කොළඹ මහල් නිවාස අපායේ වර්තමානය..!

colombo flats- knews

2026 පෙබරවාරි 4 දා උදෑසන කොළඹ 15, මෝදර ‘හෙළමුතු සෙවණ’ මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වුණ සත් හැවිරිදි සඳරුවන් දරුවා සිය මිත්තනිය සමග මහල් නිවාස සංකීර්ණයේ පාදමේ මිදුලේ දුව පැන ඇවිදිමින් සිටින අතරතුර එම මහල් නිවාසයේ හත්වෙනි මහලෙන් පාවී ආ කොන්ක්‍රීට් කැබැල්ලක් හිස මතට වැටීමෙන් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේ ය. මෙම ශෝචනීය සිදුවීමට හේතුව එම ගොඩනැගිල්ලේ හත්වෙනි මහලේ පිටත බිත්තියකින් ගැළවී ගිය කොන්ක්‍රීට් කැබැල්ලක් ය.

මෙම සිදුවීමට ප්‍රථම පසුගිය 2024 නොවැම්බර් මාසයේ දවසක ග්‍රෑන්ඩ්පාස් ‘මුවදොර උයන’ නිවාස සංකීර්ණයේ විදුලි සෝපානයක් කඩාවැටීම නිසා එහි ගමන් කළ පොලිස් නිලධාරියෙකුට බරපතළ තුවාල සිදුවිය. මේ ආසන්නතම සිදුවීම් ය. කොළඹ කොටුවේ උසම බිල්ඩිම (ක්‍රිෂ්) අද අප දෙස බලා සිටින්නේ නිරුවත්ව ය. කොයි වෙලාවක කොයි මිනිස් රොත්තක් මතට මේ බිල්ඩිම කඩා වැටෙයි දෝ කියන්නට අපි නම් දන්නේ නැත. එහෙත් දැනටමත් එහි අබලි යකඩ කැබලි ආදිය, මිනිස් හිස් මතට, වාහන හිස් මතට, පා වෙමින් ඇවිත් අනතුරු සිදුකරමින් ඇත. එහෙත් පාලකයන්ට බලධාරීන්ට වගේ වගක් ද නැත.

කොළඹ වතුවල දුෂ්කර ජීවිත ගත කළ මිනිසුන්ට මහල් නිවාස ලබාදුන්නේ ඔවුන්ගේ ජීවිත තවත් උසස් කිරීමට සහ නගරය දියුණු පිරිසිදු නගරයක් කරන්නට ය. තිරස් වතු බිම් තීරු වාණිජ්‍ය කටයුතු සඳහා ගන්නා ගමන්, සිරස් ඉඩකඩ පාවිච්චි කරමින් එහි ජනයා පදිංචි කිරීම ලෝකයට අලුත් නැත. එය දියුණු නවීන නගරයක් සඳහා අවැසි ය. එහෙත් රාජ්‍ය මැදිහත්වී මහල් නිවාස ඉදිකරමින් කළ කාර්යය නිසා දැන් සිදුවී තිබෙන්නේ නගරය තවත් ජරාවාස වී මිනිස් වාසයට නොසුදුසු තත්ත්වයට පත්වීම ය. අනාරක්ෂිත වීම ය. මෙයට හේතු කිම? මේ ඒ පිළිබඳ සොයා බැලීමක් ය.

නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

මෙසේ අපගේ විමසුමට ලක්වෙන නිවාස පද්ධතීන් නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් පාලනය වන මහල් නිවාස සංකීර්ණ බව කිව යුතුය. මෙම නිවාස සංකීර්ණයන් පිළිබඳව සොයා බැලීමේදී මෙම මහල් නිවාස ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගත හැකිය. ඒවා නම් මධ්‍යම ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති සහ නාගරික අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති ලෙස ය. මෙහි පළමු වර්ගය වන මධ්‍යම ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති දෙස බැලීමේදී පෙනෙන්නේ ඒවා රජයේ සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ මධ්‍යම පන්තික පවුල් ඉලක්ක කරගෙන ඉදිකර ඇති බව ය. මෙම මහල් නිවාස සංකීර්ණයන් වල එතරම් ගැටලු නැත. එහෙත් කොළඹ වතු නිවාස ජනතාව සඳහා නිර්මාණය කළ මහල් නිවාස අපායට පර්යාය බව කිව යුතුය.

