ඥානසාර හිමිට දුන් ජනපති සමාව බලරහිත කිරීම ගැන කතාව..!

gnanasara sandhya knews

අතුරුදන් වූ සිය සැමියා වෙනුවෙන් යුක්තිය ඉල්ලා අධිකරණයට ගිය සන්ධ්‍යාවන්ගේ ගමන, අවසානයේ ජනාධිපතිවරයකුගේ සමාව දීමේ බලය ප්‍රශ්න කරන නීතිමය අරගලයක් දෙසට ද හැරුණි. ඇය එහෙමය. ඇය, ඇය ඉදිරියට පැමිණි සියලු ආකාරයේ අභියෝගවලට පෙරළා අභියෝග කළ කාන්තාවක් ය. ඒ අනුව ඇයගේ තවත් එක් අරගලයක් ජයග්‍රහණයෙන් කෙළවර වී තිබේ.

ඒ අනුව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලබා දුන් ජනාධිපති සමාවට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අද දින (සැප්තැම්බර් 10 දා) ප්‍රකාශයට පත් කළේ හිටපු ජනාධිපතිවරයාගේ තීන්දුව බලරහිත කරන බවය.

මෙම සිදුවීම කෙතරම් වැදගත්කමක් දරන්නේ ද යන්න තේරුම් ගැනීමට ජනාධිපති සමාව ලැබුණු දිනයෙන් ඔබ්බට යා යුතුය. එහි මූලය තිබෙන්නේ අතුරුදන් වූ මාධ්‍යවේදියකු වන ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ විමර්ශනය සහ එම අතුරුදන් කිරීම උදෙසා ආරම්භ වූ නඩු කටයුතුවලය. ඔබට ඔබට මෙම ලිපියට පහළින් ඇති වෙබ් සබැඳීන් හරහා ගොස් ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම පිළිබඳ සම්පූර්ණ කතාව කියවිය හැකිය.

නඩු නිමිත්ත

ඒ අනුව ඥානසාර හිමියන්ට එරෙහි අධිකරණ අපහාස නඩුවට පදනම සැකසුණේ 2016 ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදීය. එදින ප්‍රගීත් එක්නැගොඩගේ අතුරුදන්වීම සම්බන්ධ නඩු කටයුත්ත පැවැත්වෙද්දී, සැකකාර හමුදා බුද්ධි අංශ සාමාජිකයන් රඳවා තැබීමට විරෝධය දක්වමින් ඥානසාර හිමියන් අධිකරණය තුළ කලහකාරී ලෙස හැසිරෙමින් සන්ධ්‍යා එක්නැලිගොඩට අපහාස කර තිබුණි. එවක මහේස්ත්‍රාත් රංග දිසානායක, එම හැසිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ අවධානය යොමු කළේය. පසුව එම භික්ෂුවට එරෙහිව අධිකරණයට අපහාස කිරීම පිළිබඳ චෝදනා හතරක් යටතේ නඩු විභාගයක් පැවැත්විණි.

මෙහිදී ඥානසාර භික්ෂුවගේ පාර්ශ්වය කියා සිටියේ අධිකරණය, විනිසුරුවරයා හෝ රජයේ නීතිඥවරයා අපකීර්තියට පත්කිරීමේ චේතනාවක් එහි නොතිබූ බවය. එහෙත් සාක්ෂි සමස්තයක් ලෙස සලකා බැලූ අභියාචනාධිකරණය, අදාළ ප්‍රකාශ මහේස්ත්‍රාත්වරයාගේ අවසරයකින් තොරව හිතාමතා සිදුකර ඇති බව නිගමනය කරමින් අධිකරණවලට බියගැන්වීම් සහ අනිසි බලපෑම්වලින් තොරව යුක්තිය පසිඳලීමට හැකි විය යුතු බව අවධාරණය කරමින් තීන්දුව ලබා දී ඇත.

ඒ අනුව 2018 අගෝස්තු 8 වැනිදා, ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ ඥානසාර භික්ෂුව චෝදනා හතරටම වරදකරු බවය. පළමු සහ දෙවැනි චෝදනාවලට වසර හතර බැගින්ද, තෙවැනි චෝදනාවට වසර හයක්ද, සිව්වැනි චෝදනාවට වසර පහක්ද ලෙස බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය. ඒ අනුව එකතුව වසර 19ක් වුවත්, දඬුවම් එකවර ක්‍රියාත්මක වීමට නියම කළ බැවින් ගෙවිය යුතු සිරදඬුවම් කාලය වසර හයක් විය.

