K News

Trending Now

පාරිභෝගික කටයුතු අධිකාරියේ නම ‘ධම්මික කටයුතු අධිකාරිය’ ලෙස වෙනස් කරහල්ලා..!

ශ්‍රී ලංකාවේ ලාෆ් ගෘහස්ථ ගෑස් හිඟය සහ පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව

මේ වෙනකොට මාසයකට වැඩි කාලයක ඉඳලා ලාෆ් ගෘහස්ථ ගෑස් වෙළඳපොළේ සොයාගන්නට නෑ. වෙළඳ නියෝජිතයන්ගෙන් සහ පිරවුම්හල් තුළින් ඇහුවාම ඔවුන්ගේ පිළිතුර තමයි ‘එන දිනයක් කියන්න බෑ’ කියන එක. ලාෆ් සමාගමෙන් ඇහුවාම කියන දෙයක් තමයි, හම්බන්තොට ගෑස් පර්යන්තයේ නීතිමය ප්‍රශ්නයක් නිසා ගෑස් අවුලක් තිබෙනවා කියන එක. ඒත් මේ කිසිවක් ඇත්ත නෙවෙයි. දැනගන්නට තිබෙන විදිහට ලාෆ් ආයතනය මේ වෙනකොටත් කර්මාන්ත ශාලා සඳහා විශාල වශයෙන් ගෑස් සපයමින් සිටිනවා. ඒක හොඳ දෙයක්. කර්මාන්ත කඩා වැටෙන්නට දෙන්න හොඳ නෑ. ඒත් ඔවුන්ට වගකීමක් තිබෙනවා සිය ගෘහස්ථ පාරිභෝගිකයන්ට ගෑස් සපයන්නට බැරිනම් ඒ සඳහා විකල්පයක් ලබාදෙන්න. මොකද ගෑස් කියලා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ගෑස් නොමැතිව නාගරික ගෙදරකට පවතින්න හරිම අමාරුයි. මේ වෙනකොට ගම්බද තත්ත්වය වුණත් එහෙම තමයි.

පාරිභෝගික අධිකාරියේ නිහඬතාව සහ බිය

මේ ලිපිය ලියන ලියුම්කරු මහරගම ප්‍රදේශයේ දැන් මාසයකට වැඩි කාලයක සිට ලාෆ් ගෑස් සොයනවා. අන්තර්ජාලයේ ළඟින්ම පෙන්වන ගෑස් නියෝජිතයන්ට කතා කළාම සහ මහරගම ලාෆ් පිරවුම්හලට ගියාම (දැන් සිනොපෙක්) ඔවුන් කියන්නේ ගෑස් එන නිශ්චිත දවසක් නෑ කියන දේ. මෙහෙම ප්‍රකාශ කළ හැකිද? පාරිභෝගිකයාගේ අයිතියට කුමක්ද වෙන්නේ? මේ පිළිබඳව මැදිහත් වෙන්න තිබෙන එකම ආයතනය තමයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඔවුන්ගෙන් ඇහුවාම හැමෝම කරන්නේ බෝලේ පාස් කරන එක. සහකාර අධ්‍යක්ෂවරයෙක් යැයි කියන ජනක ප්‍රසාද් නම් පුද්ගලයෙකුට කතා කරන්න කියලා හොට් ලයින් එකට කතා කළාම කිව්වා. ඔහුගේ ජංගම දුරකථන අංකය තමයි 0770106600, නමුත් ඔහු දුරකථනයට ආන්සර් කරන්නේ නැහැ. එහෙත් මේ ආයතනයේ පහළ සේවකයන් කියන්නේ සභාපතිවරයා ධම්මික පෙරේරාට විරුද්ධව හෝ ලාෆ් ගෑස් සමාගමට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න බයයි කියලා. එයට හේතුව ධම්මික පෙරේරාට වර්තමාන ආණ්ඩුව එක්ක සහ පැලවත්ත එක්ක තිබෙන යාවජීව බැඳීම.

දැන් ඉතින් තියෙන්නේ 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ පිහිටුවනු ලැබූ මේ ආයතනය වහලා දාන්න. මොකද මේ පනතේ මූලිකම අරමුණ තමයි පාරිභෝගිකයාගේ අයිතීන් ආරක්ෂා කිරීම. ගෙදරක ගෑස් නොමැතිව මාසයක් ඉන්න පුළුවන්ද? ඒ පිළිබඳව පැමිණිල්ලක් ආවාම වහාම ක්‍රියාත්මක වීම තමයි මේ රාජ්‍ය ආයතනයේ මූලික ව්‍යවස්ථාපිත වගකීම. නමුත් එය ඉටුවෙන්නේ නෑ.

