ. ඒ නිසා මහාධිකරණ ප්‍රමාණය ඇතිවෙන ප්‍රමාණයට, ඒ කියන්නේ මහාධිකරණ ප්‍රමාණය අලුතින් ඉදි කරන ප්‍රමාණයට, දැන් මම දැක්කා එකක් තිබුණා මේක අර මළ යුගයක්… මළ මොකක්ද අවස්ථාවක් එනවා කියලා, ඒ කියන්නේ මේ අධිකරණය අවුරුදු දෙකකට ලොක් (lock) වෙනවා කියලා. ඒ කියන්නේ මුළු අවුරුදු දෙකකම දීර්ඝ කළාම ඔය සියලු දි… සියලු පත්කිරීම් ලොක් වෙනවා, ලොක් වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය ලොක් වෙනවා. අභියාචනාධිකරණය නැවත අභියාචනාධිකරණ පිහිටුවන ප්‍රමාණයට අර හතර දෙනා පිරෙනවා. මහාධිකරණයෙත් අපි අලුතින් මහාධිකරණ ඇති කරන ප්‍රමාණයට මහාධිකරණ විනිසුරුවරුන් පිරෙනවා. එතකොට මහේස්ත්‍රාත් අධිකරණවරුන්ට අවුරුදු 2ක් තව මහාධිකරණ විනිසුරුවරයෙක් බවට පත්වෙන්න ඉන්න ඕනේ නැහැ. අරකට අනුරූපීව මහේස්ත්‍රාත්වරුන්ටත් උසස්වීම් ලැබෙනවා.
ඊළඟ ඔබතුමා කියන කරුණ, විශාල නඩු ප්‍රමාණයක් තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණ වල, එතකොට මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. එතකොට මහේස්ත්‍රාත් අධිකරණ වලටත් අපි දැනට විනිසුරුවරුන් 50 දෙනෙක් බඳවා ගැනීම සඳහා ජේ.එස්.සී එක කටයුතු කරමින් තිබෙනවා. මට වාර්තා වෙලා තියෙනවා ඒ අනුව මම දන්නේ නැහැ ඒ සම්මුඛ පරීක්ෂණ යෝග්‍යද නැද්ද? ඒකට මට නිර්ණය කරන්න බැහැ. නමුත් කවුරුහරි මඩුල්ලක් විසින් බඳවා ගන්නකොට 32යි නම් යෝග්‍යතා මට්ටමේ ඉන්නේ, ඒක මගේ මට කියන්න බැහැනේ 33 කරන්න. ඒවා තමයි අනිසි මැදිහත්වීම්. නැහැ 50 ම ගන්න කියලා මට කියන්න බැහැ. ඒ බඳවා ගන්න කණ්ඩායමට අයිතිය තියෙනවා ඔවුන්ට, ඔවුන් අපේක්ෂා කරන පරිසාධන මට්ටමේ ඉන්න කවුද කියලා ඔවුන් බඳවා ගැනීමේ අයිතිය තියෙනවා. ඒක තමයි ස්වාධීනත්වය. එහෙම නැතිව ඇයි ඔයගොල්ලෝ 50ක් තීන්දු කරලා ඇයි 32ක් ගන්නේ කියලා මම කියන්නේ නැහැ. ඒක හොඳ නැහැ. ඒ වාඩිවෙන මඩුල්ලට අයිතිය තියෙනවා තමන් අපේක්ෂා කරන පරිසාධන මට්ටමේ නැත්නම් ඒගොල්ලෝ බඳවා ගන්නේ නැතිව ඉන්න. එතකොට මේ විදිහට අධිකරණ පද්ධතිය ඇති කරන වෙනස.
