මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි – (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) – අවසාන ලිපිය | අජිත් අමරසිංහ

nirmal ajith knews

දෙවැනි ලිපියෙන් ඉදිරිපත් කළ කරුණුවලට අනුව ක්‍රි.පූ 3 වැනි සියවසේදී ඉන්දියාවේ මගධ මෞර්ය අධිරාජ්‍යයේ අශෝක නම් බෞද්ධ අධිරාජයාගේ සමයේ ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බවට ඓතිහාසික සාධක රැසක් ඇත. ඒ ලිපියෙන් ඉදිරිපත් කරන ලද මේ ඓතිහාසික සාධක සියල්ල මහාවං‍ශයෙන් බාහිරව ඇති සාධක වේ. එසේම මෙම ලිපියෙන් මේ සිදුවීම පිළිබඳව මහාවංශයෙන් පරිබාහිරව ලංකාවේ ඇති සාක්ෂි ඉදිරිපත් කෙරේ.

දේවානම්පියතිස්ස රජු හා මහින්ද හිමි පිළිබඳ සාක්ෂි

මේ දූත පිරිසේ නායක හිමිනම මහින්ද නම්වූ මහරහතන් වහන්සේ නමක් වූ බවත් ඔවුන්ට ලංකාවේ මහරජුවූ දේවානම්පියතිස්ස රජු මුණගැසුණේ මිහින්තලයේදී බවත් මහාවංශයේ සඳහන් වේ.

මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා මහාවංශයේ ඇති කථාව මිත්‍යා කතන්දරයක් සේ බැහැර කරන නිසා මහාවංශයෙන් පරිබාහිරව ලංකාවේ ඒ යුගයේ දේවානම්පිය තිස්ස නම් රජෙකු සිටියේ දැයි ඇති සාධක මේ දෙපිරිස මුණගැසුණේ යැයි පැවසෙන මිහින්තලයේම තිබී හමුවී ඇත. මාගේ මේ ලිපියේ ඉදිරිපත්කරන සියලුම සෙල්ලිපිද උපුටාගන්නේ Inscriptions of Ceylon Vol I – Early Brahami Inscriptions- Paranavithana- 1970- Published by The Department of Archaeology නම් පොතෙනි.

මේ පොතෙහි ඇති සෙල්ලිපි ලංකාවේ මුල් බ්‍රාහ්මී අක්ෂර Early Brahami Letters භාවිතා කළ ක්‍රි පූර්ව 3 වැනි සියවසේ සිට ක්‍රි.පූර්ව 1 වැනි සියවසට අයිතිය. එනම් අශෝක රජු ලංකාවට ධර්මදූත පිරිසක් එවූ සියවසේ සිට ඉදිරි සියවස් දෙකක කාලයකට අයත්ය.

මා හට සෙල් ලිපි කියවීමේ හැකියාවක් නැත. එය මා ආඩම්බරයට පත්කරන කරුණක් නොවුණත්, සෙල් ලිපි කියවීමේ හැකියාව ඇති විද්වතුන් කියවූ සෙල් ලිපිවල ඔවුන් තිබේයැයි පවසන අන්තර්ගතයන් විශ්වාස නොකිරීමට තරම් ශාස්ත්‍රීය කුහකත්වයක් මා තුළ නැත. එනිසා මම සෙල්ලිපි කියවීමේ හැකියාව ඇති ප්‍රවීනයන් කියවා, අරුත් සහිතව නිල රාජ්‍ය ලේඛනවල මුද්‍රණය කොට ඇති දේ ඉදිරිපත් මෙහි ඉදිරිපත් කරමි. ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවී ඇති ඉහත පොතේ ඇති සෙල්ලිපි නිරවද්‍ය ලෙස වත්මන් සිංහල අක්ෂරවලින් ලියා ඒවායේ අරුත් වත්මන් ව්‍යවහාර සිංහල භාෂාවෙන් මා හට කාරුණිකව කියාදුන් රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වෙල මහතාට මුලින්ම මාගේ තුතිය පුදමි.

