නූතන පාපන්දු ලෝකයේ සහාසිකම ප්‍රහාරකයා තමන් බව අද (6) උදෑසන එර්ලින්ග් බ්‍රවුට් හාලන්ඩ් සපථ කළේය. වයිකින් අනුරාගය දරාගෙන අසීමිත ශාරීරික ශක්තියක් සමඟ විශිෂ්ට වේගයකින් ක්‍රියාත්මක වෙන මේ සහාසික ප්‍රහාරකයා තමන් වෙත පැමිණෙන පාපන්දුව ගෝලය තුළට විදින්නට ගන්නා වෙහෙස මහන්සිය ලස්සනය. බලා ඉන්නට ආසාකරන පාපන්දු සවුන්දර්‍යක් එහි වෙයි.
මම සාමාන්‍යයෙන් යුරෝපීය පාපන්දු විලාසයට කැමති කෙනෙක් ය. මගේ වැඩිම ආසාව තිබෙන්නේ ජර්මානුවන් සෙල්ලම් කරන ආකාරය දෙස බලා සිටින්නට ය. ඒ පාපන්දු විලාසය අපිට මෙවර ලෝක කුසලානයෙන් තවදුරටත් දකින්නට වරම් නැත. ඉන්පසුව ප්‍රංසයට ආදරය කළ මම දැන් නෝර්වේ කණ්ඩායම දෙස ආශාවෙන් බලා සිටින්නෙමි. ඒ අන් කිසිවෙක් නිසා නොව මේ සහාසිකයා නිසා ය. ඔහු ලෝකයේ හොඳම ස්ට්‍රයිකර්වරුන් අතර දැන් ඉන්න ගෝඩ්ෆාදරයා ය. එය අද බ්‍රසීල තරඟයේදි ඔහු හොඳටම පෙන්වීය..

වයිකින්වරයෙකුගේ බාල කාලය
එර්ලින්ග් බ්‍රවුට් හාලන්ඩ් නම් මේ සහාසික ප්‍රහාරකයා 2000 ඉපදුන පොඩි එකෙක් ය. මටත් වඩා අවුරුදු 8කට පස්සේ මේ ලෝකෙට ආ මේ හාදයා එංගලන්තයේ ලීඩ්ස් නගරයේ උපත ලැබීය.
එම කාලයේදී ඔහුගේ පියා එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටි නිසා ඔහු එංගලන්තයේ උපත ලැබුවත් ඔවුන් සිය පවුලම පසුව තම වයිකින් දේශය නෝර්වේ වෙත ගොස් ඇත. කුඩා වියේ සිටම ක්‍රීඩාවට දැඩි උනන්දුවක් දැක්වූ සහාසික ප්‍රහාරකයා පාපන්දු පමණක් නොව, මලල ක්‍රීඩා ඉසව්වලද ඌරෙක් මෙන් දැඟලූ ශක්තිවන්තයෙක් බව කියවෙයි.
හාලන්ඩ්ගේ පියා ඇල්ෆ්-ඉන්ගේ හාලන්ඩ් හිටපු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් ය. ඔහු ලීඩ්ස් යුනයිටඩ්, නොටින්හැම් ෆොරස්ට් සහ මැන්චෙස්ටර් සිටි වගේ යුරෝපයේ නමගිය ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කර ඇත. මව ග්‍රයි මැරිටා බ්‍රවුට් නෝර්වේ ජාතික මට්ටමේ හෙප්ටැත්ලෝන් ක්‍රීඩිකාවක් වූවාය.
ඉතිං මේ සහාසිකයාගේ නිර්මානය ජානමය නිර්මානයක් ය. ඔහු පවුලෙන්ම කරදර කාරයෙක් ය.
හාලන්ඩ්ගේ පාපන්දු සවාරිය
හාලන්ඩ්ගේ පාපන්දු සවුන්දර්‍ය චාරිකාව ආරම්භ වන්නේ නෝර්වේහි බ්‍රයිනේ සමාජයෙනි. එහි තරුණ කණ්ඩායම්වලින් දක්ෂතා දැක්වූ ඔහු පසුව ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට එක්විය.
ඉන්පසුව මේ සහාසිකයා නෝර්වේහි මෝල්ඩේ සමාජයට එකතුවී එහි පුහුණුකරු ලෙස කටයුතු කළ ඔලේ ගුන්නාර් සෝල්ෂයාර් ගෙන් තම ජානමය හැකියාවන්වලට තවත් ගොඩක් දේ එකතු කරගෙන ඇත. මේ සහාසික ප්‍රහාරකයා ගැන යුරෝපය දැනගන්නේ මේ කාලයෙන් ය.