අනිත් පැත්තෙන්… අනිත් පැත්තෙන් ගත්තාම මේ අධිකරණ… අධිකරණ ඇති කළාට වැඩක් නැහැ මා දන්නවා අද අපේ රටේ අපි රටක් හැටියට මුහුණ දීලා තියෙනවා වෘත්තීමය ක්ෂේත්‍රවල නිලධාරීන් බැඳී යාමේ හිඟයක් තියෙනවා, රඳවා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා තමයි වෛද්‍යවරුන්ගේ 60 වයස 60 සිට 63 දක්වා වැඩි කරනවා. ඒක ඇත්තටම පළමු වතාවට වැඩි කළේ විශේෂඥ වෛද්‍යවරුන්ට විතරයි. ඊළඟ ඒක සාමාන්‍ය වෛද්‍යවරුන්ටත් 63 දක්වා වැඩි කළා. එතකොට සාමාන්‍ය රාජ්‍ය සේවය 60ක් වෙනකොට වෛද්‍යවරු අර 63 කියන සීමාවේ ඉන්නවා, ඒක වැඩි කරලා තිබෙනවා. ඒ විදිහට.
අනිත් පැත්තෙන් ගත්තාම, ඒ හින්දා මේ වෘත්තීමය ක්ෂේත්‍රයේ ඉන්න අය අපි ආරක්ෂා කර ගන්න ඕනේ පළමු වැනි වගකීම. ඒ නිසා විනිසුරුවරුන්ගේ නිවාස පිළිබඳ ප්‍රශ්නය, ඔවුන්ගේ නිවාස වලට මුදල් කැපීම ඒ කියන්නේ කැපෙන එක සාධාරණ නොමැතිවීමේ ප්‍රශ්න වගේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න ඔක්කොම මේ අයවැය ලේඛනයෙන්ම මම විසඳනවා. සමහර ඒවා අයවැය ලේඛනයට කලින් විසඳන්න මම අපේක්ෂා කරනවා. ඊළඟ ගත්තොත් අපිට අවශ්‍ය වෙන කාර්ය මණ්ඩල, නැහැ, දැන් මම හිතන්නේ අපි 1007ක හිඟයක් තියෙනවා ඔය කාර්ය මණ්ඩල වල, අධිකරණ ක්ෂේත්‍රයේ කාකාස (කාර්යාල කාර්ය සහායක), 1007ක හිඟයක් තියෙනවා කාඩර් එකට වඩා. ඒ 1007න් දැන් අපි ආසන්න වශයෙන් ගත්තොත් 260ක් දැනට බඳවා ගන්න අවසර දීලා තිබෙනවා. ඉතුරු 700 ගණනත් අපි බඳවා ගන්නවා මේ… දැන් 260 ට ඇප්ලිකේෂන් 21,000ක් ඇවිල්ලා තියෙනවා ඒකේ තියෙන ප්‍රශ්නේ. අපි බඳවා ගැනීමේ පටිපාටියට අපි පුරවන්නේ නැහැ, විධිමත් තරඟ විභාගයකින් හෝ සම්මුඛ පරීක්ෂණයකින් බඳවා ගන්න ඕනේ. ඒ 1007ම පුරවලා අපි අවශ්‍ය වෙන පහසුකම් ටික දෙනවා මේකට. ඒ නිසා අධිකරණ විශාල ප්‍රමාණයකට රටේ බාගෙට හදපු අධිකරණ තියෙනවා මේ අයවැය ලේඛනයෙන්. ගැටලු 2ක් තියෙන අධිකරණ තියෙනවා කොන්ත්‍රාත්කරුවන් එක්ක ඕගොල්ලන්ට නිරාකරණය කරගන්න බැරි, ඒ ගැටලු 2 තියෙන අධිකරණ පද්ධතිය හැර අනිත් ඔක්කොම අධිකරණ ටික හදන්න සල්ලි වෙන් කරනවා. ඒ වගේම තවත් අධිකරණ ඕගොල්ලෝ 11ක් ඉල්ලලා තියෙනවා අලුතින් තාවකාලික කුලී නිවාස වල තියන් යන, ඒ 11ත් යම් ප්‍රමාණයක් ඉදි කිරීම සඳහා මුදල් වැය කරන්නත් බලාපොරොත්තු වෙනවා.
