වත්මන් අයිඑම්එෆ් වැඩසටහන අවසන් වීමට ඇත්තේ මාස කිහිපයක් පමණි. නව වැඩසටහනක්, කෙටි කාලීන ණය පහසුකමක් හෝ අයිඑම්එෆ් සහාය නොමැති ආර්ථික මාවතක් යන විකල්ප අතරින් ආණ්ඩුව තෝරාගන්නේ කුමක්ද? පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පසුගිය දා පාර්ලිමේන්තුවේදී මතු කළ මෙම ප්‍රශ්නයට පිළිතුර සොයන විට සහ අප ඒ ගැන සිතන විට අපට තේරුම් යන්නේ, අප රටේ වර්තමාන සැබෑ අභියෝගය IMF ගිවිසුම අවසන් වීම පමණක් නොවන බවයි.
පසුගිය 2022 අප්‍රේල් 12 වැනිදා අප රට විදේශ ණය ගෙවීම් අත්හිටුවන බව නිවේදනය කළේය. විදේශ විනිමය හිඟය, ඉන්ධන සහ ඖෂධ හිඟය, දිගු විදුලි කප්පාදු කිරීම් සහ ඉහළ යන ජීවන වියදම හමුවේ රටේ ආර්ථික අර්බුදය ගැඹුරු දේශපාලන අර්බුදයක් බවට රූපාන්තරණය විය.
ඉන් වසරක් පමණ ගතවූ පසුව 2023 මාර්තු 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අප සඳහා සිව් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමක් (Extended Fund Facility — EFF) අනුමත කළේය. එහි සමස්ත වටිනාකම SDR බිලියන 2.3ක් හෙවත් එවකට ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ විය. එය ලංකාවේ එවකට ආර්ථිකයට මනා අස්වැසිල්ලක් විය. ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නට එය මනා පිටිවහලක් විය. බදු බර වැනි බොහෝ ප්‍රශ්න තිබියදී වුවත් වැටුණු ආර්ථික දේහය ගොඩගන්නට එය සමත් විය.
දැන් වාර්තා වන ආකාරයට එම වැඩසටහන අවසන් වීමට නියමිතව ඇත්තේ 2027 මාර්තු මාසයේදීය. ඒ අනුව අප රටට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන ප්‍රධාන ප්රශ්නය වන්නේ තවත් අයිඑම්එෆ් වැඩසටහනකට යනවා ද යන්න පමණක් නොවේ. වත්මන් වැඩසටහන යටතේ ගොඩනඟාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් පවත්වාගෙන යන්නේ කෙසේද යන ප්රශ්නය ජාතිය හමුවේ තිබේ. ඊට අමතරව ඉදිරි ණය වගකීම් පියවන්නේ කෙසේද සහ තවත් බාහිර කම්පනයක් ඇති වුවහොත් ඊට මුහුණ දෙන්නේ කෙසේද යන ප්‍රශ්න ද මතු වේ.
මෙම පසුබිම තුළ රවී කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා මේ ආශ්රයෙන් මෙම බරපතළ ප්‍රශ්න කිරීම සිදුකිරීම වටී. එහිදී හිටපු මුදල් අමාත්‍යවරයා වත්මන් අයිඑම්එෆ් වැඩසටහනෙන් පසුව ගත යුතු පියවර පිළිබඳව ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය. ඔහුගේ ප්‍රධාන තර්කය වූයේ අයිඑම්එෆ් සහාය අවසන් වන විට රටේ ආර්ථිකය අනාරක්ෂිත තත්ත්වයකට පත් නොවන පරිදි පසුවිපරම් වැඩසටහනක් හෝ ඊට සමාන මූල්‍ය ආරක්ෂණ ක්‍රමවේදයක් සූදානම් කළ යුතු බවයි.
මෙම අයිඑම්එෆ් ගිවිසුම අවසන් වූ පමණින් රටේ ආර්ථිකය කඩාවැටෙනවාද?