2019දී ඔස්ට්‍රියාවේ රෙඩ් බුල් සල්ස්බර්ග් සමාජයට එක්වෙන මේ සහාසික ප්‍රහාරකයා තමන්ගේ නම ඉස්සරහා පාපන්දු දක්ෂතා කප්පරක් ලියාගන්නට පටන් ගනී. UEFA චැම්පියන්ස් ලීග් තරගාවලිය අස්සේ කැපී පෙනෙන කරදරකාරයෙක් වුණ මේ පාපන්දු මෝල්කාරයා විශිෂ්ට විදිහට පාපන්දුව ගෝලය අස්සට විදිමින් යුරෝපයේ අවධානය විතරක් නෙවෙයි පාපන්දු ලෝකයේම අවධානය තමන් වෙත හරවාගෙන ඇත.
2020දී ජර්මනියේ බොරූසියා ඩෝට්මන්ඩ් සමාජයට එකවන මේ සහාසික ප්‍රහාරකයා බුන්ඩෙස්ලිගා තරගාවලියේ ගෝල වැසි වස්සනු ලැබූ වැහි දේවතාවෙක් විය. වේගය, ශක්තිය විතරක් නොව ඔලුවද හොඳට තිබෙන බව පෙන්නපු මේ තරුණයා මේ කාලයේ යුරෝපයේ හොඳම තරුණ ප්‍රහාරකයා විදිහට නමක් දිනාගන්නට සමත්විය.
අන්න ඒ නමත් සමඟ ලොකු මුදලකට 2022 වසරේදී මැන්චෙස්ටර් සිටි සමාජයට විකිණෙන මේ සහාසික විදින්නා සිය පළමුම ප්‍රිමියර් ලීග් තරඟ සමයේදී ම පිස්සු හැදෙන ගෝල 36ක් ලබා නව වාර්තාවක් එක්ක ගෝල්ඩන් බූට් සම්මානය දිනාගත්තේය.
මේ තරුණ සහාසිකයා තමන් සතු තරුණ ෆුට්බෝල් මදයෙන් ද මොළයෙන් ද වයිකින් ජාන ශක්තියෙන්ද යුරෝපයේ පාපන්දුව සොලවාලමින් මේ සමයේදීම මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට ප්‍රිමියර් ලීග්, FA කුසලානය සහ UEFA චැම්පියන්ස් ලීග් ජයගන්නට ඉඩකඩ හදලා දුන්නේ ය.

නෝර්වේ ජාතික කණ්ඩායමට එන සහාසිකයා
වයස 15 වෙනකොටත් නෝර්වේ හි ජනප්‍රිය වූ මේ සහාසික ප්‍රහාරකයා ගෝල විදින්නා වයස අවුරුදු 20ට පෙර ජාතික කණ්ඩායමේ ප්‍රධාන ප්‍රහාරකයා බවට පත්වීම අරුමයක් වන්නට විදිහක් නැත. ඔහු නෝර්වේ පාපන්දු ඉතිහාසය අලුතින්ම ලීවේ වේගයෙන්ම ගෝල රැස් කළ ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන්ම සිටිමින් ය.
හාලන්ඩ්ගේ වෘත්තීය පාපන්දු ජීවිතය එසේ මෙසේ එකක් නොවෙන බව ඔහුගේ නම ඉස්සරැහින් ලියවී තිබෙන වාර්තාවන් කියයි. මේ යක්ෂයා ජයගත් ප්‍රධාන සම්මාන අතර ප්‍රිමියර් ලීග් ශූරතාව, UEFA චැම්පියන්ස් ලීග් ශූරතාව, FA කුසලානය, UEFA සුපර් කුසලානය, FIFA Club World Cup ශූරතාව, ප්‍රිමියර් ලීග් ගෝල්ඩන් බූට් සම්මාන, යුරෝපීය ගෝල්ඩන් ෂූ සම්මානය සහ විවිධ වසරවල ලෝක හොඳම ක්‍රීඩකයා සඳහා වන සම්මාන නාමයෝජනා තිබෙයි.
2026 ලෝක කුසලානය සම්ප්‍රාප්තිය
මෙසී, එම්බාප්පේ, ලමීන් යමාල් වගේ පාපන්දු තරු ගැන ලෝකය ගොඩාක් කතාකරන විට උත්තර ධැවයෙන් පායා නිවි නිවී දැල් වෙමින් හිටි මේ තාරුකාව අද වනවිට 2026 ලෝක කුසලානයේ තරු අතරේ තරුවක් වී අවසන් ය. ඔහුගේ පිටියේ හැසිරීම වගේම ගෝලයක් ලබාගත් පසුව ජයග්‍රහනය සමරණ ආකාරය වැනි ගොඩාක් දේවල් අනෙක් පාපන්දු තරු අතරින් ඔහු වෙනස් තරුවක් බව පෙන්වයි. එය සමහර විට නෝර්වීජියානු පැහැය වන්නටත් පුළුවන් ය.
