මගේ මතකයට අනුව මා මුලින්ම ලාල් විජේනායක සහෝදරයා හඳුනාගත්තේ 1967 පමණ, 1964 සභාගයට විරුද්ධව සමසමාජ පක්ෂයෙන් ඉවත්ව ගොස් සිටි ඔහු, නැවත ලංකා සමසමාජ පක්ෂයට බැඳුණු විට ය. එවකට ඔහු ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය මහා විදුහලේ විද්‍යා ගුරුවරයෙක්. ධර්මරාජ විදුහලේ දීප්තිමත් ආදි සිසුවෙකු වූ ලාල්, පේරාදෙණිය සරසවියේ විද්‍යාව හැදෑරුවා. සරසවියේදී ලංකා සමසමාජ පක්ෂයට බැඳුණු ලාල් එහි මහා ශිෂ්‍ය සංගමයේ සභාපති වූවා. පසුව, වැඩිහිටි ශිෂ්‍යයෙකු ලෙස කොළඹ නීති පීඨයට ඇතුළත් වූ ඔහු නීති උපාධිය ලබා, නීති විද්‍යාලයේ අවසන් විභාගයෙන් සමත්ව අධිනීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.
මහනුවර ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නවලට ලාල් මැදිහත් වූයේ සිය දේශපාලනයේ කොටසක් ලෙස ය. රැකියා අහිමි වන කම්කරුවන් වෙනුවෙන් ඔහු කම්කරු උසාවියේ නොමිලේ පෙනී සිටියේ ඉතා කැමැත්තෙන්. සමගි පෙරමුණු රජයෙන් ඉඩම්ලාභී දුප්පතුන් 1977 මැතිවරණයෙන් පසු එ.ජා.ප. රජයෙන් එළියට දාන විට උසාවි ගොස් ඔවුන් බේරා ගත්තා. මා එවැනි බොහෝ නඩුවල ලාල්ගේ කනිෂ්ඨ නීතිඥවරයා ලෙස පෙනී සිටියා. මහනුවර මෙන්ම ඉන් පිටත ද එවැනි පවුල් 1000කට වඩා ප්‍රමාණයක ඉඩම් බේරාගැනීමට ලාල් නායකත්වය දුන්නා. මධ්‍යම පළාත් සභාවට තෙවරක් තේරී පත් වූ ලාල් එහි විපක්ෂ නායක ධුරය ද දැරුවා.
1978 වසරේ සමසමාජ සම්මේලනයේ දී, විජය වික්‍රමරත්න, ලාල්, සහ මම සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත් වුණා. ලාල් පසුව පක්ෂයේ දේශපාලන මණ්ඩලයට තේරී පත් වී, පක්ෂයේ භාණ්ඩාගාරික ධුරය ද කලක් දැරුවා. 2014 අගදී මහින්ද රාජපක්ෂට සහාය දීමට පක්ෂය ගත් තීන්දුවට එරෙහි වුණු කණ්ඩායමට නායකත්වය දුන්නේ ලාල්. පසුව අප එක්සත් වාමාංශික පෙරමුණ පිහිටුවාගත් අතර එහි ප්‍රථම ලේකම් වූයේ ද ලාල් සහෝදරයා. 2016 වසරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති හැටියට ඉතා අනර්ඝ වාර්තාවක් ඉදිරිපත් කළා.
තම හෘද සාක්ෂිය අනුව තීරණ ගැනීමට ලාල් කිසිවිටක පසුබට වුණේ නැහැ. 2019 දී ඔහු ජාතික ජන බලවේගයට සම්බන්ධ වුණු අතර එහි ඉහළම මණ්ඩලයේ සාමාජිකයෙකු වුණා. එහෙත් 22 වන සංශෝධනයට, ත්‍රස්තවාදය පිළිබඳව නව කෙටුම්පතට සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳ කෙටුම්පතට තම විරුද්ධත්වය පළ කිරීමට ද ඔහු පසුබට වූයේ නැහැ.
කුමන දේශපාලන වෙනස්කම් පසුව තිබුණ ද, ඒවා ලාල් සහෝදරයා සහ මා අතර පෞද්ගලික සම්බන්ධකම්වලට බලපෑවේ නැහැ. පසුගිය වසර කිහිපයේදී ම මා මහනුවර ගිය සෑම විටම පාහේ ඔහු නිවසේදී හෝ කාර්යාලයේදී හමුවී කතාබස් කළා. ඔහු ඉතාමත් යහපත් ගුණාංගවලින් පිරි මිනිසෙක්.
ලාල් සහෝදරයාගේ නික්ම යෑම ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයට බලවත් පාඩුවක්. ඔබට සුබ ගමන්, ලාල් සහෝදරයා.
– ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න –