අයිඑම්එෆ් වැඩසටහනක් යනු රටකට ලබාදෙන මුදල් ණයක් පමණක් නොවේ. එය රාජ්‍ය ආදායම්, වියදම්, ණය කළමනාකරණය, මුදල් ප්‍රතිපත්තිය, විදේශ සංචිත සහ ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් එකඟ වූ කොන්දේසි සහිත වැඩසටහනකි. අප රට තුළ ක්‍රියාත්මක අයිඑම්එෆ් වැඩසටහනේ අරමුණු අතර රාජ්‍ය ණය තිරසරභාවය යළි ස්ථාපිත කිරීම, විදේශ සංචිත ගොඩනැගීම, මිල ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සහ දූෂණයට සම්බන්ධ අවදානම් අවම කිරීම ඇතුළත් විය. ඒ අනුව රට තුළ බොහෝ ආර්ථික ප්‍රතිසංස්කරණයන් සිදු විය. වංචාවට සහ දූෂණයට වැට බඳින ප්‍රබල නීතීන් සම්පාදනය විය.
ඒ නිසා 2027 මාර්තු මාසයෙන් පසු අයිඑම්එෆ් වෙතින් අලුත් ණයක් නොලැබුණහොත් ඊළඟ දිනයේම රට බංකොලොත් වනු ඇතැයි නිගමනය කළ නොහැකිය. එහෙත් අලුත් වැඩසටහනක් නොමැතිව ඉදිරියට යනවා නම්, එම කාලය තුළ ගෙවිය යුතු ණය, විදේශ විනිමය අවශ්‍යතා සහ අනාගත ආයෝජන සඳහා අවශ්‍ය මුදල් සපයාගන්නා විශ්වසනීය ක්‍රමයක් තිබිය යුතුය. එම ක්‍රමය කුමක්ද යන්න වර්තමාන ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතුය. ඒ අර්ථයෙන් ද හිටපු අමාත්‍යවරයාගේ මේ ප්‍රශ්න කිරීම වැදගත් ය.
අයිඑම්එෆ් වැඩසටහනක් රටකට ලබාදෙන ප්රතිලාභ දෙකක් මෙහිදී වෙන් කර හඳුනාගත යුතු බව මේ ලියුම්කරුගේ හැඟීමයි. සෘජු මූල්‍ය සහාය, එනම් එකඟ වූ කොන්දේසි සපුරාලීමෙන් පසු වාරික වශයෙන් ලැබෙන විදේශ විනිමය සහ දෙවනුව ජාත්‍යන්තර විශ්වසනීයත්වය එසේ නැතිනම් ණයහිමියන්, බහුපාර්ශ්වික ආයතන සහ ආයෝජකයන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රතිපත්තිමය විශ්වසනීයත්වයට ලැබෙන සහාය යන ප්රතිලාභ දෙක මෙහිදී බෙහෙවින් වැදගත් ය. වර්තමානයේ අපට වහා ඉක්මනින් අන් රටවලට සාපේක්ෂව බංකොලොත්භාවයෙන් අත්මිදෙන්නට හැකි වූයේ මෙම කරුණු දෙක ඔස්සේ අප ලබාගත් ජයග්රහණයන් නිසා ය.
මෙහිදී දෙවැනි කරුණ පළමු කරුණට වඩා අඩු වැදගත්කමක් ඇති දෙයක් නොවන බව කිව යුතුය. අයිඑම්එෆ් වැඩසටහනකින් ඉවත් වීමෙන් පසුවත් ශ්‍රී ලංකාවට ණය ලබාගැනීමට, ආයෝජන ආකර්ෂණය කරගැනීමට සහ විදේශ ණය ගෙවීමට හැකි විය යුතුය. එසේම, අයිඑම්එෆ් සමඟ තවත් ගිවිසුමකට එළඹීමම සියලු ගැටලු විසඳන මන්ත්‍රය බව ද කිව නොහැකිය. ආර්ථික වර්ධනය, අපනයන, ඵලදායිතාව සහ රාජ්‍ය ආදායම ප්‍රමාණවත් ලෙස වර්ධනය නොවන්නේ නම්, ණය වැඩසටහන් නැවත නැවතත් අවශ්‍ය වන තත්ත්වයක් ඇති විය හැකිය.