කොළඹ විසිරී තිබෙන වසර 40කට වඩා පැරණි නිවාස ව්‍යාපෘති 45ක පමණ තත්ත්වය බරපතළ ය. මෙහි නිවාස ඒකක 10,000කට අධික ප්‍රමාණයක් ඇති අතර මෙම නිවාස සමූහයම ඇත්තේ ව්‍යුහාත්මකව දුර්වල මට්ටමක ය. වර්තමාන රජය 2026 වසරේ සිට මෙම නිවාස පද්ධතිය නවීකරණයට අතගසා සිටීම සැනසීම ගෙනදෙන කතාවක් ය. එහෙත් එම නවීකරණයන් සිදුවන්නේ සිදු නොවන ගානට ඉබිගමනින් ය.

අප මුලින් කතා කළ මෝදර ‘හෙළමුතු සෙවණ’ නිවාස සංකීර්ණය 2019 වසරේ ඉදිකළ නිවාස සංකීර්ණයක් ය. එවැනි සාපේක්ෂව අලුත් නිවාස පද්ධතියකින් පවා සිමෙන්ති බිත්ති කපරාරු කඩාගෙන වැටීම වැනි ඉදිකිරීම් දෝෂ වාර්තා වීම අපගේ මහල් නිවාසවල වර්තමානය පෙන්වන කැඩපතක් බඳු ය. මෙම අනතුරෙන් පසුව නිවාස ව්‍යාපෘති 24ක ආරක්ෂාව පිළිබඳ විශේෂ ඉංජිනේරුමය සොයා බැලීමක් සිදුවෙන බව වාර්තා වෙයි. එය හොඳ දෙයක් ය.

කොළඹ මහනගර සීමාව අවට පමණක් විසිරී ඇති මහල් නිවාස සංකීර්ණ 25කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර දැනටමත් පවුල් ඒකක 25000ක් පමණ මෙහි පදිංචි බව වාර්තා වෙයි. අප මෙම මහල් නිවාස සංකීර්ණ පිළිබඳ තොරතුරු සොයා මට්ටක්කුලිය ප්‍රදේශයට ගිය අතර එහි මහල් නිවාස සංකීර්ණ බොහොමයක ඇවිද ගිය අප හට, එහි පවතින ගැටලු සහ ජනතාව විඳින දුක පෙනුණි. මුලින් කීවා සේ සමහර නිවාස සංකීර්ණ අපායන් බඳු ය. මාදම්පිටිය කුණු කන්ද ආශ්‍රිතව ඉදිකර ඇති මාදම්පිටිය නිවාස සංකීර්ණයට යාබද නිවාස සංකීර්ණ පිළිබඳ තොරතුරු සොයා අප එහි ගියෙමු. අප සොයාගත් තොරතුරු මෙසේ ගොනුකළ හැකි ය.

'මිහිජය සෙවණ නිවාස සංකීර්ණයේ නිවාස ඒකක ගණන 1647, මෙත් සඳ නිවාස සංකීර්ණයේ නිවාස ඒකක ගණන 918, රන්දිය උයන නිවාස සංකීර්ණයේ නිවාස ඒකක ගණන 1137, හෙළමුතු සෙවණ නිවාස සංකීර්ණයේ නිවාස ඒකක ගණන 1043, සත්හිරු සෙවණ නිවාස සංකීර්ණයේ නිවාස ඒකක ගණන 672, රන්මුතු සෙවණ නිවාස සංකීර්ණයේ නිවාස ඒකක ගණන 576'.