ඉහත පොතේ Texts and Translations කොටසේ 1 වැනි පිටුවේ අනුරාධපුර දිස්ත්‍රික්කය මිහින්තලේහි කොටා ඇති සෙල් ලිපියක කියවීමක් ඇත. එය මෙසේය.

දේ[ව] නපිය – මහරඣහ බරියය බකි[නිය] උපශික-වරුණ [දත]ය [ලෙ] ණෙ
තේරුම- දේවානපිය මහාරාජයාගේ බිරියගේ සොයුරියවූ වරුණදත්තාගේ ලෙන

පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා ඇති මේ සෙල්ලිපිය ක්‍රි.පූ 3 වැනි සියවස තරම් ඈත අතීතයේ ලියා ඇති සෙල්ලිපි ගොඩට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ඇතුළු කරයි. මේ සෙල්ලිපිය ඒ යුගයේදී ලංකාවේ දේවානම්පිය නම් මහරජෙකු සිටි බව ඔප්පු කරයි. මිහින්තලයේ තිබී සොයාගන්නා ලද ක්‍රි.පූ 3 වැනි සියවසට අයත්වන සෙල්ලිපි තුනක් විග්‍රහ කරන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මේවා දේවානම්පියතිස්ස රජුටත්, ඔහුගේ සොයුරු ලෙස මහාවංශයේ සඳහන්වන උත්තිය රජුටත් අයත් බවත්, මේ සෙල්ලිපි මිහිඳු මහරහතන් වහන්සේත් මිහින්තලයත් අතර ඇති සබඳතාවය තහවුරු කරන බවත් පවසයි. (ඉහත කී ග්‍රන්ථයේ හැඳින්වීමේ lii පිටුව)

ඒ හැරුණුකොට අම්පාර දිස්ත්‍රික්කයේ රජගල සුවිසල් පුරාවිද්‍යා භූමියේ තිබී හමුවූ සෙල්ලිපියක් මහින්ද මහරහතන් වහන්සේ ලංකාවට වැඩි පුවතත්, උන්වහන්සේ සමඟ ලංකාවට පැමිණියේ යැයි මහාවංශයේ සඳහන්වන ඉත්තිය මහරහතන් වහන්සේ පිළිබඳවත් ප්‍රවෘත්තිය තහවුරු කරයි.

පෙර සඳහන් කළ ග්‍රන්ථයේම Texts and Translations කොටසේ 35 වැනි පිටුවේ ඇති මේ සෙල්ලිපියේ කියවීම මෙසේය.

යෙ ඉම දිප පටමය ඉදිය අගතන ඉඩික -[තෙර-ම] මහිද-තෙරහ තුබෙ
තේරුම – මෙම දිවයිනේ වාසනාවට පළමුවෙන් පැමිණි ඉත්තිය තෙරුන්වහන්සේගේද මහින්ද තෙරුන්වහන්සේගේද ස්තූපයයි.

අම්පාර රජගල පුරාවිද්‍යා භූමියේ සිදුකරන ලද කැණීම්වලදී ධාතූන් රැසක්ද සොයාගෙන ඇත.

පූර්ව බ්‍රාහ්මී අක්ෂරවලින් ලියැවී ඇති මේ සෙල්ලිපි ක්‍රි පූ 3 වැනි සියවසත් ක්‍රි පූ 1 වැනි සියවසත් අතර කාලයේදී ලංකාවේ සිටි දේවානම්පිය නම් මහරජෙකු හා මේ දිවයිනට පිටතින් පැමිණි මහින්ද නම් තෙරණුවෙකු පිළිබඳව කිසිදු සැකයකින් තොරව ඔප්පුකරයි.

මහින්ද මහ තෙරුන් පැමිණීමට පෙර බුදුදහම තිබූ බව මහාවංශය සැඟවූවාද?

මිහිඳු හිමියන් හා ධර්මදූත පිරිස ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ බෞද්ධයන් සිටි බවත් එනිසා මිහිඳු හිමියන්ගේ පැමිණීමේ වැඩි වැදගත්කමක් නැති බවත් මහාචාර්ය නිර්මාල් රංජිත් මහතා නොකියා කියයි.