ආණ්ඩුවට අයිඑම්එෆ් ගිවිසුමෙන් පසු වැඩසටහනක් ගැන කිසිදු සැලැස්මක් නැද්ද?
මෙහිදී කරුණු නිවැරදිව වෙන් කර හඳුනාගැනීම අවශ්‍ය ය. 2026 සැප්තැම්බර් 27 වැනිදා පළ වූ Sunday Times වාර්තාවකට අනුව, වත්මන් වැඩසටහන අවසන් වූ පසු ඉදිරියට යාම සඳහා ආණ්ඩුව විකල්ප තුනක් සලකා බලමින් සිටියි.
රටට ගැළපෙන කොන්දේසි සහිත නව EFF වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා කිරීම, කෙටි කාලීන ගෙවුම් ශේෂ ගැටලු සඳහා උපකාර වන Stand-By Arrangement (SBA) වැනි පහසුකමක් සලකා බැලීම සහ IMF මූල්‍ය වැඩසටහනක් නොමැතිව ඉදිරියට යාමේ හැකියාව පරීක්ෂා කිරීම යන කරුණු තුන ඔස්සේ ඉදිරියේදී කුමක් කළ යුතුද යන්න සොයා බලමින් සිටින බව එම මූලාශ්‍රය විදේශ අමාත්‍ය විජිත හේරත් උපුටා දක්වමින් වාර්තා කරයි. එහෙත් මේ කිසිදු සාකච්ඡාවක් තවමත් අවසන් වී නැත.
මීට අමතරව, පසුගිය ඔක්තෝබර් 8 දා පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබුණේ වත්මන් වැඩසටහනෙන් පසුව ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි. එම සාකච්ඡා සිදුවෙමින් තිබෙන්නේ අර්බුදකාලීන සහායෙන් දිගුකාලීන වර්ධනය ඉලක්ක කරගත් සම්බන්ධතාවකට මාරු වීම පිළිබඳව බව ද ඔහු එහිදී පැහැදිලි කළේය.
කියන කතා එසේ වුවත්, 2026 ඔක්තෝබර් 6 වැනිදා පළ වූ Daily Mirror වාර්තාවක් ප්‍රකාශ කරන්නේ, අයිඑම්එෆ් ප්‍රකාශකයන් ප්‍රකාශ කරන ආකාරයට නව වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා රජයෙන් නිල ඉල්ලීමක් තවමත් නැති බවයි. ඒ අතරේ අමාත්‍ය බිමල් රත්නායක වැනි ආණ්ඩුවේ ප්‍රබලයන් මෙන්ම ජවිපේ බොල්ෂවික් නායකයන් ප්‍රකාශ කරන්නේ එළඹෙන මාර්තුවෙන් පසුව අයිඑම්එෆ් වැඩසටහන අවසන් වනු ඇති බවයි. එතැනිනුත් එහාට යමින් තවත් ආණ්ඩුවේ ප්‍රබලයන් ප්‍රකාශ කරන්නේ අධික බදු බරින් ජනතාව මුදාහැරීම සඳහා යම් යම් බදු සහන ලබාදීම කෙරෙහි සිය රජයේ අවධානය යොමුව ඇති බවයි. මේ කුමන මඟක් ගනු ඇතිදැයි කියන්නට අප නම් දන්නේ නැත. නමුත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම රජයේ වගකීමකි.