මෙහිදී අවධාරණය කළ යුතු තවත් කරුණක් තිබේ. මෙම සිදුවීමටම අදාළව සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සම්බන්ධයෙන් තවත් නඩුවක් විභාගයට ගත් අතර එය විභාගයට ගත් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය 2018 ජූනි 14 වැනිදා ඥානසාර හිමියන්ට මාස හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය. එය අගෝස්තුවේ නියම වූ වසර හයක අධිකරණයට අපහාස කිරීම වෙනුවෙන් පැනවූ දඬුවමට අදාළ නඩුවෙන් වෙනස්ය. එකම සිද්ධිය පසුබිම් කරගනිමින් මෙම නඩු කටයුතු දෙකම ඇරඹුණත් මෙය නඩු දෙකක් බව අප අමතක නොකළ යුතුය.

වසර හයක දඬුවමට එරෙහිව ඥානසාර භික්ෂුව අභියාචනා කළ අතර 2018 ඔක්තෝබර් 5 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක බහුතර තීරණයෙන් එම භික්ෂුවගේ එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය. ඒ අනුව ජනාධිපති සමාව ලබා දෙන අවස්ථාව වන විට, දඬුවමට එරෙහිව ඉහළ අධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනයද ඉවත විසි වී තිබුණි. ඒ අනුව අවසානයේ එම භික්ෂුවට එරෙහි දඬුවම ස්ථිර දඬුවමක් වී තිබුණි.

ජනාධිපති සමාව දීම

එසේ තිබියදී 2019 මැයි 23 වැනිදා ඥානසාර භික්ෂුව වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් විය. එදින එම නිදහස පිළිබඳව අදහස් දක්වමින් එවක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ අත්සන සහිත, පූර්ණ සමාව ලබා දෙන ලිපිය තමන් වෙත ලැබුණු බවය. ඒ වන විට වසර හයක සිරදඬුවම ආරම්භ වී ගත වී තිබුණේ මාස දහයකටත් අඩු කාලයක් බව අප අමතක නොකළ යුතුය.

මෙම නිදහස් කිරීම සිදුවූයේ ආගමික හා දේශපාලන බලපෑම් මධ්‍යයේය. එවක ප්‍රබල දේශපාලකයෙක් වූ විජයදාස රාජපක්ෂ ඇතුළු බොහෝ දේශපාලනඥයන් මෙම භික්ෂුවට සමාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි. එහෙත් කෙනකු නිදහස් කරන්නැයි ඉල්ලීමක් කර තිබීමම මෙවැනි නිදහස ලබා දීමකට හේතුවක් නොවෙන බව මේ වන විට නඩු තීන්දු දෙක තුනකම ලියවී ඇත. එම ඉල්ලීම පිළිගැනීමට සාධාරණ නීතිමය පදනමක් තිබීම වෙන වෙනම විමසිය යුතු කරුණුය. සමාවට එරෙහි විවාදයේ කේන්ද්‍රය වූයේ එම පදනම මහජනතාවට සහ අධිකරණයට පැහැදිලි කළ හැකිද යන්නයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය 2019 මැයි 24 වැනිදා නිකුත් කළ ප්‍රකාශයෙන් මෙම සමාව ප්‍රදානය දැඩිව ප්‍රශ්න කළේය. එහි ස්ථාවරය වූයේ සාධාරණ නඩු විභාගයකින් වරදකරු කරනු ලැබූ පුද්ගලයකු දේශපාලන අභිලාෂයන් සහ සලකා බැලීම් මත නිදහස් කිරීම, අධිකරණ ක්‍රියාවලියට අනිසි මැදිහත්වීමක් බවය. විශේෂයෙන් ඇතැම් පුද්ගල කණ්ඩායම් නීතියට අවනත වීමේදී විශේෂ වරප්‍රසාද ලබන බවට සංඥාවක් මෙවැනි තීරණ හමුවේ ලැබෙන බව ඔවුන් එහිදී අවධාරණය කළේය.

මූලික අයිතිවාසිකම් නඩු පැවරීම

ඒ අනුව සන්ධ්‍යා එක්නැලිගොඩ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරමින් මෙම විවාදය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන ගියේය. 2023 ඔක්තෝබර් 4 වැනිදා අධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව යටතේ එම පෙත්සම් විභාගයට අවසර දුන් අතර එම ව්‍යවස්ථාවෙන් සහතික කෙරෙන්නේ නීතිය ඉදිරියේ සමානත්වය සහ නීතියේ සමාන ආරක්ෂාවයි. ඒ අනුව මෙම පෙත්සම්වල විෂය වූයේ ජනාධිපති තීරණයකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබේද යන්නයි.