මිහිඳු මහරහතන්වහන්සේ ලංකාවට පැමිණීමට පෙර ලංකාවේ බෞද්ධයන් සිටි බවට කිසිදු සැකයක් නැත. මහාවංශයේම සඳහන්වන අන්දමට ඉන්දියාවේ උතුරුදිග සිට විජය රජු හා සහපිරිවරත්, ඔහුගේ මයිලණුවන්ගේ පුත් පණ්ඩුවාසදේවත්, ඔහුගේ බිරිඳත් තවත් විශාල පිරිසුත් පැමිණියේ‍ය. ක්‍රි පූ 4 වැනි සියවසේ ඉන්දියාවේ විසූ මෙගස්තනීස්ද තම ඉන්ඩිකා ග්‍රන්ථයෙහි ලංකාවේ මිනිසුන් කාලිංගයට ඇතුන් නැව් මගින් යවන බව සඳහන් කරයි. (පි 171) මුහුදු මගින් මිනිසුන් ඉන්දියාවේ සිට ඔබමොබ ගිය සමයක බෞද්ධ භික්ෂූන් වහන්සේලා හෝ බෞද්ධයන් ඉන්දියාවේ සිට නොපැමිණියේයැයි සිතීම විහිළුවකි. ඔවුන් නිසා මේ දිවයින තුළ බෞද්ධයන් ඇති නොවුණේ යැයි සිතීමද විහිළුවකි.

එසේ නම් මහාවංශයේ ඒ බව සඳහන් නොකර ලංකාවට බුදුදහම හඳුන්වාදුන්නේ මිහිඳු හිමියන් බව සඳහන් කරන්නේ ඇයි? එයට හේතුව ලංකාවේ ප්‍රධාන රජු හා ඔහුගේ සහපිරිවර බෞද්ධයන්වූ සිදුවීම ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ නිසාය. එතැන් සිට රාජ්‍ය අනුග්‍රහයෙන් ලංකාව පුරා බුදුදහම ව්‍යාප්තවූ බව නිසැකය. එනිසාම මේ දිවයිනේ බෞද්ධයන්ට එය වැදගත් සිදුවීමකි. බෞද්ධ භික්ෂුවකවූ මහාවංශ සංස්කාරක මහානාම හිමියන්ටද ඒ සිදුවීම වැදගත්සේ සලකා ඒ පිළිබඳව දීර්ඝ විස්තරයක් ලිවීම පුදුමයට කරුණක් නොවේ. ඒ සිදුවීම නොවන්නට ලංකාවේ ඉතිහාසය අප නොදන්නා වෙනත් දිශාවකට යෑමට ඉඩ තිබිණි.

ලෝක ඉතිහාසයේ ආගම් සම්බන්ධයෙන් මෙවැනි හැරවුම් ලක්ෂ්‍යයන් බොහොමයක් තිබේ. ක්‍රි.ව 1 වැනි සියවසේ සිට රෝම අධිරාජ්‍යයේ කිතුනුවන් සිටියත් කොන්ස්ටන්ටයින් අධිරාජයා ක්‍රි.ව 312 දී කිතුනුවෙකු වීම ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි. ඉන්පසු රෝම අධිරාජ්‍යය කතෝලික පල්ලියේ මූලස්ථානයවූ අතර ඒ බලපෑම තවමත් ලොව පුරා පවතියි. අරාබියේ ඒක දේවවාදීන් දුරාතීතයේ සිට සිටියත් මොහමඩ් නබි නායකතුමා ශුද්ධවූ අල්-කුරානය වටා ඉස්ලාම් භක්තිකයන් එක්කිරීම අරාබි ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි. එංගලන්තයේ කතෝලික පල්ලියට විරුද්ධ පිරිස් සැමදා සිටියත් 8 වැනි හෙන්රි රජු රෝමයෙන් වෙන්වී ඇංග්ලිකානු පල්ලිය පිහිටුවීම එංගලන්ත ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි. මේ සෑම අවස්ථාවකම ඒ ඒ හැරවුම් ලක්ෂ්‍යයට පෙර ඒ ඒ ඇදහීම් කළ අයගේ ඉතිහාසයට ලැබෙන්නේ කුඩා අගයකි.