අනෙක් පැත්තෙන් සාකච්ඡා කිරීමේ අදහසක් තිබීමත්, තෝරාගත් වැඩසටහනක් සඳහා නිල ඉල්ලීමක් ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරීමත් අතර වෙනසක් පවතින බව අප කවුරුත් දනිමු. ඒ අනුව අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුත්තේ “අයිඑම්එෆ් සමඟ සාකච්ඡා කරනවාද?” යන ප්‍රශ්නයට පිළිතුර පමණක් නොවේ. අවසන් තීරණයක් ගැනීමට නියමිත දිනය කුමක්ද?, තෝරාගැනීමට සලකා බලන වැඩසටහන්වල මූල්‍ය කොන්දේසි මොනවාද?, 2027 සහ ඉන් පසුව ගෙවීමට ඇති ණය සඳහා මුදල් සපයාගන්නේ කෙසේද?, අයිඑම්එෆ් වැඩසටහනක් නොමැතිව යන්නේ නම්, විදේශ මූල්‍ය හිඟයක් ඇති නොවන බවට තිබෙන ගණනය කිරීම් මොනවාද? යන ප්‍රශ්න අප පුරවැසියන් සේ ආණ්ඩුවෙන් ඇසිය යුතුය. ඒ සඳහා හිටපු මුදල් අමාත්‍යවරයා අපට අවකාශයක් තනා දී ඇත.
වර්තමානයේ ගෑස් නැත. බරපතළ ඉන්ධන හිඟයක් ද රට තුළ පවතී. ලිට්රෝ ගෑස් නැවක් මාලදිවයිනේ තිබෙනවා යැයි කියවෙයි. ලාෆ් ගෑස් ගැන කිසිදු අදහසක් නැත. සිනොපෙක් වැනි පිරවුම්හල් තුළ ඉන්ධන හිඟයක් ඇත. සමහර පිරවුම්හල් තුළ 92 ඔක්ටේන් පෙට්‍රල් නැත. සමහරෙක ඩීසල් තිබෙන්නේ සුපර් වර්ගය පමණි. මෙවැනි වර්තමානයක් තුළ මේ ප්‍රශ්නවලට ආණ්ඩුව ලබාදෙන පිළිතුරු ඉතා වැදගත් ය.
අයිඑම්එෆ් හි හත්වැනි සමාලෝචනය සම්පූර්ණ වුණාද?
2026 ඔක්තෝබර් 4 වැනිදා අයිඑම්එෆ් නිවේදනය කළේ ශ්‍රී ලංකාවේ වත්මන් EFF වැඩසටහනේ හත්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බවයි. එම සමාලෝචනය IMF විධායක මණ්ඩලය විසින් අනුමත කළහොත් ශ්‍රී ලංකාවට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 345ක් පමණ ලබාගත හැකි බව එම නිවේදනයේ සඳහන් විය. ඒ අනුව වැඩසටහන යටතේ ලැබීමට නියමිත මුළු IMF මූල්‍ය සහාය ඩොලර් බිලියන 2.7ක් පමණ වනු ඇත. එහෙත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව යනු අවසාන අනුමැතිය නොවේ.
IMF නිවේදනයට අනුව, විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා 2027 අයවැය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව ඉදිරිපත් කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රගතිය ඇතුළු මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම අවශ්‍ය ය. මෙයින් පැහැදිලි වන්නේ වත්මන් වැඩසටහන අවසන් වීමට පෙර පවා ඉටු කළ යුතු කොන්දේසි සහ සමාලෝචන තවත් ඉතිරිව තිබෙන බවයි. එබැවින් අලුත් වැඩසටහනක් ගැන සාකච්ඡා කරන අතරතුර, වත්මන් වැඩසටහන සාර්ථකව අවසන් කිරීමේ වගකීම ද ආණ්ඩුවට තවත් තිබේ.
මැදපෙරදිග යුද්ධය
වර්තමානයේ අපගේ ආර්ථිකයට ඇති බාහිර අවදානම් ගැන සිතීමේදී මැදපෙරදිග යුද අර්බුදය ප්‍රධාන ස්ථානයක් ගනී. ශ්‍රී ලංකාව බලශක්ති අවශ්‍යතා සඳහා ආනයන මත දැඩි ලෙස රඳා පවතින රටක් බැවින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම, නැව් ගමනාගමනයට බාධා ඇතිවීම හෝ ගුවන් ගමන්වල වෙනස්කම් ඇතිවීම සෘජුවම රටේ විදේශ විනිමය අවශ්‍යතා සහ දේශීය ජීවන වියදම කෙරෙහි බලපායි.
