‘කසුන්ගිර තරණය’ සහ ‘සුයාමය අසබඩ’ නවකතා රචනා කළ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු, ප්‍රවීණ රංග ශිල්පියෙකු හා සහාය අධ්‍යක්ෂවරයෙකු වන දිලිප් රෝහණ විසින් “සංගිලියම” නමින් නවකතාවක් සහ “උඩැක්කි කෝලම” යනුවෙන් කෙටිකතා සංග්‍රහයක් 2026 සැප්තැම්බර් මස 20 වන ඉරු දින සවස 2.30 ට බොරැල්ල, මරදාන පාරේ පිහිටි සමුද්‍රා පොත්හලේ උඩුමහලේ පිහිටා ඇති ‘සමුද්‍රා ස්ටූඩියෝ’ හිදී ජනගත කෙරේ.
මෙහිදී සම්මානනීය පරිවර්තක, සාහිත්‍යවේදී ගාමිණී වියන්ගොඩ මහතා සහ සම්මානනීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ බර්ට්‍රම් නිහාල් යන මහතුන් විසින් පොත් ද්විත්වය පිළිබඳ කෙටි දේශන පවත්වනු ඇත.
ප්‍රවීණ සාහිත්‍යවේදී සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වන සුගත් වටගෙදර මහතා තම පසුවදනින් මෙසේ දක්වයි.
'2021 වසරේදී 'කසුන්ගිර තරණය' රචනා කිරීමෙන් අනතුරුව 'සුයාමය අසබඩ' යන නවකතාව ද රචනා කළේය. 'උඩැක්කි කෝලම' සහ 'සංගිලියම' දිලිප් රෝහණ කලාකරුවාගේ නවතම නිර්මාණ කාර්යයයි. විවිධ තේමාවලින් යුක්තව විවිධ සමාජ අනුභූතීන් ප්‍රකට කරන කෙටිකතා හයකින් සමන්විත මෙම නිර්මාණ සංග්‍රහය පාඨක ලෝකයට නැවුම් රසවින්දනයක් ලබාදීමට සමත්වනු ඇත. මෙම සියලු කෙටිකතාවලට අප එදිනෙදා ජීවිතයේ ලබන අත්දැකීම් පාදක වී ඇති බව සත්‍ය වුවත්, ඒවා අලුත් ඇසකින් දැකීමට සැලැස්වීම කතුවරයාගේ කුසලතාවය වන්නේය. මේ බොහෝ අත්දැකීම් ඔහු ලැබුවේ ප්‍රසිද්ධ කලාකරුවෙකු ලෙස හා දිගු කලක් ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීමේ වාසනා මහිමය නිසා විය යුතු වුවත්, ඒවා අපූරු ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට හැකිවූයේ ඒවා හුදු ප්‍රතිභාව නිසාම නොව ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය ද හේතුවෙන් බව කිව හැකියි.'
රංගනය ඔස්සේ අවස්ථා නිර්මාණයට පැමිණි දිලිප් රෝහණ කලාකරුවා සාහිත්‍ය මගින් ජීවිත විවරණයට මං හෙළි කිරීම සාහිත්‍යකාමීන්ගේ මහත් සොම්නසට හේතුවන බව “සංගිලියම” නවකතාව මගින් ද සනාථ කරනු ඇත. “සංගිලියම” යනු ආදරය, හිංසනය සහ ද්‍රෝහීවීම පිළිබඳ සමාජ ගැටුම් සහ මිත්‍ර සහජීවනය මුසු පරම්පරා තුනක ජීවන යථාර්ථය කියවන කෘතියකි.
ඔහු විසින් රචනා කළ ‘විවර්ධනිය’ අතුල පීරිස් විසින් ද, ‘පුතු සෙනෙහස’ බන්දුල විතානගේ විසින් ද, ‘කසී සළු’, ‘238B’, සහ ‘කාක්කෙක් දඩයක්කාරයෙක්’ සන්තුස ලියනගේ විසින් ද, ‘පහන් කන්ද’ බර්මින් ලයිලි විසින් ද අධ්‍යක්ෂණය කරනු ලැබ, රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රේක්ෂකයාට දැකගත හැකි විය.
1976 රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රාදේශීය හොඳම නාට්‍ය සහ තවත් සම්මාන තුනක් දිනූ හර්බට් වීරසිංහගේ ‘ඉවක් බවක් නැති ලොවක්’ නාට්‍යයෙන් රංගනය ඇරඹූ දිලිප් රෝහණගේ කලා දිවියට වසර පනහක් සපිරේ. “සංගිලියම” සහ “උඩැක්කි කෝලම” සමුද්‍රා පොත් ප්‍රකාශකයින්ගේ ප්‍රකාශනයකි.