ලැව්ගින්නක් සේ බුදුදහම සීඝ්‍රයෙන් පැතිරීම

මිහිඳු මාහිමියන් ලංකාවට පැමිණි ක්‍රි .පූ 3 වැනි ශතවර්ෂයට පසු වසර 100-200 වැනි කෙටි කලක් තුළ ලංකාව පුරා බුදුදහම පැතිරුණි. එයට ඇති ප්‍රධානම සාක්ෂිය ලෙන් හා විහාර රැසක් සංඝයාවහන්සේලාට පිරිනැමීම පිළිබඳව ක්‍රි පූ 3 වැනි සියවසේ සිට ක්‍රි පූ 1 වැනි සියවසට අයත් මුල් බ්‍රාහ්මී අක්ෂරවලින් ලියැවී ඇති සෙල්ලිපි රාශියයි. මේ ඒවායේ පැතිරීම පිළිබඳව Inscriptions of Ceylon Vol I – Early Brahami Inscriptions- Paranavithana-හි ඇති සිතියමයි.

මේ සෙල්ලිපිවලට අනුව ලෙන් හා විහාර පූජා කළවුන් අතර රජවරුන්, ඇමතිවරුන් පමණක් නොව ගම්පතියන් හා සාමාන්‍ය ජනයාද විය. එනිසා මිහිඳු හිමියන්ගේ පැමිණීමේ වැදගත්කම කිසිසේත් ලඝුකොට සැලකිය යුතු නැත.

ඇතැම් අයගේ කනස්සල්ලට හේතු වූවත්, අවසාන ජනසංගණනයේදී ද ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 69.8% ක් තමන් බෞද්ධයන් බව ස්වාධීනව ප්‍රකාශයට පත්කොට ඇත. ක්‍රි පූ 3 වැනි සියවසේදී ලංකාවේ අගරජු බුදුදහම වැලඳගැනීම මෙයට ඉවහල්වූ මුල්ම හා ප්‍රධානම හේතුවයි.

මිත්‍යාව, මිත්‍යා කතන්දර හා විද්‍යාත්මක ඉතිහාසකරණය

මා ඉදිරිපත් කළ කරුණු මත තමා තවදුරටත් මහින්දාගමනය මිත්‍යාවක් යැයි පවසන්නේ දැයි කීම දැන් මහාචාර්ය නිර්මාල් රංජිත් මැතිතුමාට භාරය. තමා වීඩියෝ මගින් මහින්දාගමනය ගැන පැවසූ දේ මා හට නොවැටහී ඇති බව පවසා, “මිත්‍යාව” යන වචනය පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කිරීමට එතුමා උත්සාහ ගැනීමට ඉඩ ඇත.

මා විසින් ලියන ලද Finding Sinhabahu පොතෙහි මිත්‍යා කතන්දරයක් යනු කුමක්ද, යම් ඓතිහාසික සිදුවීමක් මිත්‍යා කතන්දරයක ස්වරූපයට හැරෙන්නේ කෙසේද? මිත්‍යා කතන්දරයක් වූ පමණින් එය ප්‍රලාපයක් යැයි බැහැර නොකර සිදුවීමක සැබෑ සාධක සෙවීමේ වැදගත්කම කුමක්ද? යන්න අඩංගු පිටු කිහිපයක විස්තරයක් ඇත. අභාවප්‍රාප්ත මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා ජාතික චින්තනය යන නමින් ප්‍රචලිත කළ නලින්වාදයට එරෙහිව මා සහ තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් ලියන ලද ලිපි දහය අවසානයේදී මා “විද්‍යාව හා මිත්‍යාව” යන මැයින් දීර්ඝ ලිපියක් ලියා අනිද්දා පුවත්පතෙහිද ඊ පුවත්පත් කිහිපයකද පළ කළෙමි. එනිසා “විද්‍යානුකූල ඉතිහාසකරණය හා මිත්‍යා කතන්දර” යන මාතෘකාව යටතේ වෙනම සංවාදයකටද මා සූදානම්ය.