අද උදෑසන බ්‍රසීලය සමඟ තරඟය ආරම්භ වෙනකොට කවුද හිතුවේ බ්‍රසීලය හඬවන්න මේ යක්ෂයාට පුළුවන් වෙයි කියලා. බුකීකරුවනුත් වැඩි බරක් තිබ්බේ බ්‍රසීලයට. බ්‍රසීලයේ පාපන්දු ඉතිහාසය ඔවුන්ගේ ප්‍රතිවාදීන් බයෙන් සලිත කරන එකක්. ඒත් හාලන්ඩ් යක්ෂයා එක්ක පිටියට බැස්ස මේ වයිකින් කණ්ඩායම මුහුදු මංකොල්ලකාරයෝ ටිකක් වගේ ලස්සනට වැඩේ කළා.

මුල් අර්ධයේ බලා ඉන්න හැඩයි කිසි කලබලයක් නෑ දරුණු සහාසිකයෙක් වගේ මයි. කැමරාවට උනත් අසුවෙනවා අඩුයි. ඒත් ඉතිං තරඟයේ 79 වෙනි මිනිත්තුවේදී මේ යක්ෂයාගේ ඔලුව වැඩ කළා. බෝලය හීයක් වගේ වේගයෙන් ගෝලය අස්සට විදලා ගියා. තරඟය එකට බිංදුවයි. මේ මොකද්ද මේ බ්‍රසීලයට වෙන්න යන්නේ කස්ටිය උඩ බිම බැලුවා. ඒ අස්සේ 90 වෙනි මිනිත්තුවේදී මේ යක්ෂයා ආයෙත් ක්‍රියාත්මක වුණා හරියටම කල් මැනලා ප්‍රතිවාදී ආරක්ෂයන් දෙදෙනෙක් මුලාකරලා එකෙක්ගේ කකුල් දෙක අස්සෙන් ගෝලයේ දකුණු කොනේ ගෑවෙන්න නොගෑවෙන්න පන්දුව විදින්න සලස්වනවා. ආයේ ඉතිං කවර කතාද? ඒ අස්සේ ඉතිං විනිසුරු තීරණයක් නිසා බ්‍රසීලයට ගෝලයක් ගහන්න පැනල්ටි අවස්ථාවක් ලැබෙනවා. බ්‍රසීල පාපන්දු පුරාවතක් වුණ නේමාර් ගෝලයක් ලබාගන්නවා. එතකොට අතිරේක කාලෙත් මිනිත්තු 10ක් ගිහිං. ආයේ හරවන්න ලේසි නෑ.
අන්තිමට වයිකින්ස්ලා 2-1 විදිහට බ්‍රසීලය පරදවලා අර්ධ අවසන් වටයට එනවා. ඒ සේරම ඉතිං මේ යක්ෂයා නිසා තමයි. මේ යක්ෂයා මේ වෙනකොට මෙවර ලෝක කුසලානයේ ගෝල 7ක් අරගෙන මෙසී, එම්බාප්පේ ගෝල්ඩන් බූට් සමාජයට එකතුවෙලා ඉන්නවා. මට නම් හිතෙන්නේ මේ යක්ෂයා මේ පාර රන් සපත්තුව දිනාගෙන තමයි මේ ගේම් එක ක්ලෝස් කරන්නේ කියලා.
කොහොමවුණත් ඉතිං මේ යක්ෂයා මේ ටීම් එක අස්සේ තනියෙන් වගේ ගහන ගේමක් තියෙන්නේ. ගෝල් රකින්නා නම් තාප්පයක් වගේ ඉදලා සහාය දෙනවා ඒත් ඉතිං මේ යක්ෂයාට අවස්ථා නිර්මානය කරලා දෙන ප්‍රමානය අඩුයි කියලා තමයි මටනම් හිතෙන්නේ. අපි බලමු ඊළඟ තරඟයේදී නෝර්වේ කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයෝ මේ යක්ෂයාට වැඩි වැඩියෙන් අවස්ථා හදලා දුන්නොත් වයිකින්ස්ලා අනිවාර්‍යයෙන් අවසන් තරඟයට යයි.
-කේ.සංජීව-






