අද තද වැස්සට කනාදොළ වංගුවට ආසන්නව ගහක් කඩාගෙන වැටිලා මාර්ගය අවහිර වෙලා කියලා පෝස්ට් එකක් දැක්කා. මාර්ගය අවහිර වෙලා තිබුණත් ඇඟ සීතල වෙලා යන සිහිලස අතීතයකට පාර කියන ෆොටෝ එකක් මේක.
කනාදොළ කියලා කියන්නේ රත්නපුරේ ටවුන් එකේ ඉඳලා කළු ගඟ පැනලා ගඟ අයිනේ තැන්නක ඇවිත් පොඩි කන්දකට ගොඩවෙලා නයා වගේ දඟර ගැහිලා ආයෙත් කළු ගඟේ අතු ගඟ වෙච්ච හංගමු ගඟ නිම්නයට පාර වැටෙන පල්ලම.
ඉස්සර අපි මේකට කිව්වේ නයින වංගුව කියලා. එහෙම කිව්වේ ඇයිද කියන්න නම් දන්නේ නෑ. මේ වංගුවෙන් පැනලා කෙළින්ම ගඟෙන් අනික් පැත්තට පැන්නාම එකයි දෙකයි තුනයි කියලා ඇලපාත පළාවෙල කරවිට කන්ද. අනික් පැත්තට අයගම කඳු. හංගමු ගඟ පැනලා ගඟ අයිනෙන්ම දකුණට හැරුනොත් දිමියාව රද්දැල්ල වගේ කිඹුහුමකටත් යට වෙන වතුර බේසම. ගඟවල් තුනක් ඇවිත් මව් කළු ගඟට තුරුල් වෙන හාද නිම්නය.

ඉතිං නයින වංගුව ඒ කිව්වේ මේ ගහ වැටුණ වංගුව පහුකරලා හංගමු ගඟ නොපැන වමට ගඟ අයින දිගේ උඩහට ගියාම තමයි අපේ ගම. හංගමුව පෑලිමෝදර ඊටත් එහාට ගියාම කරවිට කන්ද. එතනින් ආයේ පහළට පැන්නාම නිවිතිගල. උඩට බඩ ගෑවාම දෙල්වල සිංහරාජේ කලවාන මානාන..
ඉතිං පාර ලොකු වෙන්න කලින් මේ ගහ වැටුණ තැනට චුට්ටක් එහායින් නයින වංගුවේ නඟින බස් වාහන ඔය යකඩ සත්තු දෙපාරකට කරකවලා රිවස් කරලා තමයි ගත්තේ. දැන් නම් කන්ද කපලා බෝක්කු ලොකු කරලා රූස් ගාලා කපලා වන්සොට් යන්න එන්න බහින්න නඟින්න පුළුවන්.
ඉස්සර ටකරන් පාන්ගෙඩි බාගයක් වගේ ලංගමය දුම් දාගෙන ඇවිත් කපලා කපලා සුක්කානම අතෑරියම අනේ ඕන අහක පල කියලා ආයෙත් සුක්කානම බඹරේ වගේ කැරකිලා ඩ්රයිවර් මාමගේ අතේ හිරවෙන වංගුව. ඉස්සරම මඩේ එරි එරී දිව්ව ඉසුසු සිලිබිලි ආරාධනා වෑන් එක වුණත් එහෙම තමයි කළේ. ඒක වෑන් එකක් වුණත් උස මාමලා නැමිලා කුදුවෙලා ගියත් අපි ඒකට කිව්වේ බස් එක කියලා.
ඉතිං මේ වංගුව අපේ මතකයේ තියෙන්න තවත් හේතුවක් තිබ්බා, ඒ තමයි අපේ ගමේ ඔලුව උඩ තොප්පියක් වගේ හිටගෙන හිටපු අපේ මහා කැලේට පස්සේ ඒ කැලේටත් වැඩියෙන් අපිට නිතරම මුණගැහුන අපිට හිරිගඩු හැදුව සිහිල් රුක් මහා රූස්ස කැලෑ කැටිය වුණේ මේක.
අද වෙනකොට මන්දපෝෂණය හැදිලා කෘෂවෙලා කේඩෑරිව වටෙන්ම මිනිස්සු අල්ලගෙන පාර දෙපැත්ත විතරක් ඔහේ ඉන්නවා අපි සිංහරාජෙන් පැවතෙන කැලේ බොලව් කියලා කෑගහගෙන.
සමහර රූස්ස ගස් ඉතිං අවුරුදු නම් කීයක්ද කියන්න දන්නෑ. පාරේ නැවතිලා පල්ලම බැලුවාම ගස් එක්ක හරි හරියට ආදරේ කරන රමණ වෙසින් වෙලිලා ඩිවෝස් නම් වෙන්න බෑ බෑ කියලා ඒත් කිසිම ලැජ්ජාවක් බයක් නැති බහු පුරුෂ සේවනයේ ඉන්න මහා රූස්ස එහෙට මෙහෙට ලලිත වෙනිවැල් ගැට වැල්. ඒවා යටින් ඒවායේ ආල ලීල කොමළ බලන වේවැල් කුකුල් වැල්. දැනුත් තියෙනවා මහිතේ. ඈතින් කැලේ කැපුව අතීතය මතක් කරන මරි මෝඩ ෆයිනස් ගස්.
වැස්සක් නැතත් පහළට පනින සීතල දියකඳුරු පොඩි එවුන්. බස් නැති සමහර දාට පයින්ම ගච්චන වෙලාවට පවස නිවන සීතල දෙතොල් චුම්බන වතුර බිංදු. ඔය නයිනා වංගුව උඩට නැඟලා රත්නපුරේට යන්න කන්ද මුදුනට නැඟලා බහින තැනම තිබුණේ පිස්සු හැදෙන ඕනෑම ඉර බලන වෙලාවක සුන්දර දියවැල් ඔතාගත්ත දිය නාන නාරිලතා මල් පිපුන පොදු ළිඳ. දැන් නම් ඒ පොදු ළිඳ නෑ මහිතේ.
රෑට රැයේ තනියෙන් ආවත් කණ්ඩායමක් ආවත් ඉතිපිසෝ කියවෙන කකුල මොකක් වෙලාද මන්දෑ කියලා බඹරේ වගේ කැරකෙන දිව වෙන වංගුව කැලේ ඕක.
ඔතන ගැන මට තවත් මතකයක් තියෙනවා, දවසක් අපේ ආතට පපුව අමාරුවක් හැදිලා ත්රීවිල් එකේ ඉස්පිරිතාලෙ අරගෙන දුවනකොට ඔය ගහ වැටුණ තැන පාස්කරලා උඩට එනකොට තියෙන තැන සමන්දේවාලේ පහුකරනකොටම සාදු කියලා වැඳලා ඇස් පියාගෙන මගේ උකුලෙ වැටුණ ඒ මොහොත.. ඔය කන්ද නඟින බහින ගානක් ගානක් පාසා මතක් වෙන දමා යන්න බැරි මතක පහුර..!
ආ අමතක වුණොත් හරි නෑ ඔය වංගුවට පහළින් ඇවිදින දුරක තමයි කොටා හිටි කොටාමුල්ල..! සල් ගහ තාමත් ඉන්නවා එතන තිබුණ කඩෙත් නෑ සැලැත් නෑ..!
ඉතිං මේ රෑ ඔය වංගුව බහින නඟින අය පරිස්සමට …!
කේ. සංජීව