2026 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ අයිඑම්එෆ් කාර්ය මණ්ඩල වාර්තාවේ මැදපෙරදිග ගැටුමෙන් ඇති විය හැකි ආර්ථික බලපෑම් වෙනම විශ්ලේෂණය කර තිබුණි. එම වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ආනයනවලින් ආසන්න වශයෙන් සියයට 50ක් මැදපෙරදිග කලාපය සමඟ සම්බන්ධ වන අතර විදේශ ප්‍රේෂණවලින් සියයට 40ක් පමණ ගලා එන්නේ එම කලාපයෙනි. ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන්වලින් සියයට 34ක් පමණ මැදපෙරදිග ගුවන් ගමන් මධ්‍යස්ථාන හරහා ගමන් කරයි. මේ වාර්තාවට අනුව මැදපෙරදිග සංහිඳියාව අපට බලපාන ආකාරය ඔබට පැහැදිලි විය යුතුය.
තව ද වැදගත් කරුණක් මෙහිදී අප අවධාරණය කළ යුතුය. 2025 වසරේ තෙල් ආනයන සැලකීමේදී එය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.7ක් පමණ වූ බවත්, ජාත්‍යන්තර තෙල් මිල බැරලයකට ඩොලර් 10කින් ඉහළ යාමෙන් වෙළෙඳ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.6කින් පමණ පුළුල් විය හැකි බවත් එම වාර්තාව පෙන්වා දෙයි. මෙය වැදගත් අනතුරු ඇඟවීමකි. අප මේ පිළිබඳව අපගේ දැඩි සැලකිල්ල දැක්විය යුතුය. රජය විශාල වාහන ඇණියක් රජය වෙනුවෙන් ආනයනය කරන්නට සූදානම් වන පසුබිමක මේ ඇගයීම බෙහෙවින් වැදගත් ය.
අනෙක් පැත්තෙන් තෙල් මිල ඉහළ යාම යනු ඉන්ධන පිරවුම්හලේ මිල ඉහළ යාම පමණක් නොවන බවත් එය ප්‍රවාහන වියදම්, කෘෂිකාර්මික නිෂ්පාදන වියදම්, කර්මාන්තවල බලශක්ති පිරිවැය, ආහාර මිල සහ විදේශ විනිමය ඉල්ලුම යන සියල්ලටම බලපෑ හැකි ප්රපංචයකි. එමෙන්ම අමතර කරුණක් ලෙස මැදපෙරදිග යුද්ධය දිග්ගැස්සුණහොත් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රේෂණවලට සහ සංචාරක කර්මාන්තයට ඇති බලපෑම ද නොසලකා හැරිය නොහැකිය.
කෙසේ වෙතත්, මෙම අවදානම් සියල්ල අනිවාර්යයෙන්ම සිදුවන පාඩු ලෙස සැලකිය නොහැකිය. එහි බලපෑම යුද්ධයේ කාලසීමාව, තෙල් මිල, නැව් ගමනාගමනය, ගුවන් ගමන් සහ වෙළෙඳපොළ ප්‍රතිචාර අනුව වෙනස් වන බව ද කිව යුතුය. ඒ නිසා ආණ්ඩුවේ වගකීම වන්නේ සාමාන්‍ය තත්ත්වයක් පවතිනු ඇතැයි උපකල්පනය කරමින් අයවැය සකස් කිරීම නොව, තත්ත්වය නරක අතට හැරුණහොත් රටට ඇතිවන බලපෑම ද කලින් ගණනය කර ඒ අනුව අයවැයක් සකසමින් ඕනෑම තත්ත්වයකට සූදානම් වීමයි.
විදේශ සංචිත ඩොලර් බිලියන 6.9යි
2026 ඔක්තෝබර් 4 වැනිදා අයිඑම්එෆ් නිවේදනයට අනුව, 2026 අගෝස්තු අවසානයේ ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.9ක් පමණ වේ. මෙය අප රටේ ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් වැදගත් දර්ශකයකි. එහෙත් දළ සංචිත ප්‍රමාණය පමණක් දැනගැනීමෙන් රටේ සැබෑ විදේශ මූල්‍ය ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ චිත්‍රය අපට ලැබෙන්නේ නැත.
