අලි පාරේ ගල මුදුනට

galamuduna knews

දැන් හේන් කොටන කාලේ. බකමූණෙන් උදේට කෑවා. හේන් කොටන්නේ කොහේද? ඇළහැර… ගොඩක් ගම් කියනවා. ඒ අතර එකෙක් කිව්වා හීන් ගඟ පැත්තට ගිහින් බලාපිය කියලා. කොහොමද හීන් ගඟට යන්නේ. දඹුල්ලේ ඉඳලා ඇළහැරට යන්න ආපු මම බකමූණෙන් බස් එකට නැග්ගා හෙට්ටිපොළට. හෙට්ටිපොළත් තරමක් විශාල ටවුමක්. මේක හෙට්ටිපොළින් පරණ පාරේ මහියංගණයට යන ටකරන් බස් එක. බස් එක අතරමඟ හන්දියක නතර කළා. ලස්සන පෙට්ටි කඩයක්. ඉද්ද ගැහැව්ව පාර, පහළ තැනින් තැන කුඹුරු වෙල්යාය. විල් වගේ පුංචි පුංචි… බස් එකෙන් පැන්නා… දන්නෑ තැන මොකක්ද කියලා.

මේ හරියට කියන්නේ මොකක්ද මුදලාලි. කළු හීන්දෑරි මිටි මනුස්සයෙක් බුලත් කහට දත් අතරින් හිනාවෙලා කියාපි විල්ගමුව කියලා. ‘විල්ගමුව’ විල ගොමුව, විල් ගොමුව, විල්ගමුව වුණාය කියනවානේ. මිනිස්සු පාරේ පැත්තක් අයිති කරගෙන වී වේලනවා. වාහන පැත්තක් අයින් කරගෙන. කහට එකකින් තොලකට තෙමා ගන්න ගමන් ජීවිතයේ කහට රස ගැන අහන්න හිතුණා.

අලි කරදර, වතුර, පොහොර, කතන්දර කන්දක්. ඈතින් පෙනේ දුම්බර කන්ද වගේ. හේන ගැන හෝඬුවාවක් දුන්න කඩ මුදලාලි… ගිනි පෙට්ටි පාලම ළඟින් දකුණට. කන්ද මුදුනට. ගමේ නම ගල මුදුන.

අලි පාරේ ඇරඹුම

හෙට්ටිපොළ මහියංගණය පාරට හීන් ගඟ අහුවෙනවා. එතන ගඟ හරහා පාලමක්. නම ගිනි පෙට්ටි පාලම. ඒ ළඟින්ම දකුණට කොන්ක්‍රීට් පාර සුළුගුණේ කියන ගමට. ගිනි පෙට්ටි පාලම ළඟ පෙට්ටි කඩයට දුම්බර කඳු වැටිය හොඳට පේනවා. කඩේ අක්කා දුම්බර කන්ද වගේ හිනාවෙලා කිව්වා ගල මුදුනට ගොඩක් දුරයි කියලා. සුළුගුණේ ගමෙනුත් පැනලා ගඟෙනුත් පැනලා තවත් දුර කැලේ යන්න ඕනෑ. අලි ගොඩක් ඉන්නවා කියලා හිනාවෙලා කියපු අක්කා, තනියා මඟ අරින එක අමාරුයි කියලා ඒ හිනාවෙන්ම කිව්වා.

කොහොමින් කොහොම හරි ත්‍රීවීලයක සුළුගුණේ ගමට ආවා. ඒකත් කුඩාම කුඩා ගමක්. අසලින් හීන් ගඟ ලස්සනට ගලාගෙන යනවා. සුළුගුණේ ඉන්න ගොඩක් කට්ටිය ගල මුදුනෙන් පහළට වැටිච්ච අය. ‘හාපෝ ගල මුදුන’ කියලා තමයි එයාලා කියන්නේ.

