K News

Trending Now

ජවිපේ දළදා මාළිගාවට ගැහුවද? නැද්ද? සත්‍ය කතාව

jvp dalada maligawa attack 1989 knews

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රහාරය සිදුවූයේ දළදා වහන්සේ පැහැර ගැනීමට නොව පොලිස් මුරපොළවල් 5කට ප්‍රහාරයක් එල්ල කර ආයුධ පැහැර ගැනීමටය. මේ පිළිබඳ සොයා බැලීමට මම මෙයට වසර 20කට පමණ පෙර දළදා මාලිගා ප්‍රහාරයට සම්බන්ධ වීමේදී එම ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පැවරූ තිදෙනාම නුවරට ගොස් හමුවීමි. එමෙන්ම නඩුව විභාග කළ නුවර මහාධිකරණ විනිසුරු නිශ්ශංක උදලාගම (එවකට විශ්‍රාමික) සහ ආරක්ෂක අංශයේ පාර්ශ්වයන් ද ප්‍රහාරයට එක්වී එයට හසුනොවූ කැරලිකරුවන් කිහිපදෙනෙකු සමඟ ද සාකච්ඡා කළෙමි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් මුරපොළවල් 5කට ප්‍රහාරයක් එල්ල වූයේ 1989 පෙබරවාරි 8 දාය.

ජවිපෙ 2 වැනි කැරැල්ලේදී මහනුවර දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාස ජවිපෙ මඟින් කලාප 8කට බෙදා තිබිණි. ඒ වත්තේගම (පාතදුම්බර, වත්තේගම, පන්විල සහ අලවතුගොඩ), උඩුදුම්බර (රංගල, උඩුදුම්බර, තෙල්දෙණිය, මාදුගොඩ සහ හසලක), කුණ්ඩසාලේ (මැණික්හින්න සහ කුණ්ඩසාලේ/පල්ලෙකැලේ), මහනුවර (කටුගස්තොට සහ නුවර), හාරිස්පත්තුව (හාරිස්පත්තුව, අංකුඹුර සහ ගලගෙදර), නාවලපිටිය (ගම්පොළ, නාවලපිටිය සහ පුස්සැල්ලාව), යටිනුවර (පේරාදෙණිය, දවුලගල, කඩුගන්නාව) සහ හේවාහැට (තලාතුඔය සහ හඟුරන්කෙත කොටසක්) වශයෙනි.

කැරැල්ලේ ප්‍රබලතම කලාපය වූ කුණ්ඩසාලේ

මින් කැරැල්ල සඳහා වැඩිම පූර්ණකාලීනයින් පිරිසක් බිහිවූයේ කුණ්ඩසාලේ කලාපයෙනි. 1989 අගෝස්තු වන විට නුවර දිස්ත්‍රික්කයේ පමණක් පූර්ණකාලීනයින් 425ක් සිටි අතර ඉන් 62ක් කාන්තාවන්ය. ජවිපෙ ක්‍රියාත්මක වූ දිස්ත්‍රික්ක අතරින් වැඩිම තුවක්කු ප්‍රමාණයක් එකතු කර ගැනීමට හැකිවූයේ ද මහනුවර දිස්ත්‍රික්කයෙනි. ඉන් බොහොමයක් තුවක්කු රටේ අනෙකුත් ස්ථානවලට බෙදා හරින ලදී. ජවිපෙ සම්බන්ධීකරණ කාර්යාල ක්‍රියාත්මක වූයේ උඩපේරාදෙණියේ සහ ගම්පොළ පාරේ අඟුනාවල කුලියට ගත් නිවාසයන්හිදීය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් මුරපොළවල් 5කට 1989 පෙබරවාරි 8 ප්‍රහාරයක් එල්ල කළ ජවිපෙ 2 වැනි කැරැල්ලේ කණ්ඩායම් 5කට අයත් කැරලිකරුවන් 43 දෙනෙකු ඒවායේ තිබූ ටී-81 රයිෆල් ගිනි අවි 9ක් සහ ටී-56 රයිෆල් ගිනි අවි 2ක් ඇතුළු ගිනි අවි 17ක් පැහැරගනු ලැබීය. මෙම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් මුරපොළවල් 5හි ප්‍රහාරය පිළිබඳ සැලසුම සඳහා සාකච්ඡාව පැවතියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු වූ දිගන කොලොන්ගහවත්තේ සිරිසේනගේ නිවසේදීය. සැලසුමේ නායකයා වූ දිස්ත්‍රික් දේශපාලන ලේකම් උපාලි ජයවීර (මානෙල්, කිංස්ලි හෙවත් නුවන් ලෙස ද හැඳින්විණි) සහ ප්‍රහාරයේ නායකයා වූ නිකවැරටියේ ප්‍රියන්ත ඇතුළු 7ක් එයට එක්ව සිටියහ.