මෙම සියලු නිවාස ඒකකවල ආසන්න වශයෙන් පවුල් 6000කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන බව අප මතක තබාගත යුතුය. කොළඹ නගරයේ මුඩුක්කු සහ වතු ආශ්‍රිතව ජීවත් වූ ජනතාව පදිංචි කරවීම සඳහා ඉදිකළ මෙම මහල් නිවාස සාමාන්‍යයෙන් වර්ග අඩි 450 සිට 550 දක්වා අවකාශයක් තිබෙන හුන්ඩු නිවාස ඒකක බව කිවයුතුය. එහි කුඩාවට නිදන කාමර 2ක්, විසිත්ත කාමරයක්, කුස්සියක්, කුඩා බැල්කනියක් සහ නාන කාමරයක් වැනි පහසුකම් ඇත. මෙම නිවාස ඒකකයේ ස්වභාවය සහ උඩරට වතු ලයින් නිවාසයක් අතර වෙනසක් නැත. නමුත් උන්නා හැටියට මළා මදැයි කියා ජනතාව මෙහි ජීවත් වෙති. නැතිනම් තමන්ට ලැබුණ මහල් නිවාස ඒකකය කුලියට දී නැවතත් සුපුරුදු වත්තේ ගෙදරට යති. එම ආපසු යෑමටත් හේතු ගොඩක් ඇත. එහි මානසික ප්‍රශ්න මෙන්ම ආර්ථික ප්‍රශ්න ද ඇත. ලංකාවේ රාජ්‍ය එය තවමත් තේරුම් ගෙන නැත.

දැන් අපිට නැවතත් මාදම්පිටියට යා හැකිය

මෙම ජනතාව අතරින් බොහෝ පිරිසක් මුලදී හේනේමුල්ල කඳවුරේ නැවතී සිටි අය වන අතර පසුව එවකට පැවති රජයේ සම්පූර්ණ වියදමින් මෙම නිවාස සංකීර්ණවල පදිංචි කරවා ඇත. දැන් අප හට මෙම මහල් නිවාසවල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කළ හැක. මෙම මහල් නිවාස බොහොමයක් ඉදිකර එහි ජනතාව පදිංචි කරවීමෙන් පසු අද වනතෙක් එහි ජීවත්වෙන ජනතාව පිළිබඳ අවධානයක් ලබා දී සොයා බලා නොමැත. මහල් නිවාස සංකීර්ණවලට ඇතුළු වන විට සාමාන්‍යයෙන් නම් ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමක් සිදුකරනු ලබයි. මෙම මහල් නිවාස පද්ධති තුළ ද එම පහසුකම සඳහා අවශ්‍ය ආරක්ෂක මුරකුටි ඉදිකර තිබුණ ද ඒවා කිසිදු දිනයක භාවිතා කර නැත. එම මුර කුටි ඉබි යතුරු දමා ලොක් කර ඇත.

මෙම සංචාරය අතරතුර අප මහල් නිවාස කිහිපයක ම විදුලි සෝපානවල තත්ත්වය සොයා බැලීමට ගිය අතර එම විදුලි සෝපාන බහුතරයක් වැඩ කරන්නේ නැත. වැඩකරන ඒවත් වැඩකරන්නේ බකල්ව ය. කොයි වෙලාවේ නතර වෙයි ද කඩා වැටෙයි ද හිරවෙයි ද කියන්නට දන්නේ දෙයියෝ පමණ ය. එය කොතරම් ගැටලුවක් දැයි කියනවා නම් පසුගිය දිනෙක ගැබිනි මාතාවක් තම හදිසි දරු ප්‍රසූතිය සඳහා පඩිපෙළ බසින විට දරුවා ලැබී දරුවාත් මවත් දෙදෙනාම මිය ගොස් ඇත. මෙවැනි කතා බොහොමයක් මෙම මහල් නිවාස වෙත ගියාම ඇහිඳ ගන්නට පුළුවන් ය. ප්‍රශ්නය වන්නේ නාගරික සංවර්ධන අධිකාරියට හෝ නිවාස සංවර්ධන අධිකාරියට මේවා නොපෙනීම ය. විදුලි සෝපානයක් දවසක් වැඩ කළොත් සතියක් එය ක්‍රියාවිරහිත බව අත්දැකීම යැයි මෙහි ජනතාව අපට පවසයි. බොහෝ විදුලි සෝපාන ආම්පන්න, ස්විචයන් ආදිය මත්ද්‍රව්‍යයන් සඳහා ඇබ්බැහිවී සිටින පිරිස් විසින් ගලවාගෙන ගොස් ඇත. ඒවා පිළිබඳව සොයා බලන්නට කිසිවෙක් නැත.

