පොහොර ‘ඩීල්’ එක නිසා භාණ්ඩාගාරයට කෝටි 186ක පොල්ලක්

lal kantha-knews
ඉර හඳ පායන රටේ, මඩ සෝදාගත් කල රජකමටත් සුදුසුයි කී අසරණ ගොවියාගේ දහඩිය මතින් කෝටි ගණන් හම්බකරගන්නා මහා පරිමාණ පොහොර මාෆියාවේ කුරිරු නිරුවත නැවතත් සමාජය හමුවේ දිගහැරී තිබේ. ලිපිගොනු අස්සේ සඟවා, පස් යට කිරීමට තැත් කළ මෙම කෝටි 186ක අතිවිශාල භාණ්ඩාගාර කොල්ලය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) ඉදිරිපත් වූ පැමිණිල්ලත් සමග, අමාත්‍යාංශ බලධාරීන්ගේ සහ පෞද්ගලික ජාවාරම්කරුවන්ගේ සැබෑ හෙළුව රට හමුවේ හෙළිදරව් වෙමින් පවතී.

ගිවිසුම පිටින් දමා කළ මහා දවාලේ මංකොල්ලය

පසුගිය මාර්තු 17 වනදා කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික පොහොර ලේකම් කාර්යාලය සහ පෞද්ගලික පොහොර සමාගම් අතර ඇති කරගත් තීරණාත්මක එකඟතාවයට අනුව, ගොවි සංවිධාන වෙත යූරියා මෙට්‍රික් ටොන් 101,000 ක් ලබාදීමට නියමිතව තිබුණේ මෙට්‍රික් ටොන් එකක් රුපියල් 9,500ක සහනදායී මිලකටය.

නමුත් අවසානයේ සිදුවූයේ කුමක්ද?

  • ගිවිසුම්ගත ප්‍රමාණය: මෙට්‍රික් ටොන් 101,000යි (ටොන් එකක් රු. 9,500 බැගින්)
  • ලබාදුන් ප්‍රමාණය: මෙට්‍රික් ටොන් 46,566යි (ටොන් එකක් රු. 10,200 බැගින්)
  • රජය පෞද්ගලික ජාවාරම්කරුවන්ගෙන් ගත් අමතර තොග: මෙට්‍රික් ටොන් 16,000යි (අතිවිශාල ඉහළ මිල ගණන් යටතේ)

මේ කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගය හරහා අහිංසක ජනතාවගේ බදු මුදලින් පිරුණු රාජ්‍ය භාණ්ඩාගාරයට සිදුව ඇති මුළු අලාභය රුපියල් බිලියන 1.867 කි! අඩු මිලට පොහොර දීමට තිබූ නීත්‍යානුකූල හැකියාව යටපත් කර, වැඩි මිලට පෞද්ගලික සමාගම්වලින් මිලදී ගැනීමට තරම් කෘෂිකාර්මික බලධාරීන් මෙහෙයවූයේ කවුරුන්ද?

ලාල් කාන්තගේ කැබිනට් පත්‍රිකාව අස්සෙන් ගැසූ ‘ඩීල්’ එක!

ජූනි 18 වනදා කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව දෙස බලන විට, මුලින් රුපියල් 9,250 කට ලබාදීමට අපේක්ෂා කළ පොහොර සපයා ගැනීමේ ක්‍රියාවලිය, පසුව පෞද්ගලික සමාගම්වල සාක්කු තර කරන තැනට තල්ලු කර ඇති ආකාරය අතිශය සැකකටයුතුය.

ගොවියාට වී කිලෝ එකක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැය රුපියල් 12.50 කින් ඉහළ ගොස්, උන් අතින් පයින් ණය වී වගාබිම්වල අඳෝනා තබද්දී, රජයේ සහනාධාර අරමුදල්වලින් කෝටි ගණන් පෞද්ගලික ජාවාරම්කරුවන්ගේ මඩියට ගැලීම පිටුපස ඇත්තේ අහිංසක ගොවි ජනතාවගේ අභිලාෂයන්ද? නැතහොත් බලධාරීන්ගේ කොමිස් කුට්ටිද?

පොහොර ලේකම් කාර්යාලයේ සාධාරණීකරණයන් සහ යථාර්ථය

ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසන්නේ කසකස්ථානය වැනි අඩු පිරිවැය සහිත කලාපවලින් ආනයනයට අනුමැතිය දුන්නද, පෞද්ගලික සමාගම් අදාළ ඇණවුම් නියමිත වේලාවට සම්පූර්ණ නොකළ බවයි.

එසේ නම් අප නැවතත් ප්‍රශ්න කර සිටිමු:

  1. අදාළ පෞද්ගලික සමාගම් නියමිත වේලාවට පොහොර නොගෙනැවිත් ගිවිසුම් කඩකරද්දී, ඒවාට එරෙහිව නීතිමය පියවර නොගෙන අමතර මුදල් ගෙවා නැවතත් ඔවුන්ගෙන්ම පොහොර මිලදී ගත්තේ මන්ද?
  2. කිලෝ 50 මල්ලක් රුපියල් 13,500 කට පෞද්ගලික සමාගම්වලින් මිලදී ගෙන, රුපියල් 10,200 ට ගොවියාට දීමට තරම් රජය මේ සමාගම්වලට නතු වී සිටින්නේ මන්ද?
ගොවියාගේ බඩට ගැසූ මාෆියාවට තිත තබන්නේ කවදාද?

මහ කන්නයට මෙට්‍රික් ටොන් 180,000–200,000 අතර පොහොර ප්‍රමාණයක් අවශ්‍යව තිබියදීත්, පැරණි සහනාධාර වෙනුවෙන් රජයෙන් රුපියල් බිලියන 4.8ක් ලැබීමට තියෙන බව කියමින් පෞද්ගලික සමාගම් තවදුරටත් රජය ප්‍රාණ ඇපයට ගනිමින් සිටී.

තීරණ ගනු ලබන්නේ රටේ කෘෂිකාර්මික අනාගතය වෙනුවෙන්ද, නැතහොත් ව්‍යාපාරික ජාවාරම්කරුවන්ගේ ලාභ පියවා ගැනීමටද යන්න හෙළිදරව් විය යුතුය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වහාම මැදිහත් වී, මෙම කෝටි 186ක අලාභයට වගකිව යුතු සියලු නිලධාරීන්ට සහ දේශපාලන හස්තයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

කතුවැකි සටහන:
මෙම ලිපියෙන් ඉදිරිපත් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වූ පැමිණිල්ලක් සහ ඊට අදාළව එල්ල වී ඇති චෝදනා පදනම් කරගත් කරුණු එකතුවකි. මාධ්‍ය ධර්මතාවන්ට සහ නිදහස් මාධ්‍ය භාවිතයේ මූලධර්මයන්ට ගරු කරන අප, මෙහි සඳහන් කෘෂිකර්ම අමාත්‍යාංශයට, අදාළ අමාත්‍යවරයාට, ජාතික පොහොර ලේකම් කාර්යාලයට හෝ චෝදනාවලට ලක්වූ යම් පාර්ශවයකට මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට ඇති නිවැරදි කිරීම්, පැහැදිලි කිරීම් හෝ ප්‍රතිචාරයන් වෙතොත් ඒ සඳහා සාධාරණ ඉඩකඩ ලබාදීමට බැඳී සිටිමු.

උපුටාගැනීම – හරි දේශය

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...