ඉතිහාසය සම්බන්ධ මිත්‍යා කතාන්දර පිළිබඳව සැබෑ අවබෝධයක් තිබෙන්නේ නම් මහින්දාගමනය සත්‍ය සිද්ධිය වටා බැඳුණු විශ්වාස කළ නොහැකි යම් යම් තොරතුරු මහාවංශ සංස්කාරක මහානාම හිමියන් “තැනූ ඒවා” නොව ඒ වනවිට සිංහලයන් අතර “තැනී තිබුණු ඒවා බව” මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාට වැටහෙනු ඇත. ලිඛිතව පැවති දේට අමතරව කට වචනයෙන් පැවත එන තොරතුරුද තම කෘතියට එක් කළ බව මහානාම හිමියන් මහාවංශයේ ආරම්භක ගාථා දෙකේදී අවංකවම පවසන්නේ එනිසාය. (“ශෘතිමය වශයෙන් පරම්පරාවෙන් පැවත එන”)

මහාචාර්යතුමාගෙන් පිළිතුරු බලාපොරොත්තුවන ප්‍රශ්න

මේ සංවාදය මිත්‍යාව ලෙස තමන් අදහස් කළ දේ කුමක්දැයි යන දිශාවට ගෙනයාමට පෙර මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් මම පහත සඳහන් ප්‍රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

දැනට ඇති ඓතිහාසික සාධක මත ක්‍රි පූ 3 වැනි සියවසේදී අශෝක අධිරාජයා විසින් ලංකාවට බෞද්ධ ධර්මදූත පිරිසක් එවූ බව පිළිගන්නේද? මේ පිරිසගේ නායක හිමිනමගේ නම මහින්ද යැයිද, ඒ වනවිට ලංකාවේ රජුව සිටියේ දේවානම්පිය (තිස්ස) යැයිද පිළිගන්නේද?

මේ ධර්මදූත පිරිස විසින් එකල ලංකාවේ සිටි ප්‍රධාන රජු හා ඔහුගේ සහපිරිවර බෞද්ධයන් බවට පත් කළ පසු ඉතා කෙටිකලක් තුළ ලංකාවේ බුදුදහම පැතිරගිය බව පිළිගන්නේද?

එනිසා මේ සිදුවීම ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස පිළිගන්නේද?

මහාචාර්යවරයෙක් තම විෂයට අදාළ කරුණක් පිළිබඳව කතා කළ යුත්තේ කරුණු, සාක්ෂි හා සාධක මත පදනම්ව අසා සිටින්නා හෝ කියවන්නාගේ දැනුම වැඩිකොට ඉන්පසු තමන් කථාකරන ප්‍රස්තුතය පිළිබඳව ගැඹුරු ලෙස තර්කයක් ගොඩනගමිනි. කරුණු, සාක්ෂි හා සාධක කිසිවක් නොමැතිව හුදු තමන්ගේ සිත තුළ තිබෙන මතයක් ප්‍රකාශකොට තමන්ට ඒ විෂය පිළිබඳ ඇති වෘත්තීය සුදුසුකම මත පමණක් පදනම්ව අන් අය ඒ තර්කය පිළිගත යුතුයැයි සිතීම මහාචාර්යවරයෙකු විසින් නොකළ යුතුය. ඉතිහාසය සම්බන්ධව මූලාශ්‍ර මත පදනම් නොවී විවිධ ඉතිහාස කතාන්දර පවසමින්, අසන්නාට නිවැරදි දැනුම ලබාදීමට වඩා අසන්නා පිනවීම තම අභිප්‍රාය කරගත් මහාචාර්යවරුන්ද දැන් ලංකාවේ පහළව ඇත. මහාචාර්යවරයෙකු සාමාන්‍ය මිනිසෙකුගෙන් වෙනස් වන්නේ දන්නා දෙය පැවසීමෙන් පමණක් නොව, නොදන්නා දෙය නොපැවසීමෙනි.