එම අවස්ථාවේදී සමාවට අදාළ ලේඛන සති හයක් තුළ ඉදිරිපත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට නියෝග කෙරුණු අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් තර්ක කළේ ජනාධිපති සමාව අධිකරණ පරීක්ෂාවට ලක් කළ හැකි බවත්, එය සාධාරණත්වය සහ මහජන යහපත මත පදනම් විය යුතු බවත්ය. සමාව ලබා දුන් ක්‍රියාවලිය පිළිබඳ විනිවිදභාවයක් හා තීරණයට හේතු දැක්වීමක් නොතිබූ බවට ද ඔවුහු එහිදී කරුණු ඉදිරිපත් කළහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට වරදකරුවකුට සමාව දීමට, දඬුවම ක්‍රියාත්මක කිරීම කල් දැමීමට, සැහැල්ලු දඬුවමක් ආදේශ කිරීමට හෝ දඬුවමේ කොටසක් ඉවත් කිරීමට බලය පවරයි. එබැවින් සමාව දීම ව්‍යවස්ථාව පිළිගත් රාජ්‍ය කාර්යයකි. එහෙත් එම බලය ක්‍රියාත්මක කරන ආකාරය ද ව්‍යවස්ථානුකූල විය යුතුය. බලය පැවතීමෙන් පමණක් එය භාවිත කළ සෑම අවස්ථාවක්ම නීත්‍යනුකූල වන්නේ නැත. මෙම නඩු තීන්දුවේ තර්කය එයයි.

මීට පෙර, රෝයල් පාක් ඝාතන නඩුවේ ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සිරිසේන ලබා දුන් ජනාධිපති සමාව සම්බන්ධයෙන් 2024 ජූනි 6 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ද වැදගත්ය. එහිදී ජනාධිපති සමාවට අධිකරණ පරීක්ෂාවෙන් නිදහසක් නොමැති බවත්, හේතු නොදක්වා අත්තනෝමතිකව බලය භාවිත කිරීම, නීතියේ සමාන ආරක්ෂාවට පටහැනි විය හැකි බවත් පැහැදිලි කෙරිණි. එහිදී රාජ්‍ය බලය මහජනතාව වෙනුවෙන් භාරයේ දරන බලයක් යන මූලධර්මය අවධාරණය කෙරුණි. ඒ අනුව එම සමාව දීමද බලරහිත කෙරුණු අතර ඒ වන විට එම පුද්ගලයා රටින් පළා ගොස් තිබුණි. මෙම සිදුවීමට අදාළව අතුරලියේ රතන නම් භික්ෂුවකගේ ද නමක් ගෑවී ඇති අතර මෙම සමාව දීම අභ්‍යන්තරයේ විශාල මුදලක් සංසරණය වී ඇති බවද කියවෙයි. එනිසා මෙම තීන්දුව ලබා දීම පිළිබඳව අල්ලස් කොමිසම වෙනමම විමර්ශනයක් කළ යුතුය.

දැන් අප ඥානසාර භික්ෂුවගේ මෙම සිදුවීම මෙන්න මේ පුළුල් පසුබිම තුළ තබා කියවිය යුතුය. අධිකරණයට පැමිණෙන පුරවැසියාට තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ආරක්ෂිත අවකාශයක් තිබිය යුතුය. විනිසුරුවරයාටත් නීතිඥවරයාටත් බලපෑම්වලින් තොරව තම කාර්යය ඉටු කළ හැකි විය යුතුය. ඒ ආරක්ෂාව බිඳවැටෙන තැන, ලේඛනවල ලියා ඇති අයිතිවාසිකම් ප්‍රායෝගිකව භාවිත කිරීම දුෂ්කර වෙනු ඇත.

