ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), 1979 J. R. ජයවර්ධන ආණ්ඩුව ගෙනාවේ තාවකාලිකව ය; Temporary provision එකක් විදිහට ය. ඒ, උතුරේ නැඟීගෙන එන සන්නද්ධ ව්‍යාපාරය මැඬපවත්වන්නට ය. ආරම්භයේ දී තාවකාලික පනතක් විදිහට තිබුණු මේ PTA එක, 1982 ඉඳලා ස්ථිර වුණා. ඊට පස්සේ ඉතින්, හිතුමතේට අත්අඩංගුවට ගැනීම්, නඩු නැතුව රඳවා තබා ගැනීම්, වධහිංසා පැමිණවීම් ආදී මෙකී නොකී හැම අනීතික කටයුත්තක්ම නීතිගරුක ලෙසට ම සිද්ධ වුණා. 1988 දී දෙවැනි JVP කැරැල්ල උත්සන්න වෙනවාත් එක්කම PTA ආයෙත් සංශෝධනය කෙරුණා. ඒ කියන්නේ මර්දනය කරන්න තව තද වුණා.
2009 යුද්ධය ඉවර වුණාට පස්සේ 2011 දී හදිසි නීති රෙගුලාසි ඉවත් කෙරුණත් PTA තවදුරටත් පැවතුණා. 2015 ආණ්ඩුව මාරු වුණාට පස්සේ, PTA වෙනුවට CTA (Counter Terrorism Act) කියලා අලුත් පිටපතක් ලියවුණාට ඒක බලගැන්වුණේ නැහැ. යහපාලන ආණ්ඩුව PTA එක අයින් කරනවා කියලා පොරොන්දු වුණාට ඒක පොරොන්දුවක් විතරක් වුණා. 2019 පාස්කු ප්‍රහාරයත් එක්ක PTA ආයෙත් අලුතින් පණගහලා ආවා.
PSTA
2024 අලුත් NPP ආණ්ඩුව බලයට ආවේ PTA ඇතුළු සියලු මර්දනකාරී නීති ඉවත් කරනවා කියලා කියාගෙන. PTA වෙනුවට PSTA (Protection of the State from Terrorism) කියලා වෙස් මාරු කරගෙන එන්නෙත්, PTA පරණ බිල්ලා ම තමයි. සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතත් (POCA) එවැනි ම එකක්. මේ පනත්වල ‘නමින් කියවෙන’ ත්‍රස්තවාදය වැළැක්වීම වත්, සංවිධානාත්මක අපරාධ වැළැක්වීම වත් ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. 2019 පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ PTA බලාත්මකව තියෙද්දී.
අධිකරණ ක්‍රියාවලියකින් තොරව පොලිසිය වැනි ආයතනයකට අධිකරණ බලතල පැවරෙන විදිහේ නීතිරීති අණපනත් ගෙනෙනවා කියන්නේ නීතියේ සළුපිළි පොරවාගෙන අනීතික වැඩ කිරීමේ අවසරය පොලිසියට පැවරීමයි. කුඩු ගහනවා කියලා අල්ලන් ගිය කොල්ලො පොලිසියේ දී මැරුම් කන රටක තව මොන කතා ද?
72 වෙනකල් තිබුණු සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කරලා ජනරජ ව්‍යවස්ථාවක් කියලා එකක් ගෙනල්ලා 75 දී තියන්න තිබුණු ඡන්දය 77 වෙනකල් කල්දාපු එකේ වන්දිය සිරිමා බණ්ඩාරනායක ගෙව්වේ ආයෙ 94 වෙනකන් හොල්ලන්න බැරි වුණු ආණ්ඩුවකට (UNP එකට) බලය දීලා.
78 ව්‍යවස්ථාවෙන් හඳුන්වලා දීපු ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කියලා බලයට ආපු කවුරුවත් ඒක වෙනස් කළේ නෑ. 79 දී තාවකාලික පනතක් විදිහට ගෙනල්ලා ස්ථිර කරපු PTA අහෝසි කරනවා කියපු ආණ්ඩු එකක්වත් එහෙම කළෙත් නෑ, කරන්නෙත් නෑ. ඇයි මෙහෙම වෙන්නේ?
ආණ්ඩු බලය ලබාගන්න කිසි පක්ෂයක් කැමැත්තෙන් ආපහු ඒක දෙන්න සූදානම් නැහැ. මොන දහම් ගැටයක් දාලා හරි තමන්ගේ ධූර කාලය දික් කරගන්න තමයි බලන්නේ. මර්දනකාරී රාජ්‍ය පාලන අණපනත් තාවකාලික මුහුණුවරකින් පැමිණිලා ඒවා එම රාජ්‍යය තුළ පැළපදියම් වෙනවා ඇරෙන්න ආණ්ඩු පක්ෂය මාරු වුණාට වෙන දෙයක් වෙන්නේ නැහැ.
ඒ හින්දා අපි දිගටම මේවාට විරුද්ධ වෙමු. ඒක අපේ අයිතියක්!
(ඒ වුණාට මුකුත් වෙන්නෙ නැති වග විතරක් හිතේ තියාගමු. ඒක අපේ මානසික සෞඛ්‍යයට හොඳයි.)
PSTA ගැන කලින් ලිපි – https://knews.lk/citizen-freedom-terrorism-organized-crime-bills-sri-lanka/




