අප ජීවත් වෙන කොළඹ ගාල්ල රත්නපුරය වැනි තෙත් කලාපයට ඉදහිටක වැස්සක් දෙකක් වැටෙයි. ආයෙත් ගිනි ගහන රස්නය. රාත්රියටනම් විදුලි පංකාවක් යට උනත් හරිම අමාරු ඉන්න. තෙත් කලාපයේ අපිට මෙහෙම යාන්තම් හෝ සුවයක් තිබ්බත් වියළි කලාපයේ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරෙමින් තමයි තිබෙන්නේ.
මිනිස්සුන්ටත් සතුන්ටත් එක වගේම වතුර සොයාගෙන යන්න වෙලා. සමහරුන් සිඳිලා ගිය වැව් හාරනවා තවත් අය රජයේ වතුර බවුසරය එනකම් බලාගෙන ඉන්නවා. යාල කුමන වගේ කෑලෑ කොන්ක්‍රීට් පොකුණුවලටත් බොහෝම අමාරුවෙන් වතුර පුරවන්න බලධාරීන් කටයුතු කරමින් සිටිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ප්‍රධාන ජලාශවල සමස්ත ජල ගබඩාව මේ වෙනකොට සිය ධාරිතාවෙන් තුනෙන් එකකට ආසන්න මට්ටමකට පහළට ගිලිලා. වැව් ඉවුරු ආසන්නය උඩට මතුවෙලා.

අපදා කළමනාකරණය කියන්නේ කුමක්ද?
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ මොහොතේ මේ කාලගුණ තත්ත්වය අපිට උරුම කරමින් සිටින විපත්තියට ප්‍රතිචාර දක්වමින් සිටිනවා. ඔවුන් සැප්තැම්බර් 8 නිල වාර්තාවක් එළියට දාලා කියනවා දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක පවුල් 35,169කට අයත් පුද්ගලයන් 115,586 දෙනෙක් වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිනවා කියලා. වාර්තාවට අනුව මොනරාගල පුද්ගලයන් 41,360ක්ද, මඩකලපුව 33,394ක්ද, බදුල්ල 20,418ක්ද මේ විදිහට වතුර නැතිව පීඩනයට පත්වෙලා. මේ දිස්ත්‍රික්ක වලට අමතරව අම්පාර, පොළොන්නරුව, රත්නපුර, අනුරාධපුරය වගේ දිස්ත්‍රික්ක වලටත් මේ වෙනකොට මේ වියළි කාලගුණය දැනෙන්න අරගෙන. මම මුලින් කිව්වා රත්නපුරේටත් විටින් විට වහිනවා කියලා ඒත් වියලි කලාපයට මායිම් වෙන අන්තයට මේ ප්රශ්නය වැඩි වෙමින් තිබෙනවා. ඇඹිලිපිටිය බලංගොඩ වගේ සීමාවන් වියළි කාලගුණයට ගොදුරු වෙමින් ඉන්නවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව එම දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන ජලාශ 74ක ජල ගබඩාව සමස්ත ධාරිතාවෙන් 34%ක් වෙනකම් පහළ ගිහිං. ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරන ආකාරයට අම්පාර ප්‍රධාන ජලාශ නවයේ ජල ගබඩාව 22%කින් විතර අඩුවෙලා. මඩකලපුවේ 25%කින්, ත්‍රිකුණාමලයේ 26%කින් අඩු වෙලා. මේ වාර්තාව කියන විදිහට කුඩා වැව් 170ක් සම්පූර්ණයෙන් ම වියළී ගොස් අවසන්. ඉතිං හිතාගන්න වියළි කාලගුණයේ තත්ත්වය.