ගිනි අවි 17ක් පැහැරගත් මෙහෙයුම

දෙදිනකට පසු දළදා මාලිගයේ පොලිස් මුරපොළවල්වලින් ආයුධ පැහැරගැනීම සිදුවූ අතර එයට එක්වූ 43න් 12ක් කාන්තාවන්ය. එම කාන්තාවන් අතර මාතලේ ගංගා, මංගලිකා, නදීකා, ලිලන්ති සහ වීරසිංහ ද විය. කැරලිකරුවන් තැබූ වෙඩි ප්‍රහාරවලින් හමුදා සෙබළ හේරත් මුදියන්සේලාගේ මුතු බංඩා, ඩිංගිත්තා හේනයලාගේ ගෙදර ප්‍රැන්සිස්ට තුවාල සිදුවිය. ටී-81 රයිෆල් 9ක් සහ ටී-56 රයිෆල් 2ක් ඇතුළු ගිනි අවි 17ක් පැහැරගනු ලැබීය. එහිදී පැහැරගත් ආයුධ රංගල මගුල්දෙණිය නිවසක සහ උපාලි නවරත්නගේ නිවසේ සඟවා තැබිණි.

එම අවි පැහැර ගැනීමේදී උඩුවෙල මොනරවිල සුදලිකාරගේ පද්මා චාන්දනී හෙවත් තනූජා, ඌරාපොල දියතලේ ගෙදර හීන්කෙන්ද මුදියන්සේලාගේ නවරත්න බණ්ඩා සහ මැණික්හින්න කෙන්ගල්ලේ තිලක් බන්දුල විජේසිරි අත්අඩංගුවට පත්විය. පන්විල රාජසිංහ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලත් බන්දුල විජේසිරි ජවිපෙට එක්වූයේ නුවර වරාපිටියේ පදිංචි කුණ්ඩසාලේ සෙනෙවිරත්න මඟිනි. පසුව ඒ පිළිබඳව මහනුවර මහාධිකරණය ඉදිරියේ මහාධිකරණ විනිසුරු නිශ්ශංක උදලාගම හමුවේ පැවති නඩු විභාගය අවසානයේ බන්දුල විජේසිරි 1994 ඔක්තෝබර් 19 නිදොස් කොට නිදහස් කරන ලදී. එයට අදාළ මහාධිකරණ නඩු තුනේ නියෝග ද ඔබගේ පරිශීලනය සඳහා මේ සමඟ යොමුකර ඇත. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රහාරය සිදුවූයේ දළදා වහන්සේ පැහැර ගැනීමට නොව පොලිස් මුරපොළවල් 5කට ප්‍රහාරයක් එල්ල කර ආයුධ පැහැර ගැනීමට බව මේ අනුව පැහැදිලිය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් මුරපොළවල් 5කට පහරදීමේ සැලසුමේ ද නායකයා වූ දිස්ත්‍රික් දේශපාලන ලේකම් උපාලි ජයවීර ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට තොරතුරක් සපයන අයෙකුට තෑගි පිරිනමන බව විජේවීර ඝාතනයෙන් පසු පොලිස් මූලස්ථානය 1989 නොවැම්බර් 28 නිවේදනය කර තිබිණි. නුවරඑළියේ හාවාඑළියේ නිවාස සංකීර්ණයකදී 1990 ජනවාරි 2 අලුයම 1.45ට උපාලි අත්අඩංගුවට ගැනුණේ නුවර හතරලියද්දේ ජවිපෙ නායකයෙකු සමඟිනි. අත්අඩංගුවට ගත් උපාලි කොළඹ මත්තේගොඩ ආරක්ෂක හමුදා කඳවුරට ගෙන ආවේය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුවූ දේ