සන්ධ්‍යාවන්ගේ අරගලයේ විශේෂත්වය තිබෙන්නේ ද එතැනයි. ඇය සිය සැමියාට සිදුවූයේ කුමක්දැයි විමසන අතරම, එම විමසීමේ ගමනේදී තමන්ට එල්ල වූ තර්ජනවලට එරෙහිව ද ඇය නීතියේ පිහිට සෙවීය. ඇය නිරන්තරව නීතිය විශ්වාස කරමින් තමන්ගේ අරගලය නීතිය ඉදිරියේ සංයමයෙන් යුතුව ගෙන ගියාය. ඇයට සමාජයේ බහුතරයෙන් හැම විටම එල්ල වූයේ අපහාසයයි. උපහාසයයි. ඥානසාර භික්ෂුවගේ අධිකරණය ඇතුළත හැසිරීම එය නම් මුළු සමාජයක් මේ ගැහැනියට සලකපු ආකාරය ගැන ඔබට මා අලුතින් කියන්නට දෙයක් නැත.

ඒ අනුව මෙම නඩු තීන්දුව අගය කළ යුතු නඩු තීන්දුවක් ය. අධිකරණයේ ආරක්ෂාව සොයන පුද්ගලයකුගේ හඬ, බලවත් පුද්ගලයකුගේ දේශපාලන හෝ ආගමික බලපෑම හමුවේ දුර්වල නොවිය යුතුය. ජනාධිපතිවරයාගේ අත්සනින් ගන්නා තීරණයක් වුවද නීතිය හමුවේ සාධාරණීකරණය කළ හැකි විය යුතුය. සන්ධ්‍යා එක්නැලිගොඩගේ ගමන, එම වගවීම ඉල්ලා සිටීමට පුරවැසියකු සතු අයිතිය පිළිබඳ ප්‍රබල සිහිගැන්වීමක් බව කිය යුතුය.

– කේ. සංජීව –

ප්‍රගීත් අතුරුදන් කළ කතාව මුල සිට – 01 – https://knews.lk/prageeth-eknaligoda-disappearance-investigation-part-01/

ප්‍රගීත් අතුරුදන් කළ කතාව මුල සිට – 02 – https://knews.lk/prageeth-eknaligoda-disappearance-investigation-part-02/

ප්‍රගීත් අතුරුදන් කළ කතාව මුල සිට – 03 – https://knews.lk/prageeth-eknaligoda-disappearance-final-part/

මෙම වෙබ් අඩවිය පත්වාගෙන යන්නේ ඔබගේ මූල්‍යමය සහාය මතය. ඔබට අපහට යම් මූල්‍යමය සහායක් ලබාදෙන්නට සිතෙනවා නම් එයට පහත සබැඳිය හරහා පිවිසෙන්න. https://buymeacoffee.com/knews.lk

පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට යම් අපහසුතාවක් පැනනඟින්නේ නම් ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමට එම පාර්ශවයට සම්පූර්ණ අයිතිය පවතී. එමෙන්ම මෙම වෙබ් අවකාශයේ පළවෙන යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම් එයද ඔබට වහාම අපට දැනුම් දිය හැකිය.

www.knews.lk අප මාධ්‍ය ආචාරධර්මයන්වලට ගෞරව කරමින් එම ආචාරධර්මයන්ට අනුගත වෙමින් කටයුතු කරන වෙබ් අඩවියක් වන අතර ඒ අනුව අප නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටී.

ඔබගේ අදහස් යෝජනා චෝදනා නිවැරදි කිරීම් සියල්ල පහත ඊමේල් ලිපිනයට එවන්න..

ඊමේල් – editor@knews.lk

නවතම පුවත්

23,270ක් වූ චෝදනා, විත්තිකරුවන් 24ක් — පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා උදෑසන කියලා කියන්නේ මේ ලියුම්කරුට කිසිදා අමතක නොවෙන දවසක්. ලියුම්කරු එදින පහන් කරේ මීගමුවට ආසන්න කටාන ප්‍රදේශයේ. මීගමුව කටාන මාර්ගයෙන් හැරිලා කටුවාපිටිය සෙන්සෙබෙස්තියන්...

බැසිල් කුදලන් එයිද?

ඔන්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත්වෙලා. මෙවර කතාව බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් බ්ලූ නෝටිස් එකක් ගත්තා කියන එක ගැන. බැසිල් රාජපක්ෂ මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ...

අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීමට ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද?

වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම වී සිටි ශ්‍රී ලාංකික සිවරාසා අනෝජන්ගේ දඬුවම අඩු කරගැනීම සඳහා ඉදිරිපත් කළ අභියාචනය අවසානයේ මරණ දඬුවමක් දක්වා ගියේ කෙසේද? අභියාචනය සාර්ථක වීමේ...