ලාෆ් සමාගමේ පසුබිම සහ වෙළඳපොළ ආධිපත්‍යය

ලාෆ් ගෑස් පීඑල්සී කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතම ද්‍රවකෘත පෙට්‍රෝලියම් වායු සමාගමක්. 2001 වසරේදී ආරම්භ කරන ලද මෙම සමාගම, මේ වන විට ශ්‍රී ලංකාවේ ගෑස් අවශ්‍යතාවය සපයන ප්‍රධානතම සමාගම් දෙකෙන් එකක් බවට පත්ව තිබෙනවා. වත්මන් දත්ත වලට අනුව, ලාෆ් ගෑස් සමාගම ශ්‍රී ලංකාවේ ගෘහස්ථ සහ වාණිජ ගෑස් වෙළඳපොළෙන් 30% ක පමණ ප්‍රතිශතයකට හිමිකම් කියනවා.

මීට අමතරව, කර්මාන්ත සඳහා සපයන තොග ගෑස් (Industrial bulk LPG) වෙළඳපොළෙන් 60% ක පමණ විශාල කොටසක් හිමිකරගෙන සිටින්නේද ලාෆ් ගෑස් සමාගමයි. ගෘහස්ථ වෙළඳපොළේ ඉතිරි 70% ක පමණ බහුතර කොටස සපයනු ලබන්නේ ඔවුන්ගේ ප්‍රධාන තරඟකරුවා වන රජයට අයත් ලිට්‍රෝ (Litro) ගෑස් සමාගමයි. දකුණු ආසියාවේ විශාලතම LPG ගබඩා කිරීමේ පර්යන්තය (LPG Terminal) 2019 වසරේදී හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ස්ථාපිත කර මෙහෙයුම් ආරම්භ කරන ලද්දේ ද ලාෆ් ගෑස් සමාගම විසින් බව කියන්න ඕනෑ. දිවයින පුරා ප්‍රධාන බෙදාහරින්නන් 26ක් සහ අලෙවි නියෝජිතයින් 10,000 කට අධික ප්‍රබල ජාලයක් හරහා ඔවුන් පාරිභෝගිකයන් වෙත ගෑස් සැපයීම සිදු කරලා තිබෙනවා.

සමාගමේ නව හිමිකාරීත්වය සහ ක්‍රෝනි ධනවාදය

දැන් අපි හොයලා බලමු මේ තරම් විශාල ගෑස් සමාගමේ අයිතිය තියෙන්නේ කාටද කියලා. ලාෆ් ගෑස් පීඑල්සී (LAUGFS Gas PLC) කියලා කියන්නේ කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ලියාපදිංචි කර ඇති පොදු සමාගමක්. එහි අයිතිය කොටස්කරුවන් (Shareholders) ගණනාවක් අතර බෙදී පවතිනවා. ලාෆ් ගෑස් සමාගම අයත් වන්නේ ලාෆ් හෝල්ඩින්ග්ස් (LAUGFS Holdings Limited) සමූහ ව්‍යාපාරයටයි. එය 1995 වසරේදී ආචාර්ය ඩබ්ලිව්. කේ. එච්. වේගපිටිය (සමූහ සභාපති) සහ යූ. කේ. තිලක් ද සිල්වා යන අය තමයි පටන් අරගෙන තිබෙන්නේ. හැබැයි මෑතකදී ලොකු වෙනස්කමක් වෙනවා මේ අයිතිය සම්බන්ධයෙන්.

2025 වසරේදී මෙරට ප්‍රකට ව්‍යාපාරික‍යෙක් වුණ (මේ ලියුම්කරුට අනුව නම් සැබෑ ව්‍යාපාරිකයෙක් නොවී ක්‍රෝනි කැපිටලිස්ට් කෙනෙක්) ධම්මික පෙරේරා සිය Vallibel Three (Pvt.) Ltd සමාගම හරහා මෙහි මව් සමාගම වන ලාෆ් හෝල්ඩින්ග්ස් (LAUGFS Holdings Ltd) හි 50% ක ප්‍රධාන හිමිකාරීත්වයක් මිලදී ගන්නවා. එහිදී ඩබ්ලිව්. කේ. එච්. වේගපිටියගෙන් 10.4% ක් සහ තිලක් ද සිල්වාගෙන් 39.6% ක් විදිහට. ඔන්න ඔහොම තමයි ධම්මික පෙරේරා අතට මේ සමාගම ගිහින් තිබෙන්නේ. දැන් ඉතින් පාරිභෝගික අයිතිය බල්ලට දාලා තමයි මේ ගෑස් සමාගම කටයුතු කරන්නේ.