අනිත් පැත්තෙන් ගත්තාම… අනිත් පැත්තෙන් ගත්තාම මේ ඔක්කොම ඔබතුමා කිව්වා වගේම මේක ඩිජිටල්කරණය පිළිබඳව අපි පියවර අරන් තිබෙනවා. මම විශේෂයෙන්ම අපේ ඩිජිටල් අමාත්‍යාංශයේ හංස මැතිතුමාට ගිහිල්ලා ජේ.එස්.සී එකේ පෞද්ගලිකව හමුවෙලා අවස්ථා ගණනාවක් හමුවෙලා මේක කාර්යක්ෂම කරන්න කියලා උපදෙස් දුන්නා. මම හිතන්නේ දැන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඒකේ සැලකිය යුතු ප්‍රතිඵල තියෙනවා. ඉතින් අපි දැනටමත් මම හිතන්නේ දැනට තියෙන්නේ මේ මේ පරීක්ෂා කිරීමේ අවධියේ තියෙන්නේ (Supreme Court එකයි, Court of Appeal එකයි). පහළ තියෙනවා තාම තියෙන්නේ (වෙනත් අයෙකුගේ හඬක් අරමුදල් ලෝන්ච් කළා නේද?) ලෝන්ච් කළා, නමුත් ඒක බලන්න ඕනේ දුවලා බලන්න ඕනේ සාර්ථකත්වය.
ඉතින් මේ මුළු ක්‍රියාවලියක කොටසක්, මේක කිසිසේත්ම අර විනිසුරුවරුන්ගේ කාලය වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. සමස්ත මේ විමර්ශන ක්‍රියාවලියේ සිට සමස්තය දෙස බලපු කොටසක්. එතකොට කොයි වෙලාවෙත් මම හිතනවා අර මෙතුමා කියපු නේද මේකේ, නීති… මේක නොවුනත් ඒකෙන් සුවඳ මොකක්ද මේකෙන් පෙන්නුම් කරන්නේ? ඔව් ඒක මම දන්නවා, පිළිගන්නවා. හැබැයි කෝකටත් වලංගුයි ඒක. මේ අධිකරණයේ මෙහෙම පවතින්නේ, එහෙම හොඳම සුවඳ සහිතව නෙවෙයි මේ අධිකරණයේ අදත් විශ්වාස කරන්නේ මිනිස්සු.
මේ අධිකරණ පද්ධතිය අදත් විශ්වාස කරන්නේ, සුවඳදායකම කරුණු විසින්මද? නැහැනේ. සුවඳ නොවන කරුණු ඕනතරම් ඇතිවෙලා තියෙනවා. හැබැයි ඒත් මිනිස්සු මේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තියලා තියෙනවනේ. ඉතින් මම මේ අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය තබනවා.
ඇත්ත ගත්තොත් මේක පද්ධතිමය වෙනසක්. මීට කලින් කරලා තියෙන්නේ පුද්ගල වෙනසක්. පුද්ගල අනුබද්ධ වෙනසක්. මේක අර්ථකථනය කරන්න පුළුවන් මම දැක්කා සමහර අය කියනවා ඇයි දෙසැම්බර් 1 ට කලින්, පස්සේ බැරිද කියලා මගෙන් අහනවා. දෙසැම්බර් 1 ට පස්සේ බැරි කියන එකෙන් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. ඉදිරිපත් කරන අයට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ. මට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් නැහැ. මම මේ ගොඩක් අය දන්නෙත් නැහැ ඔයගොල්ලෝ දන්නවා. මම ඔය ඔය ඒ තලයේ ඉන්න ගොඩක් අයත් එක්ක මගේ ළඟ ඇසුරක් නැහැ. මම… සමහර අය මේ තනතුරට ආවාට පස්සේ විතරයි නම් වුණත් දන්නේ. ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ මම හිතන්නේ වෙන කොහේවත් අපි මේ වගේ අවස්ථාවක හැර වෙන ගොඩක් අවස්ථාවල අපි හමුවෙන්නේ නැති අය. හරිද. හැබැයි මම හිතනවා මේ පද්ධතියේ වෙනසක් අවශ්‍යයි කියලා. අන්න ඒ පද්ධතියේ වෙනස ඇති කිරීම වෙනුවෙන් තමයි මේ කාරණය කරන්නේ කියලා මම හිතන්නේ. මොකද හැම වෙලාවෙම හොඳම සුවඳවත් භාවයෙන් ආපු ගමනක් නෙවෙයි අධිකරණ පද්ධතියට තියෙන්නේ. ඒ නිසා මේක අධිකරණ පද්ධතියට මාර විනාශයක් සිදු වෙන, විශාල බිඳවැටීමක් සිදුවෙන, මෙතැනින් පස්සේ අධිකරණය කෙරෙහි ජනතාවගේ තියෙන විශ්වාසය මුළුමනින්ම බිඳවැටෙන තත්ත්වයක් නිර්මාණය වෙනවාය කියන ඒක ටිකක්…
සීමාවට එහා කරුණු ඉදිරිපත් කරන්න ඕනේ කියලා තමයි. ඒක තමයි සටන්වල ස්වභාවය. මට ඒකත් තේරුම් ගන්න පුළුවන්. සටනක් කරනකොට ඒ සටන තියෙන ඇත්ත තර්කණයේ සිට ඒ තර්කණයට වඩා ටිකක් උඩින් සටන් පිහිටවන්න ඕනේ. මම ඒක දන්නවා. එතකොට අපිට හදන්න පුළුවන් විශාල බියවැද්දීමක්, මෙතැන් සිට අධිකරණය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වේවි, ජනතාව අධිකරණයකින් දෙන තීන්දුවක් මේ විශේෂ වරප්‍රසාදයක් ලබාගත්ත කෙනෙක් දීපු තීන්දුවක් නිසා එයාට යම් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්, මේ ජාතියේ දේවල් මතුවෙන්න පුළුවන්. මම හිතනවා ඒවා ඇවිල්ලා අපිට අර යමකට අපි යමක් එකඟ නොවෙනවා නම්, එකඟ නොවීම සඳහා සමාජගත කිරීම සඳහා හදන… සාමාන්‍යයෙන් එහෙමයි සටන්, ඕනෑම සටනක එහෙමයි. තර්කානු… තර්කයට ටිකක් උඩින් ටිකක් හැම සටනක්ම පිහිටවනවා. මම කියන්නේ නැහැ ඔබතුමාලා එහෙම කරනවා කියලා. මම ඒක ඒක එළිසංවාදයේ… (නීති සඟරාවේ නෙවෙයි) හරිද, මම කියන්නේ… නැහැ, නැහැ… නැහැ, නැහැ… නැහැ, නැහැ මම කියන්නේ නීති සඟරාවේ නෙවෙයි. එළියේ එහෙමයි. එළියේ එහෙමයි මම ඔබතුමාලාට ඉස්සරහා කියන්නේ. ඔබතුමාලත් අර එළියේ ඉන්න කණ්ඩායම් ගෙනාපු ඒවා කියපු නිසා මම මේ කියන්නේ. එළියේ එහෙමයි සංවාද තියෙන්නේ. එළියේ සංවාදයේ තියෙන්නේ ඔබතුමාලා තර්කානුකූලව මේක ඉදිරිපත් කරන ගමන්, හැබැයි එළියේ සංවාදය තියෙන්නේ තර්කයට ටිකක් ඔබ්බෙන්. ඒ සමහර මේ මේ මේ ව්‍යවස්ථා සංශෝධනයට දෙන නාමකරණය, ඒවා තියෙන්නේ ව්‍යවස්ථාව තුළද? ඒවා තියෙන්නේ තර්කය තුළද? නැහැ ඒවා තියෙන්නේ තර්කයෙන් ඔබ්බට යන බියගැන්වීම් ඇතුළේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක… මේ මේ මේ ප්‍රතිපත්තියේ ඉඳන් තමයි මම හිතන්නේ අපි කටයුතු කරන්න ඕනේ කියලා අපේ අදහස හැටියට තියෙන්නේ.”