විදුලි සෝපානයක් අක්‍රීය මෙම මහල් නිවාසයක හදිසි අවස්ථාවක් උදාවුණොත් තත්ත්වය කුමක් විය හැකි ද? තට්ටු 10ක් 15ක් උඩට වයසක මිනිසෙක් ආබාධිත පුද්ගලයෙක් නගින්නේ කෙසේ ද? මේවා ගැන සානුකම්පිතව සිතන්නේ කවුද? එසේ සිතන සොයන බලන නාගරික සංවර්ධන අධිකාරියක් නැත. මෙම බොහෝ නිවාස සංකීර්ණයන් අපිරිසිදු ගුහාවල් ය. නිසි නඩත්තුවක් නැති නිසා කඩාවැටෙන්නට ඔන්න මෙන්න යැයි සිතෙන ස්වභාවයක් උසුලන මෙම නිවාස සමහරෙක නුග, බෝ වැනි ගස් වැවී ඇත. මතට ඇබ්බැහි වූවන් බහුලව මෙම නිවාස තුළ ජීවත් වෙන නිසා තත්ත්වය තවත් නරක වී නරකාදියක් ම බවට පත්ව ඇත.

මෙම නිවාස සාදා ජනතාව එහි පදිංචිකරන විට එහි තිබුණ අංගසම්පූර්ණ බව දැන් එහි නැත. මේන් ස්විච්, ට්‍රිප් ස්විච්, විදුලි පංකා, බල්බ් හෝල්ඩර, හදිසි අවස්ථාවකදී ජනතාවට භාවිත කිරීමට ඇති එමර්ජන්සි කට්ටල, අදාළ හෝස්, වතුර මීටර්, නාන කාමර කට්ටල, දොර ජනෙල්වල ඇති ලොකර්ස්, දොර ජනෙල්වල බීඩින් ආදී බොහෝ උපාංග තිබුණ තැනක්වත් අද වනවිට සොයාගන්නට නැත. මෙම උපාංග බොහොමයක් කුඩුකාරයන් විසින් ගලවාගෙන විකුණා ඇතැයි වැසියෝ කීවත් ඇත්තම තත්ත්වය එය ද? සොයා බලන්නට කෙනෙක් නැත.

මහල් නිවාසවල නඩත්තු කටයුතු සිදුවන්නේ කෙසේදැයි සොයා බලනවිට අනාවරණය වුණේ ඒ සඳහා නිසි ක්‍රමවේදයක් ඇති බව ය. එහෙත් එම ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ නැත. සහාධිපත්‍ය දේපළ නීතියට අනුව සෑම මහල් නිවාස සංකීර්ණයකට ම ‘කළමනාකරණ සංස්ථාවක්’ පිහිටුවිය යුතුය. මෙයට නිවාස හිමියන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජිතයන් ඇතුළත් වේ. මෙම සංස්ථාවේ වගකීම වන්නේ විදුලි සෝපාන, ජල පොම්ප, පොදු විදුලිය, අපද්‍රව්‍ය කළමනාකරණය සහ පොදු ප්‍රදේශ පිරිසිදු කිරීම ය. මහල් නිවාස නඩත්තුව සඳහා සාමාන්‍යයෙන් නඩත්තු අරමුදලක් ඇති අතර සෑම නිවැසියෙකුම මාසිකව නියමිත නඩත්තු ගාස්තුවක් මෙම කළමනාකරණ ඒකකයට ගෙවිය යුතුය. නමුත් අඩු ආදායම් ලාභීන් සඳහා කොළඹ නගරය ආශ්‍රිතව ඉදිකළ මහල් නිවාසවල මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන බවක් පෙනෙන්නට නැත. එය නිවැරදිව කරකවන්නට නාගරික සංවර්ධන අධිකාරියට හෝ නිවාස සංවර්ධන අධිකාරියට සැලැස්මක් හෝ උනන්දුවක් උවමනාවක් නැත. කරුමය තිබෙන්නේ එතන ය.

