ඊයේ කොහොම හරි ගිහින් ඩිංගාගේ ඩිංගා ෆිල්ම් එක බැලුවා. මේ වගේ ෆිල්ම් වැඩි කල් හෝල්වල දුවන්නේ නෑ. ඉස්සර රජකතා, බණකතා වගේ දැන් හෝල්වල දුවන්නේ සිංදු කතා. ඩිංගා වගේ ඕෆ්බීට් වැඩක් භාරගන්න පුළුවන් ප්‍රේක්ෂාගාරයක් තියෙනවද කියලත් සැකයි. ලංකාවේ මේ වෙලාවේ සිනමාවේ තත්ත්වය හොඳටම දන්න හින්දා පුළුවන් තරම් ඉක්මනට ගිහින් ලොකු තිරයේ ඩිංගා බැලුවා.
පුදුම තරම් ලස්සන වැඩක්. ඉනසන්ස් කියන එක ලංකාවේ චිත්‍රපටියක දැක්කමද කොහෙද. සමාජ, දේශපාලන, ආර්ථික සියලු ව්‍යූහයන් පැත්තකට දාලා ඩිංගා අපි හැමෝටම දැනිලා තියෙන ඒ ශුද්ධ වූ ආදරයේ මොහොතක් තිරය උඩට ගේනවා. වෛවර්ණ විච්චූරණ කිසි දෙයක් නෑ. කියන්න පුළුවන් සරලම විදිහට සරලම කතාවක් සුන්දරව කියනවා. කොයිතරම් සුන්දරද කියනවා නම් ආපහු අත් අල්ලගෙන කොළඹ පාරවල් දිගේ ඇවිදින්න ආසා හිතෙනවා.
ඩිංගා හදලා සෑහෙන කාලයක් වුණත් ඒක කවදාවත් පරණ වෙන චිත්‍රපටියක් නෙමෙයි. අපි හැමෝම පහුකරලා තියෙන incel මොහොතක චමත්කාරය ගැන කතාවක්. කෙල්ලෙක් එක්ක කතා කරන්න බැරි, දණිස් වෙවුලන, ඒත් ආසාව ඉහටත් උඩින් තියෙන, ඇල්ලුවත් කරන්ට් වැදුණා වගේ වෙන, බැල්මකින් පවා හිරිවැටෙන ඒ ශුද්ධ වූ රොමාන්තික ආදර මොහොත. වචන නෙමෙයි සෙක්ස් පවා අසමත් වෙන මොහොත.
ඩිංගා ආදරයට අමුතු සමීකරණයක් ගේනවා. ඒ කුළුඳුල් ආදරේ බෙදාගන්න මුණගැහෙන්නේ ගණිකාවක් නම් ඒ රොමාන්තික කතාව කොහොම එකක් වෙයිද? ඩිංගාගේ කතාව දිගේ අපි ගියාට ඒ ගණිකාවගේ (නැත්නම් ලිංගික ශ්‍රමිකයාගේ) නොකියන කතාවකුත් තියෙනවා. ඒ කතාව චිත්‍රපටිය ඇතුළේ නිහඬයි. ඩිංගා එක්ක ගතවෙන්නේ ඇයගේත් කුළුඳුල් ගණිකාමය මොහොත. ඩිංගා තමයි පළවෙනි කස්ටමර්.
සිනමාවේ කියන හතරවෙනි බිත්තිය බිඳ දමමින් ඩිංගා අපිව උගේ මනෝභාවය ඇතුළට ගන්නවා. උගේ අනිත් යාළුවෝ වගේම අපිටත් ඌ කතා කරනවා. යථාර්ථය විසින් කඩතොලු කර නොදැමූ උගේ පිවිතුරු සිතුවිලි කියනවා. සියල්ල අමතක කරලා අපිත් මොහොතක් ඒ සබන් බුබුළු පාවෙන චමත්කාරය ඇතුළේ ගතවෙනවා.
මේ වගේ චිත්‍රපටිවලට මං කියන්නේ ස්පිරිචුවල් ෆිල්ම්ස් කියලා. අපිට අමතක අපේ ඉනසන්ස් එක මතක් කරන චිත්‍රපටි. ෆිල්ම් එක ඉවර වුණාට පස්සේ සිනමා ශාලාවෙන් එළියට ආවම රියැලිටිය කඩාපනින තෙක් අපි ඒ ශුද්ධ වූ ආදර මොහොත ඇතුළේ නතර වෙනවා. පිහාටුවක් තරම් සැහැල්ලු චිත්‍රපටියක්.
මිනිහෙකුට එහෙම ෆිල්ම් එකක් කරන එක ලේසි නෑ. විකල්ප සිනමාවේ ලොරි තරම් බර වැඩ මැද්දේ පාවෙන සැහැල්ලුව හොයාගෙන යන විප්ලවීය වැඩක්. ඒ මදිවට ඌ ඒ සිනමාවට කියන්නේත් ඩිංගා ෆිල්ම්ස් කියලා. ඒක වෙනම ජෝන්රා එකක් විදිහට දිගටම කරන්න පුළුවන් නම් පට්ට.❤
ඔබේ අත අල්ලා – හිත උඩ පැන්නා.. මොන තරම් කියුට් වචන පේළියක්ද? (මොකක් හරි හින්දා මේ ෆිල්ම් එකේ රවීන් අයියාව මට ඇහෙන්නේම චමීන් අයියා වගේ)
-චින්තන ධර්මදාස-