දළ නිල සංචිත (Gross Official Reserves) සහ වහා භාවිත කළ හැකි සංචිත අතර වෙනසක් තිබිය හැකිය. සංචිතවල සංයුතිය, භාවිතයට ඇති සීමා, ඒවාට අදාළ වගකීම් සහ ඉදිරි විදේශ ගෙවීම් දැනගැනීම මෙහිදී අතිශය වැදගත් ය. උදාහරණයක් ලෙස, රටක සංචිත ඩොලර් බිලියන කිහිපයකින් ඉහළ ගියත්, එම කාලය තුළ ඉන්ධන ආනයනය, ණය ගෙවීම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය විදේශ ගෙවීම් ද ඊට සාපේක්ෂව ඉහළ යන්නේ නම් එම සංචිතවලින් ලැබෙන ආරක්ෂාව වෙනස් විය හැකිය.
එබැවින් හිටපු මුදල් අමාත්‍යවරයාගේ ප්‍රශ්නාවලියට පිළිතුරු ලෙස හෝ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු තොරතුරු වන්නේ, දළ නිල විදේශ සංචිත ප්‍රමාණය, භාවිත කළ හැකි සංචිත ප්‍රමාණය සහ සීමා සහිත සංචිතවල සංයුතිය, ඉදිරි මාස 12 තුළ ගෙවීමට ඇති රාජ්‍ය විදේශ ණය සහ අනෙකුත් විදේශ ගෙවීම්, අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය විදේශ විනිමය ප්‍රමාණය, ඉදිරි වසර තුළ සංචිතවලට එකතු වීමට අපේක්ෂිත මුදල් සහ ඒවා අහිමි විය හැකි අවදානම් යන්නයි. මෙම තොරතුරු එකට සලකා බැලීමෙන් පමණක් අප රටේ විදේශ මූල්‍ය ආරක්ෂාව පිළිබඳ වඩාත් නිවැරදි තක්සේරුවක් කළ හැකිය. සංචිත ඉහළ යාම හොඳ තත්ත්වයකි. එහෙත් ඒවාට කොපමණ කාලයක් රටේ විදේශ ගෙවීම් ආරක්ෂා කළ හැකිද යන්න ඊට වඩා වැදගත් ප්රශ්නයකි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ පමණින් ණය ප්රශ්නය අවසන්ද?
අප රටේ ණය අර්බුදය විසඳීමේදී ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රධාන පියවරක් විය. ණයහිමියන් සමඟ ගෙවීම් කොන්දේසි නැවත සකස් කිරීමෙන් කෙටි කාලීන ගෙවීම් පීඩනය අඩු කරගැනීමට හැකි විය. එහෙත් ණය ප්‍රතිව්‍යුහගතකරණය යනු ණය සියල්ල අහෝසි වීමක් නොවේ.
ණය ගෙවීමට නියමිත කාලසීමා, පොලී අනුපාත, ආපසු ගෙවීමේ වාරික සහ රාජ්‍ය ආදායම අතර සම්බන්ධතාව දිගටම පවතී. විශේෂයෙන්ම ණය ගෙවීම් නැවත ඉහළ යන කාලයකදී රටට අවශ්‍ය විදේශ විනිමය උපයාගත නොහැකි නම්, අලුත් මූල්‍ය පීඩනයක් එමගින් ඇති විය හැකිය. ඒ නිසා ණය ප්රශ්නය විග්රහ කිරීමේදී අවම වශයෙන් ප්‍රශ්න තුනකට රජය පිළිතුරු දිය යුතුය.
ඉදිරි වසරවලදී රජය ගෙවිය යුතු මුළු ණය සහ පොලී වාරික කොපමණද?, එම මුදල් ගෙවීමට අවශ්‍ය ආදායම, අපනයන ආදායම සහ විදේශ මූල්‍ය ප්‍රවාහ සපයාගන්නේ කෙසේද?, ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටමට නොපැමිණියහොත් හෝ තෙල් මිල ඉහළ ගියහොත් ණය තිරසරභාවය ආරක්ෂා කරන්නේ කෙසේද? යන්න එම ප්‍රශ්නයි.