‘උදේටයි හවසටයි අලි පාරේ ඉන්නවාමයි මහත්තයෝ. කල්පනාවෙන් යන්න. කරදරයක් නම් තවම නෑ. දැන්නම් ගෙවල් කඩන එවුනුත් ඉන්නවා. දැක්කොත් මඟ අරින්න. හොඳ කල්පනාවෙන් ඔය අඩිපාර කෙළින්ම ගල මුදුනට තමයි.’

හීන් ගඟේ ගිය හීන් පාලම

සුළුගුණේ මාතලේට… හීන් ගඟෙන් එගොඩ ගල මුදුන නුවරට… නුවර ආණ්ඩුව ගල මුදුනට යන්න හීන් ගඟට පාලමක් දාලා. වියදම ලක්ෂ 25ක් විතරලු. පොහොයක් ගෙවන්න කලියෙන් ආපු මහ වරුසාවක් හීන් ගඟේ පාලම හීනියටම අරගෙන ගිහිල්ලා. තාම ආණ්ඩුවේ කවුරුවත් දන්නේ නැහැ. දැන් පාලම ගඟේ පාවෙනවා. එක කොන්ක්‍රීට් කණුවකවත් කම්බි නැහැ. කම්බි නැතුව කණු ගහන තාක්ෂණය නුවරින් ඉගෙන ගත්තා නම් මේ වගේ ගොඩක් පාලම් ගඟට දාන්න තිබුණා.

කොහොම හරි ගඟ පැනලා කැලයට රිංගුවා. මිනිස්සු කිව්වට එක අඩිපාරයි කියලා, පාරවල් දෙකක් තිබිලා මම රැවටුණා. රවුම් ගහලා ආයෙත් ගඟ ළඟටම එනකොට ගොඩක් හැන්දෑ වෙලා. ආයිත් ගඟ පැනලා සුළුගුණේ පන්සලට ඇවිත් නිදාගත්තා. හෙට උදේ නම් කොහොම හරි යනවා ගල මුදුනට.

අතරමඟ

දැන්නම් පාර හරි. අලුත් දවසක අලුත් පාරක. ගල මුදුනට යනවා. මට මේ කැලේ මැද පාර අලුත් වුණාට මෙහෙ හැමෝටම මේ පාර පරණයි. සුළුගුණේ හාමුදුරුවෝ නම් කිව්වේ අද මිනිස්සු පොළට එන නිසා පාර වරදින එකක් නැහැ කියලා. අලි ගැනත් බයක් නැහැ. ඒ කිව්වට තැනින් තැන දුම් දමන අලි බෙටි ගමන පමා කළා.

මෙන්න කසුකුසුවක්… රංචු රංචු ගල මුදුනෙන් පල්ලමට බහිනවා. එකෙක්ගේ හිසේ වී මිටියක්. තවත් එකියක් අතේ අතදරුවෙක්.

‘අද උදේ ඉඳලම අලි පාරේ. ගොඩක් වෙලා බලා හිටලා පල්ලම් වුණාට පස්සෙන් පහු තමයි අපි මේ ආවේ.’

මඟින් මඟ හම්බවෙන හැමෝම කියන්නේ ඔය කතාව. ගල මුදුන ගමේ ඉඳලා සුළුගුණේ ගමට හැතැම්ම 7ක්. පයින්ම යන්න එන්න ඕනෑ කදමලු අඹු දරු සේරමත් එක්ක.

‘අනේ මයේ අප්පට බුදුන් දැන නිවන් දකින්න මයේ පුතේ පාලම හදලා පාර තෝරලා දීපල්ලා. බලාපල්ලා අපි විඳින දුක් කන්ද… අනේ උඹලට ඒ පිනම ඇති සුටුස් ගාලා සමනලයෙක් වගේ නිවනට යන්න…’

මේ දුක ආර්.එම්. බිසෝමැණිකා නැන්දාගේ. ඇයට දැන් වයසයි. ඒත් ජීවිත කන්දේ එහාට මෙහාට බහින්න නගින්න සිද්ධ වෙලා ඇයට. මඟදි හම්බ වෙච්ච ගොඩක් අය කිව්වේ අද ගමේ සේරම පොළට පල්ලට එනවා කියලා. ඒත් ආ ගමන නතර කොරන්නැයි කියලා නැග්ගා දිගටම තැනින් තැන අලි ගඳ, අලි බෙටි, ගිරිදුර්ග, ජල දුර්ග අතරේ.