වසර 1990 ජනවාරි 6 දක්වා මත්තේගොඩ කඳවුරේ තබාගෙන සිටි උපාලි එදින සිට මසක් දක්වා රඳවාගෙන සිටියේ මහනුවර උඩවත්ත කැලය ආසන්නයේ පිහිටි හමුදා සැපයුම් බලකා කඳවුරේය. එම කාලය තුළ “හමුදාවට සමාන ඇඳුමක්” උපාලිට අන්දවා නුවර දිස්ත්‍රික්කයේ ජවිපෙ කැරැල්ලට අදාළව ක්‍රියාකාරකම් සිදුකළ ස්ථාන රැසකට ඔහු ගෙනයන ලදී. එම කඳවුරේ තවත් ජවිපෙ කැරලිකරුවන් 21ක් රඳවා සිටි අතර ඔවුහු මාංචු දමා ඇඳවල්වල ගැටගසා තිබිණි. කඳවුර භාරව සිටි අයෙකු වූයේ කපිතාන් කරුණාරත්නය.

පසුව 1990 පෙබරවාරි 09 උපාලි ඇතුළු කැරලිකරුවන් කිහිපදෙනෙකු පල්ලෙකැලේ ගම්උදාව භූමියේ පිහිටා තිබූ හමුදා කඳවුරට ගෙනයන ලදී. කඳවුර භාරව සිටි අයෙකු වූයේ කපිතාන් රත්නායකය. එහි සිටි බුද්ධි අංශයට අයත් ආරක්ෂක අංශ සාමාජිකයින් අතර ලුතිනන් නලීන් කරුණාරත්න, බුලත්සිංහල මහින්ද, නුවර සපුකොටන, හෝමාගම සේනාරත්න, මාතර ජී. පී. ඩී. ඒ. ගුණසේකර ඇතුළු 12 දෙනෙකු විය. මත්තේගොඩ කඳවුරට ද දෙවරක් ගෙන ගියේය. උපාලි වධබන්ධනවලට ද ලක්විය. යළිත් පල්ලෙකැලේ කඳවුරට ගෙන එන ලදී. උපාලි ඝාතනයට ලක්වූයේ 1990 මාර්තු 6 රාත්‍රී 11.30ට පමණය. සුදු වෑන් රියක පටවාගත් ඔහුගේ සිරුර මාදුගොඩ දුල්වත්ත පාරේ ඉලුක් පඳුරු අතර අතහැර විනාශ කර දමන ලදී.

උපාලි ජයවීරගේ බිරිඳ වූයේ දඹගල්ල පියරත්න පාසලේ සිට පෙම්වතිය බවට පත්වූ සහකාර වෛද්‍ය නිලධාරිනි (AMP පසුව RMO) රත්නායක මුදියන්සේලාගේ හේමාවතීය. උපාලි ජයවීර 1989 මාර්තු 12 නුවරදී හේමාවතී සමඟ නුවන් ජයවීර නමින් ආවාහ විය. මංගල ඡායාරූපය ගනු ලැබුවේ පිළිමතලාවේ ‘සමන්’ ස්ටුඩියෝ හිදීය. එම අවස්ථාවට සොහොයුරිය සුසිලා ඇතුළු පවුලේ අය සහභාගි වූහ. උපාලි මියයන විට බිරිය ගැබිනි මවක් වූ අතර දරුවා චතුර විමුක්ති 1990 ජූනි 22 උපත ලැබීය. උපාලිගේ වැන්දඹු බිරිය පසුව විවාහ වූයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති සමඟය.

හේමලතා කලක් අම්පාර පදියතලාව රෝහල, දික්වැල්ල නාකුළුගමුව රෝහල සහ දෙහිඅත්තකණ්ඩිය මාවනාවෙල රෝහල ඇතුළු රෝහල් කිහිපයකම සේවය කළාය. සිය වෘත්තීය ජීවිතයේදී “ගිලනුන්ගේ ආදරය” දිනූ වෛද්‍ය හේමලතා ද 2020 ජනවාරි මස පිළිකා රෝගයට ගොදුරුව දිවියෙන් සමුගත්තාය.

-ධර්මන් වික්‍රමරත්න-

Leave a Comment

Your email address will not be published. Required fields are marked *