අයිඑම්එෆ් වැඩසටහනකින් ලැබෙන මූල්‍යමය සහාය මෙම පීඩනය කළමනාකරණය කිරීමට උපකාරී විය හැකිය. නමුත් දිගුකාලීන විසඳුම වන්නේ ණය වාරික ගෙවීම සඳහා නැවත නැවතත් අලුත් ණය ගැනීම නොවන බව අප දත යුතුය. රටේ ආදායම් උත්පාදන හැකියාව වර්ධනය කිරීම, අපනයන පුළුල් කිරීම සහ රාජ්‍ය වියදම්වල ඵලදායිතාව ඉහළ නැංවීම ද මේ අනුව අත්‍යාවශ්‍ය වේ.
ආණ්ඩුව ඉදිරියේ ඇති මාර්ග 3
එළඹෙන මාර්තුවෙන් පසුව අප රටට අවශ්‍ය වන්නේ, නව EFF එකක්ද? Stand-By Arrangement එකක්ද? නැතිනම් IMF නොමැති ගමනක්ද? යන්න ආණ්ඩුව ඉදිරියේ ඇති විකල්ප තුනයි. මේ තුන ම එකම ප්‍රතිඵලය ලබාදෙන්නේ නැත. EFF වැඩසටහනක් සාමාන්‍යයෙන් මධ්‍යකාලීන ගෙවුම් ශේෂ ගැටලු සහ ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතා විසඳීම සඳහා භාවිත වන අතර මෙවැනි වැඩසටහනක් තෝරාගන්නේ නම්, අපට මූල්‍ය සහාය සහ ප්‍රතිපත්තිමය රාමුවක් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාව ලැබිය හැකිය. එහෙත් ඒ සමඟම එකඟ වන කොන්දේසි, ආදායම් ඉලක්ක, වියදම් පාලනය සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ වගකීම් ද පැවරෙන බව අප අමතක නොකළ යුතුය. එබැවින් නව EFF එකක් තෝරාගැනීමේදී ආණ්ඩුව විමසිය යුත්තේ ණය ලබාගත හැකිද යන්න පමණක් නොව, එහි කොන්දේසි රටේ දිගුකාලීන ආර්ථික වර්ධනයට සහ සමාජ ආරක්ෂාවට කෙසේ බලපාන්නේද යන්නයි.
Stand-By Arrangement (SBA) යනු සාමාන්‍යයෙන් කෙටි කාලීන ගෙවුම් ශේෂ අවශ්‍යතා සඳහා භාවිත කරන අයිඑම්එෆ් මූල්‍ය පහසුකමකි. එය EFF එකකට සමාන නොවන අතර රටේ මූල්‍ය අවශ්‍යතා, අවදානම් සහ ප්‍රතිපත්තිමය අභියෝග අනුව එවැනි පහසුකමක් සුදුසු විය හැකිද යන්න තීරණය කළ යුතුය. අපට මෙවැනි ක්‍රමයක් තෝරාගැනීමට සිදුවුවහොත්, එය මඟින් ආවරණය වන්නේ කුමන කාලසීමාවක සහ කුමන ප්‍රමාණයක මූල්‍ය හිඟයක්ද යන්න පැහැදිලි කළ යුතුය.