ගල මුදුනට ඇවිත්

වැල – වරකා පුසුඹේ බෑ. ගම කිට්ටුයි වගේ. කොස් ගස් පෙදෙස පස්සට කරලා ගමට නැග්ගා. ගල මුදුන ගම… ළඟ ළඟ ගෙවල් බුරුත්තක්. ඉස්සරහින් කඳු වළල්ලක්. කඳු වළල්ලයි ගෙවල් රොත්තයි අතරේ ලස්සන වෙල්යාය. තැනින් තැන බඩ ඉරිඟු මිරිස් වගේ දේවල් ලස්සනට වවලා. හැමතැනම කටුමැටි ගෙවල් කඩා වැටෙන්න ඔන්න මෙන්න.

වහලෙට දෙපැත්තෙන්ම දිග ලී තියලා දෙපැත්තට වාරු නොවෙන්න වගේ. ගමටම පවුල් 28යි. තියෙන එකම ඉස්කෝලේ ළමයින් 28යි.

හැම ගෙදරකම මිදුලේ ගසක ළඟින් ළඟින් එල්ලපු කූඩු රංචු. ඒවා ඇතුළේ කුකුල් රංචු. මම යනකොට දවල් කෑම වේලාව. ගොඩක් ගෙවල්වල කෑම වේල වැල නැත්නම් වරකා. අන්ත දුෂ්කරයි. හරි පරිස්සමෙන් තමයි උයාපිහා ගන්නේ. කෑම සීමිතයි. සල්ලිත් සීමිතයි. කොස් ගස් හැමතැනම. ඒ නිසා චුට්ටක් විතර ජීවන බර අඩුවෙලා. කොස් ඇට වැලි යට දානවා. කොස් මදුළු වේලනවා. ඒවා තාම මේ ගමේ තියෙනවා.

අපි රාවණාගේ

ගමේ ඉන්න වයසකම සීයා මම හොයාගත්තා. දැක්ක ගමන් තිසාහාමි මතක් වෙන මුහුණුවර. කතා කරන්න හරිම කැමැතියි. දැන් වයස සීයකට කිට්ටුයි. තවමත් සවිශක්තිමත්. මාව ළඟින් ඉන්දවගෙන ප්‍රේහාමි මාමා කතාව පටන් ගත්තා. අපි රන්දුනු මුත්තගෙන් පැවැතගෙන එන්නේ. ඒ කියන්නේ රාවණාගේ කාලේ ඉඳලා. ඔය වැද්දොත් අපේ නෑයෝ. දැන් දඹානේ වන්නිල ඇත්තෝ මගේ මස්සිනා. මම එයත් එක්ක කතා දාලත් තියෙනවා. රන්දුනු මුත්තා කියන්නේ හරි දක්ෂයෙක්. එයාගේ හපන්කම්වලටනේ රන් දුන්නක් තෑගි දීලා තිබුණේ රජ්ජුරුවෝ. මේ ගමේ ඉන්නේ ගෙවල් දෙකක කට්ටිය. උඩහ ගෙදරයි පහළ ගෙදරයි. රන්දුනු මුදියන්සේලා උඩහ ගෙදර ඈයෝ. මාරක මුදියන්සේලා පහළ ගෙදර ඈයෝ. ඔය පිටිනුත් හිර ගෙනල්ලා තියෙනවා. ඒත් වැඩි හරියක් වෙලා තියෙන්නේ උඩහ ගෙදරයි පහළ ගෙදරයි අතරනේ මහත්තයෝ.