දුගඳ වහනය වෙන වතු පරිසරය

මෙම කරුමය නිසාම මෙම මහල්වාසී ජනතාවගේ සනීපාරක්ෂාව බල්ලාට ගොස් ඇත. දුගඳ වහනය වෙන වතු පරිසරය ම මහල් නිවාස තුළට පැතිරී ඇත. පානීය ජලය ගැන කතා කරනවිට කියන්නට තිබෙන්නේ මෙම ජනතාව සතර අපායේ දුක් විඳිමින් කැරපොතු නිවාස බඳු අපිරිසිදු වතුර ටැංකි හරහා ගලන ජලයෙන් තම පිපාසය පස්සා පැත්ත ද සෝදාගන්නා බව ය. මහල් නිවාස සංකීර්ණයන් බොහොමයක් ආශ්‍රිතව ඩෙංගු වගා ස්ථාන දැකිය හැකි අතර කොළඹ පීඑච්අයි මහත්වරුන් කුමක් කරනවාදැයි දන්නේ දෙවියෝ පමණි. මහල් නිවාස සඳහා කසළ කළමනාකරණයට නිසි වැඩපිළිවෙළක් නැති අතර බොහෝ මහල් නිවාසවල මිදුලේ අනවසර ඉදිකිරීම් විශාල වශයෙන් ඉදිවී එම පරිශ්‍රයන් නැවත වතු බවට රූපාන්තරණය වී ඇත.

මෙම තත්ත්වයන් කිසිවකට උත්තර නැති පසුබිමක, රජයට විශාල පාඩුවක් ද සිද්ධකරගනිමින්, දේශපාලන උවමනාව මත සිටිමින්, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, පසුගිය 2023 – 2024 වසරවල දී කොළඹ නාගරික මහල් නිවාසවල පදිංචිකරුවන්ට සින්නක්කර අයිතිය ලබාදෙන්නට කටයුතු කළ අතර, එමගින් කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවාසවලින් මහල් නිවාස වෙත පදිංචියට ආ පවුල් 50,000කට අධික සංඛ්‍යාවකට ප්‍රතිලාභ ලැබුණි. මෙමගින් මට්ටක්කුලිය මුවදොර උයන, මෝදර රන්දිය උයන, බොරැල්ල සිරිසර උයන සහ සහස්පුර වැනි මහල් නිවාසවල ජීවත්වූ ජනතාවට ප්‍රමුඛතාවය ලැබුණි. එසේ නිවෙස් සඳහා සින්නක්කර අයිතිය ලබාදීමේදී රුපියල් මිලියන ගණනක හිඟ මුදල් සහ දඩ මුදල් කපා හැරීමට කටයුතු කළ අතර, ඉතා අවම පරිපාලන ගාස්තුවක් යටතේ අයිතිය පැවරීම සිදු විය.

පය බරවායට පිටිකර බෙහෙත් බඳින්න අපේ රටේ පාලකයෝ රුසියෝ ය. මෙම සිදුවීම කියන කතාවත් එයයි. දැන් අපිට මෙම මහල් නිවාස ගැටලුවට තිබෙන විසඳුම මොකක්ද යන්න පිළිබඳව කෙටියෙන් සාකච්ඡා කළ හැකිය.