රාජ්‍යය සහ ව්‍යාපාරිකයා අතර බැඳීම

රාජ්‍යය හැම වෙලාවෙම ඉන්න ඕනෑ ව්‍යාපාරිකයන්ට වඩා ඉහළින්, නමුත් ලංකාවේ ඒක එහෙම නෑ. පසුගිය පාලන කාලයන් තුළත් එහෙමයි, සිස්ටම් චේන්ජ් කරන්න ආපු අලුත් පාලකයොත් එහෙමයි. ඔබට අවශ්‍ය නම් පරාක්‍රම සමුද්‍රයේ ඉඩම් මනින්න ගිය ලාල් කාන්ත ඇමතිතුමාට සිද්ධවුණ සන්තෑසිය මතක් කරගත හැකියි.

අපි දැක්කා පසුගිය දා කිංස්බරි හෝටලයේ සීසීටීවී දර්ශන එළියට එනවා. මේ කියන කිංස්බරි හෝටලයේ හිමිකාරීත්වය දරන්නේත් ධම්මික පෙරේරා. කොළඹ හදවතේ අක්කර 5.5ක රජයේ ඉඩමට කිංග්ස්බරි හෝටලය ගෙවන්නේ සොච්චම් මුදලක්. ඒක වර්තමාන වෙළඳපොළ වටිනාකමට සරිලන සාධාරණ ගානකට ගේන්න පසුගිය රනිල් වික්‍රමසිංහ රජයත් උත්සාහ කළා, නමුත් ඒක කරගන්න බැරිවුණා. සමහර වාර්තාවන්ට අනුව කොළඹ එකේ පිහිටි අක්කර 5.5ක මේ ඉඩමට ගෙවන වාර්ෂික බදු මුදල රුපියල් ලක්ෂ 20යි. ඒ කියන්නේ අක්කරයට බදු මුදල රුපියල් තිස්තුන් දාහක් විතර.

පාරිභෝගිකයාට ඉතිරි වී ඇති විකල්පය කුමක්ද?

ඉතින් අපේ රාජ්‍ය සහ ව්‍යාපාරිකයා අතරේ තිබෙන්නේ මෙන්න මේ වගේ බැඳීමක්. මේ වගේ තත්ත්වයක් අස්සේ ගෙදර ගෑස් සිලින්ඩරය මාසයක් හිස්ව තියාගෙන කඩෙන් අමාරුවෙන් කන, එහෙම නැත්නම් රයිස් කුකර් එකෙන් බිරියානි බත් කන දුප්පතුන්ගේ පාරිභෝගික අයිතිය ගැන කවර කතාද? ඇත්තටම මේ වගේ ප්‍රශ්නවලට මූලික අයිතිවාසිකම් නඩු පැවරිය හැකියි, එහෙත් දැන් ඒ සඳහාත් වෙහෙසෙන්නට මුදල් වැයකරන්නට හිතෙන්නේ නෑ. මොකද නඩුව විභාගයට නොගෙනම විසි කරලා දාන්න තියෙන ඉඩ වැඩියි.

ඉතින් දැන් අපි මොකක්ද කරන්නේ පාරිභෝගිකයන් විදිහට? ලාෆ් ගෑස් සිලින්ඩරයට ලිට්‍රෝ සිලින්ඩරයක් ගන්න ඒ අයිතිය ලබාදෙන්න අඩුම වශයෙන් කියලා රජයෙන් ඉල්ලන්න පුළුවන්. ඊටවඩා දෙයක් අපිට තිබෙනවාද?

කේ. සංජීව

1 thought on “පාරිභෝගික කටයුතු අධිකාරියේ නම ‘ධම්මික කටයුතු අධිකාරිය’ ලෙස වෙනස් කරහල්ලා..!”

  1. Pingback: ගෑස් අර්බුදය - ලිට්‍රෝ සැපයුම, ගෑස් හිඟය සහ කළු කඩ මාෆියාව

Leave a Comment

Your email address will not be published. Required fields are marked *