ප්‍රේහාමි මාමාගේ සුදු කොණ්ඩය උරහිස් මතට වැටිලා. එයා හිනාවෙනකොට බුලත් කහටින් සායම් කරපු දත් ලස්සනට එළියට පේනවා. තවමත් දත් නොවැටී තියෙන්නේ මේ සිනහවේ බරට වෙන්න ඇති කියලා හිතෙනවා. බිසෝ මැණිකා තමයි එයාගේ නෝනා. එයා මීට අවුරුදු 13කට වගේ කලින් නැතිවෙලා. බිසෝ ලස්සනද? මම ඇහැව්වා.

‘ආයේ මොකට අහනවා ඒවා… මට හිත ගියා මම ගෙනාවා. එච්චරයි මහත්තයෝ.’ ‘උස්සගෙනද ආවේ?’ මම කෑල්ලක් එකතු කළා.

‘ආයේ මොකටද මහත්තයෝ උස්සගෙන එන්නේ. මම ගෑනි ගේනකොට ඒකිට 13යි. කකුල් කඩිත්තුවයැ. යස රඟේට ඇවිදගෙන ආවේ.’

ප්‍රේහාමි මාමා හිනාවෙන ලස්සන. බිසෝ නැතුව පාළුයිද? මඟෙන් තවත් ප්‍රශ්නයක්.

‘පාළුයි කියලා මොකද කොරන්නේ… ඒවා එහෙම තමයි… මම තමයි මේ ගමේ රජ්ජුරුවෝ… ඒත් ඒවා මට නැතිවුණා. රන්දුනු මුත්තාගේ නියම උරුමේ තියෙන්නේ මං ළඟ. අපේ ගෙදර දාලා ගියා මහත්තයෝ මේ ගෑනුන්ගේ කිලි නිසා. පුස්කොළ තල් කොළ සේරම දෑවා.’

ගමේ රජ්ජුරුවන්ට උරුමය නැතිවෙලා. එයාට ඒකට දුකයි… පුංචි ගම වගේම ගමේ ඉතිහාසයත් ලස්සනයි. තව තවත් අවුස්සන්න හිතයි.

එම්.එම්.පී.ජී. අබේරත්න තරුණයෙක්. කැලේ වල් අලිත් එක්ක ඔට්ටු වෙලා ගෙදරට එන්නත් කලින් මම මිනිහව කතාවට ඇද ගත්තා.

‘අපේ අත්තලා මුත්තලා උඩතැන්නේ. (ලකේ ගලට පහළ) එහේ ඉඳලා තමයි මෙහෙ ඇවිත් තියෙන්නේ. රන්දුනු මුත්තා, මාරක මුත්තා සහ වියන්ගල මුත්තා. මේ තුන්දෙනාම සහෝදරයෝ. මෙයාලා රාවණාට තමයි වැඩ කළේ. රන්දුනු මුත්තාගෙයි මාරක මුත්තගෙයි දෙන්නගෙම කට්ටිය මේ ගමේ ඉන්නවා. අපේ රන්දුනු මුත්තා හොඳ කට්ටඩියෙක්ලු. සීතා දේවියගේ කකුලේ ගෙඩියක් හැදිච්ච වෙලාවේ තොවිලයට කළුනික හොයාගෙන ඇවිත් තියෙන්නේ අපේ රන්දුනු මුත්තා තමයි. පස්සේ ඒ දිෂ්ටිය එයාගේ පස්සෙනුත් ආවලු.’

ගමේ රසකතා අතර ජීවිතේ ගැනත් ටිකක් සොයන්න වටිනවා. ඉස්සර නම් ඉතින් හේන් ගොවිතැනයි දඩමසුයි මී පැණියි තමයි මේ මිනිස්සු ජීවත් කළේ. ඒත් දැන් දැන් තරමක් ඒක වෙනස් වෙලා. ඒ දැන් ටික ටික හේන් කෙරුවාවට අත තියලා නිසා. කීරාල මාමත් එක්ක ඒ ගැන කතා දාන්න හිතුවා.