3191631
සිංගප්පූරු මහල් නිවාස

සිංගප්පූරුව

සිංගප්පූරුව යනු දුගඳ මුඩුක්කු සහ පැල්පත් නිවාසවලින් පිරී තිබූ නගරයක් ය. එය ලොව දියුණුම නගරයක් බවට පත්කළේ කෙසේ ද? එම පරිවර්තනය සඳහා මූලික වුණේ නිවාස හා සංවර්ධන මණ්ඩලය හරහා ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළ බව කිවයුතුය. අපගේ නිවාස සංවර්ධන අධිකාරිය වැනි ව්‍යුහයක් වූ එය ටක්කෙටම නීතියට යුහුසුලුව අගමැති ලී ක්වාන් යූ ගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක විය. එහි අවසන් ප්‍රතිඵලය සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු සුවපහසු ගෙවල් සමූහයක් ය.

ලී ක්වාන් යූ අගමැතිවරයාගේ විශ්වාසය වුණේ ජනතාවට නිවසක හිමිකාරීත්වය ලබා දීමෙන් ඔවුන් රටේ සංවර්ධනයට වැඩි දායකත්වයක් ලබා දෙන බව ය. ඒ අනුව රජය විසින් නිවාස ඉදිකර සහන මිලට ජනතාවට ලබා දුන්නේය. ජනතාවගේ මධ්‍යම අර්ථසාධක අරමුදල නිවාස සඳහා වාරික ගෙවීමට භාවිතා කිරීමට ඉඩ ලබා දුන්නේය. මේ නිසා අතේ ඇති මුදල් වියදම් නොකර නිවසක අයිතිය ලබා ගැනීමට සිංගප්පූරු ජනතාවට අවස්ථාව ලැබුණි. මේවා යම් ප්‍රමාණයකට අප රට තුළ ද ක්‍රියාත්මක වෙයි. නමුත් අපට රට තුළ එයට නිසි ක්‍රමවේදයක් නැත.

මෙසේ ගොඩනඟන මහල් නිවාස තුළ ජනතාව පදිංචි කිරීමේදී ඔවුන් චීන, මැලේ සහ ඉන්දියානු ජාතිකයන් නියමිත ප්‍රතිශතයකින් මිශ්‍රකර පදිංචි කරවන්නට කටයුතු කළේය. ලී ක්වාන් යූ ගේ දුරදක්නා නුවණ එයයි. ඔවුන් හුදු ගොඩනැගිලි පමණක් ඉදි කළේ නැත. සෑම නිවාස සංකීර්ණයක් වටාම පාසල්, රෝහල්, වෙළඳසැල් සහ ක්‍රීඩාංගණ ඉදිකරමින් එම නිවාස සඳහා සජීවී පැවැත්මක් හදන්නට කටයුතු කළේය. එනිසා මුඩුක්කුවෙන් මහල් නිවසට ආ ජනතාවට එය කුලියට දී නැවත මුඩුක්කුවට යන්නට සිත් දුන්නේ නැත. අනෙක් පැත්තෙන් නීතිය තදින් ක්‍රියාත්මක කර සෑම දෙයක්ම ප්‍රතිපත්ති සම්පාදනයේ අරමුණ වෙතම නාභිගත කළේය. කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් (MRT) මගින් මුළු රටේම මහල් නිවාස ජීවිත එක පොකුරක් කරන්නට ද කටයුතු කළ සිංගප්පූරුව, එම නිවාස වැඩපිළිවෙළට සාපේක්ෂව පැරණි මුඩුක්කු ඉවත් කිරීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කළේය. ඒ හරහා ඔවුන් තමන්ගේ රටට උරුම සීමිත භූමිය සියවස් ගණනක් ඉදිරියට සැලසුම් කළේය.

මෙසේ අහස අල්ලන්නට බැන්ද නිවාස ජනතාවට ලබාදෙන විට තිබුණ තත්ත්වයෙන්ම හැමදාම පවත්වාගෙන යාම සඳහා නඩත්තුවට ස්ථාවර අරමුදල් පවත්වාගෙන යාමට කටයුතු කළ අතර මහල් නිවාසවල ජීවත් වෙන ජනතාවගේ ආදායම් මාර්ග දියුණු කිරීමට කටයුතු කළේය. ඔවුන් සෑම නිවාස සංකීර්ණයක්ම පාලනය කිරීමට වෙනමම නගර සභාවක් වැනි ආයතනයක් හැදූ අතර එහි මූලික වගකීම වුණේ පොදු ප්‍රදේශ නඩත්තුවයි. සෑම නිවැසියෙකුම මාසිකව නියමිත නඩත්තු ගාස්තුවක් ගෙවිය යුතු අතර එම මුදල් විදුලි සෝපාන නඩත්තුවට, පින්තාරු කිරීමට සහ පිරිසිදු කිරීමට යොදා ගැනුණි.

