ෂැංග්‍රීලා හෝටලය සඳහා ඉඩම ලබාදීමේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ඇ.ඩො.මි. 5ක අල්ලස් මුදලක් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් පිළිබඳව විමර්ශනය කරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පසුගිය 27 දා කොමිසම වෙත ගෙන්වා පැය තුනක පමණ ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
‘අල්ලසට, දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය විසින් ගාලුමෝදර පිහිටි මෙම ඉඩම විකිණීමේ ක්‍රියාවලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක අල්ලසක් ලබා ගත් බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව මෙම විමර්ශනය ආරම්භ වී ඇත.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මීට පෙර මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් මූලික කරගෙන, මෙම පැමිණිල්ල ගොනුකර ඇති බව වාර්තා වෙන අතර, සිංගප්පූරු ජාතික විදම්බරම් නැමැත්තෙකුගේ දිවුරුම් ප්‍රකාශයකට අනුව ‘ටී.පී.එල්. ඉත්මා’ සහ ‘හෙලියාට්’ යන උපදේශන සමාගම් මගින් මෙම මුදල් ලබාදී ඇති බවත්, එම මුදල් තංගල්ලේ හෝටලයක් මිලදී ගැනීමට සහ CSN මාධ්‍ය ජාලයට ලබාදී ඇති බවත්, පැමිණිල්ල චෝදනා කර ඇත.