වැසි වැටුණත් ජල හිඟය පවතින්නේ ඇයි?
අපි දැනට මාස ගාණක ඉදලා එල්-නීනෝ තත්ත්වයක් ගැන කතාකරනවා. සූදානම් වෙනවා. මේක හරි අමුතු තත්ත්වයක්. සමහර ප්‍රදේශවලට හිටි අඩියේම වහිනවා. තවත් ප්‍රදේශයකට ගිනි ගන්න පායනවා. පහුගිය දවස්වල බදුල්ලෙන් මිලිමීටර් 40ක විතර වර්ෂාපතනයක්, අම්පාර සහ මඩකලපුවේ ස්ථාන රැසකින් මිලිමීටර් 25–30ත් අතර වර්ෂාපතනයක් වාර්තා වෙලා තිබුණා. මෙහෙම වැසි වැටුණට ප්‍රධාන ගංගා හා ජලාශවල සැලකිය යුතු ජල ඉහළ යාමක් නෑ. එක් වැස්සකින් තාවකාලික සහනයක් ලැබුණත් පස, භූගත ජලය සහ ගංගා යථා තත්ත්වයට පැමිණීමට අඛණ්ඩ වැසි අවශ්‍යයි. ඒ නිසා මේ තත්ත්වය ටිකක් බයානකයි.
රජය කියන විදිහට ඔවුන් මේ වෙනකොට පවුල් 34,628ක පුද්ගලයන් 113,406කට පානීය ජලය බෙදාහැරීමට කටයුතු ආරම්භ කරලා තිබෙනවා. අපි මෙහෙම වතුර බොන්න කොහොමහරි බවුසරයකින් හෝ ගෙන්න ගත්තා කියමු නමුත් වන සතුන්ගේ තත්ත්වය කොහොම වෙන්න පුළුවන්ද?

වන අලි වතුර සොයා ගම්වදී
වනජීවී සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ අනතුරු අඟවන්නේ, ආහාර හා ජලය සොයා වන අලි ජනාවාස ආසන්නයට පැමිණීමේ හැකියාව වෙනදට වඩා වැඩි වෙන්න පුළුවන් කියලා මේ වියළි කාලගුණය එක්ක. ඔහු රාත්‍රියේ එහාමෙහා යනකොට සැලකිල්ලෙන් යන්න කියලා අලි මිනිස් ගැටුම උග්‍ර ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අලි–මිනිස් ගැටුම නියඟයෙන් පමණක් උපදින ගැටලුවක් නොවෙයි. ඒක අපි දන්නවා. ඒ ගැටුමට හේතුවත් අපිමයි. හැබැයි මේ වියළි කාලගුණය සහ වතුර හිඟය මේ ගැටුම දෙගුණ තෙගුණ කරන්න පුළුවන්.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සැප්තැම්බර් 3 නිකුත් කළ නිවේදනය අනුව, එල් නිනෝ තත්ත්වය ස්ථාපිත වෙලා තිබෙනවා. මෙය ඉදිරි මාසවලදී ඉතා ප්‍රබල වීමට අපේක්ෂිතයි. අන්න එතන තමයි තත්ත්වයේ බරපතළකම තිබෙන්නේ. මේ තත්ත්වය 2027 පෙබරවාරි දක්වා පැවතීමේ සම්භාවිතාව ආසන්න වශයෙන් 100%ක් බව තමයි මේ සංවිධානය කියන්නේ.
සමහර පර්යේෂකයන් කියන විදිහට එල් නිනෝ සහ ඉන්දියානු සාගර ද්විධ්රැවයේ ධන අවධිය එක්ක ශ්‍රී ලංකාවට මහ කන්නයේදී වැසි වැඩිවීමේ සම්බාවිතාවක් තිබෙනවා. ඒක සැනසුමට කාරණයක්. ඒත් ඉතිං ඒක සෑම වසරකම එකසේ ක්‍රියාත්මක වෙයි කියලා සහතිකයක් දෙන්න බෑ. ඕනෑම තත්ත්වයකට මුහුන දෙන්න සූදානම් වීම තමයි අපි කරන්න ඕනෑ.ඔක්තෝබර් සහ නොවැම්බර් ටිකක් වැඩියෙන් වැසි බලාපොරොත්තු වෙනවා කියලා බලධාරීන් කියනවා.
ඒත් ඉතිං වැසි නොවැටුණොත් අපි මොකද කරන්නේ? අන්න එතන තමයි ප්රශ්නය තිබෙන්නේ.. ඒනිසා මේ ප්රශ්නය අපිට තවදුරටත් සැහැල්ලුවක් නෙවෙයි..