සෑම වසර 7කට වරක්ම සම්පූර්ණ ගොඩනැගිල්ල නැවත පින්තාරු කිරීම සහ බාහිර අලුත්වැඩියාව සිදුවන අතර සෑම වසර 15කට වරක්ම විදුලි සෝපාන පද්ධති සම්පූර්ණයෙන් මාරු කිරීම හෝ නවීකරණය කිරීම සිදුකරයි. මෙම බොහෝ නිවාස සංකීර්ණවල කුණු බාල්දි පාරේ තැබීමක් සිදු නොවන අතර, නිවැසියන්ට තිබෙන්නේ තම නිවසේ ඇති කුණු, නිවසේම කොනක ඇති විවරයට දමන්නට ය. එවිට ඒවා පහළට වැටී මධ්‍යම කුණු එකතු කිරීමේ මධ්‍යස්ථානයකට එකතුවෙයි. එසේ එකතුවෙන කුණු නිරන්තරව ප්‍රතිචක්‍රීකරණ මෝල් තුළට රැගෙන යන අතර එමගින් ඔවුන් බොහෝ දේවල් නිෂ්පාදනය කරයි.

පිරිසිදුකම සම්බන්ධයෙන් සිංගප්පූරුව ඉතා දැඩිව කටයුතු කරන අතර විදුලි සෝපාන තුළ යමෙකු මුත්‍රා කළහොත්, හෝ යමෙක් මහල් නිවාසවලින් පාරට කුණු දැමුවොත් හෝ ඒවා සීසීටීවී කැමරා හරහා හඳුනා ගෙන වැරදිකරුවන්ට අධික දඩ මුදල් පැනවීම හෝ සේවා නියෝග ක්‍රියාත්මක කිරීම සිදුකරයි. මෙම නීති පද්ධතිය රට තුළ මේ වනවිට කිසිදු නැමීමක් නොමැතිව බොහෝ කාලයක් සැමට එක සේ ක්‍රියාත්මක වී තිබෙන නිසා දැන් මිනිසුන් වැරදි කරන්නේ නැත. දැන් ඔවුන්ගේ ඇඟට පිරිසිදුකම නිරායාසයෙන් පැමිණ ඇත. අනෙක් පැත්තෙන් ඔවුන් කුඩා කල සිටම දරුවන්ට මහල් නිවාස පිරිසිදුව තබාගැනීමේ වැදගත්කම උගන්වනු ලැබේ. මහල් නිවාසය කොන්ක්‍රීට් වනාන්තරයක් නොවීමට රජය වගබලා ගන්නා අතර ඔවුන් ගොඩනැගිලි මතුපිට සහ බැල්කනිවල පැළෑටි වගා කිරීමට මහල් නිවැසියන් දිරිමත් කරයි. මෙවැනි ක්‍රම පද්ධතියක් සහ නිසි නීතීන් ක්‍රියාත්මක නොකරන තාක් අපිට අපායට නොදෙවෙනි මහල් නිවාස ලැබෙනු ඇත..!

කේ. සංජීව
හේෂාර සේනාල් සෝමරත්න

මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍ය අනුග්‍රහය මතය. මෙය කියවන ඔබට අපට යම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වන්නට අවැසි බව හැඟෙන්නේ නම් පහත සබැඳියෙන් ඒ සඳහා පිවිස අපහට උදව් කළ හැකිය.
This website is sustained by the financial support of our readers. If you feel that the work we do is worth supporting, you can make a financial contribution through the link below. Your support will help us continue our work.

buymeacoffee.com/knews.lk

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...