අවසාන විකල්පය ලෙස අපට IMF වැඩසටහනක් නොමැතිව ඉදිරියට යාම ගැන සිතිය හැකිය. මෙය සංකල්පමය වශයෙන් කළ නොහැකි දෙයක් නොවේ. නමුත් එය සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකාවට විශ්වසනීය මූල්‍ය සැලැස්මක් අවශ්‍ය ය. ඒ අනුව එය දැඩි අවදානම් මාර්ගයකි. මෙම දුෂ්කර මඟ අප විසින් තෝරාගන්නවා නම් අප එහිදී, ණය ගෙවීම් සඳහා මුදල් සපයාගන්නා නිශ්චිත ක්‍රමය, විදේශ සංචිත පවත්වාගෙන යාමේ සැලැස්ම, අපනයන හා විදේශ ආදායම් වැඩි කිරීමේ වැඩපිළිවෙළ, අයවැය හිඟය සහ රාජ්‍ය ණය පාලනය කිරීමේ ක්‍රමවේද, බාහිර කම්පනවලදී අත්‍යවශ්‍ය ආනයන සඳහා විදේශ විනිමය සපයාගැනීමේ සැලැස්ම යන කරුණුවලට අපට ම පිළිතුරු තිබිය යුතුය. එය විද්‍යාත්මක මෙන්ම ප්‍රායෝගික පිළිතුරක් විය යුතුය.
2026 ඔක්තෝබර් 4 වැනිදා අයිඑම්එෆ් වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරිත්වය 2026 දෙවැනි කාර්තුවේදී වාර්ෂික පදනමින් සියයට 4.2කින් වර්ධනය වී තිබුණත් එය අඛණ්ඩව වර්ධනයක් වාර්තා කළ එකොළොස්වැනි කාර්තුව වුවත් එම වාර්තාවේ සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය සියයට 8ක් ලෙස සඳහන් වීම බරපතළ ය. ඒ අනුව අප ආර්ථික වර්ධනයේ ප්රතිලාභ රැකියා, වැටුප්, ආදායම් සහ මිලදී ගැනීමේ හැකියාව තුළින් ජනතාවට දැනෙනවාද යන්න විමසා බැලිය යුතුය. එසේම, අඩු ආදායම්ලාභී පවුල්, කුඩා ව්‍යාපාර, කෘෂිකර්මාන්තය සහ දේශීය නිෂ්පාදකයන් මත බදු, විදුලි ගාස්තු, ප්‍රවාහන වියදම් සහ ණය පිරිවැය ඇති කරන බලපෑම් ද මෙහිදී සලකා බැලිය යුතුය.
අයිඑම්එෆ් වැඩසටහනක අරමුණක් වන්නේ ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කිරීමයි. එහෙත් එම ස්ථාවරත්වය සමාජීය වශයෙන් පවත්වාගෙන යා හැකි වන්නේ එහි ප්රතිලාභ පුළුල්ව ජනතාව වෙත ළඟා වන්නේ නම් පමණි. ඒ සඳහා රජය විසින් සමාජ ආරක්ෂණ වියදම්, ඉලක්කගත මුදල් හුවමාරු, දුප්පත්කම සහ රැකියා පිළිබඳ දත්ත නිතිපතා ප්‍රසිද්ධ කළ යුතුය. ඒ අනුව අප දිගුකාලීන ආර්ථික අභියෝගය, ණය ලබාගැනීමේ හැකියාවට පමණක් සීමා නොකර රටට විදේශ විනිමය උපයාගත හැකි ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි ද අවධානය දැක්විය යුතුය.
ඒ අනුව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ ප්‍රශ්නයට ආණ්ඩුව ලබාදිය යුතු පිළිතුර දේශපාලන ප්‍රකාශයක් පමණක් නොවිය යුතුය. එය විදේශ සංචිත, ණය වගකීම්, ආර්ථික වර්ධනය, රාජ්‍ය ආදායම, ජනතාවගේ ජීවන වියදම සහ අනාගත මූල්‍ය අවශ්‍යතා ඇතුළත් දත්ත මත පදනම් වූ සැලැස්මක් විය යුතුය. 2027 මාර්තු මාසයෙන් පසු අපට අවශ්‍ය වන්නේ තවත් අයිඑම්එෆ් ණය ගිවිසුමක් පමණක් නොවේ. නැවත බිඳ නොවැටෙන ආර්ථිකයක් ගොඩනඟන, ජනතාවට වගකියන සහ දිගුකාලීනව විදේශ විනිමය උපයන ආර්ථික සැලැස්මකි.
-කේ. සංජීව-