‘අපිට කුඹුරු ගොඩාක් තිබුණා අස්සැද්දුම, දික්ඇන්ද වගේ. ඒ කුඹුරු යායවල් සේරම කැලේ ඇතුළේ නිසා දැන් ඒ කුඹුරු කරන්නේ අලි. අපි උන්ට කුඹුරු දීලා වැල ගිලිනවා. කණ්ඩායමක් මී පැණි එකතු කරන්න කැලේ වදිනවා. කණ්ඩායමක් කිතුල් කපනවා. දැන් හේන්වලට ඔට්ටුවෙන කාලේ. ඉල් මහේ වපුරනවා. නවම් මහට කපනවා. වැඩියෙන්ම කුරහන් තමයි. ඉරිඟු වගේ දේවලුත් හිටවනවා.’

දැන් කට්ටිය කැලේ පුංචි පුංචි කෑලි වෙන් කරගෙන ගස් බිම දාලා ගිනි ගහනවා. තැනින් තැන කැලේ මැදින් දුම් වළලු අහස සොයනවා.

කැකුළියෝ

පුංචි එකාගේ අප්පුච්චා හේන් කොටන්න කැලෑ වැදිලා. ගමම ගිනිගහන රස්නෙයි. වහලේ ටකරං තවත් රස්නේ වැඩි කරනවා. පොඩි එකා නිනව්වක් නැතිව අඬනවා. තම්මිනා කුමාරි දරුවා ළඟට යන ගමන් කතාව කිව්වා.

‘අපේ ළමයින්ට මිඩ්වයිෆ්ලා නැහැ. අපි යන්තම් මාසයකට සැරයක් බටුමුල්ලට බඩගාලා බෙහෙත් එක විදගන්නවා. හැතැක්ම දහයක් විතර. අපිට ත්‍රිපෝෂ ටික හරියට නෑ. බබෙක් හම්බවෙන්න ඉන්නකොට සති දෙකකට කලින් පාරට යනවා. ගිහින් කවුරුහරි නෑදෑ ගෙදරක නතර වෙනවා. ඉස්සර නම් වින්නඹු වැඩේට නැන්දා කෙනෙක් හිටියා. දැන් උන්දැත් නැහැ. මේ ඉස්කෝලේ වුණත් එකොළහට විතරයි තියෙන්නේ. ඊට පස්සේ ළමයි ඉගෙන ගන්නවා නම් කොහේ හරි නවත්තන්න ඕනෑ. ඒකටත් හුඟක් සල්ලි ඕනෑ.’

මේ ගම්වල හුඟක් ළමයින්ගේ ඉගෙනීම නතර වෙලා. ඒත් දැන් දැන් හැදෙන එවුන් හේන් එක්ක ඔට්ටු වෙන්නේ නැහැ කියලයි මේ මිනිස්සු කියන්නේ. දැන් රස්සාවලට යන කෙල්ලෝ කොල්ලෝ ගොඩක් දෙනෙක් එහෙට්ට මෙහෙට්ට වෙලාලු. හුඟක් ගැහැනු අය කොළඹ ගාමන්ට් වැඩවලට ගිහින් එහෙ පවුල් වෙලාලු. පිරිමිත් එහෙමයි. තවත් පවුල් පහළොවක් විතර පාර අද්දරට ගිහින්. මෙහෙම බලනකොට හරිහමන් පාරක් තොටක් පහසුකමක් නැති මේ හුදෙකලා ගම කොච්චර කාලයක් තියේවිද කියලා කියන්න බැහැ. ඒත් මේ ගමේ තියෙන සශ්‍රීකත්වය නිසාම හුඟක් පැරැන්නෝ මේ ගම දාලා යන්න බැරුව ළතවෙනවා.

ඒත් මට නොයා ඉන්න බැහැ. ආයෙත් ගල මුදුනින් පහළට පනින්නම වෙනවා. මම ගල මුදුනට සමුදුන්නේ නැවත මුදුනට නගිනවා කියලා හිතාගෙන.

-කේ.සංජීව-

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...