මාගේ ලිපිපෙළට ලිපියකින් හෝ ලිපිපෙළකින් පිළිතුරුදෙන ලෙස මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ කරුණ පිළිබඳව කිසිදු ආකාරයක වාචික විවාදයක නිරතවීමට මා බලාපොරොත්තු නොවන්නේ අද ලංකාවේ වාචික විවාද කටවාචාලයන්ගේ රඟමඩලවල් බවට පත්ව ඇති නිසාය.

එසේම යමක් ලියනවිට ලියන්නාට තම තර්කය පිළිබඳව ඇති සාක්ෂි හා සාධක කියවන්නන්ටද සැකහැර දැනගැනීමට හැකිවන පරිදි ආශ්‍රිත මූලාශ්‍ර සහිතව දැක්විය හැකිය. ගැඹුරු ශාස්ත්‍රීය සංවාදයක් හෝ විවාදයක් කළ හැක්කේ ලිඛිතවය. මහින්දාගමනය පිළිබඳව සිදුවන මේ විවාදය තුළින් ශාස්ත්‍රීය සාකච්ඡා ගැඹුරින් සිදුවන වෙනත් රටවල මෙන්ම, මීට දශක දෙකකට පෙර ලංකාවේද තිබූ ලිඛිත විවාද සම්ප්‍රදායයට නැවත අප රට රැගෙන යාමට හැකිවෙනු ඇත.

මිත්‍යාව, මිත්‍යා කතන්දර හා සැබෑ ඉතිහාසය පිළිබඳව සිදුවන වෙනත් සංවාදයකදී මහාචාර්ය නිර්මාල් රංජිත් මහතාද මා,ද දරන මතය එකක් විය හැක. ශාස්ත්‍රීය සංවාදවල ස්වභාවය එයයි. ඒ සංවාදයට පෙර මේ කරුණ පිළිබඳව මා ඇසූ ප්‍රශ්න තුනට කියවන්නාට වටහාගත හැකි අන්දමේ පිළිතුරක් එතුමාගෙන් ගෞරවයෙන් බලාපොරොත්තුවෙමි. ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙකු වන එතුමා තම පිළිතුර මේ දක්වා එළිදරව් වී ඇති ඓතිහාසික කරුණු මත පදනම්ව, මූලාශ්‍ර හා සාධක සහිතව මාගේ හා අනෙක් පාඨකයන්ගේ දැනුම ඉහළ නංවන අයුරින් සිදුකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

මා මේ ලිපිපෙළේ පැහැදිලි කරන කරුණු ඔප්පුකිරීමට තවත් බොහෝ සාධක තිබුණත් ඒවාද මෙහි මෙහි පෙළගැස්වුවහොත් ලිපිපෙළ දීර්ඝවී එය කියවන්නාට වෙහෙසකර වනු ඇත. ඉදිරි සංවාදයකදී අවශ්‍ය වුවහොත් ඒ කරුණුද හෙළිදරව් කෙරෙනු ඇත.

-විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ-
Amarasinghe_ajith@yahoo.com

(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ රාජකීය ආසියාතික සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ යාවජීව සාමාජිකයෙකි. විවිධ ඉතිහාස කරුණු ගැන පොත් හා ලිපි සම්පාදනය කර ඇති ඔහුගේ Finding Sinhabahu ඉතිහාස පර්යේෂණ ග්‍රන්ථය 2020 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම පර්යේෂණ කෘතිය ලෙස නිර්දේශිත විය.)

අනෙකුත් ලිපි 1 කොටස – https://knews.lk/mahindagamanaya-scientific-truth-dr-ajith-amarasinghe-reply-to-prof-nirmal-ranjith/
2 කොටස – https://knews.lk/mahindagamanaya-scientific-truth-part-02-dr-ajith-amarasinghe/

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...